මීතිරිගල 'නිස්සරණ' වනයේ ඓතිහාසික සිතුවම

  👤  4234 readers have read this article !
2018-09-02

 

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරයෙන් ඔබ්බෙහි කිලෝමීටර් 7ක් පමණ ගිය තැන මීතිරිගල නම් පිටිසර සිරියෙන් අනූන රමණීය ගම්මානය පිහිටා තිබේ. ඉතිහාසයේ සීතාවක රාජධානිය පැවති සමයේ රජ මාලිගයට මීකිරි සැපයූ ගම්මානය මීකිරිගාල වශයෙන් හැඳින්වූ අතර පසුව එය මීතිරිගල වී යැයි එගම නම සම්බන්ධ ග්‍රාම නාම නිරුක්තිය පිළිබඳව පැරැන්නෝ පවසති.

20 වැනි සියවසේ අග භාගයේ 'මීතිරිගල' නැවත ජාතික වශයෙන් මහත් ප්‍රසිද්ධියට පත් වන්නේ එහි බිහිවූ 'නිස්සරණ' ආරණ්‍යය නිසාය. මීතිරිගල නිස්සරණ ආරණ්‍යයේ උත්පත්ති කතාව බොහෝ දෙනා නොදත් අසිරිමත් එකකි. එය හුදෙක් තනි පුද්ගලයකුගේ නිස්සරණාධ්‍යාශය නිසාම සහ ඔහුගේ අප්‍රතිහත උත්සාහය නිසාම බිහිවූ පුණ්‍ය නිකේතනයකි. ඒ උතුම් කටයුත්තේ ඉතිහාසය සැකෙවින් මෙසේය.

බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරට බිහිවූ දේශීය වෙළෙඳ ව්‍යාපාර අතර කැපී පෙනෙන ව්‍යාපාරයක් වූයේ වීරරත්න සහ පුත්‍රයෝ ජුවලරි ආයතනයයි. එය දකුණේ ගාල්ල නගරය කේන්ද්‍රීය කොට ආරම්භ වූ අතර කොළඹ මරදානේද පසුව ඔවුන්ගේ ස්වර්ණාභරණ වෙළෙඳසලක් ආරම්භ කෙරිණි. වීරරත්න පවුලේ වැඩිමහල් පුත්‍රයා වූයේ අසෝක වීරරත්නය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ බෞද්ධ දර්ශනය ගැඹුරින් හදාරා පියාගේ අනුමැතිය ඇතිව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවූ විශිෂ්ට පුරුෂයෙකි.

1928දී අනගාරික ධර්මපාලතුමන් දේශ දේශාන්තරයන්හි බුදු දහම රැගෙන යෑම පිණිස කැපවූවා මෙන්ම 1953දී බුදු දහම යුරෝපයට ගෙන යෑමට කැපවූයේ අසෝක වීරරත්නය. ඔහු ඒ සඳහා ජර්මානු ධර්ම දූත සංගමය පිහිටුවීය. 1957 ඓතිහාසික මිහින්තලේ අම්බස්තල චෛත්‍යය අසලින් ආරම්භ කළ ධර්ම දූත ගමන කෙළවර වූයේ ජර්මනියේ බර්ලින් නගරයෙනි. ජර්මන් බෞද්ධ මන්දිරයේ නිර්මාතෘවරයා වුයේද අසෝක වීරරත්නය.
යුරෝපයට ප්‍රථමයෙන් බුද්ධ ප්‍රතිමාවක් සහ බෞද්ධ ධජයක් ගෙන ගියේද ඒ මහතා විසිනි. ජර්මන් බෞද්ධ විහාරය හා බෞද්ධ මන්දිරය වර්තමානයේ බෞද්ධ අධ්‍යාපනය ලබාදෙන කීර්තිමත් විද්‍යාලයකි.

දැන් අපි නැවතත් මීතිරිගල නිස්සරණ ආරණ්‍යය පිළිබඳව යොමු වෙමු. විදෙස් ධර්ම දූත සේවාවන් නිම කළ අසෝක වීරරත්නයන්ගේ අධිෂ්ඨානය වූයේ නැවත ලංකාවට පැමිණ ආරණ්‍ය සේනාසනයක් පිහිටුවා එහි පැවිදි වී ජීවිතාවසානය දක්වා භාවනානුයෝගීව විසීමය. ඔහු එහිලා ගනු ලැබූ ප්‍රථම පියවර වූයේ ඊට සුදුසු නිසල වන උයනක් තෝරා ගැනීමය. මීතිරිගල ගම්මානයට පැමිණි වීරරත්නයෝ 1967 වසරේදී අක්කර 500කින් යුතු මෙම ස්වාභාවික වනරක්ෂිතය මිලට ගෙන තමන් අපේක්ෂා කළ නිස්සරණ ආරණ්‍ය සේනාසනය ආරම්භ කළේය. "නිස්සරණ" අරමුණ විදහා පෙන්වන බෞද්ධ දර්ශනයට අනුකූල චිත්‍රයක් සේනාසන ද්වාරයෙහි සිතුවම් කරන්නට ඔහුට අවශ්‍ය විය. එකල ලංකාවේ බෞද්ධ සිතුවම් කලාවේ නියුතුව සිටි අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියා වූයේ ඩැනී විමලසිරිය.

ඔහු ලෝවැඩ සඟරාව සිතුවමට නඟා චිත්‍ර ප්‍රදර්ශනයක්ද පවත්වා ප්‍රසිද්ධියට පත්ව සිටියේය. අසෝක වීරරත්නයන්ගේ ආරාධනයෙන් මීතිරිගලට පැමිණි ඩැනී විමලසිරි ඔබ මෙහි දකින චිත්‍රය නිස්සරණ ආරණ්‍යයේ ප්‍රධාන ශාලාවේ සිතුවම් කළේය. මේ චිත්‍රයේ පිළිබිඹු වන අදහසට පාදක වන බෞද්ධ කතා ප්‍රවෘත්තිය මෙසේය.

"කාශ්‍යප බුදුන් වහන්සේ ඇවෑමෙන් බුදු සසුන පිරිහෙමින් පැවති යුගයක භික්ෂුන් වහන්සේ සත් නමක් මේ අත් භවයේදීම බවුන් වඩා මාර්ගඵලයට පත් වෙමුයි කතිකා කොට මිනිස් වාසයෙන් තොර ගන කැලෑවක පිහිටි ගිරි මුදුනකට නැඟ ගත්හ. කන්ද නැඟීමට ආධාර වූ ඉණිමඟද කඩා බිඳ දැමුවේ නැවත මාර්ගඵල ලබා මිස මිනිස් වාසයට නොඑන්නෙමැයි තීරණය කොටය. ඔවුහු සත් නම පර්වතයෙහිම වෙසෙමින් දැඩි අදිටනින් යුතුව භාවනාවේ යෙදුණහ. ටික කලකින් ඔවුන් අතරින් දෙනමක් කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණියහ. ඉතිරි පස් නම අනාගාමී, සකෘදාගාමී ආදී මාර්ග ඵලයන්ට එළඹ එම ගිරි හිසෙහිම අපවත්වී වදාළහ."

ඩැනී විමලසිරිගේ චිත්‍ර එකල කලා විචාරකයන් හඳුන්වනු ලැබුවේ "යථාර්ථදර්ශී බෞද්ධාගමික භාවචිත්‍ර" වශයෙනි. ඔහු එකල රත්ගම දේව පතිරාජ විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයාය. බොහෝ දුෂ්කරතා විඳිමින් ඔහු මෙම චිත්‍රය ඇඳ තිබෙන්නේ විසකුරු සර්ප ගහනය මැද තමන් විසින්ම ආහාර පවා පිළියෙල කරගනිමින් ඉතා දුකසේය. එහෙත් ආශ්චර්යයක් වන්නේ මේ වන විට වසර 50ක් ගතව ඇතත් අදත් මේ චිත්‍රය මීතිරිගල නිස්සරණ වනයේ ආරක්ෂිතව පැවතීමය. එය එසේ වුවද මේ චිත්‍රය කවදා කවුරුන් විසින් අඳින ලද්දේදැයි දන්නා කිසිවකු නොවීම කනගාටුවට කරුණකි. නව ඉදිකිරීම් හමුවේ මේ අගනා සිතුවම ආරක්ෂා කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ වර්තමානයේ නිස්සරණ ආරණ්‍යයේ භාරකාරත්වය උසුලන උඩඊරියගම ධම්මජීව හිමියන්ට හා මීතිරිගල නිස්සරණ වනය භාරකාර පදනමේ යාවජීව සාමාජික අසෝක වීරරත්න මහතාගේ ඥාති පුත්‍ර අධිනීතිඥ සේනක වීරරත්න මහතාටය.

මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනය 1968දී සඟසතු කොට පූජා කෙරුණු අතර ඊට ප්‍රථම මහජනයාට දැක බලා ගන්නට විවෘතව තැබූ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සිවු දිගින් මීතිරිගලට ඇදී ආවෝය. එවකට කිරිඳිවැල අනුර මහා විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයකු වූ ලියුම්කරුද ශිෂ්‍ය කණ්ඩායමක් කැටුව ගොස් සෙනඟ හැසිරවීමේ ස්වේච්ඡා සේවයේ යෙදුණු බව සඳහන් කළ යුතුය.

ගිහියකු ලෙස බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා තමන්ට කළ හැකි සියලු මෙහෙවර නිමාකළ අසෝක වීරරත්න අනගාරික තුමා 1972 වසරේ මීතිරිගල ධම්මනිසන්ති නමින් පැවිදි දිවියට ඇතුළත්ව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වාසය කරන්නට වූහ. උන්වහන්සේ 1999 වසරේ අපවත් වන තුරුම ප්‍රසිද්ධ කටයුතු සඳහා සහභාගි නොවීය. මීතිරිගල ධම්මනිසන්ති හිමිපාණෝ නිස්සරණාධ්‍යාශයෙන් දිවි ගමන නිමා කළේ ජීවිතයේ අනිත්‍යභාවය පසක් කරමිනි.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon