ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් (සන්තකය පැවැරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3371 readers have read this article !
2018-07-19

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

උතුරේ හමුදා කඳවුරු සහ භට පිරිස් සියයට 25කින් අඩු කිරීමට
ආණ්ඩුව කටයුතු කරනවා - ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන

'බෙදුම්වාදී යහපාලන ආණ්ඩුව බලයට ගෙනාපු, විජාතික බලවේගවලට දුන් පොරොන්දු අකුරටම ඉටු කරමින් උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට වහා හමුදා භට පිරිස් සියයට විසි පහකින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා' යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.
ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රකාශයක් කරමින් කරුණු දැක්වූ මන්ත්‍රිවරයා 'මේක බරපතළ ප්‍රශ්නයක්. යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන මාණ්ඩලික ජෙනරාල් ඉකුත් ජුනි 14දා දාතමින් නිකුත් කළ ලිපිය ගැන ජාතියේම අවධානය යොමු කළ යුතුයි.
යුද හමුදා බළඇණි 33ක් ඉවත් කිරීම සහ නිලධාරි තනතුරු 938ක් හා සෙසු නිලයන් 23266ක් ඉවත් කිරීමට එම ලිපිය මඟින් නියෝග කර තිබෙනවා. 2018 ජූලි මස අවසන් වන විට එම නියෝගය ක්‍රියාත්මක කළ යුතු බවත් එම ලිපියේ සඳහන් වෙනවා.'
'යුද හමුදාවේ නිත්‍ය බළඇණි 112 සිට 98 දක්වා 14කින්ද, 80 සිට 61 දක්වා 19කින්ද, අඩු කළ යුතු බව එහි සඳහන්ව තිබෙනවා.'
'එම බළඇණි ප්‍රමාණය 33කින් අඩුවන විට යුද හමුදා නිලධාරීන් සංඛ්‍යාව 5793 සිට 4855 දක්වා 937 කින්ද, සෙසු නිලධාරීන් 1,32,428 සිට 1,10,161 දක්වා 23,000කින් පමණ අඩු කළ යුතු ආකාර එහි දක්වා තිබෙනවා.'
'එක් බළඇණියක් ස්ථානගතව තිබෙන්නේ හමුදා කඳවුරු හතරක් හෝ පහක් ලෙසයි. ඒ අනුව හමුදා කඳවුරු 100ත් 150ත් අතර ප්‍රමාණයක් ඉවත් වෙනවා.
'නන්දිකඩාල්, වවුනියා, පෙරියනාඩු, මැණික්ෆාම්, චිත්තම්පේදුරුතුඩුව, තුනුක්කායි, මල්ලාවි, ගොරක්කන්, වැලිඔය, නෙල්ලිඅඩි, ඉරණමඩු, මන්දාරම්, මුලතිව්, තලෙයිමන්නාරම, පටියලාන්, පුනරීන්, පුදුකුඩුඉරිප්පු සහ උතුරු ආරක්ෂක මර්මස්ථානවල පිහිටි
බළඇණි සහ ඒවාට අයත් හමුදා කඳවුරු මෙසේ ඉවත් කෙරෙනවා.'
'මේ සිදුවන්නේ දෙමළ ඩයස්පෝරාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම නොවෙයිද? මේ විදියෙ පරිපාලනමය නියෝගයකින් හමුදාවේ අභ්‍යන්තරය තුළ කුමක් සිදුවිය හැකිද?'
'මේ වන විට මේජර් නිලයේ ඉන්න අයට උසස්වීම් අහිමි වෙනවා. වසර 22ක් සේවය කර ඔවුන්ට විශ්‍රාම යෑමට සිදුවෙනවා.'
'යුද සමයේ විශිෂ්ට සේවයක් කළ රණවිරුවන්ගෙන් ආණ්ඩුව පළිගනිමින් සිටිනවා. ජිනීවා සමුළුවේදී මංගල සමරවීර ඇමැතිවරයා දුන් පොරොන්දු ඉටු කරන්නද මේ පළිගැනීම් කරන්නේ? සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව මේ සිදු කරන්නේ ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන් පරාජය කළ හමුදාවෙන් පළිගැනීමයි.'
සභානායක,
'මේගොල්ලන්ට අතීතය අමතක වෙලා. සරත් ෆොන්සේකා පොළොව දිගේ ඇදගෙන ගිහිල්ලා හිරේ දැමුවා. මේගොල්ලන්ට අතීතය අමතකයි.'

රටේ සංවර්ධන වැඩ නොකෙරෙන බව පාරට බැස්සාම හැම කෙනකුම කියනවා - සුමේධා ජී. ජයසේන

"අවුරුදු තිස්පහට වැඩි උපාධිධාරීන්ට රැකියා ලබානොදෙන බව උපාධිධාරී රැකියා සම්මුඛ පරීක්ෂණවලදී දැනගන්නට ලැබී තිබෙනවා. එහෙත් අපේ කාලේ මුලින්ම පත්වීම් දුන්නේ වයස වැඩි උපාධිධාරීන්ටයි." මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි සුමේධා ජී. ජයසේන (එජනිස) පැවැසුවාය.
බදු නොගෙවා ව්‍යාපාර කරන අය සොයාගෙන බදු ලබාගැනීම හොඳයි. අද රටේ සංවර්ධන වැඩ නොකෙරෙන බව පාරට බැස්සාම හැම කෙනකුම කියනවා. ආයෝජකයන් මෙරටට ආවත් තමන්ට අවශ්‍ය දේ අනුමත අදාළ ආයතනවලින් නොලැබුණු විට ආයෝජකයෝ අකුළාගෙන රටෙන් යනවා.
ජනාධිපතිතුමාගේ ග්‍රාමශක්ති වැඩසටහන තිබෙනවා. මංගල ඇමැතිතුමාට ගම්පෙරළිය වැඩසටහන තිබෙනවා. ගම්පෙරළිය මොනරාගල දිසාවෙන් පටන් ගත්තෙ. මේ වැඩසටහන් හරියාකාරව ක්‍රියාත්මක වෙනවා නම්, දේශීය කර්මාන්තකරුවන්ට මෙන්ම ණය ලබාගෙන විවිධ ව්‍යාපෘති කරන අයට හොඳයි.
උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලනවා. රැකියා විරහිත උපාධිධාරීන්ට ලබාදෙන ලක්ෂ 15ක පොලී රහිත ණය ආපසු ගෙවන්නෙ කොහොමද?

ගජමිතුරන්ට වක්‍රාකාරයෙන් බදු මුදල් ලබා දෙන්නයි
මේ පනත ගෙනත් තියෙන්නෙ - ගාමිණී ලොකුගේ

ගෙවන ලද බදු මුදල් ගජමිතුරන්ට ආපසු වක්‍රාකාරයෙන් ලබාදෙන්නයි මේ පනත ගෙනත් තිබෙන්නෙ. මේ පනතේ සැඟවුණු අර්ථයක් තිබෙනවා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ගාමිණී ලොකුගේ (එජනිස) පැවැසීය.
අලුත් ආයෝජකයන්ට මෙහි පැමිණීමට දිරි දීමනාවක් දෙනවා. ඒකත් හොඳයි. දැන් ගජමිතුරන් නිවාස යෝජනා ක්‍රම හදලා ඉදිරියට ගෙන යන්න බැරිව ඉන්නවා. මේ පනත 2016 දක්වා ආපසු යනවා. ඒ කාලයට ලබාගත් බදු ආපසු දෙනවායි දැයි පැහැදිලි නැහැ. මේ ආණ්ඩුවේ ලක්ෂණයක් නම් කරන දෙයක් හරියට නොකිරීමයි.
ගෙවපු බදු ගජමිතුරන්ට ආපසු දෙන්නයි, මේ පනත ගෙනත් තියෙන්නේ. අය කළ බදු මුදල් ආපසු දෙන වැඩපිළිවෙළක එක අංගයක් ලෙසයි පනත ඉදිරිපත් වී තිබෙන්නෙ.
රටේ බංකොලොත්භාවය නිසා ආයෝජකයෝ මෙහි එන්නෙ නැහැ. ආර්ථිකය කඩාවැටිලා තිබෙන විදියට, විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් දැක්කම ආයෝජකයෝ එන්නෙ නැහැ. අද සංචාරකයෝ එන්නෙ නැහැ.
මෙය ඉතා භයානක පනතක්. 2016 සිට සියයට 100ක් බදු ගෙවා මෙරට ඉඩම් ලබාගත් විදේශිකයන්ට ඒ බදු මුදල් ආපසු ගෙවීමටයි පනත ගෙනත් තිබෙන්නෙ. විවිධ ක්‍රමවලින් රජයේ ඉඩම් ලබාදුන් අහිංසක ජනතාව දහස් ගණනක් ඉන්නවා.

රනිල් ඇන්ඩ් සමරවික්‍රම සමාගම රටේ දේපළ, ඉඩම් විකුණා ගෙන යනවා - නලින්ද ජයතිස්ස

එදා ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම නමින් දේපළ වෙන්දේසි කරන ප්‍රසිද්ධ සමාගමක් තිබුණා. දැන් ඒ සමාගම අභිභවා රනිල් ඇන්ඩ් සමරවික්‍රම සමාගම රටේ දේපළ, ඉඩම් විකුණාගෙන යනවා. විදේශිකයන්ට ඉඩම් ගැනීමේදී 100%ක බද්දක් පැනවූයේ ස්වදේශිකයන්ට ඉඩම්වලට හිමිකම් තිබිය යුතු නිසයි.
ගංවතුරෙන්, නාය යෑමෙන් ඉඩම්, ගෙවල් අහිමි වූවන්ට සුදුසු තැන්වල පදිංචි කිරීමට තමුන්නාන්සේලා මෙතරම් උන්න්දුවක් නැහැ. සුනාමියට හසුවූ අයට ලබාදුන් ගෙවල් ඉඩම්වලට තවම ඔප්පු නැහැ.
තමන් බලයට ගෙනා ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙන්න උනන්දු නොවන ආණ්ඩුව විදේශියකයන්ට ඉඩම් දෙන්න උනන්දු වෙනවා. මේවා යට තිබෙන ගනුදෙනු හෙළි වෙන්නේ තව අවුරුදු තුන, හතරකට පස්සේ. චීන සමාගම පුෂ්පා රාජපක්ෂ පදනමට මුදල් දුන්න හැටි හෙළිවුණේ අවුරුදු තුන, හතරක් ගියාට පස්සෙයි. දුප්පත් මිනිහකුට ගෙයක් හදලා දෙන්න චීනය පුෂ්පා රාජපක්ෂ පදනමට සල්ලි දෙන්න ඕනෑද?

පසුගිය හය මාසයේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 15කින් වැඩි වුණා - හර්ෂණ රාජකරුණා

'පසුගිය හය මාසේ සංචාරකයන්ගේ පැමිණීම සියයට 15කින් වැඩි වුණා' යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි හර්ෂණ රාජකරුණා (එ.ජා.ප.) පැවැසීය.
සංචාරක ක්‍ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් තිබෙනවා. සංචාරක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රි හැටියට මා ඒ බව හොඳින් දන්නවා.
පියල් නිශාන්ත,

සංචාරක ව්‍යාපාරය අද කඩා වැටිලා. ඔළු ගෙඩි ගණනින් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය මනින්න බැහැ.

හර්ෂණ රාජකරුණා,

සංචාරකයන් පැමිණීමේ වර්ධනය අප වගකීමෙන් කියන්නේ. මෙය තවත් වැඩිකර ගත යුතුයි. බදු ගහලා මේ රටේ මොනවත් වෙන්නේ නැහැයි කියනවා නම් ඒක විහිළුවක්. එදාට වඩා අද වැඩ කෙරෙනවා. අධ්‍යාපනයට එදාට වඩා වැඩි මුදලක් දීලා තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කර තිබෙනවා. කඩාවැටී තිබුණු ණය හා පොලී ගෙවා ගන්න බැරිව තිබූ ආර්ථිකයක් එදා අපට භාර දුන්නේ. නව බදු පනතේ යම් යම් ගැටලු තිබෙනවා. අගමැති උපදෙස් පරිදි අවශ්‍ය වෙනස්කම් සිදුකර ජනතාවට අවශ්‍ය සංයෝගය ලබා දෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon