බන්ධනාගාරයට 'ජෑමර්' අකැප ඇයි?

  👤  3321 readers have read this article !
2018-07-19

 

ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවලට වඩා වෙනස් රාජ්‍යයකි. ඒ වෙනස වඩාත් කැපී පෙනෙන්නේ හපන්කම්වලින් නොව මෝඩකම් තුළිනි. මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමය.

මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතු බවට ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මරණ දඬුවම නියම වූවන් බන්ධනාගාර තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන නිසාය. ආණ්ඩුවේ මෙම තීරණය සමාන කළ හැක්කේ 'හිසේ හිර වූ මුට්ටිය ඉවත් කර ගැනීමට, එළුවාගේ ගෙල සිඳ දැමීමට' මහදැනමුත්තා කළ යෝජනාවටය.

බන්ධනාගාර තුළ සිටින අපරාධකරුවන් පාතාලය මෙහෙයවනවා නම් කප්පම් එකතු කරනවා නම්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා නම්, ප්‍රථමයෙන් කළ යුත්තේ ඔවුන්ට ඒ සඳහා ඇති ඉඩ ප්‍රස්තා අහෝසි කිරීමය. අප පුවත්පත ඊයේ (18දා) වාර්තා කළ පුවතකින් කියැවුණේ අවම වශයෙන් බන්ධනාගාර රැඳවියන් ජංගම දුරකථන පාවිච්චි කිරිම වැළැක්වීම සඳහා දුරකථන සන්නිවේදන මාර්ග අවහිර කරන ජෑමර් (ර්ධඡඪතඥ ර්ථීඩධදඥ බ්චථථඥප) සවි කිරීමට හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවය. ඊට ඉඩ නොදෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ද නියාමකවරුන්ද නැති නම් සිරකරුවන්ද එසේත් නැති නම් දේශපාලනඥයන් දැයි සොයා බැලිය යුතු බව ඇමැති අජිත් පී. පෙරේරා ප්‍රශ්න කර තිබිණි.

සිරකරුවන් ජංගම දුරකථන පාවිච්චි කරන බව කුප්‍රකට රහසකි. මහ බැංකු බැඳුම්කර කොල්ලයේ සැකකාර අර්ජුන් ඇලෝසියස්ගේ සිරකුටියේ තිබී ජංගම දුරකථන තුනක් හමු වූ බව නොබෝදා වාර්තා විය. සිර මැදිරි හදිසි විමර්ශනයන්ට ලක් කළ අවස්ථාවලදී ජංගම දුරකථන තිහ හතලිහක් හමු වූ අවස්ථාද හෙළි විය. බන්ධනාගාර පරිපාලනය දැනට ක්‍රියා කරන ආකාරයෙන් පෙනී යන්නේ සිරකරුවන් අතට ජංගම දුරකථන පත්වීම වැළැක්වීමට ඔවුන් අපොහොසත් වී ඇති බවය. ඒවා සිරකරුවන් අතට පත්වන්නේ ඔවුන්ගේ අනුදැනුම මත විය යුතුය. තත්ත්වය එසේ නම් රටේ පුරවැසියන් තීරණය කළ යුත්තේ බන්ධනාගාර තුළ සිටින අපරාධකරුවන් මෙහෙය වන ආකාරයට ජීවත් විය යුතු බවය.

වැලිකඩ බන්ධනාගාරය පළමු පන්තියේ ඇතැම් රැඳවූවන්ට සුපිරි හෝටලයක් වී ඇති බවට එල්ල වන චෝදනාවද අසත්‍යයක් නොවන බව පෙනේ. සිරකරුවන් පිටුපස සිටින දේශපාලනඥයන් ඔවුන්ට අඹු සැමි සන්ථවය හැර අනෙක් හැම සැප පහසුකමක්ම ලබාදී ඇති බව නොරහසකි. බන්ධනාගාරය තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට ආණ්ඩුව නඟන අ‍ෙ¼දා්නාව ජුගුප්සාජනකය.

දුරකථන සන්නිවේදන මාර්ගවලට බාධා පැමිණවීම ලොව බොහෝ රාජ්‍යයන්හි නීති මඟින් වළක්වා තිබේ. ඒ අනුව දුරකථන ජෑමර් සවි කිරීම පිළිබඳව විදුලි සන්දේශ නීති පනවා ඇත. ඇමෙරිකාව, නවසීලන්තය, සිංගප්පූරුව ආදී රටවල ජෑමර් යන්ත්‍ර නිපදවීම හා අලෙවි කිරීමද තහනම්ය. ඉන්දියාවේ ආරක්ෂක අංශවලට සම්බන්ධ ස්ථාන, පාසල්, පල්ලි, සිනමා හා රංග ශාලාවල ජෑමර් සවි කිරීමේ අවසරය ඇත. යුරෝපා සංගමය ඇතුළු ලෝකයේ සියලුම රාජ්‍යයන්හි සිර ගෙවල් අනිවාර්යයෙන්ම ජෑමර් සවි කිරීමට නීතිමය අවසරය ඇති ස්ථාන වේ. ලංකාව එයට සූදානම් නැතිනම් 'කැලේ සිටින නයි රෙද්ද අස්සේ දමාගෙන කෑවෝ කෑවෝ කියනවා' හැර වෙන කරන්නට දෙයක් ඇත්තේ නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon