ගරිල්ලා වැඩ වර්ජනය

  👤  3022 readers have read this article !
2018-08-10

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඉකුත් 8 වැනිදා වැඩ වර්ජනයක් ආරම්භ කළේය. උදෑසන දුම්රියෙන් සිය රාජකාරිවලට පැමිණි මගීින් සවස යළි නිවෙස බලා යෑමට නොහැකිව ඉන් මහත් අකරතැබ්බයකට මුහුණ පෑවේය. දුම්රිය රියැදුරන්, දුම්රිය නියාමකවරුන්, දුම්රිය කළමනාකරුවන් ඇතුළත් ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් මේ 'ගරිල්ලා' වැඩ වර්ජනයට නායකත්වය ලබාදී ඇත.

වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් අපට නැත. ලේ හලා දිවි පුදා දිනාගත් වැඩ වර්ජන අයිතිය මතු මතුත් ආරක්ෂා කර ගත යුතුය. එහෙත් මේ දුම්රිය වර්ජනය වැනි තකතීරු වැඩ වර්ජන නම් අනුමත කළ නොහැකිය.

පෙරවරුවේ නගරයට රැගෙන ආ මගීන් පස්වරුවේ මහමඟ අතරමං කර දමන මෙවැනි දුෂ්ට වැඩ වැටෙන්නේ පාදඩ වැඩ ගණයටය. අනෙක උසස් පෙළ විභාගය පැවැත්වෙද්දී මෙලෙස දුම්රිය වැඩ වර්ජනය කිරීම සිසු දරුවන් විපතට හෙළීමකි.

ආණ්ඩුවේ වැරැදි තිබෙන බව ඇත්තය. විසඳුම් සෙවීමට ප්‍රශ්න කුරුවල් වන තුරු බලා සිටින ඇමැතිවරු මේ ආණ්ඩුවේ යහමින් සිටින බවට විවාදයක් නැත. කවදත් මේ රටේ පාලකයන් කළේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න අවුල් කිරීමය. ඔවුන් වඩා දක්ෂ ඊටය. අභ්‍යන්තර ආරවුල් නිසා දුර්වල වී ඇති ආණ්ඩුවේ තීරණයකට එරෙහිව ගරිල්ලා වැඩ වර්ජන කිරීමට වෘත්තීය සමිති ඉදිරිපත් වීම ගැන පුදුමයක් නැත. එහෙත් දුම්රිය මගීන් ඇතුළු පොදු ජනතාවට මින් විඳීමට සිදුවන දුෂ්කරතා ගැන හීනෙකින්වත් සිතා නැති බව නම් පැහැදිලිය.

දුම්රිය මගී ජනතාව පමණක් නොව සෙස්සන්ද මේ ගරිල්ලා වැඩ වර්ජනය විශේෂයෙන් මෙහෙයවූ වෘත්තීය සමිති නායකයන්ට දෙස් දෙවොල් තිබ්බේය. ඔවුන්ට පහරදීමට පවා මගීන් ඉදිරිපත් විය. අයකුට පහරදීමට අයිතියක් තවකෙකුට නැති වුවද මෙවැනි සිද්ධියකදී ප්‍රකෝපකාරී වූවන්ගේ ක්‍රියා පාලනය කිරීම අසීරුය.

මේ ගරිල්ලා වැඩ වර්ජනයට හිස නමා අදාළ ඉල්ලීම් ලබාදුන්නොත් එය වරද්දා ගැනීමක් වනු ඇත. සෙස්සන්ද මේ ගරිල්ලා ක්‍රමය ඉදිරියේදී අනුගමනය කිරීමට පෙලඹීමට වැඩි ඉඩක් තිබීම ඊට හේතුවය. දුම්රිය සේවකයන්ගේ වැටුප් විසමතා ප්‍රශ්නය විසඳිය යුතු නැති බව ඉන් අපි නොකියමු. දුම්රිය ඇතුළු රාජ්‍ය ආයතන 25ක ඇති වැටුප් විසමතාවට පාලකයන් වහා විසඳුම් දිය යුතුය. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිමු.

මේ දුෂ්ට ගරිල්ලා ප්‍රහාරයට ආණ්ඩුව මුහුණ දුන් ආකාරය යම් පමණකට සාර්ථකය. ආණ්ඩුවක් සෑම විටම පොදු ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කළ යුතුය.
වැඩ වර්ජන කළ පමණින් විරෝධතාවල නිරත වූ පමණින් ඊට අවනත නොවී වඩාත් හොඳ විකල්ප ක්‍රියාමාර්ගය තෝරා ගැනීම අවශ්‍යය. කරුමය වන්නේ එදා මෙදා තුර බලයේ සිටි ආණ්ඩුවලට එය නොතේරීමය. මර්දනය හෝ අවනත වීම හැර විකල්පයක් ඔවුන්ට නැත. බොහෝ විට ඇත්තේ ප්‍රශ්නය විසඳීමට කල් ඉල්ලා වැඩේ දෙල් කර දැමීමය. "දුම්රිය" ප්‍රශ්නය එතැනට නොයවා තිරසර විසඳුමක් දීම ආණ්ඩුවේ වගකීමය.

එහිදී සාපේක්ෂව ඉහළ වැටුප් තලවල සිටින දුම්රිය සේවකයන්ටත් වඩා මගී ජනතාව ගැන සිතා එය කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon