කුරුඳු තළා රට හැදීම

  👤  3681 readers have read this article !
2018-07-10

ආචාර්ය නාලක ගොඩහේවා

පරාක්‍රම සමුද්‍රය සෑදුවේ කළුතර ප්‍රදේශයේ කුරුඳු වවා ඒවා පිටරට යවා සොයාගත් මුදලින් කියා පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකු කළ ප්‍රකාශය මේ දිනවල මුහුණු පොතේ උසුළු විසුළුවලට ලක් වෙමින් පවතී.

පොළොන්නරු යුගයේ රට පාලනය කළ මහා පරාක්‍රමබාහු රජතුමා ලංකාව දීර්ඝ කාලයක් එනම් වසර 33ක් පාලනය කළ බලවත් රජ කෙනකු ලෙස ඉතිහාසයේ ලියැවී ඇත. "අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය" යන්න ඔහුගේ ජනප්‍රිය කියමනකි. තම පාලන කාලය තුළ වැව් සිය ගණනක් ඉදිකළ මහා පරාක්‍රමබාහු රජුගේ විශාලතම වාරි ව්‍යාපෘතිය වූයේ පරාක්‍රම සමුද්‍රයයි. මෙය ගොඩනැඟීමට වසර ගණනාවක් ගත වූ අතර ඒ සඳහා සිරකරුවන්ගේ ශ්‍රමය ලබාගත් බවත් රටවැසියන්ගෙන් අය කරගත් විවිධ බදු හා අලි ඇතුන්, මැණික්, සහල් වැනි විවිධ වෙළෙ¼දාම්වලින් ලබාගත් ආදායම් මේ ව්‍යාපෘතිය සඳහා යොදාගත් බවත් පරාක්‍රමබාහු යුගය ගැන විස්තර බොහෝමයක් සඳහන් වන චූලවංශයේ කියැවේ. විශේෂයෙන්ම පරාක්‍රමබාහු රජු සමයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලබන්නට ලංකාවට හැකි වන්නට ඇත්තේ සහල් හා අනෙකුත් ධාන්‍ය වර්ග විදේශ රටවලට ඒ කාලයේ අලෙවි කළ නිසා විය හැකිය. ලෝකයේ බොහෝ රටවල් සමඟ පරාක්‍රමබාහු රජ සමයේ වෙළෙඳ ගනුදෙනු සිදුවූ බවට සාක්ෂි ඇතත් පසුගියදා වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙක් කියා තිබුණු ආකාරයට පරාක්‍රමබාහු රජතුමා කළුතර ප්‍රදේශයේ කුරුඳු වවා, ඒවා වෙළෙ¼දාම් කොට පරාක්‍රම සමුද්‍රය තැනුවා කියා නම් අප දන්නා ඉතිහාස පොත් පත්වල සඳහන් වී නැත.

ඒ කෙසේ වෙතත් රටේ විශාල ලෙස යටිතල පහසුකම් ගොඩනැඟූ පරාක්‍රමබාහු රජතුමා ඒවාට මුදල් සොයන්නට රටවැසියන්ගෙන් බොහෝ බදු අය කළ බව නම් ඉතිහාස පොත්වල කියැවේ. මෑත කාලීන ඉතිහාසයේ පසුගිය ආණ්ඩුව විසින්ද ලංකාවේ බොහෝ යටිතල පහසුකම් ඉදිකරන ලදී. එහෙත් ඒ සඳහා ජනතාව තළා පෙළා වැඩිපුර බදු අය කිරීමක් සිදුවූයේ නැත. ඇත්තෙන්ම සිදුවූයේ රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට යනවාට සමාන්තරව ජනතාවගේ බදු බර කෙමෙන් ලිහිල් කරන්නට ආණ්ඩුව කටයුතු කිරීමයි. ව්‍යාපාරික බදු මෙන්ම ආදායම් බදු ප්‍රතිශතය කෙමෙන් පහත හෙළන ලද අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිතර කී කියමනක් වූයේ රජය ජනතාවගෙන් බදු අය කළ යුත්තේ වන බඹරා මල නොතළා පැණි උරනා ලෙස කියාය.

එහෙත් 2015 ජනවාරි මස ඊනියා යහපාලන ආණ්ඩුව බලයට ආ දා සිට බදු සම්බන්ධයෙන් ආණ්ඩුව දරන මතය වෙනස් වී ඇති ආකාරයක් පෙනී යයි. 2014ට සාපේක්ෂව 2018 වන විට රජයේ බදු ආදායම 100%කින් වැඩි කරගන්නට අපේක්ෂා කරන බව 2018 අය-වැය ප්‍රකාශනයේ සඳහන් වී තිබිණි. පසුගිය වසර කිහිපය තුළ ආණ්ඩුව ව්‍යාපාර මත බදු විශාල වශයෙන් ඉහළ දමා ඇති අතර අලුතින් බදු වර්ග රැසක් එකතු කර ඇත. උදාහරණයක් ලෙස වැට් බදු නිසා භාණ්ඩ රැසක මිල ඉහළ ගොස් ඉල්ලුම අඩු වී ඇත.
රැකියා කරන්නන් හෝ යම් ආකාරයක මාසික ආදායමක් ලබන්නන් මතද බදු වැඩි වී ඇත. මසකට රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් උපයන සියලු දෙනකුම දැන් ආදායම් බදු ගෙවිය යුතු අතර එම බදු ප්‍රතිශතයන් ඉහළ දමා ඇත. ආදායම ලැබෙන්නේ කුමන ආකාරයකට වුවත් බදු ගෙවිය යුතුය.

වසරකට රුපියල් ලක්ෂ 5කට වඩා ආදායමක් ඇති සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුය. රජයේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කියන ආකාරයට වාහනයක් හිමි, පිටරට සංචාරයකට යා හැකි සෑම අයකුම බදු ලිපිගොනුවක් විවෘත කළ යුතුය.
බැංකුවේ තිබෙන තැන්පතුවල පොලියෙනුත් 5%ක් බදු අය කෙරේ. ගෙයක් කුලියට දුන්නත් ආදායමෙන් 20%ක් බදු ගෙවිය යුතුය. නිවෙසක්, දේපළක් හෝ වාහනයක් වික්කත් විකුණා ලැබෙන ආදායමෙන් 10%ක් රජයට බදු ගෙවිය යුතුය. සේවක අර්ථසාධක අරමුදලෙන් පවා අය කරන බදු 28% දක්වා ඉහළ දමා ඇති අතර විශ්‍රාම යන වයසට ළඟාවී තම ජීවිත කාලයක ඉතුරු කිරීම් ලබාගන්නට එන පෞද්ගලික අංශ සේවකයන්ට තරු පෙනෙන්නේ තමාට අයිති වන්නට තිබූ අර්ථසාධක අරමුදලේ කොටස්වලිනුත් වැඩි ප්‍රතිශතයක් ආණ්ඩුව විසින් කපාගෙන ඇති බව දැනගත් විටය.

යමෙක් ආදායම් බදුවලින් ගැලවුණත් කිසිම අයකුට රජයේ වක්‍ර බදුවලින් ගැලවිය නොහැකිය. ඒ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම ආණ්ඩුව විසින් බද්දට යටත්කොට ඇති බැවිනි. මෙම බදු නිසා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන අතර එම ඉහළ යන මිල දරන්නේ පාරිභෝගිකයාය. වෙළෙඳපොළට ගියත්, බෙහෙත් ගන්න ගියත් හෝටලයකට කෑම කන්න ගියත් ජනතාවට වැඩි වී ඇති වක්‍ර බදු ගෙවන්නට සිදුවේ.

2014ට සාපේක්ෂව 2018 වන විට වසරකට රුපියල් කෝටි ලක්ෂයේ සිට රුපියල් කෝටි ලක්ෂ 2 දක්වා රජයේ බදු ආදායම වැඩිවීමට නියමිතය. වෙනත් වචනවලින් කියනවා නම් ඒ වැඩි ආදායම ලබා ගන්නේ මහජනතාවගෙනි.

ජනතාව මත මේ ආකාරයට බදු වැඩි කළාට මහා පරාක්‍රමබාහු කළාක් මෙන් ඒ මුදල් රට දියුණු කිරීමට යොදාගන්නා ආකාරයක් නම් ජනතාවට දක්නට නැත. ඒ වෙනුවට දක්නට ඇත්තේ දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුදයකි.

වත්මන් ආණ්ඩුව තමන් විසින්ම ආර්ථික අර්බුදයක් නිර්මාණය කරගන්නට හේතු කිහිපයක්ම ඇත. නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම පළමු හේතුවයි. වසර 3ක් තුළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන 9ක් ඉදිරිපත් කිරීමෙන්ම රජයට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම තහවුරු වේ.

එකානෙකට නොගැළපෙන මතවාද කරපින්නා ගත් පක්ෂ දෙකක් හවුල් ආණ්ඩුවක් කිරීමට ගන්නා අසාර්ථක උත්සාහය. මුදල් ඇමැතිවරයා ගන්නා සමහරක් තීරණ ජනාධිපතිවරයා වෙනස් කරන්නේත්, ජනාධිපතිවරයා ගන්නා සමහරක් තීරණ ආණ්ඩුව නොසලකා හරින්නේත් මේ නොගැළපීම නිසාය.

ආණ්ඩුව විසින් විටින් විට හඳුන්වා දෙන අත්තනෝමතික බදු නිසා දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටෙමින් පවතී. දිගින් දිගටම ආණ්ඩුව විසින් ලංකාවේ ආර්ථිකය ගැන පෙන්වූ අඳුරු චිත්‍රය නිසා, අවිනිශ්චිත ආර්ථික ප්‍රතිපත්ති නිසා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම අද රටට විදේශ ආයෝජන අඩු වන්නට පැහැදිලි හේතුවකි. මහ බැංකු බැඳුම්කර මංකොල්ලයෙන් රටට වූ පාඩුව හා රටේ ප්‍රතිරූපයට වූ හානිය. අසීමිත ලෙස පොලී අනුපාතය ඉහළ යෑම නිසා ව්‍යාපාරිකයන්ට අධික
දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇත.

කෘෂිකර්මාන්තයට නව ආණ්ඩුව දැක්වූ නොසැලකිල්ල නිසා කෘෂිකර්මාන්තය දරුණු ලෙස කඩා වැටීමකට ලක්වී ඇත. රටේ මුදල් සංසරණය දුර්වල වීම හා පොලී අනුපාතයන් ඉහළ යෑම මත කර්මාන්ත හා සේවාවල බිඳ වැටීම නිසා අපනයන වර්ධනය දුර්වල වී ඇත. රජයේ ප්‍රතිපත්ති විරහිත ආර්ථික කළමනාකාරීත්වය තුළ ආනයන වියදම් ඉහළ යෑම හා ඒ තුළින් වෙළෙඳ පරතරය ඉහළ යෑමද ගැටලුවකි.

ආණ්ඩුවේ වැරැදි කළමනාකරණ තීරණ නිසා ගෙවන්නට සිදුවූ වන්දි ප්‍රමාණය අපමණය. ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සමාගම විසින් පසුගිය ආණ්ඩුවේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කිහිපයක්ම වර්තමාන ආණ්ඩුව විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 110ක හෝ රුපියල් බිලියන 17ක වන්දියක් ආණ්ඩුව විසින් ගෙවන ලදී.

කොළඹ 'පෝර්ට් සිටි' ව්‍යාපෘතිය පදනම් රහිතව අතිහිටුවීම ඔස්සේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් ආණ්ඩුවට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම් වන ඇ.ඩො. මිලියන 148 එනම් රුපියල් බිලියන 23ක් ආණ්ඩුව විසින් ගෙවන ලද්දේ ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්කර 5ක් පමණ ඉඩමක් චීන පාර්ශ්වයට ලබාදෙන්නට ආණ්ඩුව එකඟ වීමෙන්ය.

2015 සහ 2016දී ආර්ථිකයේ දුර්වල සහ දූෂිත
කළමනාකාරීත්වය නිසා ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩා වැටීම ඔස්සේ රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව රාජ්‍ය ණය බරතාව වැඩි වූ නිසා සිදු කරන ලද පාඩුව 2015දී රුපියල් බිලියන 285ක්ද, 2016 රුපියල් බිලියන 141, 2017දී රුපියල් බිලියන 225ක්ද, 2018 මැයි අග වන විට රුපියල් බිලියන 170ක්ද වූ බව මහ බැංකු නිල වාර්තාවලින් හෙළි වී ඇත. එකතුව රුපියල් බිලියන 821කි.

මේ සියලු වැරැදිවලට බදුවලින් වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ මහජනතාවටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon