කොනක ඉඳන් පටන් ගන්න ඉගෙන ගත්තු හැටි අරුමැයි

  👤  3708 readers have read this article !
2018-08-05

ගැමුණු කුමාරයා දෙහදුකඩුල්ලේ යන ස්ථානයේ කඩුව සඟවා සාමාන්‍ය තරුණයෙක් වගේ කොටගේපිටියේ උෟරුපැලැස්සට ආවා. පස්සේ උෟරුපැලැස්සේ ගෙදර පිලේ වාඩිවී ඉන්නකොට ගමමහගේ මොහුව දැකලා විස්තර ඇහුවා. උඹ කොහේ ඉඳලාද ආවේ? පැංචෝ කියලා. මම හුඟක් දුර ඉඳලා ආවේ මට හරි මහන්සියි.

ඒ වගේම මට බඩගිනියි අම්මේ කියලා කිව්වලු. මේ වෙනකොට ගමමහගේ දවල්ට උයපු සියලුම ආහාර කුඹුරට යවා තිබූ නිසා පස්සේ දෙකඩහාල් (සුනු සහල්) පතක් ගෙන ගරා ළිප තබා ඉක්මනින් උණුපිටම කන්න දීලා උළුවස්සට හේත්තු වෙලා බලා සිටියා. කුමාරයා ඒ බත් පිඟාන මැද සිට කෑමට ගන්නවා දුටු ගමමහගේ පැංචෝ උඔත් හරියට බත් කන්නේ අපේ ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ හරියට කිව්වාලු.

ඇයි අම්මේ එහෙම කියන්නේ. නෑ ඔය පිඟාන මැද කෑම ඉක්මනට නිවෙන්නෙත් නෑ. උඹ අත හැමවෙලේම පිච්චෙන්නෙත් ඒකයි.. ඕක වටින් වටින් කාපන්. වටේ ඉක්මනට නිවෙනවා යැයි පැවැසුවා. බත් කාලා ඉවර වුණාට පස්සේ පැංචෝ උඹ කොහේද යන්නේ කියා ගමමහගේ ඇහුවා. මට යන්ඩ එන්ඩ තැනක් නෑ අම්මේ කියලා කිව්වාලු. ඒ වගේම මට හරක් බලන්න, අරන් එන්ඩ, වල් කපන්ඩ, කුඹුරට යන්න එහෙම පුළුවන් කිව්වාලු.

ඊට පස්සේ ගමමහගේ මේ පැංචාව ගෙදර නවත්තා ගත්තා. ගෙදර නවත්තා කුඹුරට ගොස් ගමරාලට මේ බව දන්වා පස්සේ ඔහුගේ කැමැත්ත ඇතිව උෟරුපැලැස්සේ හරක් බලන්න ඔහුව ගෙන්වා ගත්තා. මොහුට නිදාගන්න ගෙයි පිළිකන්න හරිගස්සලා දුන්නා. ගමරාල මොනරාගල පතනට හරක් අරගෙන යන පාර, නැවත දක්කගෙන එන පාර ඔහුට පෙන්වලා තියෙනවා. පස්සේ, එවගේම උෟරුපැලැස්සේ සියලුම පවුල්වල හරක් බලාගන්ඩ මොහුටම පවරනවා. මේ විදියට ආදරයෙන් හරක් බලාගන්න කුමාරයා හවස ඇඳිරි වැටුණාට පස්සේ උෟරුපැලැස්සට එනකොට අලකොළ මිටියක්, මීනකොළ මිටියක් කඩාගෙන එන්න පුරුදු වුණා. ඒවගේම දර මිටියක් එහෙම ගේනවා. හරකුන්ටත් වල් මිටියක් බැඳගෙන එන්න පුරුදු වුණා. මේ හින්දා ගම ගෙදර අය මොහුට ආදරය දැක්වූවා. හරක් රංචුද මොහුට ඉතාම කීකරු වුණා.


ඔහොම කාලයක් ගතවන විට මොහුට කුඹුරක් සාදා ගොවිතැන් කිරීමට හිතක් පහළ වුණා. මුලදී මේ අදහස ගමරාලට කියන්න බියක් ඔහු තුළ ඇති වුණත්, පස්සේ තමන්ගේ අදහස ගමරාලට ඉදිරිපත් කළා. එහිදී ගමරාල ගත්කටටම ඇහුවාලු උඹට පැංචෝ මොන කුඹුරු වැඩද කියලා. මොහුගේ පෙරැත්ත නිසාම ගමරාල ඔහුට පුංචි උදලු කෙටියක් දුන්නා. ඒකෙන් සෑහීමට පත් නොවුණු කුමාරයා තමන්ට කැමැති පරිදි උදැල්ලක් හදාගන්න නවන්ගමට සියල්ලටම රහසෙන් ඔහු පිටත් වුණා. නවන්ගමදී කම්මල්කරු මොකද පැංචෝ, උඹ කවුද? උඹට මොනවද ඕනේ කියා ඇහුවා.

තමා උෟරුපැලැස්සේ හරක් බලා ගන්න තැනැත්තා බවත් උදැල්ලක් හදාගන්න පැමිණි බවත්, කිව්වා. ඒ පාර කම්මල්කරුවා උෟරුපැලැස්සේ හරක් බලාගන්න පැංචාට මොන උදලුද යැයි පවසා ඔහුට උදැල්ලක් හදලා දුන්නේ නෑ. පස්සේ දවල් ආහාරයට කම්මල්කරුවා ගෙදර ගියාට පස්සේ කුමාරයා යකඩ කෑල්ලක් අරගෙන රත්කරලා කිණිහිරේ දමා තළා හොඳ උදැල්ලක් හැදුවා. කම්කල්කරුවා කෑම කාලා ඇවිත් බලද්දී මොහු කර ඇති විශ්වකර්ම ක්‍රියාව දැකලා පුදුමයට පත් වුණා. පස්සේ කම්මල්කරුවාට මේ නම් රජ කුමාරයෙක් මැයි කියලා තේරිලා දණ ගහලා වැඳලා තියෙනවා. පස්සේ කුමාරයා මම මේ දේ කළා කියලා කාටවත් කිව්වොත් තා උල තියනවා යි තරවටු කළා.


මෙහෙම උදැල්ල හදාගෙන ගිය දුටුගැමුණු කුමාරයා කුඹුරු කොටලා සකස් කරලා තියෙනවා. උදැහනින් හරක් පතනට එළවලා පස්සේ කුඹුර සකස් කරලා රෑ කළුවර වැටුණාට පස්සේ හරක් දක්කාගෙන ආයි ගමට යනවා. කුඹුර හදාගත්තාට පස්සේ වපුරන්න වී සොයා ගන්න අමාරු වුණා. කොහොම හරි ගමගෙදර අටුව ළඟ තිබුණු අහක් කර තිබුණු බොල් වී ගොඩෙන් බොල් වී අරගෙන ගිහින් කුඹුරට ඉස්සා. ගමේ අනික් අය, හොඳ බිත්තර වී ඉහළා වපුරපු කුඹුරු පරද්දමින් ටික දිනක් යනකොට මේ කුඹුර රන්වන් පාටින් දලුලා වැඩෙන්න පටන් ගත්තා. ගමේ ගොවියෝ ඔක්කොම මොහුට වෛර කරද්දී, මේ කුඹුර ඉතා හොඳින් සශ්‍රීක වුණා.


(මල්දෙණියේ ප්‍රවාදගත තොරතුරු ඇසුරෙනි)
සුලක්ඛන ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon