රාජ්‍යත්වය රැක ගැනීමට දකුණු ඉන්දීය සේනා ගෙන්වීමෙන් ලංකාවේ ද්‍රවිඩ ජනාවාස විකාශනය සිදුවිය

  👤  3646 readers have read this article !
2018-08-05

රෝහණ විජේවීර 1971-1977 වකවානුවේ සිරගතව සිටියදී ලියන ලද 'දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?' කෘතිය ලංකාවේ ජාතික ගැටලුවේ ඓතිහාසික විකාශය
පිළිබඳ මෙතෙක් පළවූ


සුවිශේෂී පර්යේෂණාත්මක නිබන්ධනය ලෙස විද්වත් අවධානයට යොමුව තිබේ. එම ග්‍රන්ථයෙන් උපුටාගත් කොටස් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

වර්තමානයේ ලංකාවේ ජීවත් වන දෙමළ ජාතිකත්වයේ සම්භවය හා විකාශනය කෙලෙස සිදුවී ඇත්ද? දැන් අපි මේ ගැන සැකෙවින් සොයා බලමු. ඉන්දියාවේ දකුණු දිගට ගොනු වූ ද්‍රවිඩ ගෝත්‍ර විකාශනය වීමෙන් ගෙවුණු සියවස් 25 තුළ දකුණු ඉන්දියාවේ විටින් විට පල්ලව, පා¾ඩි, චෝල, චේර හා විජය නගර් වැනි ද්‍රවිඩ රාජ්‍ය බිහිවිණි. විවිධ අවස්ථාවල මින් එකිනෙක බලසම්පන්න විය. මේ ද්‍රවිඩ රාජ්‍ය අතුරෙන් දේශපාලනික, සමාජ, ආර්ථික හා සංස්කෘතික යන හැම පැත්තකින්ම අගේ‍ර්ශ්වර ලෙස සැලකිය හැක්කේ දකුණු ඉන්දියාව පමණක් නොව උතුරු ඉන්දියාවේ ගංගා නම් ගඟ වෙතටත්, ලංකාවටත්, මාලදිවයින්වලටත්, මලයාවට හා සුමාත්‍රාවටත් සිය බලය විහිදාලූ චෝල අධිරාජ්‍යයයි.


ලංකාවේ දෙමළ ජනාවාස බිහි වීම විවිධ හේතූන් මත විවිධ අයුරින් විවිධ වකවානුවල සිදුවූ බව පෙනෙයි. ලංකාවේ සිංහල රජවරුන් හා රාජ්‍යය බලාපොරොත්තු වන්නන් හෙවත් ඊට හිමිකම් කියන්නන් කුලී හමුදා ලෙස දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ ජාතිකයන් විශාල ලෙස බඳවා ගෙන ඒමත්, ආක්‍රමණික සේනා වශයෙන් පැමිණ පදිංචි වීමත්, වෙළෙඳුන් වශයෙන් පැමිණ පදිංචි වීමත්, නාවිකයන් හා ශිල්පීන් වශයෙන් පැමිණ පදිංචි වීමත්, අන්තිමට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිය යටත් විජිත වතුකරයේ ශ්‍රම හමුදාව ලෙස ක්‍රියා කිරීමට ගෙන ඒමත් හේතු කොට ගෙන ලාංකේය දෙමළ ජාතිකත්වයේ සම්භවය හා විකාශනය සිදුවූ බව පැහැදිලිව පෙනෙයි.


ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ පටන් විවිධ අවස්ථාවල දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ද්‍රවිඩ ජාතිකයන් කිහිප දෙනෙක්ම ලංකාවේ උතුරු දේශය හෙවත් රජරට පාලනය කළහ. මෙලෙස ක්‍රිස්තු පූර්ව 237-215 අතර සේන හා ගුත්තික නම් අශ්ව වෙළෙඳුන් දෙදෙනාත්, ක්‍රිස්තු පූර්ව 205-161 අතර එළාර නම් චෝල රජුත්, වළගම්බා රජු දවස එනම් ක්‍රිස්තු පූර්ව 103-89 අතර පුලහත්ථ, බාහිය, පනයමාර, පිලයමාර හා දාඨික යන ප¾ඩි කුමාරවරුත් (වසර 15ක් පමණ) විටින් විට රට පාලනය කළහ. මොවුන් සමඟ පැමිණි පරිවාරිකයන් හා සේනාවලින් ලංකාවේ ද්‍රවිඩ ප්‍රජාව වර්ධනය වීමත්, ශක්තිමත් වීමත් සිදුවිය.


ලංකාවේ රාජ්‍යත්වය දිනා ගැනීම සඳහාත්, රාජ්‍යත්වය රැක ගැනීම සඳහාත් දකුණු ඉන්දියාවෙන් කුලී සේනාවන්, එනම්, වේලයික්කාර් හමුදා සහ අගම්පඩි සේනා ගෙන ඒමට දීර්ඝ ඉතිහාසයක් ඇත. ඊළනාග (ක්‍රි.ව. 33-43) හා අභයනාග (ක්‍රි.ව. 231-240) රාජ්‍ය බලය ලබාගැනීම සඳහා මෙසේ කුලී හමුදා දකුණු ඉන්දියාවෙන් ගෙන ආහ. ධාතුසේනගේ කනිටු පුත් මොග්ගල්ලාන ක්‍රි.ව. 497දී පමණ දකුණු ඉන්දීය කුලී හමුදා ගෙන ආවේ සිය සොහොයුරු කස්සප රජු පැරැදවීම සඳහාය. ශීලාමේඝවණ්ණ (ක්‍රි.ව. 617) තුන්වැනි අග්බෝ (ක්‍රි.ව. 626), පළමු වැනි දාඨෝපතිස්ස (ක්‍රි.ව. 626-641), දෙවැනි දාඨෝපතිස්ස (ක්‍රි.ව. 650-658), මානවම්ම (ක්‍රි.ව. 676-711) යන මේ සියල්ලන්මත් පස්වැනි සේන (ක්‍රි.ව. 972-982) කාලයේ ඔහුගේ මහ සෙනෙවි සේනත් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුලී හමුදා ගෙන්වූයේ රාජ්‍ය බලය ඇල්ලීම සඳහාය. මෙලෙස විටින් විට ගෙන එන ලද දකුණු ඉන්දීය ද්‍රවිඩ කුලී හමුදාව ප්‍රමාණයෙන් වැඩී ගිය අතර ශක්තිමත් විය. මොවුන් පදිංචි වීමෙන් ලංකාවේ ද්‍රවිඩ ජනාවාස පුළුල් විය.
මෙලෙස ගෙනෙන ලද දකුණු ඉන්දීය කුලී හමුදා කොතරම් බල සම්පන්නවීද යත්, පළමු වැනි සේන (ක්‍රි.ව. 832-851) ගේ කාලයේ ශ්‍රී මාර, ශ්‍රී වල්ලභ (ක්‍රි.ව. 815-862) ප¾ඩි රජු ලංකාව ආක්‍රමණය කළ විට ලංකාවේ සිටි මේ දකුණු ඉන්දීය කුලී සේනා ආක්‍රමණකාරී හමුදාවට එකතු වූහ. තවත් විටෙක පළමු වැනි විජයබාහු (ක්‍රි.ව. 1055-1114) රජු දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයට එරෙහිව ආක්‍රමණයකට මාන්තොටට සේනා රැස් කළ විට වේලයික්කාර් හමුදාව ඊට විරුද්ධව කැරැලි ගසා පොළොන්නරුව නගරය පවා ඇල්ලීය. පස්වැනි මිහිඳුගේ (ක්‍රි.ව. 993) මේ කුලී හමුදාව කැරැලි ගසා අනුරාධපුර නගරයද අල්ලා ගත්හ. මෙය පළමු වැනි රාජරාජ චෝල අධිරාජයාට රජරට අල්ලා ගැනීමට වාසිදායක තත්ත්වයන් නිර්මාණය කළේය. කාලිංග මාඝගේ අධික පීඩාකාරී පාලනය සමයේ මොවුහු කාලිංග මාඝ සමඟ එකතු වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon