ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ළැව්ගින්නක් පැතිරෙද්දී වට්ටක පිරිත සජ්ජායනය කළ හැටි

  👤  4090 readers have read this article !
2018-08-05

අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිතය අමතක නොවන බොහෝ ආශ්චර්යවත් සිදුවීම්වලින් පිරුණු ජීවිතයකි.
ඒ 1970 වසරයි. උන්වහන්සේ එකල ගල්දූව ආරණ්‍ය සේනාසනයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට අභිධර්මය උගන්වමින් සිටියහ.


අභිධර්මයේ නිධානය නැතිනම් යටගියාවේ ආරම්භය අප බුදු පියාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී පැවැත්වූ අභිධර්ම දේශනාවයි. එසේ අභිධර්මය දේශනා කළ කාලය මාස 03කි. "මෙම මාස තුන දිව්‍ය මාසවලින් කොපමණ කාලයක්ද?"


අපේ ස්වාමීන් වහන්සේ තම ශිෂ්‍ය භික්ෂු පිරිස් වෙත ප්‍රශ්නයක් යොමු කළහ. එම ප්‍රශ්නයට පිළිතුරු ශිෂ්‍ය පිරිසගෙන් නොලැබුණු තැන උන්වහන්සේම පිළිතුරු දෙන්නට තීරණය කළහ.


මාස තුනක් දිව්‍ය වර්ෂවලින් කොපමණද? අප මාහිමිපාණන්ටද මේ ප්‍රශ්නයට පිළිතුර එක්වරම ප්‍රකාශ කරගන්නට නොහැකි තත්ත්වයක් උද්ගත විය.
නමුත් උන්වහන්සේ ශිෂ්‍ය පිරිස ඉදිරියේ මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුමය.


නමුත් නිවැරදිව පිළිතුරු වෙත තම මනස යොමු කළද පිළිතුරක් එන පාටක් නැත. උන්වහන්සේ දෑස් පියාගෙන "ඉතිපිසෝ" ගාථාව මෙනෙහි කරන්නට විය. එසැණින් මනසට දැනුණේ එය විනාඩි 09ක් බවය. එය ප්‍රකාශ කළ අප මාහිමියන් ශිෂ්‍ය පිරිස හා එක්ව එය ගණනය කරන කල එය නිවැරදි පිළිතුරම විය.


මේ වන විටත් ලක්ෂ කෝටි වාර ගණනක් බුදුගුණ මෙනෙහි කර හුරු පුරුදු වීම ක්ෂණයෙන් මනස නිරවුල් වී නිවැරදි පිළිතුර මතු වීමට හේතු විය.
2003 වසරේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කීස්බරෝ ධම්මසරණ විහාරයේ දින 25ක් වැඩ සිටිමින් භාවනායෝගීව ගත කළ අප ස්වාමීන් වහන්සේට මෙල්බන් නුවර මහා ළැව් ගින්නක් පැතිරෙමින් මහා විනාශය සිදුවෙමින් පවතින බව සැලවිය.


වහා ක්‍රියාත්මක වූ උන්වහන්සේ භාවනා යෝගීවම වැඩ සිටිමින් වට්ටක පිරිත දේශනා කරන්නට විය. ගිනි නිවන හමුදාවටවත් නිවා ගැනීමට නොහැකිව තිබූ ගින්න ක්‍රමයෙන් නිවී යන්නට වූ අතර මින් ඕස්ට්‍රේලියානු ජාතිකයන් මහත් විස්මයට පත්වූහ.


මේ දිනවල මහා නියං සමයක් විය. එය කෙතරම් උග්‍ර වී තිබුණේද යත් අප මාහිමිපාණන් වහන්සේ වැඩ සිටි ධම්මසරණ විහාරයේ වායුසමන යන්ත්‍ර පවා උණු වන්නට විය. අප ස්වාමීන් වහන්සේද දැඩි ලෙස ගිලන් විය. සිය ගිලන් බවද නොතකා පසුදින හිමිදිරියේම අවදි වූ උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය සහ 'මච්ඡරාජ පිරිත' හෙවත් 'වැසි පිරිත' දේශනා කරන්ට විය. පුදුමයකි එදින මැදියම් රැයේ නියඟය හමාර කරමින් මහවැසි වසින්නට විය.


"අපේ ලොකු ස්වාමීන් වහන්සේ යම් ප්‍රදේශය බණකට පිරිතකට වැඩම කළොත් ඒ ප්‍රදේශයට අනිවාර්යයෙන් වැසි වසිනවා. උන්වහන්සේ ප්‍රගුණ කළ ශ්‍රී සම්බුද්ධ ධර්මය සහදාන, ශීල, භාවනාදී උතුම් ගුණාංගයන් එයට හේතු වුණා." පූජනීය නාඋයනේ අරියනන්ද ස්වාමීන් වහන්සේ අප සමඟ එසේ පැවසුවේ අප මාහිමිපාණන් වහන්සේ සතු ආශ්චර්යවත් බව තවදුරටත් තහවුරු කරමිනි.


ඒ 2004 වසරේ දෙසැම්බර් මස 20 වැනි දිනයයි. උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින යෙදී තිබූ එදින අප මාහිමිපාණන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ පස් නමක්ද සමඟ හිමිදිරි පාන්දර 4.00ට පුහුල්වැල්ල රෝහණ යෝගාශ්‍රමයේ තිබූ දානමය පින්කමකට සහභාගි වීම සඳහා වැඩම කරන්නට පිටත් වූහ. කොග්ගලදී තවත් සිවුනමක් ගමනට එක්වූහ. දැන් වේලාව උදේ 8.20ට පමණය, මිරිස්ස පසුකළා පමණි. වම් පැත්තෙන් කන්දකි. මුහුද ඉතා රළුව ඇති බවත් අෑතින් පෙනේ. මුහුද ගොඩගලයි. වෑන් රථයක් සහ ලොරි රථයක් ඒ වන විටත් මුහුදු ජලයට යටවී ගසාගෙන යයි. "අපි ආපසු හැරෙමු නේද?" ස්වාමීන් වහන්සේ රියදුරුට යෝජනා කළහ. නමුත් වාහනය හරවා ගැනීමටත් පෙර "උදම් රළ" නමින් හැඳින්වූ සුනාමි ව්‍යසනයට එම වාහනයද හසුවිය. වාහනය ජල පහරත් සමඟ ඉහළ පහළ යන්නටත් පැද්දෙන්නටත් විය. වාහනයේ වැඩ සිටි අන් භික්ෂුන් වහන්සේ දැඩි භීතියට පත් වුවද අප ස්වාමීන් වහන්සේ භීතියට පත් නොවීය.


"මම බය නෑ... මම හරියට සිල් රැකලා තියෙනවා. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේට ඇප උපස්ථාන කරලා තියනවා. පියාණන්ට උපස්ථාන කරලා තියනවා." එසේ චිත්ත ශක්තිය වර්ධනය කරගත් උන්වහන්සේ "කවුරුත් බය වෙන්න එපා. ඔය ඇත්තො ඉතිපිසෝ ගාථාව, සබ්බපාපස්ස අකරණං ගාථාව, සජ්¿ධායනා කරන්න හොඳයි."
මෙසේ පැවසූ අප නාහිමිපාණන් වහන්සේ සමාධිගතව එම ගාථා සජ්¿ධායනා කරන්නට විය.


මේ වනවිට වාහනය පාලම උඩය. එය පැද්දි පැද්දී පිටුපසට එයි. රියදුරුට පාලනය කරගත නොහැකි වාහනය තවත් ක්ෂණයකින් පාලමෙන් පහළට වැටෙන්නට ඔන්න මෙන්නය. ස්වාමීන් වහන්සේ මේ සියල්ලෙන් නොසැලී ගාථා සජ්¿ධායනා කරති. එක්වරම වාහනය මුහුදට මුහුණලා හැරුණේ හරියට ගසක දැවටී රැඳුණාක් මෙන්ය.
ජලය මහහඬ නඟමින් අහස උසට රැලි නංවමින් වියරුවෙන් මෙන් ගලා එයි. පාලමට ආසන්නව තිබූ ගොඩනැඟිලි බලාගෙන සිටිද්දී කඩා වැටෙයි. ඒවායේ සුන්බුන් ස්වාමීන් වහන්සේ වැඩ සිටි වාහනයටත් උඩින් පවා යයි. වාහනයේ ඉදිරිපස වීදුරුව බිඳී මුහුදු ජලය වාහනය තුළට ගලා එයි. වාහනයේ වැඩ සිටි දහසය හැවිරිදි පුංචි ස්වාමීන් වහන්සේ "අනේ" යනුවෙන් කෑගසයි.


අප ස්වාමීන් වහන්සේ මුහුද දෙසට සිය ඇඟිල්ල දිගු කළහ. "මේ සිල්වතුන්ට අනතුරක් වෙන්න යනවා. වහාම රැල්ල නවත්වනු නවත්වනු." උන්වහන්සේ උස් ගැඹුරු හඬකින් මුහුදට අණ කරති." විස්මයකි. මෙතෙක් වේලා මහා රළු ලෙස වියරු ලෙස ගලා ආ මහා රළ ගෙඩි ආපසු හැරෙන්නන්ටත් මුහුද නිසල වන්නටත් විය. වාහනයද නිරුපද්‍රිතය. වාහනයේ වීදුරු බිඳුණු තැන්වලින් වාහනයට ජලය ඇවිත් තිබුණා හැරෙන්නට වෙනත් කිසිදු අනතුරක් නැත.


මඳ වේලාවකින් ජලය බැස යන්නට විය. අප ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස කඳු සහිත පරිසරයක තිබූ මිරිස්ස උඩුපිල විහාරස්ථානයට වැඩම කළහ.
එම විහාරස්ථානයේදී දහවල් දානය වැළඳූ අප ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස එදින පොහොය කරන දිනය හෙයින් එම විහාරස්ථ පොහොය ගෙයිහිදී පොහොය විනය කර්මය කළේ සිදුවූ මේ මහා ව්‍යසනයට මුහුණදී ඉන් බිඳක්වත් සිත් චංචල කර නොගනිමිනි. පසුව පැමිණි වාහනයකින් පුහුල්වැල්ල පන්සලට වැඩම කළහ.
අප ස්වාමීන් වහන්සේ අපවත්වී වදාළද එදා සුනාමි ව්‍යසනයට මුහුණ දෙමින් සිල් බලයෙන් එහි උවදුරින් බේරුණු පූජනීය ස්වාමීන් වහන්සේද එදා වාහනය පැදවූ රියැදුරු මහත්මාද අදටත් සුජීවත්ව සිටිති.


මෙම සියලු ආශ්චර්යයන් කරන්නට අප ස්වාමීන් වහන්සේට තිබූ එකම ශක්තිය උතුම් වූ ශ්‍රී සද්ධර්මය මනාව හදාරා මනාව භාවිත කොට තිබීමත්, රහසින්වත් පව් නොකළ උන්වහන්සේ සතු වූ උතුම් වූ ශීලත්වයයි.


අලුයම 5.30ට අවදි වී මුව ‍ෙදාවා 4.00 සිට 5.00 තෙක් යෝගාසන භාවනාවන් 5.00 සිට 6.00 තෙක් බුද්ධ වන්දනා වත පිරිතත් නිමවා මිනිත්තු 15ක් පද්මාසනයෙන් භාවනා වඩා දවස ආරම්භ කිරීම උන්වහන්සේගේ සිරිතයි.


උදෑසන 6.00 සිට 7.00 කාලය තුළ බුද්ධ පූජා පැවැත්වීමෙන් පසු සිහිල් දානය ගන්නා උන්වහන්සේ මුළු දවසම ගත කරන්නේ ධර්මාවබෝධය මුල් කරගත් කාර්යයන් සමඟය.


දැඩි ලෙස ගිලන් වීමත්, ආගමික කටයුත්තකට බැහැරට වැඩම කරවීමත් නොමැති සෑම දවසක්ම මෙම දින චරියාවෙන් ගත කිරීම. පැවිදි බව ලැබූ දින සිට අපවත් වී වදාළ දින දක්වා උන්වහන්සේ විසින් හුරු පුරුදු කරගෙන අනුගමනය කළ දින චර්යාව විය.


මෙවන් වූ ආශ්චර්යවත් දෑ සමඟ සිය ශාසනික දිවිය ගත කිරීමට උන්වහන්සේ ශක්තිමත් වූයේ මේ උතුම් දින චර්යාවෙනි.
තවත් කොටසක් ලබන සතියේ
සටහන - සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon