පාත්තරය තිබෙන තුරා භික්ෂුවක් බිය විය යුතු නෑ

  👤  3833 readers have read this article !
2018-09-02

මම යම්කිසි උපදේශයක් ලබාගැනීමට එකල කල්කටාවේ සිටි රඹුක්වැල්ලේ ස්ථවිරයන් වහන්සේ හමුවීමට ගියෙමි. උන්වහන්සේට කාරණය කී විට මහත් සුහද බවක් පෙන්වා කතා කළහ. ධර්මපාලතුමා බොරුකාරයකු වශයෙන් හඳුන්වා කතා කළ උන්වහන්සේ එතුමා තමගේ ද දියුණුවට කළ විරුද්ධවාදීකම් ගැන දීර්ඝ විස්තරයක් කළහ. උන්වහන්සේ මගේ දියුණුවට හැකි සෑම සහයෝගයක්ම දෙන බව කියා ධර්මපාලතුමාගේ අදහසට විරුද්ධව තදින් කතා කරන ලෙසද කීහ. ඒ කතාවෙන් මගේ හිත තව තවත් ධෛර්ය සම්පන්න විය. මම නැවත ධර්මපාලතුමා හමුවී මගේ ඉගෙනීම ගැන කියා සිටියෙමි. "මහාබෝධි සමාගමට මුදල් නැත. තමුන්නාන්සේට විහාරය බලා කියාගෙන කල්කටාවේ ඉන්නට බැරි නම් නැවත ලංකාවට යන්න" මෙසේ කියූ ධර්මපාලතුමා දැනට මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් තැන්පත් දේවප්‍රිය වලිසිංහ මහතාට කතාකොට "මේ පොඩි උන්නාන්සේ ලංකාවට යන්නට සතුටු නම් පිටත් කර යවන්නැ"යි නියම කළේය.

ඊට පසු නැවතත් රඹුක්වැල්ලේ තෙරුන් වහන්සේ වෙත ගොස් විස්තර දැන්වීමි. ඒ තෙරුන් වහන්සේ බෙහෙවින් සතුටට පත්ව, කල්කටාවේ නැවතී පිස්සු වැඩ කරනවාට වඩා ලංකාවට ගොස් උසස් පිරිවෙනකට බැඳී ඉගෙන ගන්නා ලෙසත්, වුවමනා නම් මහනුවර සංඝරාජ පිරිවෙනට ඇතුළත්ව ඉගෙන ගැනීමට ලියමනක් දිය හැකි බවත් කීය. මම පුදුම වීමි. මේ පෑ කීපයකට පෙර කී කතාව වෙන අතකට හරවා මට ලංකාවට යන්නට අවවාද කිරීම ගැන මම පුදුම වීමි.

ආපසු ධර්මපාලතුමා වෙත ගිය මම වෙන කරගත හැකි කිසිත් නැති නිසා ලංකාවට යෑමට කැමැත්ත දැක්වීමි. මෙබඳු නිගමනයකට මා එළැඹුණේ රඹුක්වැල්ලේ තෙරුන් වහන්සේගේ ක්‍රමන්ත්‍රණය නිසා හටගත්ත කලකිරීමකින් යුතුවය.

එදිනම සවස මම ලංකාවට පිටත්වීම සඳහා දුම්රියපොළට ගියෙමි. දේවප්‍රිය මහතාද එහි ගොස් මදුරාසිය දක්වා මට අවසර පත්‍රයක් ලබාදී තවත් මුදලුත් අතට දී ආපසු යන්නට ගියේය.

රඹුක්වැල්ලේ ලණුව ගිල අතරමං වුණු මම දුම්රියපොළට වී කල්පනා කරමින් සිටියෙමි. ඒ වේලාවේදී එකල කල්කටාවේ වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි ආර්.ආර්. උඳුගොඩගේ මහතා මා ලංකාවට යන බව අසා දුම්රියපොළට පැමිණියේ හදිසි කාරණය දැන ගැනීමටය. මම ඒ මහතාට සියල්ල ඇති සැටියෙන් කීවෙමි. මගේ කතාව ඇසූ උඳුගොඩගේ මහතා ගමන නවත්වන ලෙසත්, තමා හැකි තරම් ආධාර කරන බවත් කියා මට ආපසු ශාන්ති නිකේතනයට යන ලෙස කීවේය. මම එවිට දුම්රිය අවසර පත්‍රය පෙන්වීමි. මඳක් කල්පනා කළ උඳුගොඩගේ මහතා ලංකාවට යෑමට නොහැකිව අතරමංව සිටින කෙනකු ගැන කියා ඔහුට දුම්රිය අවසර පත්‍රය හා මුදල් දෙන්නේ නම් ඔහු ලංකාවට ගිය හැටියේ මුදල් එවනවා ඇතැයිද තමා ඒ ගැන වගකියන බවද කීවේය. මම එක වරම එයට කැමැති වීමි. මා අත රුපියල් පහක් පමණක් තබාගෙන. ඉතිරි සියල්ල අතරමංව සිටි තැනැත්තාට දුන්නේ ඒවා නැවත ලැබේය යන අදහසකින් නොවේ. එයට හේතුව අප දෙදෙනාගෙන් කිසිවකු තුළ ඒ අතරමංව සිටි මහතා ගැන දැන හැඳිනීමක් නොතිබීමයි. එහෙත් ඒ සියලුම මුදල් ඒ තැනැත්තා වර්ෂයක් හෝ ඊටත් වැඩි කාලයක් ගෙවී යෑමෙන් අනතුරුව මා වෙත එවා තිබිණි. එසේම ඒ සමඟ කිසිම ලිපියක් නොවීය. කළුතර ප්‍රදේශයට අයත් මේ පුද්ගලයා කවරෙක්දැයි මම අද වන තුරුත් නොදන්නෙමි.

මම ඒ ගමන්ම වෙනත් දුම්රියකින් ශාන්ති නිකේතනය බලා පිටත්වීමි. එහෙත් ශාන්ති නිකේතනයේ ඉගෙනීමට මුදල් අවශ්‍යය. මට ආධාර දීමට කිසිකෙනෙක් නොසිටියහ. කීප දිනකට පසු තාගෝර්තුමා හමුවීමට ගියෙමි. මේ කාලය වනවිට මම වංග භාෂාව කතා කිරීමට මෙන්ම ලිවීමටද පුරුදුව සිටියෙමි. මගේ විස්තරය මම ඔහුට මුල පටන් කීවෙමි. පැයක් පමණ මගේ කතාවට කන් දුන් තාගෝර්තුමා "භික්‍ෂුවකට පාත්තරය තිබෙන තුරා බියට හේතුවක් නැතැ"යි කියා මුදල් ගැන කිසිවකු කරදරයක් කළහොත් තමා හමු වන ලෙස කියා මට ආපසු විදුහලට ගොස් ඉගෙනීමේ යෙදෙන ලෙස අවවාද කෙළේය.
මහාබෝධි සමාගමෙන් අස්වීමෙන් පසු මට මුදල් අතින් බොහෝ කරදර විඳින්නට සිදුවිය. එකල බලසම්පන්න බෞද්ධ සංගමයක්ව තිබුණු නුගේගොඩ තරුණ බෞද්ධ සංගමයේ ලේකම්ව සිටි වෝල්ටර් පෙරේරා මහතා මට මුණගැසුණේ මේ දිනවලයි. මා මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය ගැන ඇසූ ඒ මහතා තමා සංගමය වෙනුවෙන් මාසයකට වරක් රුපියල් 15ක් දීමට පොරොන්දු විය. නුගේගොඩ තරුණ බෞද්ධ සංගමය මඟින් කෙරුණු මේ සහයෝගය දෙවසක් පමණ නොකඩවා කෙරීගෙන ගිය අතර එහි සාමාජික මහතුන් අතර හටගත් ගැටුමක් නිසා එය අතරමඟදී නතර විය. සමාගමද අවසාන වූ බව දැන ගතිමි.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon