තිබුණු දේ මදි වී ඉල්ලන් කාපු හැටි

  👤  3921 readers have read this article !
2018-07-17

2005දී නව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරගත්තේ කෙබඳු රටක්ද යන්න අද බොහෝ දෙනකුට මතක නැත. එදා රට තිබුණේ බොහෝ අර්බුදකාරී තත්ත්වයකය.
ලංකාවේ නිවාසවලින් 27%කට විදුලිය තිබුණේ නැත. විදුලිය නැති නිවාස දස ලක්ෂයක් පමණ තිබිණි.


මසකට දෙතුන් වරක් රට පුරා විදුලිය ඇනහිටීම් අරුමයක් නොවිණි. නිවාස දස ලක්ෂයකට පානීය ජලය තිබුණේ නැත. ලංකාවේ ජනගහනයෙන් 73%කට දුරකථනයක් තිබුණේ නැත. ජනගහනයෙන් 99.5%කට පරිගණක සාක්ෂරතාව තිබුණේ නැත. ජනගහනයෙන් 8.3%කට රැකියා තිබුණේ නැත. කොළඹ ප්‍රමුඛ බොහෝ නගරවල කුණු කසළ ගොඩගැසී දුගඳ හමමින් තිබිණි. පොඩි වැස්සකටත් නගරවල පාරවල් යටවීම සුපුරුදු දසුනක් විය. අධිවේගී මාර්ග කියා දෙයක් ලංකාවේ තිබුණේ නැත. වසර 30ක් පමණ ප්‍රමාද කටුනායක අධිවේගී මාර්ගයේ නිම වී තිබුණේ පෑලියගොඩ අසල විශාල දැන්වීම් පුවරුවක් ලෙස භාවිත වුණු කොන්ක්‍රීට් සැකිල්ලක් පමණි.


ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආණ්ඩු විසින් රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයක් විකුණා දමා තිබිණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ වසර 11ක පාලනය තුළ රාගම ගුවන් පාලම සෑදීම හැරුණු විට කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නිසියාකාරව නිම කර තිබුණේ නැත. උද්ධමනය 11%ක් පමණ විය. මිනිසුන්ට ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි.


අය - වැය පරතරය 7.5%ක් විය.


රටේ ණය අර්බුදයක් තිබිණි. රාජ්‍ය ණය බර දළ ජාතික නිෂ්පාදිතයෙන් 90%ක් විය. කිසිවකු සාධාරණ පොලියකට ලංකාවට ණය දුන්නේ නැත. උතුරු නැඟෙනහිර විශාල භූමි ප්‍රමාණයක් තිබුණේ ත්‍රස්තවාදීන් යටතේය. සාමාන්‍ය ජනතාවට ඕමන්තයෙන් ඔබ්බට යෑමට එල්ටීටීඊයට දඩ ගෙවන්නට සිදුවිය.


උතුරේ නඩු ඇහුවේ එල්ටීටීඊ උසාවිවලය. රටේ කොයි තැනක කොයි වෙලාවක බෝම්බයක් පත්තුවේ දැයි කිසිවකුට කිව නොහැකි තත්ත්වයක් තිබිණි. සුනාමිය නිසා රටේ විශාල ජීවිත හා දේපළ හානියක් සිදු වී තිබිණි. භෞතික සම්පත් හා ජීවනෝපාය මාර්ග යළි කඩිනමින් ගොඩනැඟිය යුතුව තිබිණි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ලෝක ආහාර අර්බුදයක්ද ඇතිවිය. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාව තුළ ආහාර අගහිඟයක් නැතිව, මිල දැරිය හැටි මට්ටමක තබාගෙන පාලනය කිරීම විශාල අභියෝගයක් විය. ලෝක මූල්‍ය අර්බුදයක්ද මේ කාලයේම ඇතිවිය. ලෝක ප්‍රකට මූල්‍ය ආයතන රැසක් බිඳ වැටිණි. එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම තවත් අභියෝගයක් විය. එහෙත් 2015 ජනවාරි මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය අවසන් වන විට ලංකාව කෙබඳු රටක්ද?


30 වසරක යුද්ධය නිම වී, පූර්ණ සාමය උදා වී, ඕනෑම කෙනකුට නිදහසේ බියකින් සැකයකින් තොරව රටේ ඕනෑම තැනක සැරිසැරිය හැකි යුගයක් උදා වී තිබිණි. පාතාලය යන වචනය පවා ජනතාවට අමතක වී තිබිණි.


වරාය, ගුවන්තොටුපොළ, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, වාරි කර්මාන්ත හා තවත් විවිධ ඉදිකිරීම් සිදුවෙමින් රට කාර්ය බහුලව තිබිණි.


කුණු කසළවලින් තොර නගර, පිරිසුදු පදික වේදිකා, සක්මන් කිරීමට හා ව්‍යායාම කිරීමට පහසුකම් ඇති මංතීරු, සෑම පාරකටම විදුලිය, කාපට් දැමූ මාර්ග සුපුරුදු දසුන් විය. ගමේ අතුරු පාරවලට පවා කොන්ක්‍රීට් වැටිණි.


රටේ ජනගහනයෙන් 98%කට විදුලිය හා 90%කට පානීය ජලය ලැබී තිබුණු අතර ජනගහනය මෙන් 120% දුරකථන නිකුත් වී තිබිණි.
ව්‍යාපාර කරන්නන්ට, ස්වයං රැකියාවක් කරන්නන්ට අඩු පොලී ණය පහසුකම් හා විවිධ දිරිමත් කිරීම් ලැබිණි.


සාමාන්‍ය ජනතාවට වාහනයක ලීස් කිරීමට, නිවෙසක් සාදා ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට අඩු පොලියට ණය පහසුකම් ගත හැකි විය. රැකියා වියුක්තිය 2005දී තිබුණු 8.3% සිට 2014 වන විට 4.3% දක්වා පහළට පැමිණ තිබිණි.


වසරක් පාසා බදු අඩු කිරීම් හා බදු ලිහිල් කිරීම් අසන්නට ලැබිණි. රැකියාවලින් පමණක් ආදායම ලබන, උපයන විට බදු ගෙවන අයට තමුන්ගේ බදු ලිපිගොනු වසා දමන්නට පවා අවසර ලැබිණි. සංචාරකයන් වැල නොකැඩී එන අතර විදේශ ආයෝජන ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500 ඉක්මවා ආයෝජන ලැබී තිබිණි.


ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ හා ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය සඳහා සම්මාන ලැබී තිබිණි.


සෑම ආර්ථික දර්ශකයකින්ම ලංකාව දකුණු ආසියාවේ පළමු හෝ දෙවැනි තැනට පැමිණ තිබිණි. පුරවැසියන් සියලු දෙනාම රට ජාතිය ගැන ආඩම්බර වන පිටරට පදිංචියට ගොස් සිටි අය ආපසු පැමිණෙන රටක් බවට ලංකාව පත් වී තිබිණි. එහෙත් අපේ රටේ ඡන්ද දායකයන්ගෙන් කොටසකට වෙනසක් අවශ්‍ය විය. එවකට විපක්ෂයේ පොරොන්දු විශ්වාස කළ ඔවුන්ට අවශ්‍ය වූයේ අමුතු දේවල්ය. ඩොලර් කෝටි ගණන් තිබෙනවා යැයි විපක්ෂය කී පිටරට බැංකු ගිණුම් අල්ලන්නට අවශ්‍ය විය. යාපනෙන් පැන්නුවා යැයි කී රත්රන් කන්ටේනර් සොයාගන්නට අවශ්‍ය විය. රොකට් එක, හෙලිකොප්ටරය හා ලැම්බෝගිනිය රාජසන්තක කරන්නට අවශ්‍ය විය. තාජුඩීන්ගේ, ලසන්තගේ, එක්නැලිගොඩගේ ඝාතකයන් අල්ලන්නට අවශ්‍ය විය. මහාමාර්ග, තාප බලාගාර, වරාය, ගුවන් තොටුපොළ වැනි මෙගා ඩීල් හරහා කොමිස් ගැහුවා කියන අය හොයන්නට අවශ්‍ය විය. අලුත් ආණ්ඩුවක් ලවා බඩු මිල අඩු කරවාගන්නට අවශ්‍ය විය. රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම පඩි වැඩි කරගන්නට අවශ්‍ය විය. අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරගන්නට අවශ්‍ය විය. සෞඛ්‍යයට දළ ජාතික නිෂ්පාදනයෙන් 3% වෙන් කරගන්නට අවශ්‍ය විය.


තරුණ තරුණියන්ට ෆ්‍රී වයි.ෆයි. ලබාගන්නට අවශ්‍ය විය. උසස් පෙළ සිසුන්ට කොම්පියුටර්, ටැබ් ලබාගන්නට අවශ්‍ය විය. තිබුණු කැසිනෝත් වසා ගන්නට අවශ්‍ය විය. උකස් බඩුවල ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. ගොවි ණය කප්පවා ගන්නට අවශ්‍ය විය. සහතික මිලට හාල්, රබර්, තේ කොළ, කිරි විකුණා ගන්නට අවශ්‍ය විය. ගැබිනි මවුවරුන්ට රුපියල් 20,000ක පෝෂණ මල්ල ගන්නට අවශ්‍ය විය. රත්රන්වලින් හදනවාදැයි එකල විපක්ෂය ඇසූ අධිවේගී මාර්ගවලට යන වියදම් අඩු කර ගන්නට අවශ්‍ය විය. තරුණ පරපුරට අඩු මිලට වාහන ගන්නට අවශ්‍ය විය. රට කුඩු උවදුරින් සහමුලින් මුදා ගන්නට අවශ්‍ය විය. ව්‍යාපාර දියුණු කර ගන්නට කොටස් වෙළෙඳපොළෙන් තවත් අධික ලාභ ලබන්නට අවශ්‍ය විය. මේ බලාපොරොත්තු ඉටුවුණාද නැද්ද යන්න පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ඇත්ත තත්ත්වය දන්නෝ දනිති. බල පෙරළියෙන් වසර 3 1/2කට පසු ලංකාවේ අද තත්ත්වය කෙබඳුද?


යුද්ධයෙන් පසු ගොඩනැඟෙමින් තිබුණු සහජීවනය වෙනුවට පැහැදිලිවම ජාතිවාදයේ ගිනි පුපුරු යළි මතුවෙමින් පවතී.


ආයුධ සන්නද්ධ කල්ලි විසින් කරන සොරකම්, කොල්ලකෑම්, මහ දවාලේ වෙඩි තබාගැනීම්, මිනී මැරුම් වැඩි වී ඇත.
තරුණ පරපුර අනතුරේ දමමින් වෙන කිසිදු කලක නොවූ ආකාරයට රට පුරා මත්ද්‍රව්‍ය සුලබ වී ඇත.


පාර්ලිමේන්තුවේ ආසන 70ක් හිමි විපක්ෂ කණ්ඩායමට ප්‍රජාතාන්ත්‍රවාදී පිළිගැනීමක් නැති අතර ආසන 16ක් ඇති පක්ෂයකට විපක්ෂ නායකකමද, ආසන 6ක් පමණක් ඇති පක්ෂයකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමද හිමි වී ඇත.


රට මොනතරම් අර්බුදයකට ගියත් පාර්ලිමේන්තුව වසර 4 1/2කට විසුරුවිය නොහැකි බවට 19 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථා ගැටයක් ගසා ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ අය අතර ජනතාව අතින් ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ බොහෝ දෙනෙක් සිටිති.


මැතිවරණ කල් දැමීම දිගින් දිගටම සිදුවේ. ජනතාවගේ ඡන්ද අයිතිය දරුණු අපහරණයකට ලක්වී ඇත.
පොලිසිය, අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලනීකරණය කොට රජයට අවශ්‍ය ආකාරයට නීතිය අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම දරුණු ලෙස සිදු වේ.
රට පුරා උද්ඝෝෂණ රැල්ලක් පැවැතුණද ජනතා ඉල්ලීම්වලට රජයේ ප්‍රතිචාර ඉතා පහළ මට්ටමක පවතී.


පසුගිය ආණ්ඩුවේ අවසාන වසර 3 තුළ දළ වශයෙන් 7%ට ආසන්න වූ රටේ සංවර්ධන වේගය 2015දී 5%ටත්, 2016දී 4.5%ටත් 2017දී 3.1%ටත් අඩු වී තිබිණි.
විදේශ ආයෝජන 2014 ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ ලැබුණද 2017දී අලුතින් ලැබී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක් පමණි. ඉතුරු විදේශ ආයෝජන 2015ට පෙර ආරම්භ වූ ව්‍යාපෘතීන්ට සම්බන්ධ මුදල්ය.


2014 හා 2017 කාලය තුළ රටේ රැකියා ප්‍රමාණය ලක්ෂ 84 සිට ලක්ෂ 82ට අඩු වී ඇති බව මහ බැංකු වාර්තාවලින් පෙනී යයි.
පොහොර සහනාධාරය ඉවත් වී ඇත. පාසල් දරුවන්ට නොමිලයේ දුන් නිල ඇඳුම් වෙනුවට වවුචර ක්‍රමයක් හඳුන්වා දී ඇත.


කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය පසුගිය වසර 3 තුළ රුපියල් කෝටි 21,000කින් පමණ 215 කින් පහත වැටී ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත්වී තිබිණි. 2014දී ලබා දුන් 25.3% ප්‍රතිලාභ වෙනුවට 2017දී කොටස් වෙළෙඳපොළ ලබාදී තිබුණේ 1.3%ක පමණ සුළු ප්‍රතිලාභයකි.


රුපියලේ අගය 2014ට සාපේක්ෂව මේ වන විට 20%කින් පමණ පහළ වැටී ඇත.


රාජ්‍ය ණය බර 2014දී රුපියල් කෝටි 739,100 වූ අතර 2017 අග වන විට එය රුපියල් කෝටි 1,039,200 දක්වා රුපියල් කෝටි 300,100කින් වැඩි වී තිබිණි. මේ අනුව වසර 3ක් තුළ රාජ්‍ය ණය 40%කින් ඉහළ ගොස් ඇත.


ලෝකප්‍රකට 'බ්ලූම්බර්ග්' ආයතනය විසින් මේ වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරුදායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය කියන ආකාරයට ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් දැන් ලංකාව ආසියාවේ 24 වැනි ස්ථානයට පහළ වැටී ඇත.
මහ බැංකු බැඳුම්කර හොරකමෙන් පමණක් රටට වූ පාඩුව කෝටි ලක්ෂයට වැඩි යැයි රජයේ ඇමැතිවරයෙක්ම කියා තිබිණි.


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණවුම් අවලංගු කිරීමේ වන්දිය රුපියල් කෝටි 1700කි. හම්බන්තොට වරාය චීනයට වසර 99 කට බදු දී අවසන්ය. මත්තල ගුවන් තොටුපොළ ඉන්දියානුවන්ට දෙන්න සියල්ල සූදානම්ය. මේ අතර ආණ්ඩුව ජනතාවගෙන් අය කර ගන්නා බදු විශාල වශයෙන් වැඩි කොට ඇත. ව්‍යාපාර මත බදු විශාල වශයෙන් ඉහළ දමා ඇති අතර අලුතින් බදු වර්ග රැසක් එකතු කර තිබේ.


වසරකට රුපියල් ලක්ෂ 5කට වඩා ආදායමක් ඇති සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුය. රජයේ ආදායම් බදු කොමසාරිස් යෝජනා කරන ආකාරයට වාහනයක් හිමි පිටරට සංචාරයකට යා හැකි සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුයි.


මසකට රුපියල් ලක්ෂයකට වඩා කුමන ආකාරයකට හෝ ආදායමක් උපයන සියලු දෙනකුම දැන් ආදායම් බදු ගෙවිය යුතු අතර එම ප්‍රතිශතයන් ඉහළ දමා ඇත.
බැංකුවේ තිබෙන තැන්පතුවල පොලියෙනුත් 5%ක් බදු අය කෙරේ.


ගෙයක් කුලියට දුන්නත් ආදායමෙන් 20%ක් බදු ගෙවිය යුතුය.
නිවෙසක්, දේපළක් හෝ වාහනයක් වික්කත් විකුණා ලැබෙන ආදායමෙන් 10%ක් රජයට බදු ගෙවිය යුතුය.


යමෙක් ආදායම් බදුවලින් ගැලවුණත් කිසිම අයකුට රජයේ වක්‍ර බදුවලින් ගැලවිය නොහැකිය. ඒ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම රජය විසින් බද්දට යටත් කොට ඇති බැවිනි.
වෙළෙඳපොළට ගියත්, බෙහෙත් ගන්න ගියත් හෝටලයකට කෑම කන්න ගියත් ජනතාවට වැඩි වී ඇති වක්‍ර බදු ගෙවන්නට සිදු වේ.


2014ට සාපේක්ෂව 2018 වන විට රජය බදු වශයෙන් ලබා ගන්නට බලාපොරොත්තු වන ආදායම 100%කින් ඉහළ දමා ඇත. ඒ වැඩිවීම බලපාන්නේ රටේ ජනතාවටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon