ඉන්දියාව-උතුර සහ අපි

  👤  2873 readers have read this article !
2018-09-14

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී. එරට අගමැතිවරයා පමණක් නොව විපක්‍ෂයේ නායකයන්ද හමුවී හෙතෙම සාකච්ඡා කර ඇත. නවදිල්ලි නුවරදී රාජපක්‍ෂ මහතා විශේෂ සමුළුවක් අමතා වැදගත් දේශනයක් කර තිබිණි. එහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ තෙවැනි ඊළාම් යුද්ධයේදී ඉන්දියාව දුන් සහාය අතිශය අගය කරන බවත් ඉන්දියාව ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ බලකණුවක් බවත්ය.

සිය ඉදිරි දර්ශනය ඉන්දියාව මත පදනම්ව ගොඩනැඟෙන බවත් නව ව්‍යවස්ථාවක් ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන උනන්දුවන බවත් රාජපක්‍ෂ මහතාගේ දේශනයේ සඳහන් විය.

කාරණය අනෙකකි.

හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට පෙර කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාව බලා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ගොස් තිබිණි. ඒ පිරිස ඉන්දීය අගමැතිවරයා හමුවූ අවස්ථාවේ විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් කළ ඉල්ලීම මෙරට මාධ්‍යවල කතාබහට ලක්විය. එහිදී හෙතෙම කියා තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසය.

ලංකාව නියෝජනය කරමින් පිටරටකට ගොස් එරට රාජ්‍ය නායකයාගෙන් සිය රටේ රජයට බලපෑම් කරන්නැයි ඉල්ලීම සුදුසු නැත. එහෙත් මෙහිදී අපේ අවධානය යොමු කළ යුත්තේ ලංකාවේ විපක්‍ෂ නායකවරයාට එවැනි ඉල්ලීමක් කිරීමට සිදුවූ පසුබිම ගැනය. සම්පන්දන් මහතා එහිදී අවධාරණය කර ඇති අනෙක් කාරණය වන්නේ උතුර - නැඟෙනහිරට දේශපාලන විසඳුමක් ලබා නොදුනහොත් යළි අන්තවාදී බලවේග හිස එසවීමට ඉඩකඩ ඇති බවය. එය පැහැදිලි සත්‍යයකි.

හිටපු ජනාධිපතිවරයා සිය දේශනයේදී මේ යථාර්ථය අනාවරණය කර ඇත. ඉන්දියාවේ සහාය නොලැබෙන්නට යුද්ධය ජය ගැනීම අසීරු විය හැකිව තිබුණු බව හෙතෙම කියා තිබිණි. දේශපාලන වේදිකාවල කුමක් පැවසුවද ඉන්දියාව හා තමිල්නාඩු සාධකය පසෙකලා කිසිවක් ලංකාවට කළ නොහැකි බව පැහැදිලිය. තමිල්නාඩුව හා මුස්ලිම් නායකයන් සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සැලසුම් කරන බව හිටපු ජනාධිපතිවරයා කියා ඇත්තේ එනිසාය.

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් දෙමළ අන්තවාදයේ ප්‍රකාශකයා ලෙසින් මතුවන බවක් පෙනේ. ඔහු දෙමළ අන්තවාදීන්ගේ විකල්ප නායකයා වීමට ඇති ඉඩකඩ වැඩිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පොදු නීතිය පවා උල්ලංඝනය කරන තත්ත්වයට උතුරේ මහ ඇමැති පත්ව ඇත. මේ පිළිබඳව සියලු ජාතීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ගැඹුරෙන් සිතිය යුතුය. හිටපු ජනාධිපතිවරයා මෙන්ම විපක්‍ෂ නායකවරයා එවැනි ආකල්පයක සිටින බව පෙනෙන්නට තිබේ. එය සුබ ලකුණකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon