බරපතළ ඉලක්කයක්

  👤  4284 readers have read this article !
2018-09-14

මහින්ද නාමල්ව පෙරට දමාගෙන කොළඹට මහ සෙනඟක් කැඳවන ආරංචියෙන්ම මහත් කලබලයට පත්ව සිටි එජාපයේ ඇතැම් ප්‍රබලයන් රනිල්ට විටින් විට කිට්ටු කරමින් කීවේ.

'එනපොට හොඳ නෑ. සර්. රටේ තත්ත්වෙත් එක්ක මේ උද්ඝෝෂණය තීරණාත්මක එකක් වෙන පාටයි. පුළුවන් තරම් වැඩේ ෂේප් කර ගත්තොත් නේද හොඳ' කියලාය. රනිල් ඒ හැම කෙනාටම උත්තරයක් දෙන්න ගියේ නැත. ඔහුගේ මුවග තිබුණේම අමුතු සිනහවක්ය.

'මොනවද මේ මනුස්සයා කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකාබද්ධෙ එව්වො අරලියගහ මන්දිරේ ඉස්සරහ ගේට්ටුව වට කරලා ඇතුළට පනින්න හැදුවොත් අනවශ්‍ය ගැටුමක් ඇති වෙනවා. ඒ කලබලය මැද්දෙ කාටහරි බරපතළ තුවාල වුණොත්, මැරුණොත් ඒ මළ මිනිය කරේ තියාගෙන ඒකාබද්ධෙ අය රට වටේ දුවාවි. ඒ නිසා අරලියගහ මන්දිරේ විතරක් නෙවෙයි ජනාධිපතිතුමාගෙ නිල නිවාසය වටෙත් පිරෙන්න පුළුවන්. ජනාධිපතිතුමාගෙ ගෙදර වටලන්න පුළුවන්. ඒ විතරක් නෙවේ මොනවා හරි දෙයක් කරලා යූඑන්පීය පිට පටවන්නත් පුළුවන්. ජනාධිපතිතුමාත් එක්ක අපේ විරසකයක් හදන්නත් පුළුවන්. තත්ත්වය අවදානම්."

මේ විදියට විවිධ ක්‍ෂේත්‍රවල එජාප ප්‍රබලයන් කරුණු පෙන්වා දෙද්දී රනිල් හීන් සීරුවෙන් තමන් කළ යුතු දේ රහසේම සිදුකරමින් සිටියේය.

'සමහරු සිතාගෙන ඉන්නවා රනිල් මේ වැඩෙත් අනාගනී. ඒ නිසා එහෙම වෙන්න දීලා ෂේප් වෙමු' ය කියා තැන තැන කතාබහ කළ එජාපයේ සගයන්ද බලා සිටියේ උද්ඝෝෂණය දා 'මොනවා හරි වේවි' කියලාය.

"පොලිසිය පාරේ හිටියාම ඒක ගාණක් නෑ. ඒ වුණාට හමුදාව, එස්.ටී.එෆ්. එක පේන්න දැම්මම උද්ඝෝෂකයන්ට ගැටෙන්න හිතෙනවා. ඒ නිසා කරන ආරක්ෂාවක් මොළේ කල්පනා කරලා නොකෙරුවොත් වැඩේ බරපතළ වෙයි."

හමුදාව හෝ එස්.ටී.එෆ්. එක සමඟ උද්ඝෝෂකයන් ගැටෙන්න ගියහොත් විපතක් වෙන්නට ඉඩ ඇති බව සිතූ ඇතැමුන් එයින් බියට පත්ව කතා කළෙත් එහෙමය. රනිල් ඒවාද අසාගෙන උන්නේය. කතා කළේ අඩුවෙනි.
මේ අතර උද්ඝෝෂණය පිළිබඳව ඇතැම් මාධ්‍ය එක් දින ක්‍රිකට් තරගයක තොරතුරු කියා පාන ආකාරයෙන් බේ්‍රකිං නිවුස් දෙන තරමටම පල්ලම් බැහැලා සිටිද්දී රජයේ මාධ්‍ය නිහඬ බවක් ගත්තේය.

බේ්‍රකිං නිවුස් කියන්නට සැදී පැහැදී සිටි ඇතැම් විද්‍යුත් මාධ්‍ය කිහිපයකටම මුවෙක් එළාගන්න බැරි තරම් වූ අසරණ දඩයක්කාරයාගේ චරිතයට අඳින්නට සිදු වී, දහවල් වනතුරුම ආණ්ඩුවට එරෙහි පුවතක් මවන්නට බැරිව තිබුණේය. කෙසේ හෝ උද්ඝෝෂකයන් පැමිණෙන්නට තිබුණු බස් රථයකට කවුරුන් හෝ ගල් ගසා තිබුණු පුවත පුන පුනා ප්‍රචාරය කරමින් තිබිණ.

'මොනවාවත් වුණේ නෑනෙ. මොනවාවත් වෙන පාටකුත් පේන්න නැහැනේ' යන්න කාගෙ කාගේත් මුවග මැතිරෙන තාලෙට සවස් යාමය තෙක් කාලය ගත වී ගියේය. උද්ඝෝෂකයෝ රට පුරා තැනින් තැන සිට කොළඹට රැස්වෙමින් සිටියහ. බේ්‍රකිං නිවුස් මඟින් ඒ බව පුන පුනා කියැවිණි. රනිල්ටත් එජාපයේ ප්‍රබලයන්ටත් මේ තොරතුරු විටින් විට ඔවුන්ට මූලාශ්‍ර සැපයූ බුද්ධි අංශ හරහා ලැබෙමින් තිබිණ.
කෙසේ වෙතත් රනිල් සහ ඔහු වටා සිටිය වුන් සිතූ පරිදිම ඒකාබද්ධ විපක්ෂයේ පිරිස කුපිත වන ආකාරයේ කිසිවක් සිදු නොවූයේ පොලිසියත් බුද්ධි අංශත් සීරුවෙන් සිටි නිසාවෙනි.
උද්ඝෝෂණය පිළිබඳ කුමන පදනම මත වුවද රනිල් සියලු තොරතුරු දැන කියාගෙන පසුදාට යෙදෙන එජාප 72 වැනි සංවත්සරයට අවශ්‍ය කටයුතු සංවිධානය කරවූයේ රටේ කිසිවක් සිදු නොවූ ගාණටය.
ඒකාබද්ධයේ පාර්ශ්වයේ අදහස්වලට අනුව එය ඔවුන්ගේ සාර්ථකම උද්ඝෝෂණය. ඒ මතය දක්වන්නට චිත්‍රපට ජවනිකා මෙන් උද්ඝෝෂණයේ තොරතුරු කියාපාන්නට සැදී පැහැදී තිබුණේය. එජාපය මෙම තත්ත්වය හොඳින් අවබෝධ කොටගත් බවක් පෙනිණි.

රනිල් උද්ඝෝෂණයේ සියලු තොරතුරු හරි හැටි දැනගෙන එජාප 72 සම්මේලනයේදී යම් ඉඟියක් ලබා දෙන කතාවක් කරන්නට ඉඩ තිබෙන බවට එජාප ප්‍රබලයන් අතර කතාබහක් ඇති වන්නට වූයේ කුතුහලයක් එක් කරමිනි.
'නායකතුමා ඒකාබද්ධ උද්ඝෝෂණය ගැන හොඳ කතාවක් කරාවි. හොඳට දේවි.'

මේ ඇතැමුන් කතා කළ විදියය. තවත් සමහරුන් කීවේ,
'ලොක්කා ඒවාට වඩා වෙන දෙයක් කියන්න ඉඩ තියෙනවා. ඒක වැදගත් දෙයක් වෙන්නත් පුළුවන්' කියලාය.

'ජනාධිපතිවරණය ගැන මොනවා හරි කියන්න පුළුවන්. ඒක හොඳ සිග්නල් එකක්' කියා කතාබහ කළ අයද සිටියහ.

එහෙත් රනිල් උද්ඝෝෂණයට ගරහන්නටද නොගිහින් තමන්ට අවශ්‍යම දෙයක් කාට කාටත් තම නැණ පමණින් දැන කියාගෙන වටහා ගන්නට කියා පෑවේය.

'යහපාලන රජය බලයට එද්දී රටම තිබුණේ වල් වැදිලා. ශ්‍රී ලංකාව නමැති පුරන් කෙතේ සරු අස්වනු නෙළන යුගය උදාවෙලා.'

ඉතා දුෂ්කරම කාල වකවානුව පසු කරමින් දැන් උදා වී තිබෙන්නේ ජනතාවට සහන හා ආර්ථික ප්‍රතිලාභ උදා කර දෙන කාලය බව ඉන් ධ්වනිත කළේය. ජන බලයට බැට නොදී රනිල් එය තමන්ට ඕනෑ හැටියට දැක්වූයේ මෙසේය.
'මට දුරකථන ඇමැතුමක් ලැබුණා. ජනබලය රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන නිසා අපේ සංවත්සර උත්සවය නැවැත්විය යුතුයි කියලා. මම ඇහුවා ඇයි නවත්වන්නේ කියලා. පොහොට්ටුව කොළඹ වට කර බලය ගන්නා බව මාධ්‍යයෙන් කියනවා. ජනතාව බියට පත්වෙලා. පොහොට්ටුව බලය අල්ලා ගත්තොත් අනාථ වෙන බවත් කිව්වා. අපි අපේ සංවත්සරය පැවැත්විය යුතුයි. ඔවුන්ට ඒ උද්ඝෝෂණය තියන්න ඉඩ අරිමු කියා කිව්වා.'
උද්ඝෝෂණයේ බරපතළ බව සිතට නොගෙන, ඇඟට නොගෙන තම කණ්ඩායම බලවත් කළ යුතු යැයි රනිල් සිතුවා වන්නට පුළුවන. එහිදී රනිල් පැහැදිලිවම දැක්වූ වැදගත් දෙයක් ඇත. එනම්,
'සැප්තැම්බර් 5දා ඓතිහාසික කටයුත්ත තමයි පළමු වතාවට නිවාස යෝජනා ක්‍රම 138ක් අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කිරීමයි. අප පක්ෂය නිර්මාණය කරන්නේ ජය ගත්තොත් ආණ්ඩුවක් හදා රට ගොඩගැනීමටයි. පරාජයට පත් වුණොත් විපක්ෂයට ගිහින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටයි.

ඩී.එස්. සේනානායක මහතා කිව්වෙත් එයයි. ගතවූ වසර 72ක කාලය තුළ මේ දෙකම එජාපය විසින් ආරක්ෂා කළ බව කිව යුතුයි.'
ජයග්‍රහණය ලබන්නට තමන් හා තම කණ්ඩායම කටයුතු කරමින් සිටින බවත් එය කොතරම් ජනහිතවාදී ද යන්න තේරුම්ගත යුතු බවත් රනිල් නොකියා කීවේය. ප්‍රථම වතාවට පක්ෂ සංවත්සර උත්සවයකදී සජිත්ව අගයමින්, රනිල් සජිත්ව ඔසවා තැබුවේය.
සංවත්සරයට පැමිණි කවුරුත් මෙය කතාබහට ලක් කළෝය. මේ වෙනස බලා සිටියෝය. මහින්දගේ හැසිරීමත්, මහින්දත් හොඳින් දන්නා රනිල් ඒ හිතමිතුරුකම් එසේම සඟවා තබාගෙන රටට කීවේ එජාපය මේ බාධක මැඬගෙන නැඟී සිටින බවක්ය.
'තවමත් පේන තෙක් මානයක පැහැදිලි ජයක් නොතිබුණත් නායකයකුට පුළුවන් තමන්ට අසීරුම තැනට යන්නට, තමන්ගේ සහායක බල ඇණියේ මොරාල් එක නග්ගන්න. රනිල් දැන් කරන්නේ ඒකාබද්ධයේ බලයට වඩා වැඩි බලයකින් තම බල ඇණිය ඔසවා තබන්නයි. ඒ අයට හිතට දිරි දෙන්නයි.'

රනිල්ගේ කතාව සීරුවෙන් අසා උන් ප්‍රබලයෙක් රනිල් ගැන හොඳින් දන්නා නිසා එසේ කීවේ නිකමටම නොවේය.

රනිල්ගේ ඉලක්කයත් බලාපොරොත්තුවත් එජාපයට බලය ලබාගෙන ශක්තිමත්ව නැඟී සිටිය හැකි ආරම්භයක් කලකට පසුව හෝ ලබා ගන්නටය. ඔහු එම සංවත්සර උත්සවයේදී කී වැදගත්ම දෙයක් මෙසේය.

'සියලු දේ එකවර කරන්න පුළුවන් නම් මමත් කැමැතියි. නමුත් එහෙම කරන්න බැහැ. මුලින්ම ස්ථාවරභාවය ලබාගෙන හවුල් ආණ්ඩුව විදියට ඉදිරියට යා යුතුයි. මේ යන ගමනේදී ජාතික ආණ්ඩුවේ හිටපු පිරිසකුත් මට විශ්වාසභංගයක් ගෙනවා. ඒ අය පසුව ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගියා. මේ ප්‍රශ්න සියල්ලටම මුහුණ දෙමින් මම ඉදිරියට යනවා. ඒ ගමන අපි සාර්ථකව අවසන් කරනවා.

ලබන වාරයෙත් අපි දිනනවා. 2025 වන විට දියුණු රටක් නිර්මාණය කර 2030න් ද ඉදිරියට යන සැලැසුම් දැන් සකස් කර අවසානයි. දැන් අපේ පක්ෂය අලුතෙන් හදමු. ගමට නගරයට යා යුතුයි. පක්ෂයේ ඊළඟ නායක පරපුර දැන් ගොඩනඟමින් සිටිනවා. මේ වැඩකටයුත්ත ඉදිරියට ගෙනයෑම සඳහා ඒ අයට භාර දෙනවා. 2030 පිළිබඳව ඔවුන් සිතිය යුතුයි. මා 2025 වන තුරු සිතන්නම්. ඔබ දීර්ඝ කාලීන ගමනක් යා යුතුයි. හොඳම කාලය වගේම නරක කාලයකුත් එනවා. ටිකක් බැනුම් ඇහුවාට කමක් නෑ. අපි ඉදිරියට යමු.'

රනිල් සැලැසුම් කරන්නේ 2030 ඉලක්කයක් සහිතවය. ඔහු 2025 වන තුරු සිටින ඉඟියක්ද එහිදී දුන්නේය. ඉන් පසු 2030 දක්වාද ඔහුම විය යුතුය. 2030 පසු සජිත් හෝ නවීන් හෝ වෙනයම් කෙනකු පක්ෂය භාරගෙන, නායකත්වය භාරගෙන ඊළඟ දශකයට මුහුණ දෙන බවට ඉලක්කයක් දී ඇත්තේය.

එසේ නම් ඒකාබද්ධයේ උද්ඝෝෂණය දා එජාප ප්‍රබලයන් එහෙන් මෙහෙන් තොරතුරු ලැබී තැන තැන කතා වුණේ රනිල්ගේ මේ ඉඟියද මේ ඍජු ප්‍රකාශයද යන්න දැන් පැහැදිලිය. එසේ නම් සජිත්ලා, නවීන්ලා රනිල්ට ඒ ගමනට තල්ලුව නොදුන්නොත් ඒ අයද පසෙකට තල්ලු වී ගොස් වෙනත් නායකයන් ඉදිරියට එනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon