පීරු රාජ්‍ය කැලැඹු ඉපැරැණි අබිරහස් මළ මිනී ගොන්න මෙන්න

  👤  3806 readers have read this article !
2018-08-05

දකුණු ඇමෙරිකාවේ පීරු ප්‍රාන්තයේ ඉන්කා වංශවතුන්ගේ මමීකෘත මළසිරුරු කීපයක් ඒවාට අන්දන ලද ඉතා විචිත්‍ර ඇඳුම්ද සමඟම තිබියදී එහි විශාලතම සුසාන භූමියෙන් ගොඩගන්නා ලද්දේය. අවුරුදු 500ක් පැරැණි එම සුසානය පීරු ප්‍රාන්තයේ වයඹ දිග ලැම්බාසේක් නමැති සමුද්‍රාසන්න ප්‍රදේශයෙහි පිහිටා තිබෙන අතර, එහි තිබී ගොඩගන්නා ලද මමීකෘත සිරුරු ගණන විසි හතරකි. සුසානයකින් හමුවී ඇති වැඩිම මමීකෘත මළසිරුරු ගණන එයයි. ඉන් හතරක් ඉන්කා වංශවතුන්ගේ යැයි සැලැකෙන ඒවා මිහිදන් කරනු ලැබ ඇත්තේ, පිඟන් භාණ්ඩ, ධාන්‍ය හා ඉතා උසස් ගණයේ රෙදිපිළිද සමඟය. දුප්පතුන්ගේ මළසිරුරු සමඟ එවැනි දේ දක්නට නොලැබේ යැයි අදාළ විශේෂඥයෝ කියති.


ඉන්කාවරු ඔවුන්ගේ පුරාණ අගනුවර වූ කස්කෝහි සිට ඉතා විශාල අධිරාජ්‍යයක් පාලනය කළහ. "තහෝන්කින්සුයෝ" යනුවෙන් හැඳින්වුණු එම අධිරාජ්‍යය, වත්මත් ආර්ජන්ටිනාවේ බටහිර කොටසේ සිට දකුණු කොළොම්බියාව දක්වා විහිදී තිබිණි. ඉපැරැණි ඉන්කා ශිෂ්ටාචාරය දෙසිය වසරකට වැඩි කාලයක් එහි පැවැති අතර, දහසය වැනි සියවසේදී ස්පාඤ්ඤයෝ එය ආක්‍රමණය කළහ. එහෙත් ඔවුන් සුප්‍රකට "පිරමීඩ නිම්නය"යෙහි රැඳී සිටියේද යන්න මේ වනතෙක්ම නිශ්චිතව දැන ගන්නට ලැබී නැත.


මළසිරුරු හමුවී ඇත්තේ පිරමීඩ විසි හයක් පිහිටි ට්‍යුකුමේ නමැති විශාල පිරමීඩ නගරයේ හෙක්ටෙයාර් දෙසිය විසි එකක භූමි ප්‍රදේශයකින්ය. සුසානය "හුවාකා ලාගා" නමැති ප්‍රධාන පිරමීඩයේ සිට කිලෝ මීටරයක දුරින් පිහිටියේය. උසින් මීටර තිහක් (අඩි සීයක්) වූ එම පීඩය දකුණු ඇමෙරිකාවේ උසම පිරමීඩයද විය. ට්‍යුකුමේ සයිඩ් කෞතුකාගාරය විසින් මෙහෙයවුණු හතළිස් නව දෙනකුගෙන් යුත් පුරාවිද්‍යාඥ කණ්ඩායමක් ඉන්කා සුසාන නිරීක්ෂණයෙහි යෙදුණු අතර එම ශිෂ්ටාචාරය පීරු ප්‍රාන්ථයට පැමිණ ඇත්තේ වසර 1470 යැයි ඔවුහු විශ්වාස කරති. ඉන්කා වංශවතුන්ගේ මළසිරුරු එහි මිහිදන්ව තිබීමෙන් තහවුරු වන්නේ ඉන්කා ශිෂ්ටාචාරය එහි මුල්බැසගෙන පැවැති බව යැයිද එම පුරාවිද්‍යාඥයෝ කියති.


ඉතාම සියුම් හා සුසිනිඳු පිලියෙන් සැකැසුණු ඇඳුම් අන්දවන ලද මළසිරුරු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම උසස් පෙළැන්තියේ අයගේම බව සනාථ කරන සියලු සාධක තමන්ට ලැබී ඇතැයි ට්‍යුකුමේ කෞතුකාගාරයේ අධ්‍යක්ෂ බර්නාඩා ඩෙල්ගාඩෝ පැවැසීය. පුරාවිද්‍යාඥයන් මෙතෙක් මෙම මළසිරුරුවල ලිංග භේදය තවහුරු කර නැති නමුත් රෙදි විවීමට යොදා ගැනෙන උපකරණ පසෙකින් ඇතිව මිහිදන් කරනු ලැබ තිබෙන මළසිරුරු කාන්තාවන්ගේ යැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. එමෙන්ම දැවමය හබල් හා සිප්පිකටු පසෙකින් ඇතිව මිහිදන් කරන මළසිරුරු පිරිමින්ගේ යැයිද ඔවුහු විශ්වාස කරති.


ඉන්කා වංශවතුන්ගේ මළසිරුරු මේ ප්‍රදේශයෙහි මිහිදන් කරන ලද්දේ කුමන හේතුවක් නිසාද යන්න අනාවරණය කර ගැනීමට පුරාවිද්‍යාඥයනටද මෙතෙක් නොහැකි නමුත් තවත් මෙවැනි මළසිරුරු දහයක් පමණ මෙහි තිබිය හැකි යැයි ඔවුහු කියති. සමහර මළසිරුරු සමඟ මිහිදන්ව තිබෙන පිඟන් කෝප්ප ආදිය තවමත් ඉතා හොඳ තත්ත්වයෙන් පවත්නා හෙයින් ඉන්කාවරුන්ගේ පිඟන් භාණ්ඩ නිෂ්පාදනය ඉතා දියුණු කර්මාන්තයක්ව තිබිණැයි විශ්වාස කළ හැකි බව ලා වැන්ගාඩියා නම් ස්පාඤ්ඤ ගවේෂකයා ප්‍රකාශ කරයි.


ළමයින් බිලි දීමේ චාරිත්‍රයක් දකුණු ඇමෙරිකාවෙහි තිබුණේද?


ළමයින් බිලි දීමේ චාරිත්‍රයක් පූර්ව ඉන්කා යුගයේ සිකාන්වරුන් අතරත් ඔවුන් අනුගමනය කළ චිමු ජනතාව අතර මෙන්ම ඉන්කාවරුන්ට සාපේක්ෂ වශයෙන් පැවැති බව පෙනේ යැයි පීරු ප්‍රාන්තයෙහි මෙම ගවේෂණයෙහි යෙදුණු පුරාවිද්‍යාඥයෝ ප්‍රකාශ කරති. ආර්ජැන්ටිනා ප්‍රාන්තයේ මෙන්ඩොකාහි සෙරෝ ඇකොන්කාගුවා කඳුවැටිය අඩි 17,388ක් පහළ තැනකින් 1985දී කඳු නඟින්නන් පිරිසකට හමු වුණු දේවල් අතර තිබුණු මමීකෘත ළමා මළසිරුරක්. ළමයින් බිලි දීම පිළිබඳ මතයට පදනම් වී තිබේ. ඉන්කාවරුන් අතර භාවිත වන "කැපකෝචා" (ඛ්චනචජධජඩච) යන පදයෙන් අර්ථ දැක්වෙන්නේද "උසස්ම බිල්ල" හෙවත් "රාජකීය ප්‍රතිඥාව" යනුවෙනි. මිනිස් සංහතියේ උසස්ම කොටස හෙවත් ළමයින් දෙවියන් උදෙසා පිදීම යනුවෙන්ද මෙයින් අර්ථ දැක්වෙයි.


පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon