රහස් රැසක් සඟවාගත් යටාල වෙහෙරේ මෙතෙක් හෙළි නොවූ අභිරහසක්

  👤  3065 readers have read this article !
2018-09-09

 

අද අපේ අවධානයට බඳුන් වන යටාල වෙහෙර පුරාතන රෝහණ රාජධානියේ වංසකතාව ලියද්දී වැදගත් වන ඓතිහාසික පුදබිමකි. එය මුළු රෝහණ ඉතිහාසය සමඟම බැඳුණා යැයි කීවොත් නිවැරැදිය.

යටාල විහාරයට සම්බන්ධ පැරැණිතම ඓතිහාසික තොරතුරු දෙවනපෑතිස් සමයට අයත් වෙයි. මහාවංසය කියන පරිදි දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාගගේ ගැබ්බර දේවියත් සමඟ අනුරාධපුරයෙන් පලා එන අතරතුර දේවියට පුතකු ලැබී ඇත්තේ මෙම ස්ථානයේය.

එහෙත් යටාල විහාරය කවුරුන් විසින් ඉදිකරන ලද්දේ දැයි තවමත් නිශ්චිතව නිගමනයට එළැඹ නැත. එහෙත් පසුකාලීනව ලියැවුණු සද්ධර්මාවලියෙහි මෙන්ම රසවාහිනියෙහි දැක්වෙන්නේ යටාල විහාරය කාවන්තිස්ස රජතුමා විසින් ඉදිකරනු ලැබූ බවය. එහෙත් මෙය මහානාගගේ නිර්මාණයක් බව පාකර්ගේ අදහසය. ඇතැම් තැනක පාකර්ම මෙය යටාල තිස්සයන් ඉදිකළ බවට සැක කරයි. ඒ අනුව ඔහුගේ මතයද නිශ්චිත නැත.

එහෙත් යටාලතිස්ස කුමරු උපන්නේ මෙම ස්ථානයේ යැයි සඳහන් කරන කරුණ නිමිතිකොට ගෙන එය රුහුණෙන් පිටත වෙනත් ස්ථානයක විය හැකි බවටද මතයක් වෙයි. එය තහවුරු කරන්නට සී.ඩබ්ලිව්. නිකලස් කියන්නේ මහානාග රජු අනුරාධපුරයෙන් පලා එද්දී තම දේවියට පුතකු ලැබූ බව කියැවේ නම් එය නිසැක වශයෙන්ම රෝහණයෙන් පිටත වූ ස්ථානයක බවය. එය අනුමත කරමින් රුහුණ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කළ පී.ඒ. ටී. ගුණසිංහ කියා සිටින්නේ එය එසේ විය හැකි බවයි. මීට පාදක වී තිබෙන්නේ මහා වංසයේම පාඨයකි. එහි තිබෙන්නේ 'යටාල වෙහෙරදී පුතකු වැදූ පසු රෝහණයට ගියා' ය යන්නය. එහෙත් වර්තමාන යටාලය මාගම රාජධානියේ මාලිගයට කිලෝමීටර් 5ක් තරම් දුරකින් පිහිටා ඇත. මේ අනුව එක දෙයක් පැහැදිලිය. එනම් යටාලයත් රුහුණත් එකිනෙකට අෑතින් පිහිටි බවක් පෙන්වීමය.

මින් තවත් අදහසක් පැන නඟියි. දරුවකු ප්‍රසූත කරද්දී මේ වන විටත් එහි විහාරයක් තිබුණාද? එහෙත් නැතිනම් මහාවංසය ලියන කාලයේදී මෙහි විහාරයක් තිබුණු නිසා නිසැක වශයෙන්ම විහාරයක තතු දන්නා නිසා ඒ ගැන කීවාද යන්නය. කෙසේ වෙතත් යටාල විහාරයේ ඓතිහාසික වැදගත්කම ඊටත් වඩා වටින්නේය.

යටාල වෙහෙර ගැන ඓතිහාසික සත්‍ය මතු කරද්දී එහි තැන්පත් කර ඇති ධාතූන් වහන්සේ 'විශේෂිත ධාතුන් වහන්සේ' ද යන්නද සාකච්ඡාවට බඳුන් වී ඇත. යටාල වෙහෙර බිමෙන් සොයාගත් ශිලා ලේඛනයක තොරතුරු මෙසේය.

'ස්වස්ති, අඹා සලමෙවන් මපුර්මුතා තුන්වැන්නේ වෙසඟපුර දසවක් දවස් දෙනා අක් වෙහෙර නියම් දෙටු දළ නැමි.

දළදා දාගැබ ත්‍රය සස්ත්‍ර ප්‍රදාය බම්බ දෙයෙන් පවත්නා සන්ඳහා මා කරවූ නැවුම් මඩියෙහි නියම තන ද්‍රාවණය ද්‍රප්‍රදය දිනෙ.'

ලිපියෙහි අක්ෂර හා කාල වකවානුවට අනුව එය 10 වැනි ශතවර්ෂයට අයත් වෙයි. මෙහි එන 'අබාසලමෙවන්' ඍ දප්පුල හැටියට පරණවිතාන මහතා හඳුනාගෙන ඇත. එච්.සී.පී. බෙල් මහතා කියන්නේ අබා සලමෙවන් යනු ඍ කාශ්‍යප බවයි. මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන්ගේ අදහස නම් මොහු ධ්ධ්ධ් සේන රජු බවයි. කෙසේ වෙතත් කාල වකවානු නිවැරැදිය. මේ තිදෙනාම 10 ශත වර්ෂයට අයත් වූවෝ වෙති. ඇතැම් විට රජවරුන්ට යෙදූ විරුදය නාමයන් නිසා නිශ්චිතව හඳුනාගන්නට බැරි වන්නට පුළුවන.

ඒවාට අමතර නිවැරැදි සාක්ෂි සොයාගත යුතුය. මේ එවැනි තත්ත්වයකැයි සිතෙයි.
මෙය දළදා දාගැබැක් ලෙස දැක්වීමද විශේෂයකි. මෙම විහාරයද ජේතවන නිකායිකයන්ට අයත් වී තිබුණු නිසාත්, දළදාව වැඩමකොට බාර කෙරුණේ මහායාන පාර්ශ්වයනට නිසාත් ඒ සබැඳියාව නිසා මෙම දාගැබටද දළදාව හා බැඳුණු සිහිකිරීමක් උදෙසා සුවිශේෂී තත්ත්වයක් පළ කරන්නට ඇති බවය.

එසේම බුදුන්ගේ වම් යටි දළදාවක් නිදන් කොට කාවන්තිස්ස රජු විසින් ඉදිකරවන ලද මහා ස්තූපයක් පිළිබඳව විස්තරයක් කිරින්දේ තිබී සොයාගත් සෙල්ලිපියකද සඳහන් වේ.
'මේ අප ගොයුම් දසබුල් වම් යටි දළදා මහ තුම්බු කැරැ'

යන පාඨයෙන් එය පැහැදිලිය. ඒ අනුව කාවන්තිස්ස රජු භාරයේද දළදාවක් තිබී ඇත. එසේ නම් එකී සෙල්ලිපියෙහි කියැවෙන මහා ස්තූපය යටාල වෙහෙර විය හැකි බවටද මතයක් ඇත. වර්තමානයේ තිස්සමහාරාම දාගැබ ලෙස හඳුන්වන ස්තූපය කාවන්තිස්ස රජු විසින් කරපු ස්තූපය නොවේය යන මතයද තිබෙන බැවින් 'කිරින්දෙන් හමු වූ සෙල්ලිපියෙන් කියැවෙන දළදාව තැන්පත් කර ඉදි වූ ස්තූපය යටාලය වෙහෙර හෝ මැණික් වෙහෙර විය හැකිය. එසේ නම් තිස්සමහාරාම ථූපය වශයෙන් ගැනෙන, කාවන්තිස්ස රජු විසින් කළැයි කියන විහාරය මැණික් වෙහෙර හෝ යටාල වෙහෙර විය යුතුය.

මැණික් වෙහෙර සම්බන්ධ දියුණු පුරාවිද්‍යා ගවේෂණයක් තවමත් කර නැත. එහෙත් යටාල විහාර පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ කැණීම් රාශියක්ම කර ඇත. ඉපැරැණි සාධක රාශියක් මතුව ඇත. එබැවින් තවමත් යටාල වෙහෙරට සුවිශේෂී වටිනාකමක් තිබීම ගැන බැලිය යුතු දෙයකි.

හෙන්රි පාකර් තිස්සමහාරාම දාගැබ ඉදිකිරීමට යොදාගෙන ඇත්තේද එකම ගඩොල් විශේෂයක් බව නිගමනය කොට මේ ස්තූප දෙකම එකම කාලයේ ඉදිකරවා ඇති බව පවසයි. පාකර් තවත් ප්‍රබල මතයක් ඉදිරිපත් කරන්නේ යටාල දාගැබේත්, සඳගිරි දාගැබේත්, තිස්සමහාරාම දාගැබේත් ගඩොල පරීක්ෂා කිරීමෙනි. ඒවා එකම හැඩයක ප්‍රමාණයක අක්ෂර හා සංකේත සහිතව නිමා වී ඇති බව ඔහු දක්වා ඇත. ඒ අනුව එකම කාල වකවානුවක හෝ ඊට ආසන්න කාල පරාසයක මෙම ගඩොල් නිපද වී ඇත්නම් තිස්සමහාරාමය, යටාලය හා සඳගිරි දාගැබ්ද එකම කාල වකවානුවක ඉදිවූ බවට ප්‍රබල සාක්ෂියකි.

කෙසේ වෙතත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වූ ආචාර්ය ගෝල්ඩ්ස්මිත්, ආචාර්ය ඊ. මුලර් වැන්නවුන් අතින් අපරීක්ෂාකාරී අන්දමින් ගඩොල් ඉවත් කරන්නට යෑමෙන් යටාල දාගැබේ වටිනා තොරතුරු ඇතුළත් සාක්ෂි වැළලී ගොස් ඇති බවය. එහෙත් යටාල භූමියෙන් හමු වූ බොහෝ ගඩොල් අතර තිබූ අක්ෂර හා සටහන් අනුව මහානාග රජුගේ සමය වන විටත් ඉන්දියාවේ අශෝක යුගයේ ව්‍යාප්තව තිබුණු අක්ෂර හා සටහන් මාලාවක් රුහුණේ තිබුණු බවය.

යටාල දාගැබෙන් පිළිබිඹු කරන්නේ ලංකාවේ මුල්ම යුගයේ ස්තූප නිර්මාණයේ සැලැස්මය. ලක්ෂණය ක්‍රි. පූර්ව යුගයට අයත් මෙය තනි පේසාවකින් යුත් ඝටාකාර හැඩයෙන් යුක්තය.
මෙහි භූමියේ තිබී හමු වූ ඇති නටබුන්වලට අනුව මෙහි කොත් කැරැල්ල වෙනුවට ඡත්‍රයක් හෝ ඡත්‍රාවලියක් තිබෙන්නට ඇති බව පෙනේ. කෙසේ වෙතත් යටාල විහාරය ගැන මීට වඩා අවධානයකින් රෝහණ රාජ්‍යයේ ඓතිහාසික සත්‍ය සොයා ගැනීම උදෙසා පුරාවිද්‍යා ගවේෂණ සිදු කළ යුතුය.

එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon