'මුං' වපුරා 'තල' පැතීම

  👤  3676 readers have read this article !
2018-07-13

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සිදුවී ඇත්තේ මත්කුඩු ජාවාරම මර්දනය කිරීමේ තුරුම්පුවක් ලෙස බව පාලකයන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. ඇතැම් පිරිස් පවසන ආකාරයට නම් අන් කිසි කලෙකවත් කුඩු වසංගතයක් ලෙස තිබී නැත. 'ගමට' කුඩු ගොස් ඇත්තේ ගෙවුණු අවුරුදු දෙක තුනටය. ඒ කතාව කෙසේ වෙතත් උතුරු හා නැඟෙනහිර පළාත්වලට 'මත්කුඩු' පැතිර ගියේ ගෙවුණු අවුරුදු හය හත තුළය. එනම්, යුද්ධය අවසන් වීමෙන් පසුවය. ත්‍රිකුණාමලය, සේරුනුවර, මාවඩ්වචෙන ප්‍රදේශයෙන් රුපියල් කෝටි 12ක් වටිනා මත්කුඩු තොගයක් ලී මෝලක සඟවා තිබියදී සොයාගත්තේ ඉකුත් 11 වැනිදාය.

කාරණය අනෙකකි.
අපරාධ, සොරකම්, ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජනවලින් 'රට' පිරී ඉතිරී ගොස් ඇතැයි බැලූ බැල්මට පෙනේ. ඇතැමුන් පවසන ආකාරයට මේ සියල්ලට රට ගොදුරුව ඇත්තේ අවුරුදු දෙක තුනක් ඇතුළතය. මල් සුවඳ ගලා ගිය රටක සුළඟට දැන් මුසුව ඇත්තේ වෙඩි බේත් සුවඳය. ලේ සුවඳය. රට විසාලාවක් බවට පත්වෙමින් තිබේ.
ඇත්ත කතාව නම් දරුණු යුද්ධයකට විසි වසරකට අධික කාලයක්, දරුණු භීෂණයකට අවුරුදු තුනක කාලයක් මුහුණ දුන් රටක මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම යථාර්ථයකි. පශ්චාත් යුද්ධයකට අද රට මැදිව තිබේ.

2010 වසරේදී මෙරට මිනිස් ඝාතන 741ක් සිදු වී තිබුණද 2013 වසර වන විට ඒ සංඛ්‍යාව 580 දක්වා අඩුවී ඇත. 2014දී සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 514කි. 2017දී ඝාතන සංඛ්‍යාව 452 දක්වා අඩු වී ඇත.

මේ වසරේ ගෙවුණු මාස හය තුළ සැලකිය යුතු මිනිස් ඝාතන සංඛ්‍යාවක් සිදුවී ඇතත් එහි විශාල වැඩිවීමක් නැත.

ස්ත්‍රී දූෂණ 2012දී 2212ක් වාර්තා වී තිබුණද 2016 අවසන් වන විට 1996 දක්වා අඩු වී ඇත. 2017 දී ඒ ගණන 1732කි. ගෙවුණු මාස හයට වාර්තා වී ඇති ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 714කි.

ඇතැම් මාධ්‍යවලින් උලුප්පා දැක්වුවද, සමහරුන් බොරු ගණන් හිලව් ඉදිරිපත් කරමින් අනවශ්‍ය ලෙස හුවා දැක්වුවද, රට තුළ මහා ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගත වී නැත. එහෙත් සමාජය සෑම අංශයකින්ම ශීඝ්‍රයෙන් විනාශ මුඛයට යමින් පවතින බව නම් ඇත්තකි. ඊට හේතුව මේ ආණ්ඩුවේ හෝ ඉකුත් ආණ්ඩුවේ හෝ 'වැරැදි' නොව හැත්තෑ වසරක් පුරා පාලකයන් වැපුරූ දේය. 'මුං' වපුරා 'තල' ලබා ගත නොහැකිය. නෙළා ගැනීමට සිදුව ඇත්තේ වැපුරූ දේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon