ගලහ උද්ඝෝෂණයේ ප්‍රතිඵලය

  👤  3352 readers have read this article !
2018-09-18

කුඩා දරුවකු මිය යෑමේ සිද්ධියක් පාදක කර ගනිමින් ඇරැඹුණු නොසන්සුන්තාව නිසා ගලහ ප්‍රාදේශීය රෝහල වසා දැමුවේ පසුගියදාකය. මේ වන විට රෝහල වසා දමා දින 20ක් ගත වී ඇත. මෙහි ඇති විශේෂත්වය වනුයේ රෝහල වට කර දරුවාගේ මරණයට විරෝධය පාමින් අවට ගම්වාසීන් රෝහල් සේවකයන්ට හා වෛද්‍යවරයාට පිටතට එන්නට නොදී අපූරු උද්ඝෝෂණයක් කළ ආකාරයටම එම රෝහල විවෘත කර දෙන්නැයි ඉල්ලා සිටීමය.

වරෙක එක් හේතුවකුත් තවත් වරෙක තවත් හේතුවකුත් නිසා රෝහල් වසන්නටත්, යළි විවෘත කරන්නටත් වන තරමට රටක් පත්වී නම් එය එක්තරා විධියක නරක තත්ත්වයකි. දරුවා මිය යෑම වඩාත් හැඟීම්බර එක් සිදුවීමක් විය හැකිය. එහෙත් යම් වරදක් වී නම් ඊට සාධාරණ විසඳුමක් හා ප්‍රතිචාරයක් පතා කටයුතු කරන ක්‍රමවේද පිටුදැක නීතියට පිටින් යෑමද අනතුරුදායකය. මෙම තත්ත්වය නිසා ගලහ ග්‍රාමීය රෝහලෙන් එතෙක් සේවය පතා පැමිණි ගම්වැසියන් 30,000ක් පමණ දැඩි අපහසුතාවට පත්වීම නොසලකා සිටිය නොහැක්කකි.

රෝහලක් වසා දමන්නට හේතු වනවා යනු එය ප්‍රදේශවාසීන්ගේ පාර්ශ්වයෙන් ගත්තද නරක තත්ත්වයකි.

උද්ඝෝෂණයට ප්‍රදේශයේ නායක හිමිවරුන් ඇතුළු විහාරාධිපතීන් වහන්සේද, පූජකතුමන්ලාද, සිංහල, දෙමළ, මුස්ලිම් දහසක පමණ පිරිසක්ද සහභාගි වී ඇත. මහනුවර - දෙල්තොට මාර්ගයේ ගලහ ඉන්ධන පිරවුම්හල අසලින් අවහිර කොට බිම වාඩි වී උද්ඝෝෂණයෙහි නිරත වූ ගම්වාසීහු කි.මී. 2කට ආසන්නව පිහිටි ප්‍රාදේශීය රෝහල වෙත පා ගමනින් ගොස් විරෝධතාවෙහි නිරත වූහ.

මීට ඉහත සිදුවීමේදී දරුවා මිය ගියේ රෝහලේ වරදින් බවට කියමින් කුපිත වූ දහසක් පමණ දෙනා රෝහල වෙත පැමිණ වෛද්‍යවරුන්ට හා රෝහලට පහර දී දැඩි අලාභ හානි කළහ. අවසානයේ රෝහල වසා දැමුණු අතර වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය වෙනත් ස්ථාන වෙත අනුයුක්ත කෙරිණි. මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකාව යළි රෝහල විවෘත කරන්නට උත්සාහ කළද සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු වෛද්‍ය සංගමය වෛද්‍යවරුන් එම රෝහලට යනවාට විරුද්ධ විය. මේ වන විට සැකකරුවන් 7ක් අල්ලා ඇති අතර 27 දෙනකු හඳුනාගෙන ඇත.

මෙය බරපතළ ගැටලුවකි. හඬක් නැඟීම හෝ උද්ඝෝෂණයේ නිරත වීම අයිතියක් වුවද එය ප්‍රචණ්ඩත්වය දක්වා ඇදී යෑම කනගාටුවට කරුණකි. රෝහල වැසීමෙන් පාඩුව සිදුවූයේ ඒ අවට ගම්වාසීන්ටය. මේ නිසා රෝහලේ බෙහෙත් ද්‍රව්‍ය හා සෙසු දෑ කල් ඉකුත් වීමත්, රෝහලට වූ හානියටත් වක්‍ර ලෙස දඬුවම් ලබන්නට වන්නේද ජනතාවටය. එහිදී උද්ඝෝෂණයේ යෙදුණු අයගෙන්ද නොදැනීම අයකර ගැනෙන වක්‍ර බදුවලින් එකතු කරගත් ධනය මේ සඳහා යළි ප්‍රතිෂ්ඨාපනය කෙරෙන කාරියේදී වැය වන්නේය.

යම් ගැටලුවක් ඇතිවූ සැණින් මෙලෙස උද්ඝෝෂණය කිරීමත් ඒ නිසා තමන්ට වන අපහසුතාව නිසා යළි යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලා හඬ නැඟීමත් යන දෙයාකාරයෙන්ම රජයක් හිර කිරීමත් නිසා දෙපාර්ශ්වයම අසරණ වන්නේය, පීඩාවට පත්වන්නේය.

ආණ්ඩුවද තම සීමාවන් දැනගෙන නිසි පරිදි ගැටලුවක් නිරාකරණය කර විසඳුම් ලබා දීමේ යහපත් ක්‍රමවේදයන් වෙත වහා යොමුවිය යුතුය. සෞඛ්‍ය බලධාරීන් එක් පසෙකත්, ගම්වැසියන් තවත් පසෙකත්, රෝහල් කාර්ය මණ්ඩලය තවත් පසෙකත් මේ විපත වන තැනට කටයුතු කර ඉන් දුක් විඳීම ඉවසාගත නොහැකි තවත් පිරිසකුත් යන සියලු දෙනාම රටට කරන්නේ විපතකි. ජන සමාජයට කරන්නේ විපතකි.
එබැවින් ගැටලු ඇති වුවත් එය සිහිනුවණින් වටහාගෙන කඩිනමින් විසඳන තැනට සමාජය ගත යුතුය. රට ගත යුතුය. එහෙත් නොවන්නේද එයමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon