21 වැනි සියවසේදීත් සීතාවක රාජසිංහ රජුට උණ කටුවෙන් ඇනීම

  👤  4319 readers have read this article !
2018-08-05

සීතාවක රාජසිංහ රජු (ක්‍රි.ව.1580 - 1592) සැලකෙන්නේ පෘතුගීසි අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව අනවරත අරගලයක යෙදුණු මහා රණශූරයා වශයෙනි. හෙතෙම අනභිභවනීය සේ සැලකුණු පාතුගීසි හමුදා මුල්ලේරියා වෙලේදී පරාජය කොට මහත් කීර්තියක් අත්පත් කරගත්තේය. ඇතැම් යුරෝපීය ඉතිහාසඥයන් පවා රාජසිංහයන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට නොදෙවෙනි රණශූරයකු වශයෙන් හඳුන්වා තිබේ. එතුමා 16 වැනි සියවසේදී ලංකාව එක්සේසත් කළේය.


මෑතක සිට එක්තරා නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යයක් මඟින් සීතාවක රාජසිංහයන් ද්‍රෝහියකු ලෙස හුවා දක්වමින් ඉතිහාසය නිර්දය අන්දමින් විකෘති කරමින් සිටී. දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියගේ ඓතිහාසික කතා ප්‍රවෘත්තිය පාදක කොට ගනිමින් ටිකිරි කුමාරයාට ප්‍රහාර එල්ල කරන මෙම නාටකයේ සැඟවුණ අරමුණ කුමක් දැයි වටහා ගැනීම අසීරුය.


මායාදුන්නේ රජු සීතාවක රාජධානිය බිහි කරනුයේ 1520 දීය. එනම් ඓතිහාසික විජයබා කොල්ලයෙන් අනතුරුවය. මායාදුන්නේගේ පුතු ටිකිරි බණ්ඩාරයන් සීතාවක සේනාධිනායක තනතුරට පත්වන්නේ සොළොස් හැවිරිදි වියේ බව රාජාවලිය සඳහන් කරයි. සත් හැවිරිදි වියේදී ඔහු වීදිය බණ්ඩාර සමඟ ඇතිවූ පෑලඳ නුවර සටනේදී හමුදා මෙහෙයවූ බවද සඳහන්ය. ටිකිරි බණ්ඩාර මායාදුන්න රජවරු දෙදෙනාගේ ඉතිහාස ලකුණ "අධිරාජ්‍ය විරෝධය" වේ.


කන්ද උඩරට විමලධර්මසූරිය රජුට එරෙහි කරන ලද යුද්ධයේදී "බලනේ"දී පරාජයට පත්ව පසු බසින අවස්ථාවේදී පෙතන්ගොඩ රාජකීය උද්‍යානයේදී උණ කටුවක් ඇනීමෙන් ඔත්පළව රාජසිංහ රජු මරණයට පත්වූ බව ජනප්‍රවාදයේ කියැවෙයි. දැන් නැවතත් රාජසිංහයන්ගේ නාමය ඝාතනය කරනු පිණිස උණ කටු අනින්නේ මන්ද යන්න වටහා ගත නොහැකිය.


බුවනෙකබාහු රජු 1520 සිටම අනුගමනය කළේ පරංගි හිතවාදී පිළිවෙතකි. ඔහු රාජ්‍යයේ ආරක්ෂාව පැතුවේ ප්‍රතිකාලුන්ගෙනි. ඒ නිසාම කෝට්ටේ හා සීතාවක රාජ්‍යයන් අතර පසමිතුරුභාවය නිරන්තරයෙන් පැවැතියේය. මායාදුන්නේ අවස්ථා ගණනාවක් කෝට්ටේට පහර දුන්නේ ප්‍රතිකාලුන් ලංකා ධරණී තලයෙන් පලවා හැරීමේ ඒකායන අභිප්‍රායෙනි. කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට පක්ෂපාතීව සිටින අතරම බුවනෙකබාහුගේ මුනුපුරු ධර්මපාල කුමරු 1557දී ‍ෙදාන් ජෝන් රජුට රාජධානිය ඔප්පුවකින් ප්‍රදානය කළේය. සීතාවක හා කෝට්ටේ අතර ගැටුම් වඩා ප්‍රබල විරෝධාත්මක තත්ත්වයට පරිවර්තනය වූයේ එයින් අනතුරුවය.


යටකී ටෙලි නාටකය විසින් නැවත නැවතත් හුවා දක්වනුයේ රාජසිංහයන් විසින් සඟුන් මරවමින්ද වෙහෙර දාගැබ් විනාශ කරමින්ද බෞද්ධාගම් විරෝධී ව්‍යාපාරයක් ගෙන යන ලද බවය. රාජසිංහ රජු බුදුදහම අත්හැර ශිව ආගම වැලඳ ගැනීම හේතුවෙන් මෙම විනාශය සිදුකරන බව ස්ඵුට කිරීම පිටපත් රචකයාගේ අරමුණ බව පෙනේ. කෙසේ වුවද එය අලුත් දෙයක් නොවන්නේ ඒ පදනමින් ගෙතූ ජනශ්‍රැති සීතාවක ප්‍රදේශයේ බහුලව තිබෙන නිසාය.


"පීතෘ ඝාතනය සිදුකළ මෙම දුෂ්ට රජු එතැන් පටන් සඟුන් මරවමින්ද වෙහෙර දාගැබ් ගිනි තබා දවා හළු කරමින්ද" ආදී වශයෙන් මහාවංශ කතුවර හිමියෝද රාජසිංහයන්ට පහරදී තිබේ. බොහෝ නිර්මාණකරුවන් පාදක කරගන්නා මෙම විස්තර සාවද්‍යය. රාජසිංහ රජු විසින් ගිනි බත් කළ කිසිදු විහාරස්ථානයක් ගැන සීතාවක ප්‍රදේශයෙන් විස්තර සොයාගත නොහැකිය. සීතාවක රජ මාලිගයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි මානියම්ගම රජමහා විහාරය ගතවූ වසර 450 තුළ ඒ වූ පරිද්දෙන්ම තවමත් තිබේ. ලෙනවර, දෙල්ගමුව, සමනබැද්ද, වට්ටාරම ආදී අනෙකුත් රජමහා විහාරද එසේම නිරුපද්‍රිතව පැවතුණි.


සීතාවක රජමාලිගය පිහිටි ස්ථානය ඉදිරිපිට ඇති සීතාවක නදියේ කණා මැදිරියන් වළෙහි භික්ෂුන් වහන්සේ 60 නමක් ගිල්වා මරා දැමූ පුවතද එවැනි අක්මුල් නැති කතාවකි. ස්වකීය මාලිගය ඉදිරියේ අමුසොහොන් පවත්වා ගැනීමට කිසිදු සිහි බුද්ධියක් ඇති රජකු නොව සාමාන්‍ය මිනිසකු හෝ පෙලඹේ යැයි විශ්වාස කළ නොහැකිය. පන්සල් ,බිමට සමතළා කොට ශිව කෝවිල් තැනවූ බවට කරන ප්‍රකාශද හුදු සම්පප්‍රලාපම වේ. එසේ තැනවූ ශිව කෝවිල් සීතාවක රාජධානිය තුළ තිබිය යුතුය.


නමුත් තිබෙන්නේ සීතාවක බැරැන්ඩි කෝවිල පමණි. එය අවස්ථා ගණනාවකදී සංවර්ධනය කරන ලද පුරාණ කෝවිලකි. එය දඩමීමා කරගනිමින් සීතාවක රාජසිංහ රජු බුදුදහම අත්හැර ශිව ආගම වැලඳගත් බව නිගමනය කිරීමද සාවද්‍යය. එය එසේනම් මේ කාලයේ නොදත් දෙවිවරු සොයා ඉන්දියාවේ කෝවිල් කරා යන අපේ නායකයන්ටද එම චෝදනාව එල්ල කිරීම සුදුසුය.


සීතාවක රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය වසර 12කි. එකල දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියේ ඓතිහාසික දෙල්ගමුව රජමහ විහාරයේය. යුද ගැටුම් නොපැවති වසර 9කම රජු විසින් දෙල්ගමු වෙහෙරේ සිට රත්නපුර සමන් දෙවොල දක්වා දළදා පෙරහර පැවැත්වූ බවත් පෙරහර කළ ප්‍රභූන්ට තාන්නමාන්න පිරිනැමූ බවත් කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ සිය "සබරගමුවේ පුරාණ ලිපි" ග්‍රන්ථයේ සාධක ඇතිව ඔප්පු කර තිබේ. මිහිපිට ඇති ඉතාමත් සුන්දර දෙය සත්‍යයයි. අප පෙනී සිටිය යුත්තේ ඒ වෙනුවෙනි.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon