මිරිසවැටියේ නාහිමියන් අගමැතිට දුන් මංජුසාවේ තිබුනේ මොනවාද?

  👤  4750 readers have read this article !
2018-08-19

දුම්රිය වෘත්තීය සමිති නායකයන් කදමලු බැඳගෙන ජනපති බලන්න පොළොන්නරු ගිය ගමන

ජනපති මෛත්‍රි පසුගිය සති අන්තය ගත කළේ පොළොන්නරුවේය. උත්සව කිහිපයක් සහ විවෘත කිරීම් කිහිපයක් යෙදී තිබීම ඊට හේතුවයි. ඒ අතරවාරයේ ඇමැති මහින්ද අමරවීරගෙන් මෛත්‍රිට දුරකථන ඇමතුමක් ලැබිණි.

"සර්... රේල්වේ වෘත්තීය සමිති කට්ටිය සර්ව හම්බවෙන්න වෙලාවක් ඉල්ලනවා" අමරවීර කීවේය.

"මම මේ දවස් දෙකේ ඉන්නෙ පොළොන්නරුවේ ඕනෙ නම් හෙට උදේ මෙහෙට එන්න කියන්න" මෛත්‍රි අමරවීරට කීවේය.

අමරවීර එම පණිවුඩය දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට කීවේය. ඒ අනුව වෘත්තීය සමිති නියෝජිතයන් ඉරිදා හිමිදිරියේම කදමලු බැඳගෙන පොළොන්නරුවේ ජනපති නිවෙසට ගියහ. එහි යනවිට මෛත්‍රි උදෑසන ආහාරය ගනිමින් සිටි බැවින් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ටද "කෑම කන්න" යැයි මෛත්‍රි කීවේය. ඒ අවසරයෙන් වෘත්තීය සමිති නියෝජිතයෝ යහමින් උදේ ආහාරය ගත්හ. අනතුරුව සාකච්ඡාව ආරම්භ විය.

"ඔයාලා මේ කරන වැඩේ කිසිසේත්ම මම අනුමත කරන්නේ නෑ. ගැටලුවක් තියෙනව නම් ඒක කතා කරලා විසඳගන්න. එහෙම නැතිව උසස් පෙළ විභාගය කරන අහිසංක දරුවෝ බිල්ලට අරගෙන මේ කරන වැඩේ අසාධාරණයි. ප්‍රජාතන්ත්‍රවාදීව ඕනෑම වැඩ වර්ජනයක් කරන්න මේ ආණ්ඩුවෙන් නිදහස ලැබිලා තියෙනවා.

ඒක අනිසි විදිහට භාවිත කරන්න එපා. පසුගිය ආණ්ඩුවේ මෙහෙම වැඩ වර්ජනයක් තිබුණා නම් වෙන්නෙ මොකක්ද කියලා දන්නවනෙ නේද..?" මෛත්‍රි දැඩිව වෘත්තීය සමිති නායකයන්ට කීවේය.

"නෑ සර්.. අපිට ඒක තේරෙනවා. අපි කොහොමත් සර්ව හම්බවෙලා යන කොටම ස්ට්‍රයික් එක නතර කරනවා" දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයකු කීවේය.

"හරි එහෙනම් දැන් කියන්න ඔයාලගෙ ගැටලු මොනවද..?" මෛත්‍රි කීවේ මඳ සිනහවක් පාමිණි.

"නෑ සර්. මේකයි දුම්රිය රියැදුරු සහායක තනතුරත් දැන් අපට සමාන්තර කරලා තියෙන්නේ. එතකොට අපිට බෑ එයාලට උපදෙසක්වත් දෙන්න. වැටුපත් එක සමානයි. වැටුප පොඩ්ඩක් වැඩි කරන්න කියලයි අපි ඉල්ලන්නේ" වෘත්තීය සමිති නායකයෝ කිහිපදෙනෙක් ඉල්ලා සිටියහ.

"මේක කළොත් පොදුවේ මුළු රාජ්‍ය සේවයේම වැටුප් වලට මේක බලපානවා. ඒකයි ප්‍රශ්නය. ඒ නිසා වැටුප්තල ගැන හොයලා සියලු දෙනාටම සාධාරණයක් වෙන ක්‍රමයක් අපි හදනවා. අමුණුගම ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වැඩේ වෙනවා. අනිද්දා කැබිනට් මණ්ඩලයට ඒ යෝජනාව එනවා" ජනපති මෛත්‍රි එසේ කියද්දී වෘත්තීය සමිති නායකයන් එක හ¾ඩින් කීවේය.

"හොඳයි සර්.. ඒක හොඳයි. අපි දැන් මෙතැනින් එළියට බැස්ස ගමන්ම වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරනවා. අද හවස ඉඳලම වැඩට යන්න කියලා අපේ සාමාජිකයන්ට කියනවා" කියාය.

අනතුරුව ජනපති මෛත්‍රි දුරකථනයෙන් ඇමැති මංගලටත් අමුණුගමටත් මේ බව දැන්වීය. ජනපති හමුවෙන් පසුව දුම්රිය වෘත්තීය සමිති දුම්රිය වර්ජනය අත්හිටුවීමට කටයුතු කළේය.

මේ අතර ජනාධිපතිවරයා සඳුදා කොළඹ පැමිණ හොරණ පැවැති විශේෂ උත්සවයකට සහභාගි විය. ඒ රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ ජයග්‍රාහකයන් 35 දෙනෙක් සඳහා නිවාස හිමිකම් ලබාදීමේ උත්සවය සඳහාය. ඇමැති රුවන් විජේවර්ධන සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඊට එක්ව සිටියහ. අනතුරුව අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි කැබිනට් හමුව පැවැත්විණි. කැබිනට් හමුව එදින කෙටි වේලාවකට සීමා වී තිබීමද විශේෂත්වයකි. පසුගිය දින කිහිපය තුළද ජනාධිපතිවරයා උත්සවවලට සහභාගි නොවී නිවෙසට වී මඳක් විවේකීව සිටියේ සුළු අසනීප තත්ත්වයක් හේතුවෙනි.

ආණ්ඩුවට වසර 3ක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික වතාවත් කිහිපයක් අඟහරුවාදා පස්වරුවේ සූදානම් කර තිබිණි. යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද විසින් මෙම කටයුතු සූදානම් කර තිබිණි. ඇමැති හැරිසන් සහ විජයදාස මේ සඳහා එක්ව සිටියහ.

අගමැතිවරයා මිරිසවැටියට ගොස් එහි ආගමික වතාවත්වලින් පසුව මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

"ඔබතුමාට තියෙන දැනුම ගැන මේ රටේ ජනතාවට විශාල අවබෝධයක් තියෙනවා. තව තවත් රටේ ජනතාවට සේවය කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා." ඥානතිලක හිමියෝ පැවැසූහ.

අනතුරුව උන්වහන්සේ රත්රන් ආලේපිත මංජුසාවක් අගමැතිවරයාට තෑගි කළේය. එහි වූයේ කුමක්දැයි මැති ඇමැතිවරුන්ට කුතුහලයක් විය. නමුත් එය සොයා ගැනීමට නොහැකි වූයේ අගමැතිවරයා සිය වාහනයට යන තෙක් අතේ තබාගෙන සිටීමය. පසුදින පෙරවරුවේම ජයශ්‍රීමහා බෝධියට කිරිපිඬු පූජා කිරීම සිදුවුණේද අගමැතිවරයා අතිනි. එදින අනුරාධපුරයේ ගත කළ අගමැතිවරයා පසුදින මඩු පල්ලියේ මංගල්‍යය වෙනුවෙන් පැවැති විශේෂ දේව මෙහෙයට එක්විය. මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් දේව මෙහෙය පැවැත්වූහ. බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ විදේශ නියෝජිතයන් හමුවීමට හා රාජකාරි රැසක් ඉටු කිරීමටය.

"හුස්ම ගත්ත වසර 03ක්" කියන තේමාව හරි ලස්සනයි" සජිත් ප්‍රේමදාස කී විට නවීන් දිසානායක ඇතුළු පිරිස එය එකහෙළා අනුමත කළහ.

"වසර 03ක් ජනතාව හුස්ම ගත්තේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් විතරක්
නෙවෙයි. ආර්ථිකය ඇතුළු සියලු පැති ඊට අදාළයි. ණය ගෙවීම හොඳින් කරනවා. ආර්ථික වර්ධනය හා සංවර්ධනය දැන් වේගවත් වෙලා. ලෝකය අපිව වටලලා තිබුණ දෙයින් නිදහස් වුණා. ගමේ නගරයේ ගෙවල් පාසල්, රෝහල්, පාරවල්, පාලම් ඇතුළු පොදු යටිතල පහසුකම් දියුණු වෙනවා. ගම හදන්න රුපියල් දස ලක්‍ෂ අසූ දාහක අති විශාල මුදලකුත් අපි ඊළඟ වසරේදී යොදවනවා. පඩි 10,000කින් සමෘද්ධි දෙගුණයකින් මහපොළත් වැඩි කළා. ඉඩම් බෙදනවා. තවම බඩු මිලත් ඉන්ධනත් රාජපක්‍ෂලගේ කාලෙට වඩා අඩුයි.

ජනමාධ්‍ය නිදහස දෝර ගලලා. ඇත්තටම මුළු රටම හුස්ම ගත්ත වසර 03ක් අපි රටටම ලබා දුන්නා. වළේ තිබූ රටත් ජනතාවත් අපි ගොඩ ගත්තා. ඒත් රාජපක්‍ෂලා ඒ නඩය තවම ඒ වළේ ඉඳන් එකිනෙකා මරා ගන්නවා. අපි ඉදිරියටම යනවා." අගමැතිවරයා විග්‍රහ කළේය.

"සැප්තැම්බර් 05 ඒකාබද්ධය කොළඹ ඇවිත් වටලනවා කියලා බොරු තර්ජන පාරක් දානවා. කීපාරක් වැටලුවද ආණ්ඩුව පෙරළුවද අගමැතිකම ගත්තද? ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් අපි ළඟ බෙහෙත් තියෙනවා කියලා මම පත්තරේකට කිව්වා. ඒ බෙහෙත් රතුපස්වලදී දීපුව නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී බෙහෙත් අපි ළඟ තියෙන්නේ." සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

"විරෝධතාවලට ඉඩ තියෙනවා. ඒත් ප්‍රචණ්ඩ ක්‍රියා කළොත් එයාලට වන්දි ගෙවන්න වේවි" සජිත් ප්‍රේමදාස කීවේ." සාමය රැකීම ගැන උපරිමව ආණ්ඩුව උනන්දු විය යුතුයි" යන අදහස මතු කරමිනි.

"නිවාඩු මාසවල ගුරු වැටුප් නවත්වනවා කියලා අකිල කියලා නෑ. අලි බොරුවක් සමහර අවස්ථාවාදීන් පතුරවනවා. බොරු පතුරවන අය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න කියලා පොලිසියට උපදෙස් දෙන්න." නවීන් දිසානායක අගමැතිවරයාගෙන් ඉල්ලීය.
"මනෝ ගනේෂන්, හකීම්ලා මහින්ද හමුවෙලා කතා කළේ පළාත් සභා ගැන විතරමද? එතැන දේශපාලනයකුත් තියෙනවද" දයා ගමගේ ඇසුවේද අගමැතිගෙනි.

"මට කියලයි එයාල මහින්ද හමුවෙන්න ගියේ. පිල් මාරුවක් ගැන හෝ ඒ ගැන කතාවක් එතැන නෑ. පළාත් සභා ඡන්දය තියෙන ක්‍රමය ගැනයි කතා කරලා තියෙන්නේ. අලුත් නීතිය සම්පූර්ණ නැති නිසා ඒ ක්‍රමයට ඡන්ද තියන්න අමාරුයි. ඒකට උප ලේඛන දාන්න තියෙනවා. ශ්‍රී ලනිපය පරණ ක්‍රමයට, විරුද්ධයි. ඕනෑම ක්‍රමයකට කැමැතියි කියලා ජී.එල්. චැලෙන්ජ් කළා. පරණ ක්‍රමයට ගියොත් කාටවත් චැලෙන්ජ් කරන්න බෑ. ඡන්දය ජනවාරිවල තියන්නත් පුළුවන්. අලුත් සීමා නිර්ණ වාර්තාව පිළිගන්නවාද නැද්ද කියලා පාර්ලිමේන්තුවේදී විවාද කළ හැකියි. ඒ වාර්තාව හුඟක් පක්‍ෂ පිළිගන්නේ නෑ. පක්‍ෂ බලන්නේ තමන්ගේ දේශපාලන වාසි අවාසියි" අගමැතිවරයා පවතින තත්ත්වය විග්‍රහ කළේය.

"දුම්රිය වර්ජකයෝ අසාධාරණ ලෙස වැඩ කරලා අන්තිමේ ජනාධිපතිතුමාගේ ඇඟේ එල්ලිලා ෂේප් වුණා. ජනාධිපති හමුවුණා විතරලු පසුදා මංගල හමුවුණාම කියලා තියෙන්නේ එයා කලින් කියපු කතාවම තමයි. දේශපාලන උසිගැන්වීම් අනුව වර්ජන කරන්න ගියාම ඔහොම හිරවෙනවා "ලක්‍ෂ්මන් කිරිඇල්ල කීය.

"දැන් දුම්රියේ අය මට්ටු වුණාම බස් සංගම් වර්ජන කරන්න දඟලනවා. දඩ මුදල් අයින් කරන්නලු. මිනිස්සු මරාගෙන, වාහන හප්පගෙන නීතියක් නැතුව පාරේ යන්න අවසර දෙන්න කියලද එයාලා ඉල්ලන්නේ. මොන ආණ්ඩුවද මේවට යට වෙන්නේ. උසස් පෙළ දරුවෝ ඉලක්ක කරලා කරන මේ පහත් දේශපාලන සෙල්ලම් ගැන ආණ්ඩුව මීට වඩා ජනතාව වෙනුවෙන් තදින් ඉන්න ඕනෑ." වජිර අබේවර්ධන කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අනුමත කළහ.

"කීත් නොයාර් පැහැරගෙන ගහපු වෙලාවේ කරු ජයසූරිය මහතා මහින්ද ජනාධිපතිට කතා කරලා බේර ගත්ත බව එතුමා කටඋත්තර දීලා නිසා මහින්දගෙනුත් කටඋත්තරයක් ගන්න සී.අයි.ඩී. එන්න කිව්වට මහින්ද ඇවිත් නැහැ. ඒ නිසා සී.අයි.ඩී. එක එතුමාගේ ගෙදරට ගිහින් කටඋත්තර ගන්න හදනවා. ඒකේ වැරැද්දක් නෑ කියලයි මිනිස්සුත් කියන්නේ" චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

ලංකාවේ සොව පළකරන්න කිරිඇල්ල ඉන්දියා යයි

ඉන්දියාවේ තෙවරක් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වූ අභාවප්‍රාප්ත අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමඟුල් උත්සවය සඳහා ශෝකය පළ කිරීමට ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල සිකුරාදා අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපති මෛත්‍රිපාල සහ අග්‍රාමාත්‍ය රනිල්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඇමැතිවරයා මෙම අවමඟුල් උත්සවයට සහභාගි විය.
භාරතීය ජනතා පක්‍ෂයේ නිර්මාතෘවරයා වන අභාවප්‍රාප්ත අතල් බිහාරි වජ්පායි මහතා තෙවරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී ශ්‍රී ලංකාව සමඟ දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළ දේශපාලනඥයෙකි.

රහස් පොලිසිය පැය 2ක් මහින්දගෙන් ඇහුව කතාව

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් සිකුරාදා පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්දගේ විජේරාම පිහිටි නිල නිවෙසට ගියේය. එදින මහින්දට විවාහ මංගල උත්සව තුනකට අස්සන් කිරීමට නියමිතව තිබිණි. ඉන් මනාල යුවළ 2ක් විජේරාම පිහිටි නිල නිවෙසට පැමිණ එම චාරිත්‍ර ඉටුකරගෙන ගිය අතර තවත් විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා මහින්ද හිල්ටන් හෝටලයට ගියේය. පෙරවරුවේ සිටම විජේරාම නිල නිවෙසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වන දිනේෂ්, වාසු, ගම්මන්පිල, විමල්, වෙල්ගම, ලන්සා, චානක, කංචන, තේනුක, ෂෙහාන්, රෝහිත, මුතුකුමාරණ, ජනක ඇතුළු පිරිසක්ද ශ්‍රී ලනිප 16 කණ්ඩායමේ සුසිල්, එස්.බී. චන්දිගම, ලක්ෂ්මන් වසන්ත, ඩිලාන්, සුදර්ශනී ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. ඊට අමතරව පළාත් සභා නගර සභා මන්ත්‍රිවරුන්, කලාකරුවන් විශාල පිරිසක්ද විජේරාම නිවෙසේ සහ ඒ අවට ජනතාවද රැස්ව සිටියහ. එහි විශේෂත්වයක් වූයේ ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥ මන්ත්‍රිවරු කළු කෝට් සහ කළු ටයි පැලඳ පැමිණ සිටීමය. ලක්ෂ්මන් වසන්ත, සුසිල්, ඩිලාන් සහ චන්දිම යන මන්ත්‍රිවරු ඒ අතර වූහ. මඳ වේලාවකට විජේරාම නිවෙස උසාවියක වෙස් ගත්තේය.

පෙරවරු 11.30ට පමණ හිල්ටන් හෝටලයේ සිට බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාද සමඟ මහින්ද නිල නිවෙසට පැමිණියේය. මහින්දගේ වාහන පෙළට ඉදිරියෙන් රහස් පොලිස් නිලධාරීන්ද පැමිණියේය. ඔවුන් පැමිණියේ ජීප් රථ දෙකකිනි. කේ.එස්. 5303 සහ 61-7451 යන ජීප් රථ දෙකෙන් ඔවුහු පැමිණියහ. රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති රවි සේනාරත්න, අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ තවත් නිලධාරීහු සිවු දෙනකු මහින්දගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැමිණියහ. පෙරවරු 11.40ට පමණ විජේරාම නිවෙසේ කාමරයක රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශය ලබාගත් අතර මහින්ද සමඟ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ජනාධිපති නීතිඥ ජයන්ත විජේසේකර සහ අලි සබ්රි ද මහින්ද සමඟ එම කාමරයේ සිටියහ.

එහි මිනිත්තු 10ක් පමණ ගතකර සෙසු නිලධාරීන් ප්‍රකාශය සටහන් කර ගැනීමට සලස්වා නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විජේරාම නිවෙසින් පිටව ගියේය. සෙසු නිලධාරීහු පස්වරු 1.40 පමණ වන තුරු මහින්දගේ ප්‍රකාශය සටහන් කර ගත්හ. අනතුරුව සටහන් කරගත් ප්‍රකාශය හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ නීතිඥයන්ට ඇසෙන්නට කියැවීමටද එම නිලධාරීන් කටයුතු කළහ.

ප්‍රකාශය ලබාදීමෙන් පසුව එම කාමරයෙන් එළියට පැමිණි මහින්ද රැස්ව සිටි ජනතාව 'ජය වේවා... පළිගත්තට අපි ඔබ සමඟයි' යැයි කෑ ගසන්නට වූහ. අනතුරුව රැස්ව සිටි මාධ්‍යවේදීන්ට මහින්ද අපූරු කතාවක් කීවේය.

මේකෙන් එක දෙයක් තේරෙනවා. ඛ්ධ්ච් යේ ප්‍රකාශයකින් කියැවුණා කරු ජයසූරිය මෙම සිද්ධිය වුණු දවසෙ මට කෝල් කරල තියෙන්නෙ රෑ 11.40ට කියලා. ඒකෙන් පේනවා මම රෑ 10.00ට නිදා ගන්න ජනාධිපති කෙනෙක් නෙවෙයි කියලා' යැයි මහින්ද සිනාසෙමින් කීවේය.

රිචඩ්ගේ ගුණ සමරුවට පැමිණි මහින්දට විජේපාල හෙට්ටිආරච්චි කිව්ව කතාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයකු මෙන්ම දකුණු පළාතේ කෘතහස්ත දේශපාලනඥයකු වන හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකුද වන රිචඩ් පතිරණගේ 10 වැනි ගුණ සමරුව පසුගිය සතියේ පැවැත්වුණේ හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙනි. ගුණසමරුවට පෙර ගාල්ල නගර මධ්‍යයේ පිහිටි රිචඩ්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දකුණේ මහ ඇමැති ෂාන්ද මීට එක්වීම සඳහා ගියේ ලයිට් හවුස් හෝටලයේ පිහිටි උත්සවයකට සහභාගිවෙමින් සිටියදීය. ෂාන් යන විට දිනේෂ් සහ ජී.එල්. රිචඩ්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා සූදානමින් සිටියහ. ෂාන් එහි ගිය පසු රිචඩ්ගේ පුත් මන්ත්‍රි රමේෂ් ෂාන්ටද මල් කලඹක් ගෙනැවිත් දුන්නේය. අනතුරුව ෂාන්, දිනේෂ් සහ ජී.එල්. රිචඩ්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර මඳ වේලාවක් නිහඬව සිටිමින් රිචඩ්ට ආචාර කිරීමද සිදුකෙළේය.

අනතුරුව රිචඩ්ගේ ගුණසමරුව මහින්දගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
එම ගුණ සමරුවට ආ මහින්ද පිළිගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි විසිනි. විජේපාල කලක් රිචඩ් පතිරණගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කෙළේය.

'අපේ සර්ගේ උත්සවයට ආපු ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා' විජේපාල මහින්ද පිළිගනිමින් පැවැසීය. උත්සවය අවසානයේදී රමේෂ්, මොහාන්, විජේපාල සමඟ කතාකරමින් සිටින අතරතුර මහින්ද රිචඩ් සම්බන්ධ අතීත දේශපාලන කතා සිහිපත් කළේය. එසේම අධ්‍යාපන ඇමැතිවරයකු ලෙස රිචඩ්ගෙන් සිදු වූ සේවය ද මහින්දගේ ඇගැයීමට ලක්විය.

අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරනවා කියලා ආපු ආණ්ඩුව දැන් අධ්‍යාපනය කප්පාදු කරන්න යනවා. පාසල්වල සංවර්ධන කටයුතු නැවතිලා. පාසල් දුවවන්න යන්නේ මවුපියන්ගෙන් සල්ලි එකතු කරලායි. මේ වෙලාවට තමයි රිචඩ් වගේ අධ්‍යාපන ඇමැති කෙනෙක්ගේ වටිනාකම තේරෙන්නේ' මහින්ද පැවැසීය.

'ඒක හරි, අපිටත් මතකයි අපේ සර් ඒ කාලේ වැඩ කරපු හැටි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කිව්වොත් වෙන දෙයක් මතකවත් නැහැ. ඒ තරම් කැපවීමකින් වැඩ කළා' විජේපාල ද පැවැසීය. 'දැන් කොහෙද ඒ වගේ ඇමැතිවරු. දැන් ඉන්නේ කොහොම හරි තියෙන දෙයක් විකුණලා අත පිහදාගන්න බලන අයනේ' රමේෂ් කීවේය.

'දැන් ඉන්න අධ්‍යාපන ඇමැතිට අධ්‍යාපනයට වඩා කරන්න වැඩ තියෙනවානේ. ළමයින්ගේ දේවල් සොයා බලලා කරන්නේ නැතිව වෙන වෙන ව්‍යාපෘති කරන්නනේ එයාලට ඕනේ' මොහාන් පැවැසීය.

වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වැනිදා නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. වෘත්තීය සමිති සියයක පමණ නියෝජිතයන් සහභාගි වූ එම රැස්වීමට දිනේෂ්, වාසු, ඩලස්, කොල්ලුරේ, ලොකුගේ ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ.

එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්කෙරුණේ ආණ්ඩුව වෘත්තීය සමිති ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා ගෙනයන ඒකාධිපති වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් එක් එක් වෘත්තීය සමිති වෙන වෙනම කරුණු ඉදිරිපත් කළේය.

'අපි ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තනි තනිව සටන් කරලා වැඩක් නැහැ. එකට එකතු වෙලා සටන් කළයුතුයි.' ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ නදීර මනෝජ් පෙන්වා දුන්නේය.

'ඒ කතාව ඇත්ත. මේ වගේ මර්දනකාරී පසුබිමක අපි හුදකලා සටන් කරන්න ගියොත් පරදිනවා. සියලු බලවේග එකතු කරගෙන එක සටනක නියැළුණොත් ආණ්ඩුවට අපිව පරද්දන්න බැරි වෙනවා' වාසු පැවැසීය.

'පසුගිය කාලේ අපි ආණ්ඩුවට විරුද්ධව තනිව කරපු ඇතැම් සටන් දිනුවා. ඇතැම් සටන් පැරැදුණා. දිනුව සටන්වලින් වුණත් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ නිසා අපේ සටන් මෙහෙයවන්න ඒකාබද්ධ වෘත්තීය සමිති සටන් මධ්‍යස්ථානයක් අවශ්‍යයි' ඩබ්ලිව්.එච්. පියදාස පෙන්වා දුන්නේය.

'එහෙම මධ්‍යස්ථානයක් තිබුණොත් මේ සටන් මෙහෙයවන්න වගේම ජයග්‍රහණය කරන්නත් පහසුයි. අපි තනි වෙලා ඉන්නකොට ආණ්ඩුවට අපිට ගහන්න ලේසියි. අපි එකතු වුණොත් ආණ්ඩුව වුණත් අත දාන්න ඉක්මන් වෙන්නේ නැහැ' ඩලස් පැවැසීය.

'මේවගේ ආණ්ඩුවලට එරෙහිව කටයුතු කරන කොට සියලු දෙනාම එකතුවෙන් කටයුතු කරන එක තමයි ලොකුම හයිය' ලොකුගේ කීවේය.

'මමත් අවුරුදු ගණනාවක් වෘත්තීය සමිති එක්ක වැඩ කරපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල මර්දනකාරි වැඩපිළිවෙළ මම හො¼දාකාරව දන්නවා. හොඳින් බැරි නම් නරකින් හරි වෘත්තීය සමිති පරාජය කිරීම තමයි එයාලගේ එකම අරමුණ. ඒ හින්දා අපි එකට එකතු වෙලා ඉමු. එකතු වෙලා ඉන්න කොට ආණ්ඩුවට අපිව මර්දනය කරන්න ලේසි නැහැ' මහින්ද පැවැසීය.

'ආණ්ඩුවේ දැන් එකම අරමුණ රාජ්‍ය ආයතන ටික විකුණලා දාන එකයි. ඒ නිසා අපි විකුණන්න නියමිත ආයතනවලට ගිහින් විරෝධය පාමු' දිනේෂ් කී කතාවට කාගෙත් අනුමැතිය ලැබුණු අතර ඒ අනුව තීන්දු කෙරුණේ ලබන සතියේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගොස් විරෝධය පෑමටය.

මේ අතර මෙම සාකච්ඡාවට එක්ව සිටි මහින්ද කහඳගමගේ වලියක් ඇදගත්තේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා සමඟය. කහඳගමගේ කීවේ තමන් රිමාන්ඩ් කරවීමට දායක වූ අයත් මෙම සාකච්ඡාවට පැමිණ සිටින බවය. එවැනි අය සමඟ එකට කටයුතු කළ නොහැකි බවත් ඔහු පැවැසීය.

'මේක ඕවා ගැන කතා කරන වේලාවක් නෙවෙයි. අපි කවුරුත් මහන්සි වෙන්නේ ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුවක් හදන්න නම් අපි කැමැති අය විතරක් එකතු කරගෙන බැහැ. ඒකට ආණ්ඩු විරෝධී සියලු පාර්ශ්ව එක වේදිකාවකට ගේන්න ඕනේ. එතැන අපි කැමැති අය වගේම අකැමැති අයත් ඉන්න පුළුවන්. පෞද්ගලික කෝන්තර අමතක කරලා එකමුතුව වැඩකරගෙන ඉන්න. එහෙම නැතිව කොහොමද මේ සටන දිනන්නේ' මහින්ද කහඳගමගේට අවවාද කළේය.

තංගල්ලට ගිය 16 කණ්ඩායමේ මන්ත්‍රිවරුන් මහින්ද එක්ක පැය 5ක් කතා කළේ මොනවාද?

විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාගේ කණ්ඩායමේ පිරිසක් පසුගිය ඉරිදා හිටපු ජනපති මහින්ද හමුවීමට තංගල්ල කාල්ටන් නිවෙස බලා පිටත්ව ගියහ. සුසිල්, ජෝන්, ඩිලාන්, ලක්‍ෂ්මන්, වසන්ත, චන්දිම, සුදර්ශනී, තිලංග සහ සුමේධා මෙම ගමනට එක්ව සිටියහ. හදිසියේ යොදාගත් වැඩකටයුතු නිසා පැමිණීමට නොහැකි බව අනුරාධ, ලක්‍ෂ්මන් යාපා, ටී.බී., එස්.බී., අනුර යාපා, තාරානාත් සහ සුසන්ත පුංචිනිලමේ දන්වා තිබිණි.
පෙරවරු 10.30ට පමණ තංගල්ල කාල්ටන් නිවෙසට ගිය මන්ත්‍රි පිරිසට මහින්දගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ඔවුන් වෙනුවෙන් තංගල්ල කාල්ටන් නිවෙසේදී හිටපු ජනපති ආර්යා ශිරන්ති අතින් රසබර තේ මේසයක්ද සූදානම් වී තිබීම විශේෂයකි. ''මැඩම් සෑහෙන්න මහන්සි වෙලානේ'' ඩිලාන් කීවේ කාගේත් සිනහා මැදය.

''ඔව්......ඔව්......ඔයාලා එනකොට හොඳට සලකන්න එපැයි'' ශිරන්ති ද කීවේ සිනාසෙමිනි. තේ පානයෙන් පසු මන්ත්‍රි පිරිස මහින්ද සමඟ ඉතා සුහදශීලීව කතාබහ කිරීම පටන් ගත්තේය. මහින්දටද එදින විශේෂ රාජකාරි හෝ උත්සවයක් නොමැති වීම නිසා ඔවුන් සමඟ සුහදව කතාබහ කරමින් කාලය ගත කිරීමට හැකි විය.

රටේ වත්මන් දේශපාලනය, පළාත් සභා මැතිවරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මෙහිදී මන්ත්‍රි පිරිස දීර්ඝ ලෙස කතාබහ කළේය.

අනතුරුව කාල්ටන් නිවෙසේදී මන්ත්‍රි පිරිසට දිවා ආහාරයද සූදානම් වී තිබිණි. සියලුදෙනාම දිවා ආහාරයට ගියේ මහින්ද ද සමඟිනි. දේශීය ආහාර බොහෝමයකින් රසගැන්වී තිබුණු එහි කොස් තම්බා වැව් මාළු හොද්දක්ද තිබූ අතර වැඩි පිරිසකගේ අවධානය ඊට යොමු විය. කොස් තම්බා තිබෙනු දුටු මන්ත්‍රි පිරිසගේ මුවඟට සිනවක් නැඟුණේය.

''සුමේධා අක්කලාට නම් මේවා ඉතින් අමුතු කෑම නොවෙයිනේ'' මන්ත්‍රිවරුන් සුමේධාට උසුළු විසුළු කරන්නට වූහ.

''ඔව්.. මේවා කොච්චර ගුණ කෑමද? සුමේධාද සිනාසෙමින් කීවාය. දිවා ආහාරයෙන් පසුවද මන්ත්‍රිවරු යළි කතාබහ ආරම්භ කළෝය. මේ අතර වාරයේ මහින්ද මන්ත්‍රි පිරිස සමඟ ආගිය තොරතුරු කතාබහ කිරීමට අමතක නොකළේය.

පෙරවරු 10.30 සිට පැය 5කට ආසන්න කාලයක් කාල්ටන් නිවෙසේ කාලය ගත කළ මන්ත්‍රි පිරිස යළි කොළඹ බලා පැමිණියේය.

මේ අතර බදාදා මහින්ද මීගමුව බලා ගියේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහාය. ඊට පෙරද මහින්දට තවත් මංගල උත්සව දෙකකට අස්සන් තැබීමට නියමිතව තිබුණත් එම නිසා මහින්ද මීගමුවට පැමිණියේ හෙලිකොප්ටරයෙනි. මහින්ද රැගත් හෙලිකොප්ටරය මීගමුව වෙරළේ ගොඩබැස්ස විය.

විවාහයේදී එක් පාර්ශ්වයකින් මහින්ද අස්සන් තබන විට අනෙක් පාර්ශ්වයෙන් අස්සන් තැබුවේ ඉසුර දේවප්‍රියය. අස්සන් තැබූ විගසම රෙජිස්ට්‍රාර්වරයා සුබ පැතීමටත් පෙරාතුව මහින්ද වෙත ආ මනාල යුවළ දණ ගසා වැඳ ආශීර්වාද ගත්තේ සර්ගේ ආශීර්වාදය අපිට කාටත් වඩා වටිනවා කියමිනි. අනතුරුව මනාල යුවළත් නැදෑ පිරිසත් ඡායාරූප ගත් නිසා මහින්දට පැයක් පමණ ගතවන තුරු විවේකයක් ලැබුණේ නැත.

''සර් මම යනවා'' යැයි කියමින් ඉසුර තවත් මංගල උත්සවයකට පිටත්ව ගියේය. ඡායාරූප ගැනීමෙන් පසුව මහින්ද පිරිසගෙන් ඇසුවේ ''කෝ මේ ඉසුර? නොකියම ගියාද?'' කියාය. ''ආ ඔව් සර් මහ ඇමැතිතුමා ගියා මෙතැන පුටු හරි නැහැ කියලා'' එතැන සිටි අයකු කීවේ මේ දිනවල කතාබහට ලක් වෙමින් තිබෙන බස්නාහිර පළාත් සභාවේ ලක්‍ෂ හයහමාරේ පුටු ගනුදෙනුවද සිහිපත් කරමිනි. එයට සැවොම සිනාසුණහ.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. "ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා පාර්ලිමේන්තුවේදී වෙනම කණ්ඩායමක් විදියට ඉන්නවද නැද්ද කියන තීන්දුව පක්ෂ නායක රැස්වීමේදී ගන්නවා කියලා. අපි ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ." දිනේෂ් කරුණු පැහැදිලි කළේය.

"ගැටලුව තියෙන්නේ විපක්ෂ නායකකමත් ලක්ෂ 62 ගොඩටම බෙදාගත්ත එකයි. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැහැ. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියන ඔක්කොම තනතුරු බෙදිලා ගිහින් තියෙන්නේ එකම මතවාදයක් දරන කණ්ඩායමක් අතරයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි" මහින්ද පැහැදිලි කළේය.

"නීතිමය පැත්තෙන් බැලුවොත් මෙතැන දී මත දෙකක් තියෙනවා. මුලින්ම මේ මන්ත්‍රිවරුන් ස්වාධීනව කටයුතු කරන්න ගියොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මන්ත්‍රි ධුරය අහෝසි වෙනවා කියලා කාරණයක් තියෙනවා. අනෙක් පැත්තෙන් මේ අය පාර්ලිමේන්තු ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙවෙයි.

ජාතික ආණ්ඩු ගිවිසුමට අස්සන් කරලා තියෙන්නෙත් නිදහස් පක්ෂය මිසක් සන්ධානය නෙවෙයි. ඒ නිසා සන්ධානයේ මන්ත්‍රිවරුන් ජාතික ආණ්ඩුවට එකතු වෙලා නැහැ කියන තර්කයත් තියෙනවා. මගේ අදහස නම් තවදුරටත් මේ ගැන හොයලා බලලා කටයුතු කරන්න ඕනේ කියන එකයි" ජී.එල්. නීතිමය තත්ත්වය පෙන්වා දුන්නේය.

"විපක්ෂයේ නියෝජනය අහිමි වීම නිසා අපිට මහජනතාවගේ මතය නිවැරැදිව ඉදිරිපත් කරන්නට බාධා සිද්ධ වෙලා තියෙනවා. කථානායකවරයා කටයුතු කරන්නේ පක්ෂග්‍රාහීවයි. කථානායක අපිව නොසලකා හැරලා ආණ්ඩුවේ කීමට විතරක් වැඩ කරනවා" ගම්මන්පිල චෝදනා කළේය.

"මොනවා වුණත් අපිට ඡන්ද දීපු ජනතාවගේ මත පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැති නම් මේ මන්ත්‍රි ධුර දරලා වැඩක් නැහැ. මම නම් කියන්නේ මන්ත්‍රිකම් නැති වුණත් කමක් නැහැ කියලා අපි ස්වාධීනව කටයුතු කරන්න ඕනේ කියලයි" ප්‍රසන්න පැවැසීය.

"මමත් ඒ අදහසට එකඟයි. අපේ ජනතාව නියෝජනය කරන්න බැරි නම් මන්ත්‍රිකමෙන් වැඩක් නැහැ" පවිත්‍රා පැවැසුවාය.

"මිනිස්සු අපිව පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ ඒ අයගේ අදහස් කියන්න මිසක් කථානායකගේ බණ අහගෙන ඉන්න නෙවෙයි. කථානායකගේ යුතුකම තමයි අපේ ජනතාවටත් සාධාරණ අවස්ථාවක් දෙන එක. එතුමා සම්පූර්ණයෙන් කරන්නේ ආණ්ඩුවේ පදයට නටන එකයි" රංජිත් සොයිසා කීවේය.

"අපි මේ මතවලට එකඟයි. කණ්ඩායමක් විදියට ගන්න ඕනෑම තීන්දුවකට අපි එකඟ වෙනවා" එස්.බී. පැවැසීය.

"ස්වාධීන වෙනවා කියලා පෞද්ගලිකව ලියුම් දෙන්න කියලා අමරවීර කියන්නේ ඒ ලියුම් අරගෙන අපිව පාර්ලිමේන්තුවෙන් එළියට දාගන්න උපක්‍රමයක් විදියටයි" සුසිල් පෙන්වා දුන්නේය.

"නිදහස් පක්ෂයේ ලේකම් අභියෝග කරලා තියෙනවා පුළුවන් නම් ස්වාධීන වෙලා පෙන්නන්න කියලා. එකම ඡන්දයකටවත් ඉදිරිපත් වෙලා නැති එයා කොහොමද අපට අභියෝග කරන්නේ" ප්‍රසන්න විමසුවේය.

"දැන් ඉතින් එයාටත් බැඳගත් බෙරේ ගහනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ. දැන් නිදහස් පක්ෂයේ වගේම සන්ධානයෙත් ඉන්නේ මොන්ටිසෝරි ලේකම්ලා" රෝහිත පැවැසීය.

"මිනිස්සු අපෙන් ඉල්ලන්නේ ආණ්ඩුවට විරුද්ධව ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න කියලයි. අපි හැම පැත්තක්ම බලලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මහජන මතයටත් කන්දෙන්න ඕනේ" මහින්ද පැවැසීය.

ඒ අනුව තීන්දු කෙරුණේ ජී.ල්, සුසිල්, දිනේෂ් ඇතුළු මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර මේ සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය තත්ත්වය ඇතුළු අනෙකුත් කාරණා සොයා බලන්නටය. එම කරුණු සොයාබලා පක්ෂ නායකයන් වෙත වාර්තාවක් සැපයීම ජී.එල්. වෙත පවරන ලදී.

ආණ්ඩුව විසින් හොර රහසේ සම්මත කර ගැනීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි. එහිදී මහින්ද පැවැසුවේ "ආණ්ඩුව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හදන්නේ රටට ආදරේට නෙවෙයි. අපි මේ ගැන මීට වඩා පුළුල්ව බලන්න ඕනේ.

ඒ වගේම රට තුළ මේ ගැන විද්වත් කතිකාවක් ඇති කරන්න ඕනේ. මේ යෝජනාව පරද්දන්න ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගත් හොයලා බලන්න ඕනේ." කියාය.
සැප්තැම්බර් මස 05 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වීමට නියමිත ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි. නාමල් මේ දිනවල විදෙස්ගතව සිටින බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට දිලුම් කැඳවා තිබිණි.

සියලු පක්ෂ නායකයන් වෙත ෆයිල් කවර බෙදාදෙමින් දිලුම් උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කරන්නට විය.

"මේක ඓතිහාසික උද්ඝෝෂණ ව්‍යාපාරයක්. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ගම් මට්ටමින් ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. අපි එදාට ලොකු සෙනඟක් ගෙනත් කොළඹ වට කරනවා" දිලුම් කීවේය.

"ගම්පහ, කොළඹ, කළුතර කියන දිස්ත්‍රික්කවල ජනතාවගේ ලොකු සහභාගිත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ දිස්ත්‍රික්කවල රැස්වීම් මාලාවක් කරලා ජනතාව දැනුවත් කරනවා." ප්‍රසන්න පැවැසීය.

"ජන සටන පාගමනටත් තරුණයන් අතර ලොකු උනන්දුවක් තිබුණා. මේ පාර ඊටත් වඩා උනන්දුවක් තියෙනවා" මහින්දානන්ද කීවේය.

"උද්ඝෝෂණය පුළුවන් උපරිමයෙන් සාර්ථක කරගන්න මහන්සි වෙන්න" මහින්ද උපදෙස් දුන්නේය.

පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් පසුව මහින්ද සහ එස්.බී, සුසිල්, ඩලස්, ජී.එල්. සහ ප්‍රසන්න ඇතුළු පිරිසක් සුහද කතාබහක නියැළෙමින් සිටියහ. ඔවුන් කතාබහ කරමින් සිටියේ පළාත් සභා ඡන්ද විමසීම කල්දැමීම ගැනය.

"මොකක්ද අර අත්තනගල්ලේ වුණයි කියන්නේ? මහින්ද ඇසුවේ ප්‍රසන්නගෙනි.

"අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිනිය චන්ද්‍රිකා. එයා තමයි මාධ්‍යවේදීන් ආවයි කියලා කචල් එක දාලා තියෙන්නේ. හැබැයි මාධ්‍යවේදීන්ට ආරාධනා කරලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා" ප්‍රසන්න පැහැදිලි කළේය.

"චන්ද්‍රිකා නෝනට ඉතින් කොහොමත් මාධ්‍ය පෙන්නන්න බැහැනේ. එයාගේ හොඳ කියන අය විතරයි මාධ්‍යවේදීන් කියලා එයා හිතාගෙන ඉන්නේ" ඩලස් පැවැසීය.

"ආණ්ඩුව මාධ්‍ය නිදහස ගැන ලොකු කතා කියනවා. හැබැයි අද ආණ්ඩු කරන රනිල්ලා, චන්ද්‍රිකාලා ඒ කාලේ මාධ්‍යවේදීන්ට කරපුවා කාටත් අමතක වෙලා" ප්‍රසන්න කීවේය.
"එක්නැලිගොඩලා ගැන හොයන අය රිචඩ්ද සොයිසා, ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස් වගේ අය වචනයක්වත් කියන්නේ නැහැ. එදා මාධ්‍යවේදීන් මැරුවේ බුරුතු පිටින්. අද සිල් ගත්තා වගේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණත් මාධ්‍යවේදීන් මරලා දැම්මා" මහින්ද සිහිපත් කළේය.

"මානව හිමිකම්, මාධ්‍ය නිදහස ගැන වැඩියෙන්ම කතා කරන්නේ වැඩිපුරම ඒවා විනාශ කරපු අයමයි" ඩලස් කීවේය.

"අද කිඹුල් කඳුළු හෙළන කවුරුත් ඒ භීෂණ කාලේ අහිංසක මිනිස්සු ගැන කතා කළේ නැහැ. අපි තමයි විස්තර හොයාගෙන ඒ මිනිස්සු වෙනුවෙන් කතා කළේ" මහින්ද සිහිපත් කළේය.

"චන්ද්‍රිකා ඉතින් දා ගත්තොත් ලෙඩක් තමයි. දැන් නම් එයාගේ වයර් මාරු වෙලා තියෙන්නේ" එස්.බී. කී කතාවට කවුරුත් සිනාසුණහ.

පළාත් සභා ගැන 24 විවාදයක්

පළාත් සභා මැතිවරණය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ පක්ෂ නායක රැස්වීමක් ගෙවුණු සතියේ කථානායක කරුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අතර එහිදී තීරණය වූයේ පළාත් සභා මැතිවරණය පිළිබඳව හා ඊට අදාළ සීමා නිර්ණයන් කෙරෙහිද අවධානය යොමු කරමින් විශේෂ විවාදයක් එළැඹෙන 24 වැනි සිකුරාදා පෙ.ව. 11 සිට ප.ව. 6.30 දක්වා කාලය තුළ පැවැත්වීමටය.

මේ අතර පාර්ලිමේන්තුවේ සම්මත වූ 'සාපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත' සහ 'බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත සඳහා බදාදා පස්වරුවේ කථානායකවරයා ස්වකීය අස්සන සටහන් කළේය.

කෙසේ වෙතත් මෑත කාලීනව රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා පාර්ලිමේන්තුව පැත්තෙන් ගෙන තිබෙන පියවර සහ සම්මත කෙරුණු රටට වැදගත් අණ පනත් පිළිබඳව පැහැදිලි කළ කථානායකවරයා විශේෂයෙන්ම මහනුවර, අම්පාර වැනි ප්‍රදේශයන්හි තැන් කිහිපයකින් මතු වූ ජාතිවාදී ගිනි පුපුරු එසැණින්ම නිවා දැමීමට පාර්ලිමේන්තුවේ සර්වපාර්ෂික සහභාගිත්වයෙන් 'ජාතික හා ආගමික සංහිඳියාව' කමිටුවක් ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳව කතාකළේ ඉතාමත් තෘප්තිමත් හැඟීමකිනි. 'යම් ගින්නක් වාර්තා කිරීමට මාධ්‍යයෙන් දක්වන උනන්දුව තරමටම එම ගින්න නිවීමට දරන උත්සාහයන් පිළිබඳ වාර්තා කිරීමට උනන්දුවක් මාධ්‍යයන් තුළ තිබීම සාමය, සමඟිය පිරි රටක් වෙනුවෙන් අත්‍යවශ්‍ය බවද 'කථානායකවරයා මාධ්‍ය ප්‍රධානීන්ට පැවැසීය.

ගාල්ලට උදා ගම් 150ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ, පිලාන, කැරැන්කැටියේ ඉදිවුණු "සියපතගම" - 104 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟ එක්ව සිටියේ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා, බන්දුලලාල් බණ්ඩාරිගොඩ සහ විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනාය. තිදෙනා අතර කතාබහේදී සජිත් ගයන්තට කීවේ ''ගාලු දිස්ත්‍රික්කයේ හැදෙන උදා ගම්මාන ගණන නම් කොහොමටවත් ප්‍රමාණවත් නෑ" කියාය. දැන් උදා ගම්මාන තැනීමට මුදල් ඕනෑ තරම් ඇති නිසා ඒ ගම්මාන තැනීමට ඉඩම් නිදහස් කර ගත යුතු බව සජිත් කීවේය. "ඔන්න ඔබතුමාගේ සහාය අවශ්‍යම වෙලාව ඇවිල්ලා. අපට වැඩි වැඩියෙන් ඉඩම් නිදහස් කරගන්න උදවු ඕනෑ" සජිත් කීවේ ගයන්ත දෙසට හැරෙමිනි. ගයන්ත ඇසුවේ "සජිත් ඔයා ගාලු දිස්ත්‍රික්කයේ උදා ගම්මාන කීයක් විතර හදන්න බලාපොරොත්තු වෙනවාද" කියාය. "ගම්මාන 150ක්" සජිත් කීවේය.

"හොඳයි, මම ඊළඟ සතියේම මගේ නිලධාරීන් කැඳවලා ඉඩම් වෙන්කර දෙන්න අවශ්‍ය කටයුතු කරන්නම්" ගයන්ත කීවේය. සජිත් කීවේ ''මම ලංකාවෙම උදා ගම්මාන 2,500ක් හදනවා. ඒකට මට උපරිම සහාය දෙන්න. නිලධාරීන් සම්බන්ධ කර දෙන්න" කියාය.

කොළඹ මහ නගර සභාවේ ජූලි මස 26 වැනි දින පැවැති මාසික රැස්වීමේදී මුලසුන හොබවමින් සිටි රෝසි සේනානායක මහත්මිය සභාවේ මන්ත්‍රි මණ්ඩලයට කළ කතාවේදී දැනට කොළඹ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ ලැබෙන රුපියල් විසිදහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් රුපියල් 25,000කින් එම ගෙවීම ඉහළ දමන බව කීවාය. පුරපතිනිය එලෙස පවසද්දී සභා ගැබෙ තුළ සිටි මන්ත්‍රිවරුන්ගේ හා මන්ත්‍රිවරියන්ගේ මුහුණු ශෝභාසම්පන්නව පිරීයනු සභා ගැබ් සිටි මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය. පුරපතිනිය එලෙස ගෙවීම වැඩි කළ යුතු යැයි පවසද්දී කිසිම මන්ත්‍රිවරයෙක් හෝ මන්ත්‍රිවරියක් කිසිම සඳහනක් නොකරම මුනිවත රැකීය.

මෙම වැඩි කිරීමත් සමඟ මන්ත්‍රි දීමනාව සඳහා රුපියල් 53,55,000ක මුදලක් මහ නගර සභාවට මාසිකව අමතරව දැරිය යුතු වෙයි. මෙම මන්ත්‍රි දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ අනුමැතිය මහා සභා රැස්වීමෙන්ද නාගරික මුදල් පිළිබඳ කාරක සභාව මඟින්ද අනුමත කරනු ලැබීය. ඒ සමඟම සෑම මන්ත්‍රිවරයකුටම මෙම දීමනාවට අමතරව දුරකථන, ප්‍රවාහන, මුද්දර සමඟ කවර සඳහා මාසිකව අමතරව දීමනාවක් දැනටමත් හිමි වෙයි.
2018 වර්ෂයට පෙර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව 53 දෙනකි. එය 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන මන්ත්‍රිවරුන්ගෙන් වැඩිම 119 දෙනකු පත්ව සිටින සභාව විය. මෙම මන්ත්‍රිවරුන්ගේ මාසික දීමනා සඳහා පමණක් රුපියල් 23,80,000ක මුදලක් වැය වෙයි.

මේ අතර මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රිවරියන්ගේ දීමනා වැඩි කිරීමේ ප්‍රකාශය සභාවට කියද්දී කිසිම දෙයක් ඊට අදාළව පක්ෂව හෝ විපක්ෂව කතා නොකළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රි ෂර්මිලා ගෝනවල මහත්මිය එම යෝජනාවට නොසතුට පළ කරමින් 13 වැනිදා පුරපතිනි රෝසි සේනානායක මහත්මිය වෙත ලිඛිතව දැනුම්දීමක් කර තිබෙන බව 'මව්බිම'ට වාර්තාවේ.

මේ වනවිට සමස්තයක් ලෙස ජනතාව සමාජීය හා ආර්ථික දුෂ්කරතාවට මුහුණදී ඇති නිසා ඒ වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්විය යුතු බවත් එවන් අවස්ථාවක මෙසේ දීමනා වැඩි කිරීම යෝග්‍ය නොවන බවත් පෙන්වා දෙන ෂර්මිලා ගෝනවල මන්ත්‍රිතුමිය සභික දීමනා ප්‍රමාණවත් නොවුණත් මේ මොහොතේ දීමනා වැඩි කිරීමට ගත් තීරණය සුදුසු නැති බවත් නාගරික මන්ත්‍රිනි ෂර්මිලා ගෝනවල මහත්මිය පෙන්වා දුන්නාය.

තවද රෝසි සේනානායක පුරපතිනියගේ එම මුදල් වැඩි කරන යෝජනාවට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බවද ෂර්මිලා ගෝනවල මන්ත්‍රිතුමිය වැඩිදුරටත් කියා සිටියාය.

වැටුප් වැඩි කරන වෘත්තීය සමිති සටන අරඹයි

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති පසුගිය සතියේ විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ, වැඩි වී තිබෙන ජීවන වියදම පදනම් කරගනිමින් වැටුප් වැඩි කර ගැනීමේ සටනක් ආරම්භ කිරීම සඳහා මූලික පියවරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. මෙම සාකච්ඡාව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි ජාතික මෙහෙයුම් කමිටුව සහ වෘත්තීය සමිති නායකයෝ සහභාගි වී සිටියහ. "මේ වෙනකොට බදු බර, බඩු මිල, ඉන්ධන මිල වැඩිවෙලා. ජනතාවට තමන්ගේ වැටුපෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ නිසා වැඩිවෙන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් වැඩ කරන ජනතාවට ලබාදෙන්න කියලා සටනක් ආරම්භ කළයුතු වෙලා තිබෙනවා." ලාල් කාන්ත සාකච්ඡාවට මුල පිරීය. "ඔව්. ආණ්ඩුව බදු වැඩි කරන්න, තෙල් මිල ඉහළ දාන්න මිල සූත්‍ර හදනවා. නමුත් ජනතාවගේ ආදායම වැඩි කරන්න කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට මැති ඇමැතිවරුන්ගේ වැටුප් දීමනා වැඩි කරගන්න සාකච්ඡාවක් තියෙනවා. 640,000 පුටුවල වාඩිවෙන්න කතා කරනවා. අධීක්ෂණ මන්ත්‍රිලා පත්කරලා ලක්ෂ දෙක තුන දීමනා දෙනවා. නමුත් රටේ ජනතාව ගැන කිසිදු කතාබහක් ඔය කියන ආයතනවල සිදුවෙන්නේ නැහැ." අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කීය. "අපි වැටුප් සටන ජීවන වියදමත් එක්ක ගැට ගහගන්න ඕනෑ. එතකොට ජනතාවටත් මේ සටන් පාඨ තේරුම් ගන්න පුළුවන්. ඇත්තම තත්ත්වය ජනතාවට හොඳට ජීවන වියදම දැනිලා තියෙන්නේ. ඒ නිසා මේ වෙනකොට වැඩිවෙලා තියෙන ජිවන වියදම සැලකිල්ලට ගන්න ඕනෑ" ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේය. "මේ ආණ්ඩුව පත්වුණේ 2015 ජනවාරි 08 වැනිදා. 2015 පෙබරවාරිවල ජීවන අංක වෙලා තියෙන්නේ 108.9ක්. මේ වෙනකොට ජීවන අංකය 126.5යි. මේවා ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන. ඒ අනුව ජීවන අංකය 17.6කින් වැඩිවෙලා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව ජීවන අංකය රු. 321ක් වෙනවා. ඒ අනුව මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ රු. 5649.60කින් ජීවන වියදම වැඩිවෙලා තියෙන්නේ" ලාල් කාන්ත සංඛ්‍යාලේඛන අනුව වැටුප් වැඩි කර ගැනීමේ ප්‍රමාණය පිළිබඳව අදහසක් යෝජනා කළේය. "ඒක හොඳ තර්කයක්. මොකද අපි වැටුප් වැඩි කරන්න කියන්නේ සාධාරණ තර්කයකට අනුවයි. ඒ වගේම මේ වැටුප් වැඩිවීම රාජ්‍ය, වතු සහ පෞද්ගලික අංශයේ සියලුදෙනාට ලැබිය යුතුයි" සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති සෙල්වරාජ් පැවසීය. ඒ අනුව ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැතිවරයාට මේ පිළිබඳව දන්වමින් ලිපි යැවීමටත් වැටුප් වැඩි කර ගැනීමේ සටන පිළිබඳව ජනතාව දැනුවත් කරන පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටත් සැප්තැම්බර් මාසයේදී කොළඹදී වැටුප් දිනාගැනීමේ උද්ඝෝෂණ සංවිධානය කිරීමටත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයෝ තීරණය කළහ.

වෘත්තීය සමිති මර්දනයට අලුත් අවියක්..

වෘත්තිය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාර දැක්වීම පිළිබ¼දව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයන්ගේ අවධානය යොමුවිය. "දැන් ආණ්ඩුවේ අලුත් වෘත්තීය සමිති මර්දන උපකරණය වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව සහ වෘත්තීය සමිති අතර ගැටුමක් ඇති කරන එකයි. ඒක නිසා තමයි ජනාධිපතිතුමා කිවුවේ වැඩ වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නෙවෙයි ජනතාවට කියලා. ප්‍රශ්න විසඳන්න ඉන්න පාලකයෝ ප්‍රශ්නය මඟහරිනවා. මොන වැඩ තිබුණත් රෑ 10ට නිදාගන්න ජනාධිපති කෙනෙක් රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? ලාල් කාන්ත කීවේය. "දුම්රිය වැඩ වර්ජනය වුණත් ආණ්ඩුවට විසඳන්න පුළුවන් එකක්. ඇත්තටම දැන් ආණ්ඩුවක් නැහැ. අගමැති එකක් කියනවා. ජනාධිපති එකක් කියනවා. කැබිනට් මණ්ඩලය තවත් එකක් කරනවා. මේ නිසා තමයි ප්‍රශ්න උග්‍ර වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ බැරිකම වෘත්තීය සමිති පිටින් දාලා ජනතාව කෝප ගන්වලා වෘත්තීය සමිතිවලට විරෝධය හදනවා. "මහින්ද ජයසිංහ කීවේය. "දැන් ඊටීඅයි ආයතනයයි තැන්පත්කරුවෝයි අතර ප්‍රශ්නයත් ඒ වගේ දෙයක් වෙලා. ඒ වගේ නීති විරෝධී විදියට තැන්පත් භාරගත්ත එකට ඊටීඅයි ආයතනයට විරුද්ධව මහ බැංකුව පියවරක් ගන්න ඕනෑ. නමුත් දැන් ආණ්ඩුව පැත්තක තැන්පත්කරුවොයි ආයතනයේ නිලධාරිනුයි ගහගන්න තත්ත්වයක් මතුවෙලා. මේ තත්ත්වය ජනතාවත් හරියට තේරුම් ගන්න ඕනෑ." වසන්ත සමරසිංහ කීවේය.

දේශපාලකයන්ගේ වුවමනාවන් ඉටු කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. කෝප් සභාපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙසක්

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද වැඩමුළුවක් සඳහා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිටද ආරාධනයක් ලැබිණි. එම වැඩමුළුව වූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉහළ නිලධාරීන් සඳහා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව දැනුම ලබාදෙන වැඩසටහනකි. ඒ සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරයෙක්ද සම්බන්ධ විය. එය පළාත් මට්ටමින් පැවැත්වෙන අතර බස්නාහිර පළාතේ වැඩමුළුව සඳහා කෝප් සභාපතිවරයා සම්බන්ධ වූ අතර මධ්‍යම පළාතේ වැඩමුළුවටද සහභාගි වීමට නියමිතය. "රාජ්‍ය මූල්‍ය පාලනය කියන්නේ ඉතාම වැදගත් රාජකාරියක්. රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් තමයි මේ මූල්‍ය කටයුතු සඳහා මැදිහත් වෙන්නේ. ඒ නිසාම මම මේ උපදේශය දෙන්න කැමැතියි. රාජ්‍ය සහ ආණ්ඩුව දෙකක්. ආණ්ඩුව අවුරුදු පහෙන් පහට මාරු වෙනවා. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ගේ වුවමනාවන් ඉටු කරන්න යන්න ඕනෑ නැහැ. ඔවුන් කරන්න ඕනෑ රාජ්‍යය වෙනුවෙන් වැඩ කිරීමයි. එතකොට මූල්‍ය ගනුදෙනු අයථා විදියට කරන්න ඕන වෙන්නේ නැහැ. රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව වැඩ කළාම වංචා, දූෂණ වෙන්නෙත් නැහැ. තමන්ට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. අද අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්නය දේශපාලකයන්ට ඕන විදිහට නිලධාරීන් වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන එකයි" කෝප් සභාපතිවරයා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව දේශනය පවත්වමින් කියා සිටියේය.

20 ගැන බොරු මත දුරු වෙයි

ශ්‍රී ලංකා විද්වත් වෘත්තික සංගම් සංවිධානය (ඕපීඒ) විසින් 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සංවිධාන කළ විශේෂ සංවාදයක් එම සංගම් මූලස්ථානයේදී පසුගිය 07 වැනිදා පැවැත්විණි. එම සංවාදයට නීතිඥ ප්‍රතිභා මහානාම, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහභාගි වූහ. 20 වැනි සංශෝධනයත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවත් එහිදී දීර්ඝ සංවාදයක් පැවැත්විණි. 20 වැනි සංශෝධනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් විජිත හේරත් මන්ත්‍රිවරයා විසින් සිදු කරන ලද අතර අනෙකුත් කථිකයන් විසින් ඇතැම් කරණු සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු දැක්වීම් සිදු කෙරිණි. මෙම සංවාදයට සහභාගි වී සිටියේ විවිධ වෘත්තීන් නියෝජනය කරමින් පිහිටුවා ඇති විද්වත් වෘත්තික සංවිධානවල නියෝජිතයන් පිරිසකි. සංවාදය අවසානයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැති අතර පැමිණ සිටි කිහිප දෙනෙක් විජිත හේරත් මන්ත්‍රිවරයා සමඟ සුහද කතාබහක නිරත වූහ. "ඇත්තටම මන්ත්‍රිතුමා 20 ගැන සමාජයේ තියෙන්නේ වැරැදි මතයක්. සමහරු මේක ගැන හරියටම දන්නේ නැහැ. සමහරු ප්‍රචාරය කරපු බොරු මත ඔලුවේ දාගෙන ඉන්නේ. අපිත් අද තමයි හරියටම අඩංගුව ගැන දැනගත්තේ" වෛද්‍යවරයෙක් පැවැසීය. "20 ගැන සමාජයේ තියෙන වැරැදි මතය ඉවත් කරන්න ඔබතුමාලා වැඩිපුර මැදිහත් වුණොත් හොඳයි. හොඳ දෙයක් කරන්න ගියාම බාධා වැඩියි.

ඒත් රටේ මිනිස්සු මේ ඇත්ත තත්ත්වය දැනගන්න ඕනෑ" නීතිඥයෙක් පැවැසීය. "20 ගැන බිල්ලෝ මවන අය අඩංගුව ගැන කතා කරන්නේ නැහැ තමයි. අඩංගුව ගැන කතා කරන්න දෙයක් ඒ අයට නැහැ. මොකද මේක විධායක ජනාධිපති ක්‍රමය ගැන මිසක් රටේ ස්වෛරීභාවයටවත්, රට බෙදීම ගැනවත් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඔය හැම නායකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වෙලා තියෙනවා" විජිත හේරත් කියා සිටියේය.

 

රුචිර දිලාන් මධුසංඛ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon