වර්ජන තර්ජන හා ගර්ජන

  👤  3827 readers have read this article !
2018-08-16

මේඝනාද

මේ වැඩ වර්ජන කාලයයි. ජනතාව කබලෙන් ළිපට වට්ටන වැඩ වර්ජන කාලයයි. පහුගිය සතිය ලියැවුණේ රටම අවුල් කළ දුම්රිය වැඩ වර්ජනයේ නමට ය. වර්ජනයට හරියටම දවස් 8කට කලින් කැබිනට් රැස්වීම රත් වුණේ මේ දුම්රිය සේවක ප්‍රශ්නයෙන් ය. එහිදී දුම්රිය සේවකයන්ගේ වැටුප් විසමතා ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ මංගල, අමුණුගම සහ රාජිත අතර උණුසුම් මත ගැටුමක් ඇති විය. යෝජනාව ඉදිරිපත් කළේ සරත් අමුණුගම ය.

"මේ යෝජනාවට අපි කැමැති වුණොත් අනෙක් ක්ෂේත්‍රවල අයටත් මේ වැටුප් වැඩිවීම බලපානවා. ඒ නිසා මේකට ඉඩ දෙන්න බෑ." මංගල විරෝධය දැක්වීය.

"මේ අයට අපි පොරොන්දුවක් දීලා තිබෙනවා. ඒ නිසා එය ක්‍රියාත්මක කළ යුතුයි." රාජිතද එක්විය.

"එහෙම කරන්නෙ කොහොමද? වෘත්තීය සමිතිවල පදේට නටන්න නම් ආණ්ඩුවක් මොකටද? කැබිනට් මණ්ඩලයක් මොකටද?" මංගල දැඩිව කීවේ ය.

"අපි මේ ගැන දීර්ඝ ලෙස කතා කළා. වෘත්තීය සමිති පෙන්නුවා, ඒ අයගේ ප්‍රශ්න කිව්වා. එතැන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් හිටියා. ඒ අය මේ වැඩි වීමට එකඟ වුණා. දැන් මේක වෙනස් කරන්න බෑ." අමුණුගම කීවේ ය.

"වෘත්තීය සමිති කියන පදේට නටන්න කැබිනට් එකක් මොකටද? මේක කොන්ද පණ නැති කැබිනට් එකක්. අපි තීන්දු ගද්දී කොන්ද කෙළින් තියන් තීන්දු ගන්න ඕන" හොඳටම කේන්ති ගිය මංගල කීවේ ය.

ඒ යෝජනාවට පොල්ල වැටුණේ එහෙම ය.

දුම්රිය සමිතිවල රතු කට්ට පැන්නේ ය. 9 වැනිදා හවස 3ට හිටි හැටියේ පටන් ගත්ත දුම්රිය වර්ජනය, ජනපතිගේ මැදිහත් වීමෙන් නතර වුණේ 12 වැනිදා ය. බැරිම තැන වැටුප් විසමතා ඉවත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන බවට දුම්රිය වෘත්තීය සමිතිවලට මෛත්‍රි පොරොන්දු වුණේ ය. ඒ පොරොන්දුව අනුව 14 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතව තිබුණේ ය. ඒත් ඒක එහෙම වුණේ නැත.

"ජනාධිපති පොරොන්දු වුණාට මට ඒක කරන්න බෑ" මංගල මුණගැහෙන්න ගිය වෘත්තීය සමිතිවලට ලැබුණේ එහෙම උත්තරයක් ය. දැන් වෘත්තීය සමිති ආයෙත් රත් වෙලාය. කොයි මොහොතේ පුපුරයිද කියා කියන්නට දන්නේ නැත.

දුම්රිය වෘත්තීය සමිති ගැටලු නිරාකරණය කිරීමේ කමිටුවේ සභාපතිවරයා සරත් අමුණුගම ය. අමුණුගම මෛත්‍රිගේ නියෝජිතයා ය. මංගල රනිල්ගේ නියෝජිතයා ය. මේ වෙලාවේ මංගලගේ මතය රනිල්ගේ මතයම ය. රනිල් යූඑන්පී නායකයා ය. ජේ.ආර්.ගේ බෑනා ය. වැඩ වර්ජනවලදී හොඳින් හැසිරුණු ඉතිහාසයක් යූඑන්පී ආණ්ඩුවලට කවදත් තිබුණේ නැත.

රජයේ සේවකයන් හතළිස් දහසක් රැකියාවෙන් ‍ෙදාට්ට දැම්ම ඉතිහාසයක් යූඑන්පීයට ඇත. ඒ හයෙන් පහක බලයක් අරන් රට කණපිට හැරවූ රනිල්ගේ මාමා ජේ.ආර්. රජ කළ යුගයයි. 1980 සිදු වූ ඒ නිර්ලජ්ජිත වැඩෙන් අනාථ වූවන්ගේ අ‍ෙ¼දා්නා තාමත් ඇසෙන්නේ ය. යූඑන්පී ආණ්ඩු ඒ සාපයෙන් ගැලවෙනවා බොරුය. ජේ.ආර්. බලයට ආවේ 70 දශකයේ මැතිනියගේ දේශීය ආර්ථික ප්‍රතිපත්තියෙන් හෙම්බත් වී සිටි ජනතාවට සීනි බෝල පෙන්නලා ය. මැතිනියගේ කාලේ මිනිස්සුන්ට සල්ලි තිබුණේ ය. ගන්න බඩු තිබුණේ නැත. 77 බලයට ආපු ගමන් ජේ.ආර්. ටැප් එක ඇරියේ ය. බඩු ආවේ වතුර වගේ ය. අන්තිමට බඩු ඕනෑ තරම් විය. බඩු ගන්න මිනිස්සු අතේ සතේ නැති විය. බඩු මිල අහස උසට නැග්ගේ ය. ජීවන වියදම දරාගන්න බැරි වූ කම්කරුවෝ දිනකට රු. 10ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා පාරට බැස්සෝ ය. කෑගැසුවෝ ය. ඒත් ජේ.ආර්.ට ඒවා ඇසුණේ නැත. දීමනා දෙනවා වෙනුවට සේවක නිවාඩු කැපුවේ ය. වෘත්තීය සමිති මර්දනය කළේ ය. 1980 ජූලි 5වැනිදා සිය කෑම පැයේදී උද්ඝෝෂණය කළ කම්කරුවන්ට කොම්පඤ්ඤ වීදියේදී යකඩ පොලු, බයිසිකල් චේන්වලින් පහර දුන්නේ ය. ප්‍රහාරයේදී කොම්පඤ්ඤ වීදියේ විසූ කම්කරුවකු ජීවිතයෙන් වන්දි ගෙව්වේ ය. ඒ මළ ගෙදරට ආ දුම්රිය කම්කරුවන් ‍ෙදාළොස් දෙනකුගේ වැඩ තහනම් කළේ ය.

විසඳුමක් නොදුන්නොත් ජූලි 18 වැනිදා දැවැන්ත වර්ජනයකට යන බවට වෘත්තීය සමිති ජේ.ආර්.ට අනතුරු ඇඟෙව්වේ ය. ජේ.ආර්. එය සත පහකට ගණන් ගත්තේ නැත. වහාම හදිසි නීතිය පැනවූ ජේ.ආර්. සියලුම සේවා අත්‍යවශ්‍ය කළේ ය. සේවකයන් හතළිස්දාහක් රැකියාවෙන් නෙරපුවේ ය.

එදා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වුණේ සරත් අමුණුගමය. වහාම මාධ්‍ය වාරණයක් පැන වූ ජේ.ආර්., සරත් අමුණුගම රජයේ ප්‍රවෘත්ති බලධරයා කළේ ය. විපක්ෂයේ සියලු පුවත්පත් වාරණයට යටත් වුණේ ය. අමුණුගමගේ පෑනෙන් සැර තැන් සියල්ල කැපී ගියේ ය. රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියා බලයට ආ ජේ.ආර්.ලා කළේ ඕකය.

අළු යට ගිනි ගැන හොඳටම දන්නා අමුණුගම මේ වෙලාවේ අත පුච්චා ගන්න කැමැති වන්නේ නැත. 1980 මතකය ඔහුගේ සිතේ හොල්මන් කරනවා ඇත. ඔහු දැන් දුම්රිය වෘත්තීය සමිති පැත්ත ගන්නේ ඒ නිසා වන්නට ඇත.

1980දී ලංකාවේ මහා වැඩ වර්ජනයේදී ජේ.ආර්. සේවකයන් 40,000කට තුවක්කුව දිගු කර කොකා ගස්සා වැ‍ෙඩි අවසන් කරද්දී... 1980දීම සිංගප්පූරු ගුවන් නියමු වැඩ වර්ජනයේදී ලී-ක්වාන් යූ ඔවුන්ට තුවක්කුව දිගු කර කොකා නොගස්සා වැඩේ අවසන් කළේ ය. ලී, ඔවුන්ට තෝරාගැනීම් දෙකක් දුන්නේ ය.

1. තර්ජනයක්

"ඔබලා කැමැති නම් දිගටම කරගෙන යන්න. එහෙම වුණොත් මම මට හැකි උපරිමයෙන්, සියලු වෙර දරා ඔබට හොඳ පාඩම් උගන්වනවා. සිංගප්පූරු ජනතාවගේ උදවු ඇතිව ඔබට ජීවිතයට අමතක නොවන පාඩමක් උගන්වනවා"

2. ඉල්ලීමක්

"එහෙම නැති නම් ඔය වර්ජනය නවත්වලා නැවත වැඩ කරන්න. වැඩ කරමින් ප්‍රශ්න සාකච්ඡා කරමු. විනයගරුක වෙන්න. ඉන් පස්සේ මා සමඟ සාකච්ඡා කරන්න."
සති දෙකක් වැඩ වර්ජනය කළ ගුවන් නියමුවෝ විනාඩි 65කින් වර්ජනය නතර කළහ. ලී, වැඩේ ඉවර කළේ එහෙමය.

"සීටීබී එක බස් එකක් වර්ජනය කරලා පෙන්නුවොත් මම ඇමැතිකමෙන් අස්වෙනවා" 2005-2010 මහින්දගේ ආණ්ඩුව කාලේ සීටීබී සේවක සංගම් වැඩ වර්ජනයකට යන්න හද්දී එවකට ප්‍රවාහන ඇමැති ඩලස් කිව්වේ එහෙමය. එහෙම කියපු ඩලස් වර්ජනය නොකෙරෙන තැනට වැඩ සැලැස්සුවේ ය. ඩලස් කෙරුවේ මහින්ද කියන දේ ය. වැඩ වර්ජනවලදී මහින්ද වැඩ කළේ ලී-ක්වාන් යූ ක්‍රමයට ය. ලී-ක්වාන් යූ ක්‍රමයට වැඩේ ගෙනියනවා කියා බලයට ආ රනිල්ලා නොකරන්නෙත් ඒකම ය.

රතුපස්වල සිද්ධිය අල්ලාගෙන බලයට ආ යූඑන්පීයට තියෙන්නේ ඊටත් වඩා නරක ඉතිහාසයක් ය. ආණ්ඩු බලය ගන්න රනිල්ලා මවා පෑ බිල්ලෝ දැන් හොල්මන් කරන්නට පටන් අරගෙනය. ආණ්ඩුව ගත්ත දවසේ ඉඳන් උද්ඝෝෂණ ය. වැඩ වර්ජන ය. ඒවාට ගුටි බැට දෙද්දී යහ පාලනය කැලේ ය. ආයුධ පෙන්නන්න ගිහින් මැරුම් කන සිද්ධිත් එමට ය. රට්ටු කියන්නේ මේ ආණ්ඩුවට නම් වැඩ වර්ජනයක්වත් පාලනය කරගන්න බෑ කියා ය. යූඑන්පීය දත කන්නේ ජේ.ආර්. තාලේ විසඳුම් දෙන්නට ය. එහෙම වුණොත් මේ ආණ්ඩුව ඉවරයක් වෙන්නේ ලේ හැලූ කම්කරුවන්ගේ නමට ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon