උෟවේ මහ ඇමැතිගේ ‘ෂේප්’ න්‍යාය

  👤  3028 readers have read this article !
2018-07-20

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහිව 1818දී උෟව වෙල්ලස්සේ මිනිස්සු කැරැලි ගැසූහ. කැරැල්ල තිරශ්චීන ලෙස මර්දනය කළද කැරැල්ල මෙහෙය වූවන් දේශප්‍රේමී වීරයන් ලෙස ඉතිහාස ගත විය. 1948 "ඩොමිනියන් නිදහස" ලැබීමෙන් පසු ගත වූ වසර 70ක කාලයේදී උෟව - වෙල්ලස්සෙන් ඉතිහාසයට එක් වූවෝ සිටිති. අවාසනාවට ඉන් අති බහුතරය කාඩ්බෝඩ් වීරයන්ය.

යටත් විජිත යුගයේ උෟව වෙල්ලස්ස ලෙස හැඳින් වූ ප්‍රදේශයේ සැලකිය යුතු කොටසක් උෟව පළාත ලෙස අද හඳුන්වයි. මේ උෟව පළාතේ වත්මන් පාලකයා චාමර සම්පත් දසනායකය. මෑත කාලයේදී ඔහුගේ නම රට පුරා ප්‍රචලිත වූයේ බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර වැඳුම් ලැබූ දේශපාලනඥයකු ලෙසය. චාමර සම්පත් මහ ඇමැති ධුරය පමණක් නොව උෟව පළාත් අධ්‍යාපන ඇමැති ධුරයද දරයි.

පළාතේ අධ්‍යාපන ඇමැතිවරයා නිසා විදුහල්පතිවරියගෙන් වැඳුම් ලැබීමට සුදුස්සකු යැයි ඔහු සිතුවා විය හැකිය.

පසුගිය දිනෙක අනුරාධපුර තඹුත්තේගම පැවැති ශ්‍රී ලනිප රැස්වීමකදී මහ ඇමැතිවරයා කියා තිබුණේ පළාත් සභාවේ සිටින මන්ත්‍රිවරු 34 දෙනා දමන ලෙඩවලින් බේරීමට රැකියා අවස්ථා දෙක තුනක්, කොන්ත්‍රාත්තුවක්, දෙකක් දී ෂේප් වන බවය. හෙතෙම පවසන ආකාරයට දේශපාලන විරුද්ධවාදියකුගේ කට වැසීමට ඉන්ධන සමඟ වාහනයක් ලබාදීම ප්‍රමාණවත්ය. බදුල්ලේ මළ ගෙවල් එකක්වත් අතනොහරින බවත් මළ ගෙවල් ගැන ක්ෂණිකව දැන්වීමට මෝචරියේ පවා තමන්ගේ නියෝජිතයකු සිටින බවද මහ ඇමැතිවරයා එහිදී කියා තිබිණි. හෙතෙම වැඩිදුරටත් පවසා තිබුණේ මළ ගෙවල්වලට පමණක් නොව ආරාධනා කරන්නේ නම් සෑම මඟුල් ගෙයකටම නොවරදවා සහභාගි වන බවත් කොල්ලන් සමඟ "සෙට්" වන බවත්ය.

සිය "ෂේප් න්‍යාය" මෙලෙස පැහැදිලි කර ඇති මහ ඇමැතිවරයා පරම සත්‍යයක් ඔහුගේ කටින්ම කියා තිබේ. ඔහුට අනුව තව අවුරුදු 10කට පසුව ලැබිය යුතු මහ ඇමැති පුටුව ලැබුණේ ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් දිනවීමට තමන් ඇප කැප වූ මහින්ද රාජපක්ෂ පරාජය වූ නිසාය.

මෙරට ලක්ෂ 62ක ඡන්දදායක ජනතාවගේ මතයට එරෙහි වූ චාමර සම්පත් දසනායකට ඒ නිසාම මහ ඇමැති ධුරය හිමි වී ඇත. ප්‍රශ්නය වන්නේ ලක්ෂ 62ක ජනවරමට ද්‍රෝහී වීම නිසා ලැබුණු තෑග්ගක් වැනි මහ ඇමැති ධුරය ඔහු දරන්නේ ඊනියා ෂේප් න්‍යායෙන් බැවිනි. මහ ඇමැතිවරයා හෙළි කර ඇති පරිදි උෟව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පළාත් සභා රැස්වීමට පැමිණ ඇත්තේ හෙලිකොප්ටරයෙනි. වෙඩි නොවදින කාර් දෙකක්, ආරක්ෂක රථ 4ක් ඔහුට ලබාදී තිබුණු බවද චාමර සම්පත් මහතා කියා ඇත. වාසනාවට තවමත් උෟව මහ ඇමැතිවරයා හෙලිකොප්ටර්, වෙඩි නොවදින රථ ඉල්ලා නැත. එහෙත් අට වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස තේරී පත්වී මාසයක පමණ කාලයක් සිටි නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍රය හෙතෙම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ඇමෙරිකානු ඩොලර් 62,500ක් වටිනා වාහනයක් ආනයනයට අවශ්‍ය බලපත්‍රයක් ලැබෙන අතර එම වටිනාකමට බලපත්‍රයක් පළාත් සභා මහ ඇමැතිවරයාටද හිමි වේ. චාමර සම්පත් මහතා දැනටමත් ඒ බලපත්‍රය ලබාගෙන ඇත. අට වැනි පාර්ලිමේන්තුවට හෙතෙම තේරී පත්වුවද මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් නොදී ඔහු ඉල්ලා අස්වුණේ උෟව පළාත් මහ ඇමැති ධුරය ලබා ගැනීමටය.

උෟව පළාත් සභාවේ සිදුවී ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද විපක්ෂ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහ ඇමැතිවරයාට චෝදනා කළ අතර එහිදී විද්‍යාරත්න මන්ත්‍රිවරයාගේ පෞද්ගලික ජීවිතයට මහ ඇමැතිවරයා ප්‍රසිද්ධියේ පහර දුන්නේය. ඉන් හෑල්ලුවට ලක්වූයේ මන්ත්‍රිවරයා නොව මහ ඇමැතිවරයාය. මේ සියලු කරුණු කාරණාවලින් පෙනෙන්නේ යහපාලනයට ඕනෑ තරමටත් වඩා සුදුසුකම් චාමර සම්පත් දසනායක මහතාට තිබෙන බවය

. සෙසු ආයතනවල ලොකු පුටු හොබ වන්නන්ගේ සුදුසුකම් මීට වෙනස් නැත. ඔවුන්ද උෟව මහ ඇමැතිවරයාගේ "ෂේප් න්‍යාය" පාවිච්චි කරනවා විය හැකිය. ලෝකෙන් ගිනි පොලියට ණයට ගන්නා මුදල් ඕනෑ තරම් තිබෙන නිසා මේ කාට කාටත් ෂේප් න්‍යායෙන් ඉදිරියටත් වැඩ කරගෙන යා හැකිය. බූවල්ලෙන් තළා ගත යුත්තේ ඊනියා දේශපාලනඥයන්ට ඡන්දය දෙන්නන්ය. මෙවැන්නන්ව ලොකු පුටුවල ඉන්දවන්නන්ට, තැළීමට "මඩු වලිගය" සුදුසුම බඩුවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon