ශිෂ්‍යත්වය හා මිථ්‍යාව

  👤  3387 readers have read this article !
2018-08-16

අ.පො.ස. (උසස් පෙළ) විභාගය මේ දිනවල පැවැත්වේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගය අවසන් විය. මේ වසරේ පැවැත්වීමට තිබෙන අනෙක් ප්‍රධාන විභාගය අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයයි. එය දෙසැම්බර් මාසයේ පැවැත්වෙනු ඇත. මේ විභාග සඳහා අති විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සහභාගි වෙති. දළ වශයෙන් ගතහොත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලක්‍ෂ 6කට වැඩි ශිෂ්‍ය පිරිසක් සහභාගි වන අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට තුන් ලක්‍ෂ පනස් දහසක පමණ පිරිසක් ඉදිරිපත් වෙති.

ජාතියේ සිසු දරුවන් උදෙසා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ විධිමත් අධ්‍යාපනයක් ලබාදීම ගුරු භවතුන්ගේ රාජකාරියකි. එය එසේ තිබියදී මවුපියන්ගේ අසාමාන්‍ය විභාග භීතිය දඩමීමා කරගනිමින් ඔවුන්ගේ මුදල් පසුම්බියට විදින යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්කාරයන් රැසක් බිහිවී තිබීම ලාංකේය සමාජය මුහුණ දෙන අලුත්ම ඛේදවාචකය බවට පත්ව තිබේ. විභාග සමත් වීමට සියක් වර ජීවම් කළ යන්ත්‍ර රාජයා පැලඳීම, දරුවා විභාගයට ලියන පෑන ජීවම් කිරීම, විභාගයට යෑම පිණිස ගෙදරින් පිටවන නැකැත, විභාග ශාලාවට ඇතුළු වන නැකැත මෙවැනි නොයෙක් මිථ්‍යා විශ්වාස මඟින් මවුපියෝ දරුවන්ට මහා පීඩාවක් එල්ල කරති.

මෙයට අඩ සියවසකට පෙර සිටි නූගත් යැයි සැලකූ වැඩිහිටි පරම්පරාවෙන් දරුවන්ට මෙවැනි අතවරයක් සිදුවූයේ නැත. දරුවාට හරිහැටි ශිල්ප ශාස්ත්‍ර දීමෙන් දිසාපාමොක් ඇදුරන් දුන් ආශීර්වාදයෙන් දරුවනුත් මවුපියනුත් සෑහීමකට පත්වූහ. තෙලේ බලෙන්, පිත්තල තහඩුවේ බලෙන් විභාග ජය ගන්නට හිතන දරුවන් හෝ වැඩිහිටියන් එකල සිටියේ නැත. ප්‍රශ්නය, දවසින් දවස වැඩි වන මේ මිථ්‍යාන්ධකාරය කවදා, කොතැනින් නතර වේද යන්නය.

ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේ බෝධි පූජා පැවැත්වීමට ගෙන ගිය දරුවන් 80කට බඹරුන් ඇනීමේ සිද්ධියක් එක ගමකින් වාර්තා විය. අන්තිමේ ඇතැම් දරුවන් විභාගය ලීවේ එක් ඇසකින් බලාගෙනය. අනෙක් ඇස බඹරුන් ඇනීම නිසා ඉදිමී වැසී තිබිණි. තවත් විදුහල්පතිවරයකු විභාගය පටන් ගන්නට පෙර පිරිත් නූල් බැඳීමට නොපැමිණි දරුවන්ට තරවටු කර තිබිණි. ස්වකීය දැනුම දියුණු කර ගැනීම පිණිස අධ්‍යාපනය හැර වෙනත් විකල්පයක් නැති බව දරුවන්ට වටහා දෙනවා වෙනුවට මෙසේ දරුවන්ගේ මොළ සේදීම මහා ජාතික අපරාධයකි.

විභාග පැවැත්වීමේ දින තීරණය කිරීමේදී රාහු කාලයට අසු නොවන සේ දින නියම කිරීමට තමා සැලකිලිමත් වූ බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු වරක් ප්‍රකාශ කර තිබිණි. එයින් පැහැදිලි වන්නේ මිථ්‍යාවේ ගොදුරු බවට පත් පාලකයන් 40 ලක්‍ෂයක ශිෂ්‍ය පරම්පරාව හෙළා ඇති අගාදයේ තරමය. ලේබල් ගැසූ පිරිත් පැන් බෝතල් සුපර් මාර්කට්වල අලෙවි කෙරෙන තරමට තත්ත්වය දුරදිග ගොස් තිබේ.

මේ රටේ ආණ්ඩු පත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජන්ද ක්‍රමය යටතේ මහජනතාව නොවේ. බලයට පත්වන පාලකයන්ගෙන් පඬුරු පාක්කුඩම් ලබා ගන්නා දෙවිවරු විසිනි. දෙවිවරු වැඩ සිටින්නේ ලංකාවේ නොවේ ඉන්දියාවේය. දේශපාලකයෝ මහජන මුදල් වැය කරමින් දෙවියන්ට බාරහාර වෙන්නට නිතර එතෙර යති, එති. යන්ත්‍ර මන්ත්‍ර සුර, කහ නූල් ලණු කැරලි මෙන් අත්වල බැඳ සිටිති. ජනතාවද ඔවුන් පසු පසම යති.

රටක පුරවැසියන් අන්ධකාරයෙන් ආලෝකයට ගෙන ඒමේ වගකීම ඇති උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් හැසිරෙන්නේ කෙසේද අපට සිටින හොඳම භෞතික විද්‍යාඥයා 'හූනු' ශාස්ත්‍රයේ නිවැරැදිකම ගැන 'කපුටු' ශාස්ත්‍රයේ නිවැරැදිකම ගැන පුවත්පත්වලට ලිපි ලියන්නෙකි. ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට මායම් වී බොරු සාත්තර කියන කපුවකුගේ චරිතයක් නැතිවම බැරිය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කට්ට¾ඩියන්, යකැදුරන් සොයා රට පුරා දුවන මධ්‍යම පාන්තිකයන් බිහිවීමය. ඔවුනට උගන්වන්නට අපට හැකියාවක් නැත.

නමුත් අපි ලාංකේය දරු පරපුරේ නාමයෙන් එක ඉල්ලීමක් කරන්නෙමු. දරුවන් ඔබේ බව සැබෑය. නමුත් ඔවුන් අයිති අනාගත ලංකාවටය. ඔවුන්ට හැදෙන්නට ඉඩ දෙන්න. දරුවන්ගේ ඔළුවලට මේ මිථ්‍යාවේ විස ඇතුළු කරන්න එපා. එය මහා අපරාධයකි. අවසානයේ වැනසෙන්නේ අනාගත ලංකාවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon