විජේවීර කැලේ හිටිය නම් තවමත් ජීවත් වෙනවා

  👤  3953 readers have read this article !
2018-09-09

 

ජේ.ආර්. ජයවර්ධන මහතා 1977දී පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක් ලබාගත් නමුත් විප්ලවකාරයන් මාක්ස්වාදීන් පාර්ලිමේන්තුවේ බලය අල්ලාවි යැයි භීතියකින් පසු වූයේය. නක්සලයිට් කාරයන් පාර්ලිමේන්තුවට ඒමට ඉඩ ඇතැයි වරක් විජය කුමාරතුංග ඇතුළු පිරිසක් සිරගත කළේය. 1982 ජනාධිපතිවරණයේදී රෝහණ විජේවීර ඡන්ද 2,73,428ක් ලබාගත් විට ජවිපෙ ඉදිරි මැතිවරණයකදී පාර්ලිමේන්තුවටද ඇතුළු වේයැයි හෙතෙම බිය විය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කටයුතුවල නියැළෙමින් ජවිපෙ ජනතාව අතර තහවුරු වෙමින් සිටියේය. එහෙත් කවර හෝ හේතුවක් පදනම් කර ගනිමින් ජවිපෙ මර්දනය කරන්නට එජාප ආණ්ඩුව සැලසුම් කරමින් සිටි බව විජේවීර ඇතුළු ජවිපෙ නායකයෝ දැන සිටියහ.

රට තුළ ඇති වූ ජාතිවාදී ගින්න 1983 ජූලි මස අවසන් දිනවල දිවයිනේ අෑත ප්‍රදේශකරා පැතිර යන්නට විය. ආසන්න දින දෙකකදී වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ රැඳවුම්කරුවන්ද ඝාතනය කිරීම නිසා ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ලංකාව පිළිබඳ චිත්‍රය සුන්නද්දූලි, වෙමින් පැවතියේය. රට තුළ පැවති භීෂණකාරී වාතාවරණය මැඬපැවැත්වීමට රජය මැදිහත් නොවීම පැහැදිලිවම කැපී පෙනුණු අතර ආණ්ඩුව පැත්තෙන් තිබූ දැඩි නිහඬතාව කිසියම් නොපැහැදිලි ඉලක්කයක් කරා ආණ්ඩුව ගමන් කරමින් සිටින බවට සැක සංකා පහළ කන්නක් විය.

ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය මෙන්ම එම පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිතිද දමිළ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම උදෙසා ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කළ බව පෙනුණි. එහෙත් පහත රට වතු කම්කරුවන්ගේ දේපොළ විශාල වශයෙන් ගිනි බත්වූ අතර බොහෝ පිරිස්වලට ස්වකීය ජීවිත රැකගැනීම උදෙසා හින්දු කෝවිල්වල පිහිට පතන්නට සිදු විය.

පසුදින සන්ධ්‍යා භාගය වන විට විජේවීර ඇතුළු කණ්ඩායම කරවිල වැව ඉස්මත්තට පැමිණියේ කතරගම නෙත්තිකුමාර එහිදී හමුවන අටියෙනි. රාමනායක යැවූ පණිවිඩය ප්‍රකාර නෙත්ති එහි පැමිණිය යුතුමය. කරවිල වැව ඉස්මත්තේ සිටි පිරිසට වැව් තාවුල්ලේ මීටර් 400ක් පමණ අෑතින් මිනිස් රුවක් දිස්වූයේ සවස 5.30ට පමණය. එහෙත් ගොම්මන් අඳුර වැටෙමින් තිබූ නිසා ඡායාව අපැහැදිලි විය. ධනපාල අඬගසන හූවක් තබා සංඥා කළවිට තවත් හූවකින් පිළිතුරු ලැබුණේය.

වරෙක පෙනෙමින්ද, තවත් වරෙක නොපෙනෙමින්ද ගමන් කළ මිනිසා අවසානයේ ඔවුන් අභිමුඛයෙහි පෙනී සිටියේය. ඔහු කතරගම නෙත්තිකුමාරය. ඔහු පැමිණීමම සැනසිල්ලට කරුණකි. නෙත්ති මෑතකදී මා හමු වූ අවස්ථාවේ මා සමඟ පැවසූ වදන් මෙහිලා සඳහන් කළ යුතුමය.

"අපරාදෙ සහෝදරයා මේ මිනිස්සු විජේවීර සහෝදරයා ගෙනිහින් මරා ගත්තෙ. මා එක්ක කැලේ හිටිය නම් අදත් ජීවත් වෙනවා. ඔහේ දන්නවැයි මම කීයටවත් කැමැති වුණේ නැහැ ලොක්කා ගෙනියනවට. එයාතුත් කැමැති වුණේ නැහැ යන්න. මේ ගොල්ලොනෙ ආරක්ෂාව තියෙනව කියල එක්ක ගෙන ගියේ. ඔය ඉතින් ගොහින් ආරක්ෂා කළේ. මං දැන් ඕව ගැන කතා කරන්නවත් කැමැති නැහැ. කොටින්ම මොනව කතා කරන්නෙයි. වෙන්න ඕන හරිය වෙලා ඉවරයි."

නෙත්ති විජේවීරට තිබූ ආදරය ඒ වචනවල තැවරී තිබේ. නෙත්ති සිදු වන්නේ කුමක්දැයි ඒ වන විට පැහැදිලිව දැන සිටියේ නැත.

"මම මේ රාමෙගෙ පණිවිඩේට ආවෙ. මොකෝ කට්ටියම කැලේ පැන්නෙ" නෙත්ති ඇසුවේය. "හා ඒකෙන් කමක් නෑ අපිට ඉන්න තැනක් හොයමු" රාමනායක කීවේය." පිස්සු කතා කරනවැයි මේ කැලේ ඉන්න පුළුවනෑ. යමු අපේ ගෙදර තියෙන දෙයක් කාලා ඉමු" නෙත්ති කීවේය. ඒ වන විටත් ඔහු විජේවීරව හඳුනාගෙන සිටියේ නැත. රැවුල් කොණ්ඩා කපා සිටි බැවින් අඳුරේ කොහෙත්ම හඳුනා ගැනීම අසීරුය. එහෙත් ආරියසේන රාලහාමි එහි සිටීම ගැන නෙත්තිට කුතුහලයක් ඇති විය. රාලහාමි සහෝදරයා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම විජේවීරද සිටිය යුතුය. රාලහාමි විජේවීරගේ ආරක්ෂාවට පක්ෂය විසින් යෙදවූ තැනැත්තාය. නෙත්ති විජේවීරගේ මුහුණට ළං වී බැලුවේය. විජේවීර මිට මොළවා නෙත්තිගේ උරහිසට පහරක් ගැසුවේය.

"අනේ අම්මප මට ඔහේව අඳුනන්න බැරි වුණා." නෙත්ති සිනාවෙමින් කීවේය.

විජේවීරගේ ගමන් මල්ල ආරියසේන උරහිසෙහි එල්ලා ගෙන සිටියේය. එහි අවශ්‍ය බේත් සහ අනෙකුත් අඩුම කුඩුම වූ තුවායක්, ටූත් බ්‍රෂ් ආදිය තිබිණි. විජේවීරට විදේශීය මිතුරකු විසින් තෑගි දුන් කුඩා පොකැට් රේඩියෝවක්ද එහි විය. කෙටි තරංග බෑන්ඩ් 9ක් ඉතා පැහැදිලිව සුසර කළ හැකි එම රේඩියෝ වෙන් විජේවීර දිනපතාම ඛ්ව්ව්, ඕඕඛ් සහ රුසියන්, චීන ආදී විදේශ ගුවන් විදුලි සේවාවන්ට සවන් දුන්නේය. රාල නිවුස් අහන්න ඕනෑ යයි විජේවීර කී බැවින් කවුරුත් ආරි අතේ වූ ගුවන්විදුලි යන්ත්‍රය අසලට රොක් වූහ. ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාවේ පස්වරු 6.00 ප්‍රවෘත්ති ප්‍රචාරය ආරම්භ වී තිබිණි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර විසින් යැයි කියන විට ඔළු ගෙඩි එකට හැපෙන තරමට කවුරුත් ළං වී සවන්දී සිටියහ.

රට තුළ පැතිරෙන ජාතිවාදී අරගලවලට සෘජුවම සම්බන්ධ බවට සැක කෙරෙන දේශපාලන පක්ෂ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය තීරණය කළ බව ඉන් ප්‍රකාශ විය. මෙසේ තහනම් කරන ලද දේශපාලන පක්ෂ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා නව සම සමාජ පක්ෂය බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය. තහනම් දේශපාලන පක්ෂවල සාමාජිකයන් වීම හා එම පක්ෂවලට ආධාර කරන්නන් වරදක් සිදුකරන අතර එකී වරදට දඬුවම් ලෙස ජීවිතාන්තය දක්වා සිරගත කිරීම හා එකී පුද්ගලයන්ගේ දේපොළ රාජ සන්තක කිරීමට නීතිමය බලය පවරා ඇති බවද ප්‍රකාශ වූයේය.

තහනම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වූ ලයනල් බෝපගේ, සෝමරත්න කළුආරච්චි ඇතුළු තවත් අය දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ සමඟ ප්‍රකාශ කෙරිණ. ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තැනැත්තන්ගේ නාමලේඛනයක්ද කියවන්නට විය. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ ආදී නම් වැලක්ම කිය වීය.

"එහෙනම් ඔහේ කල්තියා කිව්ව හරි" රාලහාමි කීවේය.

"දැන් ඔය අහුවෙච්ච කට්ටියගෙ නම් ඇහුණැයි. මම ඕව කලින්ම කිව්වා. ඔහේල අපිව ගණන් ගත්තෙ නෑනෙ" නෙත්ති වෙනත් කතාවක් ඇද්දේය. "නෙත්ති ඕව වැඩක් නැහැ. අපි කොහෙද ඉන්නේ" විජේවීර නෙත්තිට බාධා කළේය.

ඒ වන විට ගනඳුර විසින් අවට පරිසරය ගිලගෙන තිබිණ. කරවිල වැවේ ඉතිරි වතුර කළතන වන සතුන්ගේ හඬ අෑතින් ඇසිණි. අලි අතු බිඳින හඬ ඇසුණේ තරමක් දුරිනි. "හරි දැන් අපි එළියට යන්නෑනෙ. මෙතන ඉන්නත් බෑ. හිටියොත් අලින්ට පෑගිල මැරෙයි. අලි පාර දිගේ ටිකක් ඇතුළට ගිහින්" අදට විතරක් තාවකාලික කෑම්ප් එකක් ගහමු. නෙත්ති කීවේය. ඔවුහු විදුලි පන්දම දල්වමින්ද නිවමින්ද ගමන් කළ නෙත්ති පසුපස ඉදිරියට ගියෝය. අලි පාර වංගු ගසමින් ගන වනය තුළට විහිද ගියේය. මේ කොටස අයත්වන්නේ යාල වනෝද්‍යානයේ අංක 4ටය. කටු පඳුරු අතරින් ගමන් කළද ඇතැම් තැනෙක සිනිඳු වැලි මතුවී තිබිණි. අලි පාරෙන් ඔබ්බට වන වදුල සරුවට වැවී තිබූ ස්ථානයක් කරා රිංගා ගිය ඔවුහු රාත්‍රිය එහි ගත කරන්නට තීරණය කළෝය. ගස් දෙකක් අතර වැල්පොටක් ඇද ඒ හරහා ඉටි රෙදි දමා බිමට සිටින සේ කූඤ්ඤ ගසා කුඩා කූඩාරමක් ඉදිකළ අතර සර්පයින්ට ඇතුළු විය නොහැකි වනසේ ඉටි රෙද්දේ අග ලී කොට කිහිපයක් තබා තද කළේය. ගෝනි කීපයක් බිමට එළා නිදියන්නට පිළියෙල කෙරිණි. රාත්‍රිය නිසා වතුර සොයා යන්නට නොහැකිය. එදින පාවිච්චියට කරත්තයේ ගෙනා කුඩා බූලියක් පමණක් තිබූ අතර එය අර පරිස්සමින් බෙදා හදා ගත යුතු විය. කූඩාරමට නුදුරින් එළිමහනේ ගිනිමැළයක් ගසන ලද අතර ඇලුමිනියම් මුට්ටියක් ගිනිමැළයට උඩින් එල්ලා වතුර රත්කොට සේපාලත් ආරිත් තේ වත් කළේය. රාත්‍රි ආහාරය සඳහා තිබුණේ කුඩා මාරි බිස්කට් පැකැට්ටුවක් පමණි. එය එක්කෙනාට බිස්කට් දෙක බැගින් බෙදා රාත්‍රි භෝජනය අවසන් කළේය. කවුරුත් කූඩාරම තුළට රිංගා ගත් අතර හෝරා දෙකෙන් දෙකට මාරුවන මුර සේවාවක් සඳහා එහි සිටි කීපදෙනා අතර කාලය බෙදා ගත්තේය. ප්‍රථමයෙන් ඩියුටි භාරගත් සහෝදරයා තුවක්කුවත් පතරොම් තුනක් සහිත මල්ලත් අතින් ගෙන කූඩාරමේ දොරටුව අබියස වාඩි ගත්තේය. රාත්‍රියේ නිශාචර වන සතුන්ගේ ලෝකය අවදි වී තිබිණ. ආසන්නයෙන්ම වූ ගසක සිටි බස්සකු නිශ්චිත විරාමයක් ඇතිව පැය ගණනාවත් හුම් හුම් ගෑවේය. ගෝනකු ආගිරි ගානා හඬ අෑතින් ඇසුණු අතර මීමින්නන් හා උෟරන් කැලය බිඳගෙන දිවයන හැඩ නිතරම ඇසිණ. තිදෙනකුට මැද්දේ විජේවීර නිසා සිටි අතර රෑ මැදියම ඔහුට තට්ටු කළ රාලහාමි බෑගයේ වූ ඩප්පියකින් බේත් පෙති දෙකක් ගෙන බේත් බොන වෙලාව හරි යැයි කීවේය.

බේත් නොබොන බවට අතින් සංඥා කළ විජේවීර අනෙක් ඇලයට හැරී නින්දට වැටුණේය. කැලය මැද ගත කරන ප්‍රථම රාත්‍රිය අපූරු අත්දැකීමකි. ආසන්නයේ වූ ගසක සිටින පළඟැටියකු කීස් හ¾ඩින් නැගූ ශබ්දය විරාමයකින් තොරව එක දිගටම ඇසුණේය. කොළ අතු බිඳිමින් වේගයෙන් පැමිණි ගෝනකු හෝ මුවෙකු ගිනිමැළය දැක පැමිණි වේගයෙන්ම ආපසු හැරී යනවා ඇසුණේ වරක් දෙකක් නොවේ. තවත් හෝරාවකින් ගිනිමැළයද නිවී ගියෙන් හාත්පස අන්ධකාරය වෙළාගත්තේය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon