මත්කුඩු ජාවාරමුන් එල්ලා මැරීම් හා අවිනීත රියැදුරන්ට දඩ ගැසීම

  👤  3354 readers have read this article !
2018-07-12

මත්කුඩු වසංගතයක් බවට පත්වී කලක් ගතවී ඇත. රිය අනතුරු බහුල වීම රටේ දැවෙන ප්‍රශ්නයක් වී තිබෙන්නේ අද ඊයේක සිට නොවේ. මත්කුඩු හා රිය අනතුරු සම්බන්ධයෙන් රජය හදිසි තීරණ දෙකක් ගෙන ඇත.

නීතියේ රැහැනට හසුවී වැරැදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම ඉන් එක් තීරණයකි. අනෙක් තීරණය වන්නේ රථ වාහන වැරැදි 33ක් සඳහා නියම කරන දඩ මුදල ඉහළ දැමීමය.

අත්හිටුවා ඇති මරණ දඬුවම මත්කුඩු වැරැදිකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.

ඊට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමතිය හිමි වූ බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයා මේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස මත්ද්‍රව්‍ය වැරැදිවලට මරණ දඬුවම හිමි වූ ජාවාරම්කරුවන් සිටින බැවින් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට ඔහුට විවිධ පිරිස්වලින් එල්ල වන බලපෑම නිසාය. දැනට මරණ දඬුවම හිමිව ඇති මත්කුඩු ජාවාරම්කරුවන් 19ක් බන්ධනාගාරයේ සිටින බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

අධිකරණයෙන් දඬුවම් ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාවාරම්කරුවන් 'ඇතුළේ' සිට මත්කුඩු ජාවාරම මෙහෙය වන්නේ නම් එය බලධාරීන්ගේ පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයකි.

රක්‍ෂිත බන්ධනාගාර ගතවන සහ වැරැදිකරුවන් වී සිරදඬුවම් නියම වන ඊනියා ප්‍රභූන්ට (දේශපාලන සිරකරුවන් නොවේ) පහසුකම් හා වරප්‍රසාද ලැබෙන රටක බන්ධනාගාරයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 'නිදහස' භුක්ති විඳීම පුදුමයක්ද නොවේ.

බෞද්ධ දර්ශනයට අනුව නම් වැරැදි කළ වුන්ට දඩුවම් දීමේදී 'ඝාතනය' ප්‍රතික්ෂේප කර ඇත. බෞද්ධාගමිකයන් බහුතරයක් සිටින බෞද්ධාගමට මුල් තැන දී ඇති රටක 'මරණ දඬුවම' ක්‍රියාත්මක කිරීම බෞද්ධාගමික අර්ථයෙන් ගත් කල අනුමත කළ නොහැකිය. එහෙත් ස්ත්‍රී දූෂකයන්ට, ළමා අපයෝජකයන්ට, මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව කලින් කලට රජයට බලපෑම් එල්ල වෙයි. ජනාධිපතිවරයා අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේද කැබිනට් මණ්ඩලයේ සියල්ලන් පී්‍රති ඝෝෂා නඟමින් ඒ යෝජනාව අනුමත කර ඇත්තේද මේ සමාජ බලපෑම නිසා බව පැහැදිලිය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ජාවාරම්කරුවන් අතර ක්ෂණිකව සලිත වීමක් සිදු වනු ඇත. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම ඉන් මර්දනය වේ යැයි සිතීම වරද්දා ගැනීමකි. මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ස්ත්‍රී දූෂකයන්ටද, ජනතා දේපොළ හොරා කන්නන්ටද එය අදාළ කිරීමේ වරදක් නැත.

තිරශ්චීන යුද්ධයක් දක්වා වර්ධනය වන තුරු වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සොයාගත නොහැකි වූ රටකට මත්කුඩු ජාවාරමට මුහුණදීමට නොහැකිව දශක තුනකට පසු යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුවීම සුවිශේෂී සිද්ධියක් නොවේ. දෙකොන පටලවාගත් සමාජයකට ඝාතනයේ සරණ යනවා හැර අන් මාවතක් නැත.

රථවාහන දඩ මුදල් ඉහළ දැමීමද 'මරණ දඬුවම' යළි ක්‍රියාත්මක කරනවාට වෙනස් නැත. රියැදුරන්ගේ විනය බිංදුවට වැටීම රිය අනතුරු මේ තරම් ඉහළ යෑමට හේතුවයි. අනෙක මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන වාහන සංඛ්‍යාවක් දෛනිකව මහා මාර්ගවල ධාවනය වීමය. 'විනය' බිඳවැටීම සමාජයීය ප්‍රශ්නයකි.

සියල්ල කුණු වී ගිය සමාජයක පළමුව බිඳවැටෙන්නේ විනය යි. එනිසා විනයානුකූලව රිය පැදවීමක් රියැදුරන්ගෙන් බලාපොරොත්තු වීම උෟරු දළෙන් ගජමුතු ගැනීමට සිතනවා වැනි වැඩකි. රථවාහන දඩ මුදල ඉහළ දැමීමේ වරදක් නැත. ඉන් යම් පාලනයක් සිදු වනු ඇත. එහෙත් ප්‍රශ්නයට විසඳුම එය නොවන බව පැහැදිලිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon