ධර්මපාලතුමාගේ ඉහ මොළ සූරා කෑ පිරිස මටත් කරදර කළා

  👤  3429 readers have read this article !
2018-09-09

ශි්‍රයානි අජන්තා විතාන

මේ අතර මගේ ආචාර්යපාදයන් වහන්සේද ගම්වැසි දායක දායිකාවන්ගේ සහයෝගය ඇතිව ආධාර මුදලක් විටින් විට එවූහ. ඇෆ්.ආර්. සේනානායක මහතාගේ බිරිය වන ඇලන් සේනානායක මහත්මියද මාස්පතා රුපියල් විස්ස බැගින් එව්වාය. එතුමිය දෙවතාවක්ම ලංකාවට යෑම - ඊම සඳහා මට දුම්රිය අවසර පත්ද යැවූ බව මෙහිලා කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුයි. එකල ඇෆ්.ආර්. සේනානායක මහතා මෙන්ම ඇලන් සේනානායක මහත්මියද මෙරට ජාතික ආගමික කටයුතුවලට කාලය, ධනය හා ශ්‍රමය වැය කොට මහත්සේ ක්‍රියා කළ බව මතක් කරනු කැමැත්තෙමි. මේ දෙපොළගේ සේවයේ කරපිටින් ගිය අනෙක් බොහෝ සේනානායකවරුන් මෑත කාලයේදී මහජනයා මුළාකොට ක්‍රියා කළහයි යන්න මෙහිලා නොකියාම නොහැකිය.

මේ අතර මා ලංකාවට නොගොස් නැවත ශාන්ති නිකේතනයටම ගිය බව අසා ධර්මපාලතුමා විසින් ලිපියක් එවා තිබිණි. එහෙත් මා ඉගෙනීමේ කටයුතුවල නිරතව සිටීම ගැන එතුමාගේ ප්‍රසාදය ද එහි පළ කොට තිබුණේය. එතුමා වටා සිටිමින් එතුමාගේ ඉහ මොළ සූරා කෑ පිරිසගෙන් නම් මට නොයෙක් උවදුරු පැමිණි බව ඇත්තය. 1927 මැයි 17 වැනි දින කල්කටාවේ ධර්මරාජික විහාරයේ පැවැති වෙසක් උත්සවයට මට සහභාගි වන්නට හැකි විය. මා පළමුවෙන්ම වංග භාෂාවෙන් ප්‍රසිද්ධ කතාවක් පැවැත්වූයේ එදිනයි. එය අසා සිටි ධර්මපාලතුමා මහත් සේ පී්‍රති විය. ඊට පසු "මම ලංකාවෙන් බොහෝ භික්ෂුන් කැඳවාගෙන ආවා. උන්වහන්සේලාට වියදම් කළා. ඉගැන්නුවා. නමුත් මේ රටේ මහජනයාගේ භාෂාවෙන් වේදිකාවට ගොඩවැදී බණ පදයක් කීමට සපන් භික්ෂුවක් වූයේ ඔබ වහන්සේ පමණක්" යැයි කියමින් නැවත මාසික ආධාරයක් දීමටද නියම කෙළේය. එහෙත් එදා මහාබෝධි සමාගමයේ ආධාරයෙන් ඉගෙනීම කළ මහ සැදැහැවතකු වූ පී.ජී. සිරිවර්ධන මහතාගේ පරිශ්‍රමයෙන් ටික දිනකින්ම ඒ ආධාර මුදල නතර වූ බවද මතක් නොකරම බැරි බව මෙහිලා කිව යුතුව තිබේ.

පී.ජී. සිරිවර්ධන මහතා එකල අධිරාජ්‍යවාදය කෙරෙහි පැහැදී සිටියෙකි. මා ඉන්දියාවේ දී අධිරාජ්‍ය විරෝධීව ක්‍රියා කළ බැවින් ඔහු මහත්සේ කෝපව සිටියේය. ඔහු හැකි හැම අවස්ථාවකම මට කරදර කෙළේය. පහර ගැසුවේය. එපමණක් නොව බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට මට විරුද්ධව ඔත්තු සැපයීමද කෙළේය. එදා එසේ ක්‍රියා කළ පී.ජී. සිර්වර්ධන මහතා පසු කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු මෙන්ම දේශප්‍රේමියකු වශයෙන් ක්‍රියා කරනු දක්නට ලැබීම ගැන මම අතීතය අමතක කොට සතුටු වෙමි.

විමලානන්ද තෙන්නකෝන් මහතා මෙන්ම දැනට මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් තැන්පත් දේවප්‍රිය වලිසිංහ මහතාද මට හැමදාම හිතවත්ව ක්‍රියා කළ දෙපොළකි.

ශාන්ති නිකේතනයේ ජීවිතය මටම ඔබින එකක් විය. මම බාල කාලයේ පටන්ම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පටහැනිව සිටියෙමි. එය කාගේවත් කීමක් නිසා ඇති වූවක් නොවේ.

මගේ හැඟීම් තුළින්ම ඇති වූවකි. එබැවින් එකල ශාන්ති නිකේතනයට රැස්ව සිටි බිතාන්‍ය අධිරාජ්‍ය විරෝධීන් සමඟ මම ඉතා පහසුවෙන් එක් වුණෙමි. මේ නිසා මගේ අවධානය ඉන්දියාව පුරා පැතිර පැවැති ජාතික විමුක්ති ව්‍යාපාර දෙසට ඇදී ගියේය. ධර්මපාලතුමාගේ ආශ්‍රයෙන් එයට සහයෝගයක් ලැබුණා මිස රඹුක්වැල්ලේගෙන් මෙන් විරුද්ධත්වයක් ලැබුණේ නැත. ධර්මපාලතුමා කීවේ ඉන්දියානු ජාතික විමුක්ති ව්‍යාපාරයෙන් ආදර්ශ ගෙන ලාංකිකයන්ද ඒ දෙසට යොමු කරවන ලෙසය.

තාගෝර්තුමා ලංකාවට පළමුවෙන් පැමිණියේද මා ශාන්ති නිකේතනයේ ඉගෙන ගන්නා අවධියේය. තාගෝර්තුමා ලංකාවේ සිට ඉන්දියාවට ගොස් කියා සිටියේ ලංකාව පුංචි එංගලන්තයක් වීගෙන යන බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon