සුමන්තිරන් ෂයිලොක්ද?

  👤  3167 readers have read this article !
2018-09-13

"ඉදිරි මාසය ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත පාර්ලිමේන්තුවට ගේනවා" පසුගිය සිකුරාදා ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී කිව්වේ එහෙම ය. යහපාලන ආණ්ඩුව පත් වූ දා සිට මෛත්‍රි-රනිල් තටමන, යහපාලන ආණ්ඩුව පත් වූ දා සිට දෙමළ ජාතික සන්ධානය ඉල්ලන, යහපාලන ආණ්ඩුව පත් වූ දා සිට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වන එක දෙයක් තිබේ... ඒ මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතා සුමන්තිරන් මෙසේ කීවේය. "සංඛ්‍යාත්මකව බහුතර බලය හැම විටම ප්‍රජාතන්ත්‍රවාදී දැයි ප්‍රශ්න තියෙනවා. එවැනි අවස්ථාවලදී බහුතර බලය සුළුතරය යටපත් කරනවා. මේ නිසා ආණ්ඩු බලය බෙදාහැරිය යුතුයි. බහුතර බලයෙන් සුළුතර මතය යටපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය කියල පිළිගැනීමට නොහැකියි. ඒ නිසා බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක වන ක්‍රමවේදය මේ රටට සුදුසු නැහැ. ඒ නිසා මේ රටට ගැළපෙන්නෙ ආණ්ඩු බලය හුවමාරු කර ගැනීමේ ක්‍රමයයි. ඒකට ෆෙඩරල් කියල කියන්නත් පුළුවන්. ෆෙඩරල් ක්‍රමය මුලින්ම මේ රටට සුදුසුයි කියල 1926දී කිව්වෙ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක. මේ ක්‍රමය මුලින්ම මේ රටට හඳුන්වා දුන්නෙ දෙමළ ජාතිකයා නෙමෙයි.

ඩොනමෝර් හා සෝල්බරි ආණ්ඩුක්‍රම ක්‍රියාත්මක වන කාලයේ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියේ යාපනයේ හෝ උතුර නැඟෙනහිර දේශපාලන නායකයො නෙමෙයි, කන්ද උඩරට දේශපාලන නායකයොයි. මේ රටට ෆෙඩරල් ක්‍රමය සුදුසුයි කියල 1944දී ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් ලෙස කොමියුනිස්ට් පක්ෂය පිළිගත්තා. ඒ කාලයේදී දෙමළ දේශපාලන නායකයො ඒක පිළිගත්තෙ නැහැ.

1949දී කන්ද උඩරට දෙමළ ජනතාවගේ පුරවැසිභාවය නැති කළාට පසු දෙමළ දේශපාලන නායකයො, බහුතරයේ මතය ප්‍රජාතන්ත්‍රවාදී නැතැයි පිළිගත්තා. රටක් ලෙස දෙමළ ජනයා සුළුතරයක් වුණත් උතුර නැඟෙනහිර බහුතර බලයක් තිබෙනවා. ආණ්ඩු බලය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා නම් එහිදී අපට අවශ්‍ය තීරණය ගත හැකියි.

දැනට තිබෙන පළාත් සභා ක්‍රමය තුළ අර්ථවත් ලෙස බලය බෙදා හැරීමක් සිදු වෙන්නෙ නැහැ. ආණ්ඩුකාරවරයා විසින් ජනතා බලයෙන් පත්වූ නියෝජිතයන්ට බලය දෙන්නෙ නැහැ.
ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වෙලා ඉන්න මේ අවස්ථාවේදී අපිත් අපේ එකඟතාව දෙන්න පුළුවන් කියන මොහොතක අවසාන වශයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුයි කියන මතයේ අපි සියලු දෙනාම ඉන්නවා.

රටක් ලෙස ඉදිරියට යෑමට හැකි එසේ කළොත් පමණයි. දැනට දෙමළ ජනතාව කැමැත්ත ප්‍රකාශ කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රටේ නැහැ. එම නිසා දැන් අපේ ජනතාව මේ සඳහා සූදානම්. එක රටක ජීවත්වීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කැමැතියි. මේක වැදගත් අවස්ථාවක්. මෙයින් පස්සෙ මේ වගේ අවස්ථාවක් ලැබෙයිද කියන්නත් බැහැ. ඒ නිසා ආණ්ඩු බලය හුවමාරු කර ගන්නා ක්‍රමයක් ඇති කළ යුතුයි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී අපේ සහාය දී තිබෙනවා. ඒක සාර්ථක කරගත්තොත් මේ රටේ දශක ගණනක් තිබුණ වාර්ගික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීමට හැකි වෙනවා."

සුමන්තිරන් පසුගිය දවස් ටිකේ දකුණේ ඇවිදමින් කියන්නේ ඔය ටිකය.

සුමන්තිරන් ෂයිලොක් ද? ඉල්ලන්නේ මස් රාත්තල ද? කියා කියන්නට දැන්ම කල් වැඩිය. මේ ෆෙඩරල් ප්‍රශ්නය ලංකාවට නිදහස ලැබෙන්නටත් පෙර සිටම උඩුදුවා තිබූ ප්‍රශ්නයක් ය. ඉතිහාසයේ සිටම බලය බෙදීම හොඳයි කියන හැම දේශපාලනඥයෙක්ම අත පුච්චාගෙන පිටිපස්සට වුණේ ය. 1954දී සර් ජෝන් උතුරේදී කළ ප්‍රකාශයක් නිසා සිදුවූ කලබගෑනිය හොඳ උදාහරණයක් ය. "සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරනවා. ඒකට ඕන ව්‍යවස්ථා සංශෝධන මම ඉදිරිපත් කරනවා" සර් ජෝන් උතුරේ දෙමළ ජනතාවට පොරොන්දු වුණේ ය. ඒ වචන ටික මුළු රටම ගිනි තියන්නට සමත් වුණේ ය.

විරෝධතා රැල්ලක් පැතිර ගියේ ය. ඒත් සර් ජෝන් එම විරෝධය සත පහකට ගණන් ගත්තේ නැත. යථාර්ථය තේරුම් ගන්න සර් ජෝන්ට අවුරුද්දක් ගියේ ය. එතකොට ප්‍රමාද වැඩි ය. සිංහල බෞද්ධ බහුතර ඡන්ද දායකයා බණ්ඩාරනායකගේ රාජ්‍ය භාෂා ගැටයට හසු වී හමාර ය.

1956 පෙරළියට බණ්ඩාරනායකට ශක්තිය දුන් පොඩිඅප්පුහාමි රාජරත්න 1960 රාජාසන කතාව විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් කළේ ය. එය මෙසේ ය.

"රාජාසන කතාවේ සඳහන් ප්‍රතිපත්ති මාලාවේ වැඩි කොටසක් මෑතකදී පවත්වන ලද මැතිවරණයේදී මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට දෙන ලද ප්‍රතිඥාවන් පාවාදීමක් වේ.

ඉහත කී ප්‍රතිපත්ති නිසා උතුරු හා නැඟෙනහිර පළාත්වල ද්‍රවිඩ ෆෙඩරල් රාජ්‍යයක් ප්‍රතිෂ්ඨාපනය වනවා පමණක් නොව මුළු උඩරට ප්‍රදේශයෙහිද මීගමුව, පුත්තලම, බොරැල්ල, රත්මලාන, අලුත්ගම, හම්බන්තොට යන නොයකුත් ප්‍රදේශවල හා නගරවලද ජීවත් වන සිංහල ජනතාව ෆෙඩරල් ද්‍රවිඩයන්ගේ හා මෙරට සිටින දකුණු ඉන්දියානු කුලීකරුවන්ගේ වහලුන් හැටියට පත්වන බවද මදුරාසි නගරයේ සිට පේදුරුතුඩුව හා දෙවුන්දරතුඩුව දක්වා ඒකාබද්ධ රාජ්‍යයකට පරිවර්තනය වීම වෙන බවද රාජාසන කතාවේ සඳහන් කර තිබෙන කාරණා රාශියක් නිසා පහත සඳහන් අයුරින් මේ රජය කෙරෙහි ජනතාව තබන ලද විශ්වාසය මේ රජය විසින්ම පාවා දී තිබෙන බව කිව යුතුය.
1. මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ මූලික අයිතිවාසිකම්වල පදනම වන 1815 උඩරට ගිවිසුම ආණ්ඩුක්‍රම පනත වෙනස් කරන විට ආණ්ඩුක්‍රම පනතේ අන්තර්ගත කරන බවට කිසිදු සඳහනක් නොකිරීම.
2. 1958 නොම්මර 28 දරන දෙමළ පනත ක්‍රියාත්මක කිරීමේ තීරණ 1956 නොම්මර 33 දරන රාජ්‍ය භාෂා පනත අහෝසි කිරීම. තෙවැනි ශේ්‍රණි ආධාර පාසල් පමණක් රජයට ගැනීමේ තීරණයෙන් ආගමික ආයතනවලට පෞද්ගලික පාසල් හා අභ්‍යාස විදුහල් පවත්වාගෙන යෑමට දෙන ලද වරප්‍රසාද ජාතික අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවීමට ඉවහල් නොවීම.

3. විදේශිකයන් සතු වන හා වෙනත් වාණිජ ව්‍යාපාරවල් ජනසතු නොකිරීමට ගත් තීරණ දිවංගත ගරු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති සම්පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කිරීමක් වේ.
1960 මැතිවරණ වේදිකාවේ රහස් ගිවිසුමක් ගැන කතා වුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ෆෙඩරල් පක්ෂයත් අතර එකඟ වූ මේ ගිවිසුම ගැන සඳහන් වූයේ මෙසේය.
1. මේ රටේ රාජ්‍ය භාෂාවක් හැටියට දෙමළ භාෂාව පිළිගැනීම.
2. රට සභා ඇති කිරීම.
3. උතුරු නැඟෙනහිර පළාත්වල පිහිටි ගොවි ජනපදවල පදිංචියට සිංහලයන් නොයැවීම. මේ රටේ ඉන්දියානු කුලීකරුවන් වෙනුවෙන් තොණ්ඩමන් මහතා සහ අසීස් මහතා පත් කරන ලද මන්ත්‍රින් හැටියට පාර්ලිමේන්තුවට පත් කිරීම"
ඇවිළෙන ගින්නට 1960දී රාජරත්නම්ලා පිදුරු දැම්මේ එහෙම ය.

දෙමළ නායකයන් ලංකාවේ දේශපාලකයන්ට හරියට බල්ලට අහු වුණු රබර් බෝලයක් ගානය. හිතුණ වෙලාවට සෙල්ලමට අරන් අනෙක් වෙලාවට පැත්තකින් තියන්නේ ය. ඉතිහාසයේ ඉඳන්ම එහෙමය.

මොන යෝජනාවක් ගෙනාවත්, මොන සංශෝධනයක් ගෙනාවත් ලංකාවේ පාලකයෝ වැඩ කරන්නේ ඊළඟ ඡන්දේ දිනන්නේ කොහොමද? බහුතර ඡන්ද ටික රැකගන්නේ කොහොමද? සුළුතරය බැලන්ස් කරලා ජාමේ බේරගන්නේ කෙහොමද කියා ය. එක ඡන්දයක් ඉවර වෙලා අනෙක් ඡන්දේ එනකන් බොරුවට තටමන්නේ ය. සම්පන්දන්ලාට, සුමන්තිරන්ලාට දැන් මේ ටික නොතේරෙනවා නොවන්නට බැරි ය. සම්පන්දන්ලා දැන් ලෝක බලවතුන් ලවා ලංකාවට තර්ජනය කරවා හෝ පෙඩරල් ලබා ගන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. ප්‍රශ්නය තියෙන්නේ එතැන නොවේ ය. මේ ජනවාර්ගික කඹ ඇදිල්ල නිසා ආයෙත් ප්‍රභාකරන්ලා පැටව් ගහන දවස වැඩි අෑතක නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon