රනිල් ‍ෙදාවන කිරි

  👤  4905 readers have read this article !
2018-07-13

රටක ආර්ථිකය හැසිරවිය යුත්තේ රටට ඕනෑ හැටියටය. එය රටේ දේශපාලනයද හොඳින් තේරුම් ගෙන එය හා මිශ්‍ර කර ජනතාවට දිරවන ආකාරයෙන් කළමනාකරණයද කළ යුතු වීම ලොකු වැඩක්ය. රට දියුණු කිරීමට රනිල්ට දැක්මක් ඇතැයි හැඟෙන දැනෙන කතා යූ.එන්.පී.ය පැත්තෙන් නිතර කියැවෙද්දී "ඒ කතා මේ වෙලාවේ රටට හරියන්නෙ නෑ. ජනතාවටත් බඩට දැනෙන්නේ නෑ. හිතට වදින්නේ නෑ" කියන පක්ෂයේ හඬද බලවත්ය.

රනිල් ලෝකයේ සිදුවන සැබෑ ආර්ථික වෙනස්කම් සහ දේශපාලන වශයෙන් රටවල් ගන්න පියවර ගැන සිහියෙන් සිටිනවා වන්නට පුළුවන. කොතැනක හෝ ඒ ගැන පොතක් පළ වූයේ නම් එය ගෙන්වාගෙන කියවනවා විය යුතුය. අලුත් දැනුම ලබා ගන්නවා විය යුතුය. ඒ නිසා ඇමෙරිකාවේ ආර්ථිකය කඩා වැටී ඇති හැටිත්, චීනයේ දැවැන්ත නව පිබිදීමත්, ආසියාකරයේ ඇතිවන සැබෑ වෙනස් කම් ගැනද නියමාකාරයෙන් අවබෝධ කරගෙන සිටිනවා විය යුතුය. එතැනදී ඉන්දියාවේ භූමිකාවත්, චීනයේ උපායශීලී භූමිකාවත් හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවාද විය යුතුය.

ලෝකයේ ආර්ථිකයට ලංකාව ගළපන්නට හදද්දී ලංකාවේ ආර්ථික මොඩලය ලංකාවට ගැළපෙන පරිදි සකස් කර ගන්නේ කොහොමද යන්න පිළිබඳ රනිල්ගේ තීන්දු තීරණ පැහැදිලිය. ඒවායෙහි ගැටලු තිබෙන්නටද පුළුවන. එහෙත් රනිල් ලංකාව ලෝකයට බද්ධ කරන්නට තැත් කරන ආර්ථික දම්වැල පිළිබඳ නම් විමසිය යුතුය.
රනිල් පසුගියදා සිංගප්පූරුවේ ආරම්භ වූ 6 වැනි ජගත් පුරවර සමුළුව යන තුන් අෑඳුතු සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් පැවැසූවක් මෙහි සඳහන් කිරීම සුදුසුය.

"ආසියානු නගර දියුණු වෙමින් පැවැතුණද මර්සර් සමීක්ෂණයේ ජීවන තත්ත්වයට අනුව ඉහළ නගර 50 අතරට ගැනෙන්නේ ආසියානු නගර 3ක් පමණයි. ඒ සිංගප්පූරුව, තෝකියෝව සහ කෝබේ නගරයයි. කොළඹ ඉහළින්ම සිටියත් නගර 231ක් අතරින් අපට ලැබී ඇත්තේ 137 වැනි ස්ථානයයි. ආසියානු නගර 50ක් පමණ තිබෙන්නේ දර්ශකයේ පහළම නගර 50 අතරෙයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වන්නේ ඉන්දීය සාගර මධ්‍යයෙහි අපේ රටෙහි පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ගැනීමයි. 2050 වන විට බෙංගාල බොක්ක ආශි්‍රත නැඟෙනහිර ඉන්දීය සාගර වෙරළාශි්‍රත රටවල ජනගහනය බිලියන 2.9ක් බවට පත්වෙනවා. අපගේ ප්‍රයත්නයේ වැදගත් අංගය වන්නේ බස්නාහිර මහපුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝර දෙකයි. මීට මිලියන 9ක ජනගහනය පදනම් වෙනවා. කොළඹ හා හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. කොළඹ වරාය අසබඩ මුහුද ගොඩකර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැපයෙන ආර්ථික කලාප හතරක් නිර්මාණය කෙරෙනවා."

රනිල් අකුරක් නෑර මේ කියන්නේ ඔහු බලයට පත් වන්නට පෙරත් පසුත් දැනුත් ලංකාවේදීත් පිටරටදීත් කියන කතාවමය. මූල්‍ය නගරයෙන් හා මේ කියන මුදල උපයන කොළඹ නගරය ආශ්‍රිත සැලසුම්වලින් විදෙස් මුදල් උපයාගත හැකි ආර්ථික ශක්තියක් මතුකර ගත හැකිය. එහෙත් මෙම ව්‍යාපෘතිය හරහා ජනතාවට ලැබෙන සෘජු ප්‍රතිලාභ කුමක්දැයි විමසීමට සිත් වෙයි. එය සඟවා තබාගෙන බැරිය.

ගමේ ඡන්ද දායකයාට, ගමේ පාක්ෂිකයාට පොදුවේ රටේ බහුතර ජනතාවට සහන ලැබෙන පාටක් ඉන් සෘජුවම නොපෙනෙයි. එහෙත් රනිල් ගළපන්නට හදන මුදල උපයාගත හැකි මාර්ගය පැහැදිලිය. රටට මුදල් ගලා එන විදෙස් මංමාවත් හා ආයෝජනයන් තවමත් කතා බහේය. ඒවා සක්‍රිය වීමට කළ යුතු දෑ මොනවාදැයි පැහැදිලි නැත. එබැවින් ආර්ථික යුද්ධය ජයගන්නා අතරේම දේශපාලන යුද්ධය ජය ගන්නට මෙය කොතරම් දුරට ගළපා ගැනීම ගැටලු සහගතය.

රනිල් කියන දේ වටහා ගන්නටත්, එය ක්‍රියාකරවන්නටත් සිටින්නේ ඔහුට විශ්වාසවන්ත අතළොස්සකටත් අඩු කිහිප දෙනකු බවට පළවන කතා නිසාවෙන් රට වෙනුවෙන් හෝ කතා කරන්න ඕනෑ කරන පක්ෂයේම වැඩි පිරිසගේ කටේ පිට්ටුය. ඔවුන් රටට මුදල් ගලා ආපසු කරන්නට යන්නේ මොනවාදැයි කියන්නේ නැත. ඇරත් කියන්නට දන්නේද නැත. ඒ නිසාම රනිල් ජාත්‍යන්තර තලයේ ගෞරවාදරයටත්, ආදරයටත් පත්වූයේ වුවද රට තුළ ඔහුගේ දැක්ම ජනතාවට කාවද්දන ක්‍රමයක් නැත. ඒ වෙනුවෙන් පත්කළ අයවලුන් සිටියද ඔවුහු මර නින්දේය.

මීට හොඳ උදාහරණයක් නම් රනිල් ජනාධිපතිවරණයට තරග කරන්නට පෙරද මේ දැක්මෙන් යුතුව සිටියද එක්සත් ජාතික පක්ෂයේ සැලසුම්ගත වුණු ජාතික ඡන්ද ආයාචනා කමිටුව ගමට ගියේ නැත. ගමේ කුඩාම සංවිධාන ඒකකයේ නියෝජිතයකු ලැයිස්තුවට නම් කරන්නට වන ඉතා සුළු කටයුත්ත පවා ඇතැම් සංවිධායකයන් කළේ නැත. ඒ නිසා ජනතාවටත් වඩා සංවිධායකයන් හා රනිල් වටේ සිටි හිතමිතුරන්ද මහා ආගාධයකට ඇදගෙන වැටුණේ පක්ෂයද කඩා වට්ටවාගෙනය. රනිල් එදා රටට කියූ අදහස් කිහිපයක් මෙසේය.

"මා විශ්වාස කරන ආකාරයට මේ අලුත් සබඳතා හරහා ශ්‍රී ලංකාවේ ජනතාවට යහපත් ජීවන මට්ටමක් අපේක්ෂා කරනවා. ඒ දියුණු රටවල ජනතාව අත්විඳින තත්ත්වයේ යම් දියුණුවක ප්‍රතිලාභයයි"
රනිල් වික්‍රමසිංහ
1999 නොවැම්බර් 4
Business Today
"සැකයක් පැවැතිය යුතු නෑ. සෑම දෙනාටම සමාන වූ අයිතිවාසිකමක් ලබා ගැනීමට. එතුළින් සෑම දෙනකුටම සෞභාග්‍යවත් හෙට දිනයක්. ඒකයි මම මේ තරම් දුෂ්කර මාර්ග ඔස්සේ වුවත් ලංකාවේ ජනතාව අරගෙන යන්නේ"
රනිල් වික්‍රමසිංහ
1999 නොවැම්බර් 4
Business Today
සමාන අයිතිවාසිකම් යනුවෙන් ඔහු දකින්නේ ජාති ආගම් කුලමල භේදයකින් තොරවූ කාටත් හෙට දිනක් උරුම කර දෙන ක්‍රමයන් ගැනය.

රනිල් "බිස්නස් ටුඩේ" සඟරාවට 1999 කියූ කතාව අදටත් කියන්නට වී තිබෙන්නේ ඔහුට එක දිගට පූර්ණ රාජ්‍ය බලයක් නොලැබී තිබුණු පසුබිම් ගත තත්ත්වය තුළ බව වටහා ගත හැකිය. චන්ද්‍රිකා සමඟද, මෛත්‍රි සමඟද ආණ්ඩු කරන්නට සිදුවුණේ සහ සිදු කරන්නට වී තිබෙන්නේ දැළි පිහියෙන් කිරිපැණි කන්නට ගිය එකෙකුට අත්විඳින්නට වූ අවාසිය, අවදානම හා ප්‍රතිඵලය සහිතවය.

දැනුදු රනිල්ට තනි ආණ්ඩුවක් නැත. තිබෙන ආණ්ඩුවද ඇත්තේ හැල හැප්පීම් රැසක් මැදය. ඔහු මහින්ද ඇරැඹූ පෝට් සිටිය හා හම්බන්තොට වරාය එපා යැයි කීවේ නැත. මහින්ද ඇරඹූ හැටිත් එය සිදුවූ හැටිත් කිය කියා අඩුපාඩු ගැන කතා කරමින් ආඩපාලි කියමින් සිටින්නටද කාලයක් තිබුණේ නැත. ඒ නිසා ආර්ථික දහන්ගැට ජාත්‍යන්තරයේදී ගහන ගමන්ම රනිල් එදාද මඟ හැරි, අදත් මඟහරින බව දැනෙන තමන්ට ඡන්දය දෙන ජනතාවත්, තමන්ව දිනවන්නට ඕනෑ කරන ජනතාවත් තෘප්තිමත් කරනවාදැයි යන්න යළි සලකා බැලිය යුතුය.

ඒ අනුව දැන් ආර්ථිකයේ මීළඟ පිම්ම පනින්නට රනිල්ට ඕනෑ කරන්නේ තනි ශක්තිමත් ආණ්ඩු බලයකි. එය ජනාධිපතිවරණයෙන් එජාප අපේක්ෂකයා ජයගන්නා, ඉන් අනතුරුව මහ මැතිවරණයකදී එජාපයට බහුතර ආසන ගණනක් හිමිවන ප්‍රතිඵලයක්ම විය යුතුය. නැති නම් ඔහු දකින දැක්ම පොතපතට පමණක්, කතා බහට පමණක් සීමා වූවක් වනු ඇත.
ගමේ පාක්ෂිකයාගේ ගමේ ඡන්ද ටික රැකගන්නත් අලුත් ඡන්ද එකතු කරගන්නත් මේ කියන ආර්ථික සැලසුම්වල ප්‍රතිලාභ අත්කර දිය යුතුය. තවමත් එය දැනෙන්නේ නැතිවීමත්, කරන දේ පැහැදිලි කර දෙන්නට දක්ෂ මැති ඇමැතිවරුන්ද නැතිවීමත් අභාග්‍යයකි. දක්ෂකම් ඇති අයත් පසුපෙළට ගොස් තිබෙන බවට වන මැසිවිලිද නැත්තේ නොවේ.

"අපට තනි ආණ්ඩු බලයක් ලැබුණෙ නෑ. හවුලක් නොකර බැරි තැනට වැටුණා. ඒ හවුල එපා කියලා යන්නත් බැරි වුණා. ඒ නිසා නායකයාට තමන්ගේ අතේ තියෙන හොඳම තුරුම්පු දාලා ගහලා මේ සටන පණ ගන්වන්න අමාරුකම් තිබුණා. තරුණ මන්ත්‍රිවරුනට මුල්පෙළේ ඇමැතිකම් දෙන්න බැරි වුණත් ජේ.ආර්.ට වගේ තනි බලයක් ලැබුණෙ නැති නිසා බලා ඉන්න වුණෙත් ඒකයි. හැබැයි ඒක අපට හැමදාමත් කරන්න බෑ. ඊළඟ ආණ්ඩු බලය අපි ගන්නම ඕන. ජනාධිපති අපේ කෙනෙක් වෙන්නම ඕන"

මෙසේ හැඟීම්බරව අදහස් දැක්වූ එජාප ප්‍රබලයකු රනිල්ට ‍ෙදාස් නොකියා පැවසූ කරුණෙහිද වරදක් නැති වුණත් යථාර්ථයට මේ කවුරු කවුරුත් මුහුණ දිය යුතුය. සමූහයක් වශයෙනුත් තනි තනිවත් ආණ්ඩුව යම් අප්‍රසාදයකට ලක්ව ඇත්තේ පූට්ටු වී ආණ්ඩු කරන්නට ගොස් සිදුකර ගන්නා අභාග්‍යයන් නිසාය.

2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරන සැලසුම සකස් කර අවසන් බව රනිල් සිංගප්පූරුවේදී කියද්දී එහි ප්‍රතිලාභ ක්‍රමයෙන් ජනතාවට ලැබෙන අයුරු තේරෙන භාෂාවෙන් කියා දෙන්නට කෙනෙක් නැත.

මැති ඇමැතිවරුන් කටේ ඉබ්බෝ දාගත් වුන් ගාණය. රාජ්‍ය මාධ්‍ය කඩේ යන්නේ නැතිව වුව මේ ටික රහට ජනතාවට කියා දෙන්නට දන්නේම නැත.
දේශීය වශයෙන් බලාපොරොත්තු වන කොළඹ, නුවර, හම්බන්තොට යා කරන අධිවේගී මාර්ග පද්ධතිය අවට ජනතාවට ප්‍රතිලාභ ලැබෙන, අතට මුදල් ලැබෙන, ජීවිත ගොඩනැඟෙන මිලියන 9ක් පමණ වන එකී ජනතාවගේ අනාගතය සරු වන හැටි ගැන රනිල්ට පිටරටදී කියා දෙන්නට පුළුවන් වුවත් ඒ දොවා ගත් කිරි කළය ජනතාවට පොවන්නට, තේරුම් කර දෙන්නට හොඳ සහායක බළ ඇණියක් නැත. ඒ නිසා රනිල්ගේ උත්සාහය පුස්ස බින්දා වගේ වීම, මේ යන විදියට නම් වළක්වන්නට ද බැරිය. රනිල් මෙය වහ වහා වටහා ගත යුතුය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon