ත්‍රිරෝද රථ

  👤  4477 readers have read this article !
2018-08-21

ත්‍රිරෝද රථ රියැදුරු අවම වයස් සීමාව අවුරුදු 35 කිරීමේ තීරණයට ඇමැති මංගල සමරවීර විරෝධය පළ කර ඇත. ඇමැතිවරයාගේ විරෝධය යුක්තිසහගත නැතැයි කිව නොහැකිය. එහෙත් මේ වනවිටත් 35 අවම සීමාව හා 70 උපරිම වයස් සීමාව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර අවසන්ය.

ඇමැති මංගල සමරවීර මෙන්ම මෙරට සියලු ත්‍රිරෝද රථ සංගම්ද මේ නව යෝජනාවට විරෝධය පළ කර ඇත.

80 දශකයේ මුල් භාගය වනතුරු මගී ප්‍රවාහනයට දායක වූ මීටර් ටැක්සි සේවය ත්‍රිරෝද රථයේ ආගමනයත් සමඟ අහෝසි වී ගියේය. මේ වන විට මෙරට ජනප්‍රියම හා බහුලම මගී ප්‍රවාහන සේවය ත්‍රිරෝද රථයයි. මේ කුලී රථ සේවය ඇරැඹුණේ අවිධිමත්වය. ඒ නිසා එය අනිවාර්යයෙන්ම විධිමත් කළ යුතුය. නියාමනයට ආයතනයක් පිහිටුවීම වැදගත්ය. ඒ පිළිබඳ විවාදයක් නැත. එහෙත් මේ නීතිය නිසා නැති අවුලක් මතුවිය හැකිය.

ඇත්ත වශයෙන්ම ත්‍රිරෝද රථ සංගම් ඉල්ලා සිටින පරිදි අවම වයස අවුරුදු 25ක් කළ යුතුය. මේ ආණ්ඩුව කුමක් කිරීමට ගියත් එතැන ප්‍රශ්නයක් ඇතිකර ගනී. මේ 35 සීමාවද එවැනි අනවශ්‍ය ප්‍රශ්නයකි.

කළ යුතුව තිබුණේ පළමුව ත්‍රිරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කිරීමය. ප්‍රායෝගිකව සිතා බැලුවා නම් ඔවුන් සමඟ සාකච්ඡා කළත් නොකළත් අවම වයස් සීමාව 35 කරන්නේ නැත.

ඇමැති මංගල පැහැදිලිව ප්‍රකාශ කර ඇති පරිදි තරුණයන්ට රැකියා මාර්ගයක් ලෙස කුලී ත්‍රිරෝද රථ රියැදුරු රැකියාව විවෘත කර තැබිය යුතුය. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටින රටක නව රැකියා උත්පාදනය සිදු වන්නේ මන්දගාමීවය. එවැනි පසුබිමක රැකියාවක් කිරීමට තරුණයන්ට ඇති මාර්ග ඇහිරීම අඥානකමකි.

සාමාන්‍ය පෙළින් හා උසස් පෙළින් පාසල් හැර යන්නන් ත්‍රිරෝද රථ රැකියාවට බහුලව යොමුවීම නිසා ආණ්ඩුව මේ තීරණය ගත්තා විය හැකිය. එහෙත් එකක් කඩතොලු මකාගැනීමට ගොස් ආණ්ඩුව කරන්නේ කඩතොලු දෙකක් හදා ගැනීමය.

බහුල වශයෙන් ත්‍රිරෝද රථ රැකියාවට තරුණයන් යොමුවීම වැළැක්වීමට "නීතිය" පමණක් ප්‍රමාණවත් නැත. ඊට ආණ්ඩුව පිළියම් සෙවිය යුතුය.

ත්‍රිරෝද රථ කුලී සේවය මගී ජනතාව බහුලව තෝරා ගන්නේ පොදු ප්‍රවාහනය දුර්වල නිසාය. එය විධිමත් කිරීම නොපමාව කළ යුතුය.

හිසරදයට කොට්ට මාරු කර පලක් නැත. ඒ නිසා අවුරුදු 35 අවම සීමාව අවුරුදු 25 දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර නොගතහොත් ඉන් ඇති වන අනිටු පල විපාකවලට වගකීමට සිදුවන්නේද ආණ්ඩුවට බව සිහි තබා ගත යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon