බලාගෙනයි ප්‍රවේශමෙන්

  👤  4302 readers have read this article !
2018-08-10

මෛත්‍රි හා රනිල් යන දෙදෙනාම ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ යහපාලනය ස්ථාපිත කොට එයින් ජනතාවට යහපතක්ම කරන්නටය. ආණ්ඩුව පිහිටුවා මුල්ම මාස දෙක තුන යනතුරුම මෛත්‍රිගේ හිත, හිස අවුල් කරන බලවේග ඔහුට ළංවී සිටියේ නැත. එහෙත් හිතාගන්නවත් බැරි තරමට මෛත්‍රිව පතුරු ඇරපු, පහර ගැසූ උදවිය හීන් සීරුවේ ළං වන්නට පටන් ගත් දා සිට යහපාලන ආණ්ඩුව පාර්ශ්ව දෙකකට බෙදා සීතල යුද්ධයකට තල්ලු කර දමන ගමන පටන් ගත්හ.

ඒ අනුව "මෛත්‍රිගෙ ආණ්ඩුවක්" හා "රනිල්ගේ ආණ්ඩුවක්" යහපාලන ආණ්ඩුව තුළ කෙමෙන් වර්ධනය වන්නට පටන් ගත්තේය. මෛත්‍රි හා රනිල් අතර තිබුණු 'හිතෛෂීවන්තභාවය නැති කර දමා ආණ්ඩුව තුළ අර්බුද ඇතිකරන්නට යුහුසුලු වූ මේ කල්ලිය ආණ්ඩුවට කළ වින්නැහිය බරපතළය.

ඔවුන් තැනින් තැන ගාල්වී සිටි එක එකා විත් මෛත්‍රිගේ හිත හොඳ බව ආයුධයක් කොටගෙන ළං වී ඔහුට මවා පෑ ඇතැම් තොරතුරු නිසා වූයේම විපතක්ය. මෛත්‍රි ජනාධිපතිකම් කරලා තිබුණේ නැති වුණාට මන්ත්‍රිකමේ සිට ඇමැතිකම් දරා කාලයක් දේශපාලනය කර තෙම්පරාදු වී සිටියත් මේ කියන විධායක ඔටුන්න සහිත මහානුභාව සම්පන්න ජනාධිපතිකමේ බරසාර බව වටහා ගත් ඇතැමුන්, ඔහු වටා රැස්වූවෝ කෝඳුරුවන්, පරපෝෂිතයන් මෙන් හිත හොඳ මිනිසකු අමාරුවේ දමන උපායශීලී දැනුමින් හා සටකපටකම්වලින් සන්නද්ධව සිටියෝය.

මේ අයගේ ක්‍රියා කලාපය මෛත්‍රිගේ ගමේකම, රෙද්ද බැනියම අඳින සාමාන්‍ය මිනිසකු බව ජනතා හිතෛෂී භාවයට අනියමින් හානිකරන්නට ගත් වෑයමක් බව පෙනෙන්ට තිබිණි.

කලක් මහින්ද කළ කී දේ හරිය කියා කියමින් වන්දිභට්ටකම් කළ අය මෛත්‍රි වටා රැඳෙමින් ඔහුට ගොඩනැඟෙන ගෞරවය නැති කරන තැනට මඟ පාදන බවක් පෙනෙන්නට තිබිණි.

"ශ්‍රීලනිපයේ සභාපතිකම ගත යුතුයි" යන්නට පණ දෙන්නේද මෛත්‍රි පිටුපස විවිධ අරමුණු සහිතව සිටි අයමය.

"මහින්ද මහත්තයා මොකට සභාපතිකම මෛත්‍රිට දුන්නද මන්දා" ය කියා මහින්ද හිතවාදීන් කලබලයට පත්ව අදහස් පවසද්දී මහින්ද පන්දුව නිදැල්ලේ යන්නට සැලැස්වූවාක් මෙන්... "දීලා දාමු සභාපතිකම. මෛත්‍රි ඒක ගත්තට පස්සෙ කරගන්න දේ, වෙන දේ බලා ඉන්නකෝ" යි කියන ව්‍රතය අනුගමනය කරමින් උන්නේය.
මෙය පරපෝෂිතයන් හා කෝඳුරුවන් මෙන් වටේ දැවටී සිටියවුනට ආශීර්වාදයක් වූ අතර ඒ අනුව මෛත්‍රි වටා දේශපාලන බිම්බෝම්බ ඇටවීමට මහින්ද හා ඔහුගේ බළඇණියට ඉඩ සලසා දුන්නේය. මෛත්‍රි-රනිල්ට හා රනිල්ගේ බළඇණියට එරෙහිව පළමු ප්‍රසිද්ධ ප්‍රහාරය එල්ල කරන්නට වන තරමටම ගැටුම උග්‍ර අතට පත්කිරීම මේ සතුරු බලවේග මිතුරු වෙසින් සිට කළ කී දෑ අනුව සිදුවිණැයි දැනුණේය.

එය බෙහෙවින් සාර්ථක විය. මේ පරපෝෂිතයෝ, කෝඳුරුවෝ මෙන් වූවෝ මෛත්‍රිට එරෙහි මහින්දගේ බලවේග විසින් මෙහෙයවන අම්බලන්ගොඩ රූකඩ මෙන් අණ අනුව වින කටින්නට වග බලා ගත්හ.

අන්තිම මොහොතේත් මහින්දගේ බළඇණිය සමඟ සිටි ඇතැම් කූට මිනිසුන් යන එන මං නැතිව කල් ගද්දී වුව මෛත්‍රි ළංකර ගත්තේ රටට වැඩක් කරන්නට ඔවුන්ගෙන්, ප්‍රයෝජනයක් ගන්නට වුවත් ඔවුන් එය ඉටුකළේ නැත. ඇතැම් විට මෛත්‍රි යහපත් චේතනාවෙන් රටේ ජනාධිපති හැටියට පොදු අරමුණින් සද්භාවයෙන් කළ කී දෑද කාටත් යහපතක් වුවද, ඒවාට හානි ගෙන දුන්නේය.

තමන්ගේ නායකයා අසරණ බව දැන දැනම තව තවත් හිරවන තාලේ කටයුතු හා ප්‍රකාශ වෙත තල්ලුවී යන පසුබිම හැදුවේම මේ කෝඳුරු බළකායය. පරපෝෂිත බළකායය.

අවසානයේදී බහුතරයක් එජාපයේ ආශීර්වාදයෙන් බලයට පත්කොට ජනාධිපති බවට පුටුවේ ඉන්දවූ ජනතාවටම මෛත්‍රි කෙරෙහි වපරැසින් බලන තැනට පාර කැපුවේ එජාපයේම දූෂිත බලවේග විසින් රට තුළ නිර්මාණය කරන ලද වටපිටාවයි.

රටත් ජනතාවත් අසීරු මොහොතක ගොඩගත් ගමෙන් පැමිණි මේ මිනිසා හරිහැටි තේරුම් ගන්නට මේ සහායකයන් කටයුතු කළේ නැත. ප්‍රශ්න ආ සැණින් ඔහු තනිකර කල්ලි කණ්ඩායම් වශයෙන් බෙදී වෙන්වී කටයුතු කළ අතර යහපාලනය ගැට ගසාගෙන ඇදගෙන යන්නට මෛත්‍රිට සිදුවුණේය. මෛත්‍රිගේ පිහිටෙන් නැඟිටගත් අයම එසේ කළගුණ නොදත්ත වුන් මෙන් හැසිරීම බෙහෙවින් කනගාටුදායක විය.

මේ කළගුණ නොදත් වුන් තවදුරටත් සක්‍රිය වෙමින් දැන් දැන් බලවත් ලෙස නැඟී සිටි මෛත්‍රිගේ දූෂණයට එරෙහි චින්තනයට හානි කළ මේ දූෂිත බලවේගය රටට කළ හානිය මේ අර්බුදය තව තවත් තියුණු කරන්නට සමත්ව තිබෙන්නේය. මෛත්‍රි හරහා රනිල් හරව හරවා කනේ පහර එක පිට එක දෙවන තරමේ ප්‍රකාශ හා තීන්දු තීරණ ගන්නා තැනට මෛත්‍රිව තල්ලු කළේ මේ බළකායයි. එයින් මෛත්‍රිට එතෙක් ආදරය කළ මෛත්‍රිව විශ්වාස කළ එජාපයේ ජනතාවද බරපතළ ලෙස මෛත්‍රි කෙරෙහි වෛර බඳින තැනට තල්ලු කරගන්ට පාර කැපුවේ ඔවුන්ය.

යහපාලන ආණ්ඩුව තුළ වැඩක් කෙරන්නේද මෛත්‍රි වැඩ කරන බව දැනෙන්නේද දැන්ය. ඒ අනුව මොරගහකන්දත් මෛත්‍රිගේය. පිබිදෙමු පොළොන්නරුවත් මෛත්‍රිගේය. ආර්ථික සභාවත් මෛත්‍රිගේය. නව තිරසර වැඩසටහනත් මෛත්‍රිගේය.

කිසිවක් නොවුණාය කියා කියන්ට බැරි තරමට මෛත්‍රි දැන් වැඩ කරන්නට පටන් ගෙනය. පරපෝෂිතයෝ තක්කු මුක්කු වී සිටින්නේ ඒ නිසාය.

මේ කෙසේ වුවත් ජනතාව සිතන පතන අද තත්ත්වය කවුරු කවුරුත් වටහා ගත්තේ නැති තැනකය. මෛත්‍රි තමන්ගේ ආකර්ෂණීය නායකත්වය වටා ජනතාව එක්රැස් වී තමන්ව ජනාධිපති බවට පත් කරගත් නිසා කටයුතු කරමින් යැන තැනකය. ඔහුට අනුව ඔහුගේ කියමන්වලට අනුව දැන් ඔහු යහපාලන ආණ්ඩුව තුළ රඟදක්වන්නේ ශ්‍රීලනිපයේ නායකයා, ජනාධිපති, මෛත්‍රිගෙ ආණ්ඩුවේ නායකයා වශයෙන් වුවත් ඒ නිසා යහපාලන ආණ්ඩුවේ පණ රැකෙන්නේය.

රනිල් හිතන්නේ මෛත්‍රිගේ මේ හැසිරීමෙන් පසු යහපාලනය ඉවර වනු ඇති බවත් ඊළඟ පියවරේදී මෛත්‍රිට අප්‍රසාදය මිස ඡන්ද ලැබෙන්නේ නැති බවත්ය. එසේම ඔහුගේ ධුර කාලයද අවසන් වන බවත්ය. කාලය ගෙවී ගියේය. බලාපොරොත්තු සහසක් තිබුණේය. කතා නම් බොහෝ ඇසුණේය. එබැවින් යහපාලනයේ මෛත්‍රිගේ ආණ්ඩුව තව ටික දිනකින් මහා ආශ්චර්යවත් ජයග්‍රහණයක් ලබන මහජන ප්‍රසාදයක් ලබා ගනීවි නම් කවුරුත් ගොඩය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon