මගේ රට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට නැවත පත් නොකරන්නැයි සමස්ත රටවාසීන්ගෙන් මා උණුසුම් හැඟීමෙන් ඉල්ලා සිටිනවා කොටි දියණිය නිරෝමි ඕස්ට්‍රේලියාවේ සිට 'මව්බිම'ට කතා කරයි

  👤  3471 readers have read this article !
2018-09-09

 

විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ වසර කිහිපයක් සටන් වැදුණු කොටි සෙබළියක වූ නිරෝමි ද සිල්වා විසින් ලියූ 'ඊචථඪත ඊඪඨපඥඵඵ' නමැති ග්‍රන්ථය 'කොටි තරුණියකගේ කතාව' නමින් අපි ඔබ වෙත ගෙන ආවෙමු. යුද්ධයේ ප්‍රතිවාදී පාර්ශ්වය ගැන ඉතා සංවේදීව සිංහල පාඨකයාට කියවන්න ලැබුණු වැදගත් අවස්ථාවක් ලෙස එය හැඳින්විය හැකිය. නිරෝමි අද සිඩ්නි නුවර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකි. සාම තානාපතිවරියක ලෙසද කටයුතු කරන්නීය.

යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් ජනතා හදවත් තුළ ඇති වූ තුවාල සුවපත් කිරීම උදෙසා ගත යුතු පියවර සම්බන්ධයෙන් අපි නිරෝමිට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළෙමු. මේ නිරෝමි ද සිල්වා ඊට ලබාදුන් පිළිතුරුය.

'මව්බිම' පුවත්පතෙන් ඔබේ කතාව ඉතා කැමැත්තෙන් කියවූ පාඨක ජනතාව ඔබ අද ගත කරන ජීවිතය ගැන කරුණු කාරණා දැනගන්නට දැඩි උනන්දුවකින් සිටිනවා. ඔබ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාර්යබහුල ජීවිතයක් ගත කරන බව අප අසා තිබෙනවා. ඔබ ගැන තවත් යමක් දැනගන්නට ඔවුන් කැමැතියි.

දරු දෙදෙනකුගේ ආදරණීය මවක් සහ සෙනෙහෙබර සැමියකුගේ දයාබර බිරියක් හැටියට මා ප්‍රීතිමත් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඒ අතරම අම්මා, තාත්තා, නංගී ඇතුළු පවුලේ අනෙක් හැම අයෙක්ම එකිනෙකාට ආදරය කරමින් සහ උපකාර කරමින් ජීවත් වෙනවා. මට මිතුරු මිතුරියන් රැසක්ද සිටිනවා.

රාජකාරියෙන් සහ පවුලෙන් පිටත විවිධ සමාජ සම්බන්ධතා බහුලයි. ඒ නිසා විවේකය අවමයි. නමුත් තවමත් මගේ ප්‍රියතම විනෝදාංශය කියවීම. විවේකයක් ලද විටක කියවනවා. මගේ බාල විය ගෙවී ගියේ ශ්‍රී ලංකාවේ උඩරට පළාතේ නිල් ගහ කොළ අතරමයි. ඒ නිසා වෙන්නැති මල් වවන්නටත් මම හරිම කැමැති.

ඔබේ අධ්‍යාපන පසුබිම ගැන කතා කළොත්,

ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලදී මා උසස් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා තිබෙනවා. තාක්ෂණය, විද්‍යාව හා නීතිය වැනි විවිධ විෂයයන් යටතේ උපාධි කිහිපයක්ම ලබා තිබෙනවා. දැනට අධ්‍යාපනවේදිනියක් ලෙස සේවය කරන අතරම තවදුරටත් ඉගෙන ගනිමින් සිටිනවා. ඉගෙනුමට වයස බලපානවා යැයි මම විශ්වාස කරන්නේ නැහැ.

ගමන් බිමන් යන්නටත්, රට රටවල සංචාරය කරන්නටත් මම බොහොම කැමැතියි. ඉක්මනින්ම ලංකාවට ඇවිත් යන්නට මම ආසාවෙන් ඉන්නේ.

වසර 26ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය පිළිබඳව ආපසු හැරී බලන විට ඔබට සිතෙන්නේ කුමක්ද?

ඒ අප්‍රසන්න කාල සීමාව දෙස හැරී බලන විට අප්‍රමාණ ශෝකයක් සහ දැඩි චිත්ත පීඩාවක් දැනෙනවා. සිංහල, දෙමළ දෙපාර්ශ්වයෙන්ම සිදු වූ ජීවිත හානි ගැන වගේම අපේ අලංකාර රටට සිදු වූ විනාශය ගැනත්. අනවශ්‍ය ලෙස බද්ධ වෛරයක් ගොඩනඟා ගනිමින් වසර ගණනාවක් පුරා මුළු රටම, සෑම රට වැසියෙක්ම ජීවිතය විඳෙව්වා. කාලයක් තිස්සේ පැවැති තුවාලයක් සුව වෙන්නට තවත් කාලයක් ගත වෙනවා. ශ්‍රී ලාංකිකවාසීන් සියලුම දෙනා එකිනෙකාටත්, එකාවන්ව රටටත් ආදරය කිරීමෙන් අපිට ඒ තුවාලය සුව කරගත හැකියි. අපේ රට ඉදිරියට ගෙන යා හැකියි.

එදා උතුරේ තරුණ තරුණියන් අවි අතට ගැනීම ගැන ඔබේ අදහස?

ත්‍රස්තවාදය බෝ කරනු ලබන්නේ ත්‍රස්තවාදය විසින්මයි. මිනිසුන් ත්‍රස්තවාදයට මුහුණ දෙන විට එකට එක කිරීමක් නැතහොත් පළිගැනීමක් හැටියට ආපසු ත්‍රස්තවාදයටම පෙලැඹෙනවා. එහෙත් අප කළ යුතුව ඇත්තේ අනෙකක්. අප දුෂ්කර අවස්ථාවලට මුහුණ දෙන විට බරපතළ ප්‍රශ්න හා ගැටලු විස¼දා ගත යුතුව ඇති විට දුක සැප බෙදා ගැනීමෙන් සහ තේරුම් ගැනීමෙන් ඒ දුෂ්කරතා ජය ගත යුතුයි. ප්‍රශ්න විස¼දා ගත යුතුයි.

ඔබ වැනි තරුණ තරුණියන් දහස් ගණනක් එදා කොටි සංවිධානයට සම්බන්ධ වුණා. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

එදා තරුණ ගැහැනු ළමයෙක් හැටියට මා දුටුවේ දෙමළ ජනතාවට අසාධාරණකම් සිදුවන හැටියක්. එකල යාපනයේ සිටි අප දුටුවේ බෝම්බ සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වෙන හැටි. සාමාන්‍ය අහිංසක ජනතාව ඒවායින් නිරපරාදේ මිය ගිය හැටි. ඒ අතර කොළඹ පදිංචිව සිටි අපේ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු බොහෝ දෙමළ ජනතාව යාපනයට සංක්‍රමණය වුණා. ඒ 1983 කළු ජූලියේ අනාථයන් විදියට. අසාධාරණයට විරුද්ධව සටන් කරනවාද බෝම්බ, ෂෙල් වෙඩි ප්‍රහාරයක ගොදුරක් වී මිය යනවාදැයි මා කල්පනා කළා. එයින් මා පළමුව කී මාවත තෝරා ගත්තා. මා ඹ්ඊඊඡ් සංවිධානයට සම්බන්ධ වුණේ ඒ ආකාරයටයි.
ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් ඒ සිවිල් යුද්ධයට ඹ්ඊඊඡ් සාමාජිකයන් ලෙස සහභාගි වුණා.

ඔබ සිතන හැටියට ඊට ප්‍රධාන හේතුව කුමක් විය හැකිද?

මා සිතන ආකාරයට යුද්ධයේදී ජීවිත බිලිදුන් ඔවුන්ගේ අපේක්ෂාව වන්නට ඇත්තේ නිදහස් ජීවිතයක් ගත කිරීම. ඔවුන් පෙනී සිටින්නට ඇත්තේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. කුමන භාෂාවක් කතා කළත්, කිනම් ආගමක් අදහන නමුත් මිහිපිට උපන් සෑම මිනිසකුගේම ප්‍රාර්ථනාව සාමාන්‍ය, නිදහස් ජීවිතයක් සතුටින් ගත කිරීමයි.

අජන්ති, මුරලි වැනි ඔබේ මිතුරු මිතුරියන් බොහෝ දෙනකුගේ ජීවිත යුද්ධය නිසා අහිමි වුණා. ඒ පිළිබඳව ඔබට දැනෙන හැඟීම?

මේ මොහොත වනතුරුත්, ඔවුන් ගැන සිහිපත් වන සෑම අවස්ථාවකදීම මගේ සිත අසීමිත ලෙස කම්පා වෙනවා. මගේ මිතුරු මිතුරියන් පමණක් නෙවෙයි යුද්ධයට සහභාගි වූ දෙපසේම දිවි අහිමි වූවන් වෙනුවෙන් මා අතිශයින්ම ශෝක වෙනවා. ඒ හැම කෙනෙක්ම අදත් සිටියා නම්... එවැනි අවාසනාවන්ත තත්ත්වයක් කරා නැවත මගේ රට යොමු නොකරන්නැයි සමස්ත රටවාසීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ බරපතළ හැඟීමකින් යුතුවයි. අප අවි දැරිය යුතු යැයි යන සිතිවිල්ල, යුද්ධයක් උදෙසා ජීවිතය බිලි දිය යුතු යැයි යන අදහස නැවත කිසි දිනෙකත් කිසිවකුගේ සිතට පහළ නොවේවායි මා ප්‍රාර්ථනා කරනවා.

කොටි සංවිධානය මෙන්ම වෙනත් එවැනි සංවිධාන තම සාමාජිකයන්ගේ ජීවිත ගැන අඩු තක්සේරුවකින් ක්‍රියා කරන්නට පෙලැඹුණේ මන්ද?

කිසියම් සංවිධානයක් හෝ රටක් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ත්‍රස්තවාදය තෝරා ගත් විටක මරණය ඔවුන්ට සුළු දෙයක් පමණයි. තම සාමාජිකයන්ගේ මෙන්ම සතුරාගේ පක්ෂයේ සාමාජිකයන්ගේද මරණය ඔවුන්ගේ න්‍යාය පත්‍රයේම එක්තරා කොටසක්.

ලෝකයේ කවර රටක හෝ ජනතාවට යුද්ධයෙන් ලැබෙන හෝ දිනාගත හැකි යහපත් යමක් තිබේද?

සත්තකින්ම නැහැ.

ඇත්ත වශයෙන්ම අපේ රට මහා ප්‍රපාතයකට පෙරළා දැමූ ඒ මහා දේපොළ හා ජීවිත විනාශයට වගකිව යුත්තේ කවුරුන්ද? ඒ ගැන ඔබට සිතෙන දේ කුමක්ද?

එය ඒකපුද්ගල වගකීමක් ලෙස මා දකින්නේ නෑ. එදා මෙදාතුර රට පාලනය කළ ආණ්ඩු විසින් අනුගමනය කරනු ලැබූ රාජ්‍ය ප්‍රතිපත්ති එකී තත්ත්වයට වගකිව යුතු යැයි මා හිතනවා. බල තණ්හාවෙන් මුසපත් වූවන් හටද ඕනෑම රටක් විනාශය කරා ගෙන යා හැකියි.

යුද්ධයක් දියත් කිරීමෙන් ඕනෑම රටකට හෝ ජාතියකට දිනාගත හැකි යමක් තිබෙනවාදැයි ඔබ හිතනවාද?

බොහෝ අය දකින්නේ දුෂ්ට පාලනයක් යම් රටක පවතින්නේ නම් ඊට එරෙහිව සටන් කළ යුතු බවයි. යුද්ධ කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් මා විශ්වාස කරන්නේ බි්‍රතාන්‍ය දාර්ශනිකයකු වූ බර්ට්‍රන්ඩ් රසල් ඉදිරිපත් කළ මේ දර්ශනයයි.

'යුද්ධයේදී මිනිස්සු මිය යති. එහෙත් එහිදී කවුරුන් වැරැදිදැයි කවුරුන් නිවැරැදිදැයි කිසිදු තෝරා බේරා ගැනීමක් සිදු නොකෙරේ.'

මරාගෙන මැරෙන කොටින්ගෙන් වැඩි පිරිසක් වතුකරයේ දිළිඳු පවුල්වල තරුණයන් බවට මතයක් පවතිනවා. එය ඇත්තක්ද?

මා සංවිධානය තුළ සිටි කාලයේදී නම් මා දන්නා හැටියට සිටියේ යාපනයේ ද්‍රවිඩ අය පමණයි, මරාගෙන මැරෙන කොටි ලෙසට මා සංවිධානයෙන් අස් වී පැමිණියායින් පසු සිදුවූ සිදුවීම් ගැන මා කිසිත් දන්නේ නෑ.

නිරෝමි යුද බිමේදී ඔබ මුහුණදුන් වඩාත්ම අනුවේදනීය අත්දැකීම සහ වඩාත්ම අප්‍රසන්න අත්දැකීම පිළිබඳව ඔබට පැවැසිය හැකි නම්?

හරි හැටි කන්නට අඳින්නට පවා නොමැතිව සිටි සමහර දුගී මිනිසුන් අමුත්තන් වූ අපිට අපේ කුසගින්නට ඔවුන්ගේ ඉතා දුප්පත් ආහාරවේල පිරිනැමුවා. ඔවුන් දැක්වූ කරුණාව මගේ සිත ඉතා සංවේදී ලෙස ස්පර්ශ කළා.

ඒ අතර බලය ඇති විට සහයෝගය ප්‍රකාශ කරන්නටත් බලය නැති තැන පාවා දෙන්නටත් තරම් කපටි කෛරාටික මිනිසුන්ද අපිට මුණ ගැසුණා. ඇත්තෙන්ම එවැනි අවස්ථාවලදී මගේ සිතට මතු වුණේ කෝපයක්.

යුද්ධය හමාරයි. නමුත් උතුරේ ජනතාව යුද්ධයේ පසු බලපෑම් අතර තවමත් අරගලයක. ඔවුන් තවමත් ජීවිතය විඳවනවා. ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

ඔව්, ඔවුන්ට යුද්ධය නිසා බොහෝ දේ අහිමි වුණා. මා දන්නා හැටියට ඔවුන්ට නොයෙකුත් සංවිධාන උපකාර කරනවා නොයෙකුත් ආකාරවලින්. ඔවුන්ගේ අත්‍යවශ්‍යම අවශ්‍යතා පිළිබඳව පළමුවෙන් සලකා බලනවා නම් වඩා හොඳයි. ඔවුන්ට අවැසි පහසුකම් හා යටිතල පහසුකම් පිළිබඳව වඩාත් සලකා බැලිය යුතුව තිබෙනවා. අධ්‍යාපනය සහ සෞඛ්‍යය පිළිබඳව බොහෝ සේ උනන්දු විය යුතුයි. ඒ ආශ්‍රයෙන් අනාගත පරපුර අවශ්‍යතා අතින් සෑහීමකට පත් කළ හැකි වේ නම්, ඔවුන් ඉදිරි කාලයකදී ධනාත්මක ලෙස සාමාජගතවනු ඇති.

'සංහිඳියාව' ඒ අද අපේ රට තුළ විවාදයට පවා තුඩු දී ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබට කිසියම් යෝජනාවක් ඉදිරිපත් කරන්නට තිබේද?

මා දේශපාලකයෙක් නොවන නිසා ඒ තත්ත්වය පිළිබඳව දැවැන්ත දැක්මක් මා තුළ නැහැ. මගේ පෞද්ගලික අදහස අනුව නම් අපේ රට තුළ ඇති වූ ගැටුම පවුලේ උදවිය අතර නැතහොත් යාළු මිත්‍රයන් අතර ඇති වූ අරගලයක් ලෙස සලකා විසඳුම් සෙවිය යුතුයි. පළමුවෙන්ම දෙපාර්ශ්වයේම උදවිය එකිනෙකා වෛරයකින් තොරව අවබෝධ කර ගත යුතුයි. එකිනෙකාගේ විඳවීම් භාර ගත යුතුයි. තම තමාගේ වැරැදිවලට කනගාටුව ප්‍රකාශ කිරීමද වැදගත් කාරණාවක්. සංහිඳියාව ආරම්භ විය යුත්තේ එවැනි පසුබිමක් තුළින් යැයි මා විශ්වාස කරනවා.

යුද්ධය අමතක කොට ජාතීන් අතර සාමය සහ සහයෝගීතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී මෙහෙවරක යෙදෙන සමාජ සේවිකාවක් හා තානාපතිනියක ලෙස උතුරේත් දකුණේත් අපේ රටේ තරුණ පරම්පරාව වෙත ඔබ දෙන පණිවුඩය කුමක්ද?
තාරුණ්‍යයේ දරුවනි, අනාගත ශ්‍රී ලංකාව ඔබටයි. ඔබ ඉපිද ඇත්තේ ලෝකයේ ඇති සුන්දරම භූමි භාගයකයි. අධ්‍යාපනය තුළින් ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න. එකිනෙකාගේ වෙනස්කම්වලට ගරු කරන්නටත් එකිනෙකාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නටත් උනන්දු වන්න. ජන්ම භූමිය ගැන ආඩම්බර වෙමින් එය තම තමාගේ අරමුණු කරා යා හැකි පහසු සහ සෑම කෙනකුටම ජීවත් වීම සඳහා සුදුසු ස්ථානයක් බවට පත් කරගන්න. එය කළ හැකි වන්නේ යොවුන් තරුණ ඔබටමයි.

නිරෝමි ඔබේ කතාව කියවූ බොහෝ දෙනා රොෂාන් සහ ඔබ අතර ගොඩනැඟෙමින් තිබූ අහිංසක ප්‍රේමය පිළිබඳව බොහෝ සංවේදී වුණා. රොෂාන්ගේ දෛවය ඔහු කොතැනකට යොමු කළාදැයි ඔබ දන්නවාද?

රොෂාන් නැතහොත් රංගන් නොහොත් රාජසූරියර්. කලක් ඔහු ඉන්දියාවේ සිටි බව මට ආරංචි වුණා. ඊචථඪත ඊඪඨපඥඵඵ පොත පිටවූවායින් පසු කිසියම් අයෙක් මට දැනුම් දුන්නා 2012 දෙසැම්බරයේදී ඔහු ලන්ඩනයේදී හෘදයාබාධයකින් මිය ගිය බව. ඔහු කිසි දිනෙක විවාහ වී තිබුණේ නැහැ. මගේ පොත ගැන. ඒ කතාවේ ඔහු එතරම් ප්‍රබල චරිතයක්ව සිටියාද යන වග ඔහු දැන සිටියාදැයි මා දන්නේ නෑ.

පාසල් වියේදී කිවිඳියක වී පසුකලෙක 'ඊචථඪත ඊඪඨපඥඵඵ' නම් වූ අතිශය හැඟුම්බර සහ සාහිත්‍යමය වශයෙන් අති සාර්ථක වූ ලෝකයේ නොයකුත් රටවල් තුළ වෙසෙන ජනතාව මහත් රුචියකින් කියවූ ඔබේම කතාව ලියමින් සාහිත්‍ය ලොවට පිවිසි ඔබ එතැනින් පසුව තවමත් අලුත් නිර්මාණයකට අත නොගැසුවේ මන්ද?

'ඊචථඪත ඊඪඨපඥඵඵ' ඒ ලෝකයට පවසන්නට මා සතුව තිබූ ලොකුම කතාවයි. මා වටා එදා සිටි අනෙකුත් සියලුම දෙනා මිය යද්දී මා ඉතිරි වූයේ ඒ කතාව ඔබට කියන්නට වෙන්නටත් ඇති. සමහර විට ලේඛන කලාව තවමත් මගේ ප්‍රියතම විෂයයක්. නමුත් මේ ගත කරන්නේ ජීවිතයේ අවිවේකීම අවධියක්. ජීවිතයට විවේකයක් ලද විටෙක නැවතත් පෑන අතට ගන්නවා. ඊට බොහෝ කාලයක් ගත නොවේයැයි විශ්වාස කරනවා.

ඔබේ කතාව 'ඊචථඪත ඊඪඨපඥඵඵ' අපේ රට තුළ 'සංහිඳියාව' සංවර්ධනය කිරීමෙහිලා මහත් මෙහෙයක් ඉටු කරනු නිසැකයි. ඒ වෙනුවෙන්ද, එවැනි කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්ද ඔබට 'මව්බිම' ස්තුතිය පළ කරනවා.

මා සහ මගේ කතාව වැලඳ ගැනීම පිළිබඳව ඔබ සැමටද අතිශයින් ස්තුතියි. මගේ කතාවේ සැබෑ ආත්මය හැඟීම්බර ලෙස විඳගත් ඔබ සැමට මගේ ආදරයත් මේ සමඟයි.

උදේනි සමන් කුමාර
පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon