ලොක්කන් වල්මත් වී සොක්කන් තැළෙන හැටි

  👤  3939 readers have read this article !
2018-08-07

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හා මැති ඇමැතිවරුන්ගේ පඩි වැඩි කිරීමක් ගැන ආන්දෝලනයක් පසුගිය සතියේ පුවත්පත්වලින් වාර්තා වූ අතර එම පුවත්පත් කියැවූ ජනාධිපතිවරයා සත පහකින්වත් පඩි වැඩි කරන්නට නොදෙන බව ප්‍රසිද්ධ වේදිකාවක කීවේය. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ජනතාව අගය කරනවා නිසැකය. මන්ද පසුගිය කාලය පුරා දිගින් දිගටම වැඩි වූ ජීවන බර දරාගත නොහැකිව අන්ද මන්ද වී සිටින පොදු මහජනතාවට තම පාර්ලිමේන්තු නියෝජිතයන් තම වැටුප 100%කින් පමණ වැඩි කරවා ගැනීමේ ආරංචිය කෝපයට හේතු වන්නක් බැවිනි.

නමුත් ජනාධිපතිවරයා සමහර විට නොදන්නා කාරණය නම් පසුගිය වසර 3 1/2ක කාලය තුළ තමාත් ඇතුළු ජනතා නියෝජිතයන්ගේ වරප්‍රසාද දිගින් දිගටම කොතරම් ප්‍රමාණයකින් වැඩි වූවාද යන්නය. කී වතාවක් බලවතුන්ගේ යාන වාහන අලුතින් ගෙන්වීම සඳහා පාර්ලිමේන්තුවේ පරිපූරක ඇස්තමේන්තු අනුමත වූවාද? කී වතාවක් මහජන නියෝජිතයන්ගේ දීමනා, වරප්‍රසාද ඉහළ දමනු ලැබුවාද? ජනාධිපති හා අගමැති වැය ශීර්ෂ පවා පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණාට වඩා කෙතරම් ඉහළ ගොස් ඇද්ද? මේ කරුණු හොඳින් හදාරන්නකුට පෙනී යන්නේ ජනතාවගේ ජීවන බර ඉහළ යද්දී රජය තම වියදම් අධික ලෙස වැඩි කරගෙන ඇති බවයි. මේ සියලු වියදම් නාස්ති ලෙස අපි නොදකිමු. මන්ද සමහරක් වියදම් රටට අවශ්‍ය බැවිනි. නමුත් 2014 - 2018 කාල සීමාව තුළ රටේ ජනතාව මත බදු බර 100%කින් වැඩි වෙද්දී ආයෝජනයන් ලෙස සැලකිය නොහැකි වාර්ෂික පුනරාවර්තන වියදම් 80%කින් පමණ ඉහළ යෑම පිළිගත හැකිද? වැඩි කළ බදුවලින් පවතින ආයෝජනයක් නොකළ බව ඉන් පෙනී යනවා නේද?

වසරකට රුපියල් බිලියන 1,000ක තරම් ඉහළ බදු ප්‍රමාණයක් අලුතින් අය කරන ආණ්ඩුව අඩුම ගණනේ ඒ වැඩිපුර ගත් බදුවලින්වත් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ප්‍රතිපාදන වැඩි කර, දුන් පොරොන්දුවලින් කොටසක් හරි ඉටු කරන්නට තිබිණි. එය නොකර වැඩි කරගෙන තිබෙන්නේ රජයේ පුනරාවර්තන වියදමයි. දේශපාලනඥයන්ගේ සැප පහසුව වැඩි කරන්නට විශාල මුදලක් වෙන්වුණා. දේශපාලනඥයන්ගේ දීමනා වැඩි වුණා. ජනතා බදුවලින් පඩි ගන්නා දේශපාලනඥයන්ගේ ප්‍රමාණයත් වැඩි වුණා.

වර්තමානයේ ආණ්ඩුවේ එක් ඇමැතිවරයකු නඩත්තු කිරීම සඳහා මසකට වැය වන මුදල අවම වශයෙන් රුපියල් මිලියන 8ක් පමණ වේ යැයි ඇස්තමේන්තු කළ හැකිය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය සඳහා පමණක් වසරක අවම වියදම රුපියල් මිලියන 8,000ක් හෙවත් කෝටි 800ක් ඉක්මවිය යුතුය.

නමුත් 2014 හා 2017 මහ බැංකු වාර්තා සංසන්දනය කිරීමෙන් අපට පෙනී යන්නේ මහජනතාවගේ පැත්තෙන් නම් සැලකිය යුතු ප්‍රගතියක් නැති බවයි. ජාතික මහාමාර්ග පද්ධතිය දියුණු වී නැත. ප්‍රවාහන පහසුකම්වල විශේෂ ප්‍රගතියක් නැත. ලෙඩ්ඩුන් ප්‍රමාණයට සාපේක්‍ෂව ඉස්පිරිතාල ඇඳන් වැඩිවෙලා නැත. ලෙඩ්ඩුන් ප්‍රමාණයට සාපේක්‍ෂව දොස්තරලා හා හෙදියන් ප්‍රමාණය සුළු ප්‍රතිශතයකින් අඩු වී ඇත. අලුතින් පාසල් සෑදී නැත. අලුතින් විශ්වවිද්‍යාල ගොඩනැඟිලි සෑදී නැත. ළමයින් ප්‍රමාණයට සාපේක්‍ෂව පාසල් ගුරුවරු ප්‍රමාණය සුළු ප්‍රතිශතයකින් අඩු වී ඇත. අධ්‍යාපනයට තාමත් වියදම් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.9%කි. මැතිවරණයේදී පොරොන්දු වූ 6%ක් ලැබිලා නැත. සෞඛ්‍යයට තාමත් වියදම් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.5%කි. එදා පොරොන්දු වූ 3% ලැබිලාත් නැත. වත්මන් ආණ්ඩුව බලයට එන විට ලංකාව සිටියේ ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන රටවල් කිහිපය අතරය. සෑම ආර්ථික දර්ශකයක්ම පෙන්වූයේ ධනාත්මක ප්‍රවණතාවකි. පසුගිය ආණ්ඩුවේ අවසාන වසර 3 තුළ රටේ දළ ජාතික සංවර්ධන වේගය 7%ට ආසන්න විය. එහෙත් 2015 සිට එය පහළට එන්නට පටන් ගත් බව පෙනෙයි. 2015දී එය 5%ට අඩු විය. 2016දී එය 4.5%ට අඩු විය. 2017දී එය 3.1%ට අඩු විය. 2018 වසරේදී ආර්ථික වර්ධන වේගය තවත් අඩු වී ඇති බවක් පෙනෙයි.

ශ්‍රී ලංකාව 2017 වසරේ අත්කරගත් 3.1%ක වර්ධන වේගය වසර 16කට පසු එනම් 2001ට පසු අත්කරගත් අඩුම වර්ධන වේගයයි. යුද්ධය දරුණුවටම පැවැති කාලයකවත් ආර්ථික වර්ධනය මේ ආකාරයට අඩාල නොවිණි. මේ තත්ත්වය ජනතාවට බලපාන්නේ කෙසේද? ව්‍යාපාරිකයන්ට පසුගිය වසර 3 1/2 හොඳ කාලයක් නොවිණි. බැඳුම්කර මඟඩියෙන් ඇරැඹි පොලී අනුපාතයන් ඉහළ යෑම ව්‍යාපාරිකයන්ට සෘජුවම බලපෑවේය. තිබෙන ව්‍යාපාර සීමා කිරීමටත් අලුත් ආයෝජන අතහැර දැමීමටත් මේ නිසා සිදුවිය. රුපියල බාල්දු වීම හා උද්ධමනය ඉහළ යෑම නිසා ව්‍යාපාරිකයන්ට තම අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු විය. මෙය ලාභය අඩුවීමට හේතුවකි. ලාභය පවත්වාගෙන යෑමට මිල වැඩි කළ ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ ඉල්ලුම අඩු විය. ආණ්ඩුව පසුගිය වසර තුළ ව්‍යාපාර මත බදු ඉහළ දමා ඇති අතර අලුතින් බදු එකතු කර ඇත. උදාහරණයක් ලෙස වැට් බදු නිසා භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඉල්ලුම අඩුවී ඇත.

රැකියා කරන්නන් හෝ යම් ආකාරයක මාසික ආදායමක් ලබන්නන්ගේ තතත්වය ඊටත් බරපතළය. මසකට රුපියල් ලක්‍ෂයකට වඩා ආදායමක් උපයන සියලු දෙනකුම දැන් ආදායම් බදු ගෙවිය යුතු අතර එම බදු ප්‍රතිශතයන් ඉහළ දමා ඇත. ආදායම ලැබෙන්නේ කුමන ආකාරයකට වුවත් බදු ගෙවිය යුතුය. බැංකුවේ තිබෙන තැන්පතුවල පොලියෙනුත් 5%ක් බදු අය කෙරේ. ගෙයක් කුලියට දුන්නත් ආදායමෙන් 20%ක් බදු ගෙවිය යුතුය. නිවෙසක්, දේපළක් හෝ වාහනයක් වික්කත් විකුණා ලැබෙන ආදායමෙන් 10%ක් රජයට බදු ගෙවිය යුතුය.

යමෙක් ආදායම් බදුවලින් ගැලවුණත් කිසිම අයකුට රජයේ වක්‍ර බදුවලින් ගැලවිය නොහැකිය. ඒ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම රජය විසින් බද්දට යටත් කොට ඇති බැවිනි. මෙම බදු නිසා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන අතර එම ඉහළ යන මිල දරන්නේ පාරිභෝගිකයාය. 2018දී 2014ට සාපේක්‍ෂව වක්‍ර බදු රුපියල් කෝටි 60,000කින් පමණ ඉහළ ගොස් ඇත. වෙළෙඳපොළට ගියත්, බෙහෙත් ගන්න ගියත් හෝටලයකට කෑම කන්න ගියත් ජනතාවට වැඩි වී ඇති මේ වක්‍ර බදු ගෙවන්නට සිදුවේ.

2014 අවසන් වන විට 3.3%ක පමණ තිබුණු උද්ධමනය මේ වනවිට දෙගුණයකට පමණ ආසන්න වී ඇත. මෙයින් පෙනී යන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම දිගින් දිගටම ඉහළ යන ආකාරයයි.

2014 තිබුණාට වඩා රුපියලේ අගය 22%කින් පමණ බාල්දු වී ඇත. එහි ප්‍රතිඵලය සාමාන්‍ය ජනතාව භාවිත කරන සියලුම ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑමය. ආහාර ද්‍රව්‍ය, බඩු භාණ්ඩ, ඇඳුම් පැලඳුම් සියල්ලටම බලපායි. මේ තත්ත්වය ඉදිරියට තවත් දරුණු වෙනවා ඇත.

ලංකාව වගේ රටක් පාලනය කරද්දී රජය කෘෂිකර්මාන්තයට විශේෂ අවධානයක් දිය යුතුය. ඒ සාමාන්‍ය පවුලක ආදායමෙන් 30%කට වඩා වැය වන්නේ ආහාර පානවලට බැවිනි. රටේ වැඩ කරන ජනතාවගෙන් 27%ක් රැකියා කරන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතවය. ඒ මිලියන 2.1කි. පසුගිය ආණ්ඩුවෙන් කෘෂිකර්මාන්තය අතින් රට ස්වයංපෝෂිතව තබාගන්නට උත්සාහ කළේ ඒ නිසාය. නමුත් වත්මන් ආණ්ඩුව කෘෂිකර්මාන්තයට මුල සිටම දුන්නේ කුඩම්මාගේ සැලකිල්ලය. බලයට පැමිණි විගස පොහොර සහනාධාරය කපා දමන ලදී. විකල්ප විසඳුමක් සෙවීමට කල් නොදී යම් රසායනික පොහොර වර්ග තහනම් කරන ලදී. වී වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩියි කියා ඇමැතිවරයාම කර්මාන්තයට අපහාස කරනු දකින්නට ලැබිණි. මේවායේ ප්‍රතිඵල අද දැකිය හැකිය.

2016 කෘෂිකර්මාන්තය 3.8%කින්ද, 2017දී තවත් 0.8%කින්ද කඩාවැටිණි. පසුගිය දශකය තුළ අඩුම වී නිෂ්පාදනය වාර්තා කරමින් වසරක් තුළ වී නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් 2.4ක් දක්වා සියයට 46.1කින් පහත වැටිණි. 2016/17 මහ සහ 2017 යල කන්න දෙකෙහිම වී නිෂ්පාදනය පිළිවෙළින් සියයට 49.2කින් සහ සියයට 40.1කින් මෙටි්‍රක් ටොන් මිලියන 1.47ක් සහ මෙටි්‍රක් ටොන් මිලියන 0.91 දක්වා පහළ ගොස් තිබිණි. 2016/17 මහ සහ 2017 යල කන්න දෙකෙහි වාර්ෂික වී නිෂ්පාදනය සහල් මෙටි්‍රක් ටොන් මිලියන 1.7කට සමාන වූ අතර එය ප්‍රමාණවත් වුණේ මාස අටකට ආසන්න කාලයක දේශීය පරිභෝජනය සඳහා පමණි.
ප්‍රතිඵලය සහල් ආනයනයට රටට විශාල වියදමක් දරන්නට සිදුවීම හා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑමයි.

මේ ආකාරයට දේශීය වෙළෙඳපොළේ කෘෂි භාණ්ඩ සියල්ලේම වගේ මිල ඉහළ ගොස් ඇත්තේ ජනතාව මත බර පටවමිනි. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති පාරාවළල්ලක් වී ජනතාවට බලපාන ආකාරයට මෙය හොඳ නිදසුනකි.

අද දේශීය හා විදේශීය ආයෝජකයන් තුළ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව පැහැදිලිය. කොටස් වෙළෙඳපොළේ මන්දගාමී බව, ආර්ථික වර්ධනය 3.1ට පහත වැටීම්, විදේශ ආයෝජන අඩු වීම යන සියල්ලෙන්ම පෙනෙන්නේ එයයි. මේ බව 2018 මහ බැංකු වාර්තාවෙන්ම පිළිගෙන ඇත.

(උපුටා ගැනීම) මෑතකාලීනව, ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ හා දේශපාලනික ක්‍ෂේත්‍රවල ආණ්ඩුව දියත් කළ ප්‍රතිපත්ති, වෙනස් කිරීම්වලට හා අහෝසි කිරීම්වලට ලක් කරන අවස්ථා රාශියක් දැකගත හැකි විය. නිදසුන් කිහිපයක් වශයෙන්, විවිධ ආයෝජකයන්ට ආයෝජන අනුමැතිය ලබාදීම, විදේශික ආයෝජකයන්ට ඉඩම් ලබාදීම, අස්බැස්ටෝස් භාවිතය, පොලිතීන් භාවිතය, වල්නාශක භාවිතය, පොහොර සහනාධාර ලබාදීම, දිගුකාලීන විදුලිබල උත්පාදන සැකසුම්, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම සහ මත්පැන් මිලදී ගැනීම හා ඒ ආශ්‍රිත කටයුතු සඳහා කාන්තාවන් සතු අයිතිවාසිකම් ලබා දීම වැනි කරුණු සම්බන්ධයෙන් ගන්නා ලද ප්‍රතිපත්ති තීරණ වෙනස් කිරීම හා අහෝසි කිරීම දැක්විය හැකිය.

යම් තීරණයකට එළැඹි පසු, එම තීරණය නිරන්තර වෙනස් කිරීම්වලට ලක් කිරීම, මහජනතාව වඩාත් අතෘප්තිමත් භාවයට පත් කිරීමට හා රජය කෙරෙහි ඇති විශ්වසනීයත්ව පලුදු වීමට හේතු වෙනවා පමණක් නොව, ගනු ලැබූ තීරණ වෙනස් කරන මෙන් නොනවත්වා ඉල්ලුම් කිරීමට මහජනතාව පෙලඹවීමටද තුඩු දෙයි. තවද, අනාගත අපේක්‍ෂා ආර්ථික අභිවෘද්ධිය තීරණය කිරීමෙහිලා වැදගත් වන හෙයින්, ගනු ලැබූ තීරණ කෙතරම් කාලයක් පවතීද යනුවෙන් අවිනිශ්චිතතා මතුවීම මඟින්, පෞද්ගලික අංශයේ ආර්ථික තීරණ ගැනීමේ හැකියාව දුර්වල වී ආර්ථිකය මත දිගුකාලීන බලපෑම් ඇති විය හැකිය. (උපුටා ගැනීම අවසන්).
මාස 36ක් තුළ එකිනෙකට වෙනස් ආර්ථික ප්‍රතිපත්ති 9ක් ඉදිරිපත් කළ, සිවු වතාවකට වඩා කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ වල්මත් වූ ආණ්ඩුවකින් මීට වඩා බලාපොරොත්තු විය හැකි වෙන දෙයක් ඇද්ද?

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon