ජිනීවා ගැටලුව සරල බසින්

  👤  3688 readers have read this article !
2018-09-18

තිස් අවුරුද්දකට ආසන්න කාලයක් පුරා සිවිල් වැසියන් දහස් ගණනකට මරු කැඳවූ මිනීමරු කොටි ත්‍රස්තවාදය 2009දී අවසන් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බටහිර බලපෑම්වලට යටත් නොවී අවසානය දක්වා යුද්ධය පවත්වාගෙන යෑමට තීරණය කළ නිසාය. එදා යුද්ධයේ අවසාන අදියරේදී බි්‍රතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශයේ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නල් ලංකාවට පැමිණ ඔබ විසින් දැන් යුද්ධය නතර කිරීම බටහිර රටවල අභිලාෂය වේ කියා කී විට ඇඹිලිපිටියේ වැව් තාවුල්ලේ සිට ලංකාවේ ජනාධිපතිවරයා ඔවුන්ට උත්තර දුන්නේ මෙසේය.

"මේ රට තවදුරටත් ඔබේ කොලනියක් නොවේ. ඒ තත්ත්වය 1948 අවසන් වුණා. ත්‍රස්තවාදය අවසන් වන තුරු මා කිසිසේත්ම යුද්ධය නතර කරන්නේ නැහැ. ලංකාවේ මිනිසුන් මැරෙන විට ඔබට එය ප්‍රවෘත්තියක් පමණයි. වේදනාව අපටයි. ලංකාවේ පාලකයා ලෙස මා කරන්නේ මාගේ රටට අවශ්‍ය දෙය බව පමණක් මතක තබාගන්න"
එම නිර්භීත ස්ථාවරය මර බියෙන් සිටි ජාතියට නිදහස ගෙන දෙන්නට සමත් වුවද තමුන්ට අවනත නැති ආසියාතික නායකයකු ලංකාව තුළින් මතුවී ගෙන එන බව දුටු බටහිර රටවල් තීරණය කළේ මෙම තර්ජනය හැකි ඉක්මනින් ඉවත් කළ යුතු බවය.

බටහිර රටවල් දෙමළ ඩයස්පෝරාවත් සමඟ එක්ව සැලසුම් කළ ජිනීවා කුමන්ත්‍රණයට පදනම වන්නේ මේ අවශ්‍යතාවයය. ඔවුන් වැඩ පටන් ගත්තේ යුද්ධය අවසන් වන්නටත් පෙරය.
ආරක්ෂක හමුදා විසින් ප්‍රභාකරන් මරා දමා යුද්ධය අවසන් කළ 2009 මැයි 19දාම ජර්මනිය ප්‍රමුඛ රටවල් 17ක් ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ රැස්වීමක් ඉල්ලා සිටියහ. ලංකාවේ මිනිසුන් යුද ජයග්‍රහණය සමරමින් කිරිබත් කද්දීම ජයග්‍රහණය පරාජයක් කිරීමේ කුමන්ත්‍රණයක්ද දියත් විය. ජර්මනිය ඇතුළු රටවල් විසින් ඉල්ලා සිටි රැස්වීමට දිනය ලෙස ලැබුණේ මැයි 26 හා 27 ය.

රැස්වීමට පෙර මැයි මස 23දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කි මූන් කඩිමුඩියේ ලංකාවට පැමිණියේය. මෙය කලින් සැලසුම් කොට තිබූ සංචාරයක් නොවේ. හදිසි තීරණයකි. ඔහු කීවේ ලංකාවේ තත්ත්වය සියැසින්ම බලා ගන්නට ඔහුට අවශ්‍ය බවය. එහෙත් දශක ගණනාවක් පුරා කොටි ත්‍රස්තවාදීන් අහිංසක සිවිල් වැසියන් සිය දහස් ගණනක් මරා දමන කාලයේ එක්සත් ජාතීන්ගේ කිසිදු මහ ලේකම්වරයකුට ලංකාව ගැන එතරම් කම්පාවක් ඇති වී නොතිබිණි.

මැයි 26දා හා 27දා පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ රැස්වීමට ජර්මනිය ඇතුළු රටවල් ලංකාවේ යුද අපරාධ සිදුවී ඇති බවට චෝදනා කරමින් ඒ ගැන සොයා බැලිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළහ. එහෙත් සාමාජික රටවල් 47කින් සමන්විත මානව හිමිකම් කවුන්සිලයේ බහුතරයක් මේ යෝජනාවට සහාය දුන්නේ නැත. ඒ අනුව ජර්මනිය ඇතුළු රටවල් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කොට අනෙකුත් රටවල් විසින් යුද්ධය අවසන් කිරීම ගැන ලංකාවට ප්‍රශංසා කොට යෝජනාවක් සම්මත කරන ලදී.
මේ පරාජයෙන් බටහිර බලවේග තම අරමුණ අතහැරියේ නැත. ලංකාවට එරෙහිව යම් තීන්දුවක් ගන්නට පසුබිම සකස් කිරීමට ක්‍රමවේදයක් අවශ්‍ය විය. ඒ සඳහා පසුබිම සකස් කෙරුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා හරහාය.

මහ ලේකම් බෑන් කි මූන් මහතා කළේ ලංකාව ගැන සොයා බලා තමුන්ට පෞද්ගලිකව වාර්තා කරන්නට කියා කමිටුවක් පත් කිරීමයි. එහි සභාපති ලෙස පත්වූයේ දරුස්මාන් නමැති මහතෙකි. මෙම කමිටුවේ වාර්තාව දරුස්මාන් වාර්තාව ලෙසද හැඳින් වෙන්නේ ඒ නිසාය.
දරුස්මාන් කමිටු වාර්තාවෙන් කියා තිබුණේ නිසැකවම ලංකාව තුළ යුද අපරාධ සිදු වී ඇති බවට සාක්ෂි ඇති බවයි.

ලංකාව යුද්ධය අවසන් කළ ආකාරය ගැන ප්‍රශංසා කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ඒ වන විටත් සම්මතව තිබුණ නිසා ලංකාව ගැන සොයන්නට පත්කළ දරුස්මාන් කමිටුව මහ ලේකම්වරයාගේ පෞද්ගලික දැනුම සඳහා කරුණු රැස්කිරීමට පත් කළ එකක් මිස ආරක්ෂක මණ්ඩලය හෝ මානව හිමිකම් කවුන්සිලය මඟින් පත් කළ එක් නොවේ. දරුස්මාන් වාර්තාව කිසිවිටක නීත්‍යනුකූලව සභාගත නොවුණ නිසා එහි අන්තර්ගතයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ පිළිතුරු දීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාවක් නොලැබිණි.

කෙසේ වෙතත් දරුස්මාන් කමිටු වාර්තාව අනුව හොර රහසේම වැඩ ඇරැඹී තිබිණි. ඒ අනුව යළිත් 2012දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් විය. එහිදී කියැවුණේ හමුදාව විසින් යුද සමයේ මානව හිමිකම් කඩ කිරීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම කළාදැයි සොයාබලන ලෙස ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා තාක්ෂණ උපදෙස් සපයන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා සිටින බවය. මෙම යෝජනාව කවුන්සිලය තුළ සම්මත කර ගැනීමට එහි අනුග්‍රාහකයෝ සමත් වූහ.

2013 යළිත් යෝජනාවක් ඉදිරිපත් විය. මෙවර යුද අපරාධවලින් ඔබ්බට ගොස් ලංකාවේ දේශපාලන තත්ත්වය ගැනද සඳහන් විය. සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා බලය තවදුරටත් විමධ්‍යගත කළ යුතු යැයි පවා යෝජනා කළ මේ යෝජනාවද සම්මත විය.
2014දී ඉතා දිගු යෝජනාවලියක් ඉදිරිපත් විය. ලංකාවේ හමුදාව විසින් යුද සමයේ මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම් කළාදැයි පූර්ණ පරීක්ෂණයක් කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් සපයන ලෙස මෙවර මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා සිටින ලදී. මේ යෝජනාව තුළ ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන කරුණු රැසක් තිබෙන බවත් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පවා පටහැනිව යෑමක් බවත් කියමින් රටවල් ගණනාවක් මෙයට විරුද්ධ වුවද යෝජනාව සම්මත වූයේ රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළැකී සිටි නිසාය. එම රටවල්ද යෝජනාවට සෘජුව විරුද්ධ වූවා නම් එදා එය පරාජය වනු ඇත.

මේ වාර්තාව කරළියට එන්නට පෙර ලංකාවේ ආණ්ඩු වෙනස් විය. මහින්ද නායකත්වය දුන් සන්ධාන ආණ්ඩුව පරදා රනිල් මෛත්‍රි නායකත්වය දෙන යහපාලන ආණ්ඩුව බලයට පැමිණ තිබිණි.
මහ කොමසාරිස් වාර්තාව සභාගත වුණේ 2015 සැප්තැම්බර්වලය. එය බොහෝ දුරට දරුස්මාන් වාර්තාවට සමානකමක් දැක්වූ අතර දරුස්මාන් කමිටුව යොදාගත් අපට පිළිගත නොහැකි යම් මූලාශ්‍ර මෙම වාර්තාවේ සම්පාදකයන්ද භාවිත කර තිබෙන බවත් දරුස්මාන් වාර්තාවේ අඩංගු වූ ලංකාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු යම් වැරැදි සංඛ්‍යා ලේඛන ආදියත් එම ආකාරයෙන්ම භාවිත කර ඇති බවත් පෙනී යයි.
නමුත් මෙම වාර්තාව හොඳින් අධ්‍යයනය කොට එයට තර්කානුකූලව පිළිතුරු සපයනවා වෙනුවට ශ්‍රී ලංකාවේ නව රජය කළේ වාර්තාව ඉදිරිපත් වූ දිනට පසුදිනම නිවේදනයක් නිකුත් කරමින් එය පිළිගැනීමයි. මේ අනුව ශ්‍රී ලංකාවේ හමුදාව විසින් යුද අපරාධ කළා යැයි වාර්තාවේ කියැවෙන චෝදනා කිසිදු වග විභාගයකින් තොරව යහපාලන ආණ්ඩුව විසින් පිළිගනු ලැබ ඇත.
ලංකාවට අතිශයින්ම අහිතකර කරුණු රැසක් ඇතුළත්ව අලුත්ම ජිනීවා යෝජනාවක් 2015 සැප්තැම්බර් මසදී ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින්ද පිළිගත් මේ වාර්තාව පදනම් කර ගෙනය.
ජිනීවා 30/1 යෝජනාවේ දේශපාලන මුහුණුවරක් ගත් කරුණු රැසක් අඩංගු වේ.

ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ස්වාධීන අධීක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දීම, පෞද්ගලිකව නඩු පැවැරීම, අතුරුදන්වූවන් පිළිබඳව හා වන්දි ගෙවීම් පිළිබඳව කාර්යාල ආරම්භ කිරීම.
හමුදාවට අයත් ඉඩම් හැකිතාක් දුරට සිවිල් වැසියන්ට නිදහස් කිරීමට කටයුතු කිරීම.

ආරක්ෂක අංශවලින් සිදුවූ අපරාධ සොයා බලා දඬුවම් කිරීම සඳහා ජාත්‍යන්තරයට පිළිගත හැකි වගවීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම. ඒ සඳහා අවශ්‍ය විශේෂ නීති සකස් කිරීම, විශේෂ අධිකරණවල සහ ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සහාය ලබා ගැනීම.

රජයේ නිලධාරීන් පත් කිරීමේදී විශේෂ සොයා බැලීම්, මානව හිමිකම් කඩකිරීම් හා මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ අය රජයේ රැකියාවලින් ඉවත් කිරීම හා යළි බඳවා නොගැනීම.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කොට ඒ වෙනුවට අන්තර්ජාතිකව පිළිගත හැකි නව නීති හඳුන්වාදීම.

බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට අස්සන් කිරීම හා එය ලංකාව තුළ බලාත්මක කිරීම.
13 වැනි සංශෝධනයට අනුව පළාත් සභාවලට සම්පූර්ණ බලතල ලබාදීම.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් හරහා තවදුරටත් බලය විමධ්‍යගත කිරීමට කඩිනමින් පියවර ගැනීම.

මේ අවස්ථාවේ ලංකාව මෑත ඉතිහාසයේ කිසිදු රටක් නොකළ දීන ක්‍රියාවක් කළේය. ඒ තමුන්ටම එරෙහිව වෙනත් රටක් විසින් ගෙනවිත් තිබූ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දීම තුළින් මෙම යෝජනාවට එරෙහි වීමට ලංකාවට මිතුරු රටවලට තිබූ අවස්ථාව අහුරා දැමීමය. තමුන් ජාත්‍යන්තරය ජයගත්තා යැයි අපේ සමහර ලොක්කන් පාරම් බෑවේ මේ පාවා දීම කොටය. එය හරියට ලංකාවේ පාලනය බි්‍රතාන්‍යයන්ට පාවාදීමට 1815 උඩරට ගිවිසුම අස්සන් කළ ලංකාවේ රදලයන් මේ ගිවිසුම හරහා අපි බි්‍රතාන්‍ය ජයගත්තා කීමක් හා සමානය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ඒකමතිකව සම්මත වන්නේ යහපාලන ආණ්ඩුව කළ මේ නිවට නියාලු පාවාදීම නිසාය. අපි සියලුදෙනාම අද එයට වන්දි ගෙවමින් සිටිමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon