පිරුවට වැනි තනතුරු...

  👤  3224 readers have read this article !
2018-07-16

ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධුරය අතහැර නික්ම ගියේය. ඔහු සිය කාර්ය මණ්ඩලය අමතා කළ සමුගැනීමේ කතාවේදී කියා තිබුණේ සිය රාජකාරි කාලයේදී ප්‍රසන්න මෙන්ම අප්‍රසන්න අත්දැකීම් ලැබූ බවත් ඇතැම් අත්දැකීම් රාජ්‍ය සේවයේ නොරැඳී සිටීම වඩා යෙහෙකැයි යනමතයට තමන් පෙළඹ වූ බවත්ය.

ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඔහුගේ කතාවේදී අවධාරණය කර ඇති පරිදිම 'සියලු තනතුරු පිරුවට වැනිය.' එහෙත් බොහෝ දෙනාට ඒ බව අමතකය. විශේෂයෙන් පිරුවටය ඇඳගත් පසු පිරුවටය ගැලවීමට සිදුවන බව ඔවුහු නොසිතති.

එහෙත් ඇතැම් අවස්ථාවලදී සමහරුන්ගේ පිරුවටය පමණක් නොව යට ඇඳුම් පවා ගැලවී යන අවස්ථාද තිබේ. පුදුමයට කාරණය වන්නේ තමන් නිරුවත් වී ඇති බව දන්නාමුත් කිසිදු ලැජ්ජා - භයක් නොමැතිව අනෙකාගේ පිරුවටයේ මඩ කුණු ගැන කතා කිරීමය.

රාජ්‍ය පරිපාලන සේවය හෑල්ලු කළේ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුවයි. ඒ පරිපාලන සේවයට දේශපාලන පත්වීම් දීමට නීති සම්මත කිරීමෙනි. මේ වන විට පරිපාලන සේවය ඇතුළු රාජ්‍ය සේවය වැටී ඇත්තේ ඉතා පහළ අඩියකටය.

දූෂිතයන්, තක්කඩියන් ලෙස බොහෝ දෙනාගෙන් දේශපාලනඥයන්ට දෝෂාරෝපණ එල්ල කෙරුණද, ඔවුන් තරමට ඇතැම් විට ඔවුන්ටත් වඩා නිලධාරීන් දූෂිත බව පෙනෙන්නට තිබේ. ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් දැලට හසුවෙද්දී ඉකුත් ආණ්ඩු සමයේදී ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇත. යකඩ මලුවලටත් ගුල්ලෝ ගසා ඇත්නම් පන් මලු ගැන කුමන කතාද?

මේ වන විටත් පරිපාලන සේවයේ නිලධාරීන් කිහිප දෙනකු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් අල්ලස් හෝ දූෂණ චෝදනාවලට කොටු වී සිටිති. නොඑසේ නම් චෝදනා ලැබ සිටිති. සිල් රෙදි නඩුවෙන් වැරැදිකරු වූ හිටපු ජනාධිපති ලේකම්වරයා මේ වන විට සිටින්නේ ඇප මතය. වර්තමාන ජනාධිපතිවරයාගේ ලේකම් ධුරයේ කෙටි කාලයක් රැඳී සිටි ඔස්ටින් ප්‍රනාන්දු ඉල්ලා අස් වෙන්නේ පෞද්ගලික හේතුමත යැයි පැවැසුවද ඔහුගේ කතාවෙන් ගම්‍යවන්නේ යම් කලකිරීමක් වැඩෙමින් පැවැති බවය.

ඔළුව කෙළින් තබාගෙන කශේරුකාවක් සහිතව රාජකාරි කළ පරිපාලන සේවා නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීහු ඕනෑ තරම් එදත් සිටියහ. අදත් සිටිති. 'දේශපාලනය' මෙතරම් ජරාජීර්ණ වී නොතිබූ නිසා ඒ ඒ නිලධාරීන්ට ආත්ම ගෞරවය රැකගෙන අකුරට වැඩ කිරීමේ අවස්ථාව හිමිවිය. එහෙත් අද අකුරට වැඩ කිරීමට යෑම 'දැළි පිහියෙන් කිරි කෑම' වැනි වැඩක් වී ඇත. මිණි මුතු යට ගොස් ගොම රිටි උඩ මතුවන කාලයකි. මේ 'දක්ෂයන්' පසෙකට විසි වී 'පුස්සන්' පෙරට පැමිණ තිබේ.

හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සමුගැනීමේ කතාවේදී ප්‍රකාශ කර තිබුණේ 'නොකිළිටි ආත්ම ගෞරවය තරම් වටිනා ආභරණයක් තවත් නැති බවය.' ඒ නොකිළිටි ගෞරවය දරුවන්ට තබා යන වටිනාම දායාදය බවද හෙතෙම පවසා තිබිණි. එහෙත් මේ සමාජයේ සැලකිය යුතු පිරිසකට විශේෂයෙන් දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට සිය ආත්ම ගෞරවය ගැන වගේ වගක් නැත. තනතුරු, වරප්‍රසාද හා මුදල් ඉදිරියේ ඔවුන්ට ආත්ම ගෞරවය පයට පෑගෙන දූවිලි හා සමානය. එවැනි මුග්ධයන් අතරේ තනතුරු වූ කලි අලුයම ලූ කෙළ පිඬක් සේ සලකන, ආත්ම ගෞරවය ආභරණයක් සේ සිතන ඔස්ටින් ප්‍රනාන්දු වැනි නිලධාරීන්ද තවමත් සිටීම සතුටට කරුණකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon