සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්

  👤  3956 readers have read this article !
2018-07-18

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මෙරට කර්මාන්තකරුවන්ට පිහියෙන් අනින වැඩක්

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ ස්වදේශික කර්මාන්ත විනාශ වී යාවිය කියා කර්මාන්තකරුවන් බියෙන් තැතිගෙන ඉන්නවා යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.

මේ නව වෙළෙඳ ප්‍රතිපත්තිය යන පොත කොහෙන්ද ආවේ? සිංගප්පූරුවෙන්වත් වෙන රටකින්වත් ආපු එකක් නෙවේ. මේක අර නවසීලන්තයෙන් ආපු මහත්තයට වෙනස් කරන්න කියන්න. මේ ප්‍රතිපත්තිය හදපු මහත්තයාගේ නමවත් කියන්න මම කැමැති නෑ. මේක කර්මාන්ත ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට පිහියෙන් අනින වැඩක්. තමන්ගේ මවුබිම ගැනවත් හිතන්නෙ නැතුවයි මේක සකස් කරලා තියෙන්නේ

මේ ගිවිසුමේ ඇතුළත් රටට අහිතකර වගන්ති කරුණාකරලා ඉවත් කරන්න. මේ ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නැහැ. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙනත් නැහැ.

මේ සිංගප්පූරු ගිවිසුමෙන් රට අර්බුදයෙන් අර්බුදයට යනවා. කර්මාන්ත සියල්ල වැසී යනවා. අපේ රට පිටරටවල් විසින් ගිල ගන්නවා. මේ රටට අහිතකර ගිවිසුම අත්හිටුවන්න.
කලින් සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුව අනුමත කළා. ඒ ගිවිසුම අවලංගු කිරීමට ඇමැතිතුමා කටයුතු කිරීම බරපතළ තත්ත්වයක්.

ඔබ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇමැතිවරුන් කා සමඟද කතා කළේ. ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් බියෙන් ඉන්නේ. ජාතික හා ස්වදේශික කර්මාන්ත මේ හොර රහස් ගිවිසුමෙන් විය හැකි හානිය ගැන බියෙන් පසුවෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙය අමාත්‍යාංශයේ සාකච්ඡා කළාද? මේ පොත අර ස්විට්සර්ලන්තකාරයාට ආපසු හදා දෙන්න කියන්න. තමන්ගේ රටට හානි කරන අය ගැන කියන්න වටින්නේ නැහැ. තමන්ගේ මවුබිමට කෝටි ගණන් වැයකර කර්මාන්තකරුවන්ට පිහියෙන් අනින මෙවැන්නන් ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. මේක අත්හිටුවා රටට හිතකර නොවන එකක්.

සිංගප්පූරුවේ අපද්‍රව්‍ය මෙහෙට ගෙනාවම අපේ රට දකුණු ආසියාවේ
කුණුගොඩ බවට පත් වෙනවා

"මලික් සමරවික්‍රම ඇමැතිවරයා මේ උත්සාහ කරන්නේ ලංකාව සිංගප්පූරුවේ මීතොටමුල්ල බවට පත් කරන්න" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පැවැසීය.
"අගමැතිතුමා, පසුගිය දවසක කියලා තිබුණා මේ රටේ ආර්ථිකය සියයට තිහකින් කඩා වැටිලා කියලා. අවුරුදු තුනකට පස්සෙ එතුමා මෙහෙම කියනවා. මංගල සමරවීර ඇමැතිවරයා කියලා තියෙනවා මේ කුඩු ජාවාරමට බෞද්ධ සංවිධානයයි, රොටරි එකයි සම්බන්ධයි කියලා.

"මේ ගිවිසුමෙන් සිංගප්පූරුව හරහා තායිලන්තයේ, තායිවානයේ වී මෙරටට ගේන්න පුළුවන්. මේ රටේ ගොවියාට ගොවිතැන අත්හරින්න වෙනවා"
"විවිධ වෘත්තිකයන්ට මේ ගිවිසුම හරහා මේ රටට එන්න පුළුවන්. වෘත්තිකයන් මෙරටට නිදහසේ එන්න පටන් ගන්නවා. ඒ විතරක් නොවේ සිංගප්පූරුවේ අපද්‍රව්‍ය මේ රටට ගේන්න හදනවා. මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය මේ රටට ගේන්නයි හදන්නේ. මේ බැර ලෝහ අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, මේ රටට ආපුවහම මේ රට දකුණු ආසියාවේ කුණුගොඩ බවට පත් වෙනවා."

මලික් සමරවික්‍රම - එහෙම අපද්‍රව්‍ය ගෙන ඒමක් වෙන්නෙ නැහැ. මම කියන එක මන්ත්‍රිතුමාට තේරෙන්නේ නැහැ.
විමල් වීරවංශ - "මේ ගිවිසුම අස්සන් කිරීමෙන් තමුන්නාන්සේලාට කීයක් හරි හම්බ වෙන්න ඇති. එහෙම ගත්ත මුදල්වලට සාප වෙනවා."

වෘත්තිකයන්ගේ සංගම් 48ක් මේ ගිවිසුම්වලට විරුද්ධයි

සමහර දේශපාලකයන්ට වඩා මේ රටේ වෘත්තිකයන්ට රට ගැන හැඟීමක් තිබෙනවා යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ (එජනිස) ප්‍රකාශ කෙළේය.
මේ ගිවිසුම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නැහැ. වෙළෙඳ ප්‍රතිපත්තිය ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ තායිලන්තයේ වෙසෙන ආචාර්ය රවි රත්නායකගේ පර්යේෂණ නිබන්ධයක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ගිවිසුම් මඟින් පමණයි මේ ගිවිසුම්වල සාධනීය බව, නෛතික බව රැඳෙන්නේ.

වෘත්තිකයන්ගේ සංගම් හතළිස් අටක් මේ ගිවිසුම්වලට විරුද්ධ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ සිංගප්පූරුව ලෝකෙ කිසිම රටකින් ගෙනෙන බඩුවලට බදු ගහන්නෙ නැහැ. දෙරටේ වෙළෙඳ පරතරය ඉතා විශාලයි. සිංගප්පූරුව සෑම වසරකම එක්සත් ජනපද ඩොලර් මිලියන දහයක් ගෙවන්නෙ නැතිව ඉන්නා බව කියනවා. එහෙම නම් පාඩුව පියවන්නෙ කොහොමද?

අප රටට විදේශ ආයෝජන ආවේ නෑ. ආයෝජන කියලා ලැබුණේ හම්බන්තොට වරාය විකුණපු සල්ලි. දැන් මත්තලත් දෙන්න යනවා. කිතුල් හකුරු මේ ගිවිසුමට ඇතුළත් නොකළේ ඇයි? විවිධ ක්‍ෂේත්‍ර කියලා සඳහන් වුවත් එය විශ්ලේෂණයක් නැහැ. වෘත්තිකයන් විශාල ගණනක් පැමිණීමට ඉඩ තිබෙනවා ඊට විරුද්ධ බව වෘත්තිකයන් කියන්නේ ඒ නිසයි. ඔවුන්ට රට පිළිබඳ හැඟීමක් තිබෙනවා. සමහර දේශපාලනඥයන්ට වඩා. පාර්ශ්ව සමඟ මේ ගැන සාකච්ඡා කරන්න.

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම ගැන විවාදයක් දෙන්නම්

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබා දෙන්නම් යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන - ග්ලයිෆොසේට් සහිත පොහොර නිසා වකුගඩු රෝගය විශාල වශයෙන් පැතිර ගියා. මේ නිසා ග්ලයිෆොසේට් තහනමට ලක් කළා. අද භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. කැබිනට් තීරණයකින් ඇති කළ ග්ලයිෆොසේට් තහනම, ගැසට් පත්‍රයකින් ඉවත් කර තිබෙනවා. මේක කාගේ වැඩක්ද? මේ ගැසට් පත්‍රය සොයාගන්නත් නෑ. නිලධාරීන් කිහිප දෙනකුගේ ඕනකමට කොහොමද මේක කළේ.

සභානායක - අවුරුදු 20ක් බාල පොහොර ගෙන්නලා. මේ ගොල්ල කරපු දේවල් නිසා තමයි වකුගඩු රෝගය වැඩි වුණේ. පොහොර සහනාධාරය යටතේ බාලා පොහොර දීලා මේ අය දේශපාලන වාසි ලබාගත්තා. ග්ලයිෆොසේට් තහනම ගැන විවාදයක් ලබා දෙන්නම්.

අතුරලියේ රතන හිමි - පූර්ණ වල්නාශකයක් වශයෙන් 2015 ජූලි මාසයේ ගත් තීරණයකට අනුව ග්ලයිෆොසේට් තහනම් කළා. ක්ලොරොෆෙරිසෝ ඇතුළු තවත් වර්ග දෙකක් තහනම් කළා. ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ මේ 11දා නිකුත් කළ ගැසට් පත්‍රයෙන් සම්පූර්ණයෙන්ම පරිච්ඡින්න කරලා තියෙනවා. මේ ගැසට් පත්‍රය කිසිම මන්ත්‍රිවරයකුට ලැබිලා නෑ. මන්ත්‍රිවරුන්ගේ මේස මත මේ ගැසට් පත්‍රය නැහැ.

කථානායක - ගැසට් පත්‍ර හැම එකක්ම ලබා දෙන්නේ නැහැ. මේ ගැසට් පත්‍රය ඕන නම් ලබා දෙන්නම්.

මේක ජාවාරම්කාර ගිවිසුමක්

"රාජ්‍ය නායකයාගේ නිර්දේශවලටත් පටහැනිවයි මේ ගිවිසුම අස්සන් කර තිබෙන්නෙ. මේක ජාවාරම්කාර ගිවිසුමක්" යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

මේ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ මූලික නීති පවා උල්ලංඝනය

කර අස්සන් කර තිබෙනවා. මෙය අස්සන් කරන්න පෙර විදේශ ඇමැති හා නීතිපති ඉදිරිපත් කළ සංශෝධන පිළිගත්තාද? මේ ගිවිසුමේ කිසිදු විනිවිදභාවයක් නැහැ. වගවීම භාරගන්න කෙනෙක් නැහැ.

ජනාධිපතිවරයා මේ ගිවිසුම සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. රටේ රාජ්‍ය නායකයා ඉදිරිපත් කළ නිර්දේශවලටත් පටහැනිව මේ ගිවිසුම අස්සන් කර තිබෙන්නෙ. මේ ආකාරයට තමන්ට හිතුමතේට ගිවිසුම් අස්සන් කර ජනතාව හා රට උකස් කරන්න දෙන්න බැහැ.

අප නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට විරුද්ධ නැහැ. නමුත් වෘත්තිකයන්ට, දේශීය කර්මාන්තවලට බඩට ගහලා මෙවැනි ගිවිසුම් හොර රහසේ හොර පාරෙන් ගෙන ඒමට අප විරුද්ධයි. මේ ගිවිසුම නීති විරෝධීයි. මේ ගිවිසුම රාජ්‍ය දෙකටම සාධාරණය ඉටුවන පරිදි සකස් කළ යුතුයි.

මේ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ බැංකුවලට විශාල අනර්ථයක් සිදුවෙනවා

මේ ගිවිසුම හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ බැංකුවලට විශාල අනර්ථයක් සිදුවෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පැවැසීය.
මේ ගිවිසුම අස්සන් කිරීමට හා සැකසීමට පෙර නීතිපති අවසරයත් කැබිනට් මණ්ඩල අනුමැතියත් ලබා තිබේ නම් ඒ පිළිබඳ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලනවා. ලෝකය වෙනස් වෙලා. වෙනස් වන ලෝකයේ වෙළෙ¼දාමත් වෙනස් වෙලා. අප රටටත් වෙනස් වෙන්න සිදුවෙලා තිබෙනවා. සිංගප්පූරුව යනු කුඩා රාජ්‍යයක්. අප රටක්. අපේ රට එතරම් දියුණු නැති වෙන්න පුළුවන්. නමුත් අපට කෘෂිකර්මයක්, අපට ආවේණික සංස්කෘතියක් තිබෙනවා. ඒක වෙනස් කරන්න ගියොත් ගෙවන මිල වැඩිවෙයි.
කිසියම් රටක් අප රට සමඟ ගිවිසුම් අස්සන් කරනවා නම් ඔවුන් පාදක කර ගන්නේ මේ ගිවිසුමයි. නිෂ්පාදන නැති, සේවා පමණක් ඇති රටක් සමඟ ගිවිසුමක් අස්සන් කර තිබෙන බැවින් එවැනි අවස්ථාවකදී අප රටේ ගොවියන්ට දෙවියන්ගෙ පිහිටයි

මෙමඟින් බැංකු ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ලිබරල් වෙනවා. දැනට ලංකාවේ තිබෙන බැංකුවලට විශාල අනර්ථයක් සිදුවෙනවා. සේවා ක්‍ෂේත්‍රය විවෘත කරන විට එතරම් ලිබරල් කිරීම හොඳ නැහැ. මෙහි ප්‍රතිඵල ලැබෙන්නේ අප දෙදෙනාම පාර්ලිමේන්තුවේ සිටින විට නොවේ. මේ ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ගිය පිරිස ගැන මා පුදුම වෙනවා.

මේ ගිවිසුමෙන් අපට බොහෝ විදේශ ආයෝජන ලැබෙනවා

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා සේවා සැපයීමට ලංකාවට පැමිණීමට අවසර ලැබෙන්නේ ලංකාවේ ආයෝජනය කරන සිංගප්පූරු සමාගමක සේවකයෙක් වශයෙන් පමණක් යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙ¼දාම පිළිබඳ ඇමැති මලික් සමරවික්‍රම පැවැසීය.
නිදහස ලැබී අවුරුදු 70ක් ගත වුණත් අපේ රටට ආර්ථික නිදහස ලැබී නැහැ. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් විවෘත වෙළෙඳ ප්‍රතිපත්ති හරහා ආර්ථික සංවර්ධනයක් ඇති කරගෙන තිබෙනවා.

මේ රටවල් සියල්ල වෙළෙඳ ප්‍රතිපත්ති ලිහිල් කර සෘජු ආයෝජන ලබා ගැනීමට සමත්වී තිබෙනවා. අපිට රටක් වශයෙන් ඉතා දිගු ගමනක් තිබෙනවා. ගෝලීය වෙළෙඳ ගිවිසුම් හරහා සම්බන්ධ වීම අපට වැදගත්.
දැනට නැති කර්මාන්ත ගැන පවා අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි ලෝකයත් සමඟ තරග කරන්න බිය වන්නේ ඇයි? මේ ගිවිසුම තුළින් අපට බොහෝ විදේශ ආයෝජන ලැබෙනවා.

මේ වෙළෙඳ ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳව මම ඇමැති මණ්ඩලයට දැනුම් දුන්නා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසුවයි මේ ගිවිසුමට මම අස්සන් කළේ.
මේ ගිවිසුම අස්සන් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට එස්.බී. දිසානායක ඇමැතිතුමා ලිඛිතව දැනුම් දුන්නා. අපි මාස 18ක් තිස්සේ හැම අංශයක් සමඟම අදහස් හුවමාරු කර ගත්තා.

සිංගප්පූරුවේ නැත්නම් මේ ගිවිසුමට 'වී' ඇතුළත් කළේ
මොන මඟුලකටද?

සිංගප්පූරුවේ නැත්නම් මේ ගිවිසුමට "වී" ඇතුළත් කළේ මොන මඟුලකටදැයි ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේය.
මේක මනමාලි නැති මඟුලක් ගැන කතා කරනව වගේ වැඩක්. මොකද ගිවිසුමක් නැහැනේ. ගිවිසුම නැතත් වුවමනාව නව ජාතික ප්‍රතිපත්තියෙන් අපූරුවට කියා තිබෙනවා. නව ජාතික වෙන එක හොඳයි. අවජාතික වුණොත් තමයි ප්‍රශ්නෙ.

අපනයන අඩුයි. ආනයන වැඩියි. මේ අර්බුදය ගැනයි තමුන්නාන්සේලා කතා කරන්නෙ. 1978 සිට විවෘත ආර්ථිකයක් ගෙනැල්ලා දැන් ඒක අසාර්ථක වී යැයි
පිළිගන්නා ගමන් නිදහස් වෙළෙඳ ගිවිසුම් මඟින් විවෘත කිරීම හොඳ බවයි තමුන්නාන්සේලා කියන්නෙ.

සිංගප්පූරුව කියන්නෙ වෙළෙඳපොළක්. එහි නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. ලෝක වෙළෙඳ සංවිධානයේ බලපෑම නිසා මේ ගිවිසුමට ඇවිත් අපි බෙල්ල හිර කර ගන්නවා. මේ ගිවිසුම ජනවාරි 23දා අස්සන් කරනකොට පාර්ලිමේන්තුව දන්නෙ නැහැ. අනාගතයේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ඇතැයි පදනම යටතේ නීතිපතිවරයා මේ ගිවිසුමට අනුමැතිය දෙන්නෙ කොහොමද? අපූරු නීතිපති. අපූරු ගිවිසුම්. කැබිනට් මණ්ඩලයේ අනුමත කර සතියකින් මේ ගිවිසුමට නීතිපති අනුමැතිය ගත්තා. සිංගප්පූරුව මේ ගිවිසුමේ මධ්‍යස්ථානයක් පමණයි. සිංගප්පූරුවේ වී නැත්නම් මොන මඟුලටද මේ ගිවිසුමට ඇතුළත් කළේ?

'මේ ගිවිසුම යටතේ මෑන් පවර් කොම්පැනිවලට ශ්‍රී ලංකාවට එන්න බැහැයි නිල ප්‍රකාශයක් කරන ලෙස අභියෝග කරනවා' යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

සිංගප්පූරුව බලවත් ආර්ථික හා බලවත් දේශපාලන රටක්. එවැනි රටක් අප සමඟ මෝඩ ගිවිසුමක් ගහයිද? ගිවිසුමේ තිබුණාට අපේ රටේ නීතියට අනුව කුණු ගේන්නේ නැහැ කියලා මලික් සමරවික්‍රම ඇමැතිතුමා කියනවා. ඒ කියන්නෙ අපේ අය සිංගප්පූරුවත් මෝඩයාට අන්දලාද?

මේ ගිවිසුමේ අරමුණ හා පරමාර්ථය අප රටේ වැටුප් තල පහත හෙළීමයි. මෙය මෙරට නිෂ්පාදන විනාශ කිරීමේ හා පහළ දැමීමේ උපක්‍රමයයි.
අප රටේ වැටුප් තල ඉහළ මට්ටමක පවතින බව අගමැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයේදී කීවා.

මෑන් පවර් ආයතනවලට මේ ගිවිසුම යටතේ ලංකාවට එන්න බැහැ කියලා මාධ්‍යට ප්‍රකාශයක් කරන්න. දැන් ඒ ප්‍රකාශය මෙතැන කීවා වගේ නිල ප්‍රකාශයක් කරන්න. පාර්ලිමේන්තුවේ ඕනෑ දෙයක් කියන්න පුළුවන්. නමුත් ගිවිසුම යටතේ එහෙම කරන්න බැරි බවට නිල ප්‍රකාශයක් කරන්නැයි අභියෝග කරනවා.

වාමාංශිකයන් කොළඹ වරායේ කටයුතු කඩාකප්පල් කළ නිසා සිංගප්පූරුවේ වරායක් ඉදිකළා යැයි ලී ක්වාන් යූ
කියා තිබෙනවා

වාමාංශිකයන් කොළඹ වරායේ කටයුතු කඩාකප්පල් කළ නිසා සිංගප්පූරුවේ වරාය ඉදිකළා යැයි ලී ක්වාන් යූ චරිතාපදානයේ සඳහන් වෙනවා යැයි විපක්ෂ නායක ආර්. සම්පන්දන් පැවැසීය.

සිංගප්පූරුව පසුගාමී රටක්ව පවතින විට ඔවුන් ශ්‍රී ලංකාව දෙස බලා ආදර්ශයක් කොටගෙන ක්‍රියා කළා. කාලානුරූපීව සිංගප්පූරුව සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් වුණා. ශ්‍රී ලංකාව පසුගාමී රාජ්‍යයක් බවට පත්වෙලා.

ශ්‍රී ලංකාව සිංගප්පූරුව තරම් දියුණු නොවුණේ ඇයි? සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 55,000ක් බවට පත්වෙලා. එය ඉතා විශාල අගයක්. ඒ අනුව බලන විට අප ගමන් කරන්නේ කොහිද? සිංගප්පූරුව යහපාලන ප්‍රතිපත්ති පහක් අනුව ඉදිරියට පැමිණියා. එනම්, ජනවාර්ගික සහජීවනය, කුසලතා පදනම, රාජ්‍ය භාෂා හතරක් සහ සමානාත්මතාව එහි තිබෙනවා. කිසිදු ජනතාවකගේ අයිතියක් කප්පාදු කෙරෙන්නෙ නැහැ. අල්ලස් හෝ දූෂණයෙන් තොරයි. නීතියේ ආධිපත්‍යය තදින් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියා සමානාත්මතාව මත පවතිනවා. මේවා අධ්‍යයනය කර නැති නිසා අප පසුගාමී තත්ත්වයට පත්වෙලා.

ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සිංගප්පූරුවට අවශ්‍ය නැහැ. මෙය අප රටේ සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුයි. අප ඉන්දියාව සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කර තිබෙනවා.

ලෝකයේ අනෙක් රටවල සංවර්ධනය දැක නිකම් ඉන්න අවශ්‍ය නැහැ. මේ ගිවිසුම ප්‍රමාදයකින් තොරව කඩිනමින් ක්‍රියාත්මක කරන්න.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon