නිර්දේශිත ග්‍රන්ථ කියවල නැති ගුරුවරු ඉන්නවා

  👤  3274 readers have read this article !
2018-07-08

මහේෂ් ක්‍රිශාන්ත රචනා කළ "අමරණීය ගුරුවරයා" ග්‍රන්ථය ඇස්. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මෙම මස 11 වැනිදා (බදාදා) පෙ.ව. 9.30ට ගාල්ල කරන්දෙණිය ජාතික පාසලේ කුලරත්න ශාලාවේදී එළි දැක්වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතාට පිළිගැන්වෙන "අමරණීය ගුරුවරයා" ග්‍රන්ථය පිළිබඳ ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය එම්.ඩබ්. විමල් විජේරත්න මහතා විසින් පැවැත්වීමට නියමිතය. මේ සංලාපය ඒ නිමිත්තෙනි.

මේ ග්‍රන්ථය "අමරණීය ගුරුවරයා" ලෙසින් නම් කළේ ඇයි?

ඒකට ගොඩක්ම හේතු තිබුණා. කෙනෙක් අමරණීය වෙනවා කියන්නේ නොමැරී සිටින එකයි. කාටවත් නොමැරී ඉන්න බෑ. හැමෝම ඉපදෙනවා වගේම මැරෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ කියපු සත්‍යය. ඒත් මට මතක් වෙනවා කුමාරතුංග මුණිදාසයන්ගේ කවියක්.

පෙර කළ ඔබ වැනි දරුවෝ
අකුරු උගෙන මරු මැරුවෝ
අලසැව එකුරු කළ දරුවෝ
නම ගම සමඟින් දිරුවෝ

මෙයින් කියැවෙන්නේ මරු මැරීමක් ගැනයි. මරු මරන්නේ කොහොමද? මරුවා මරන්නට නම් අපි නොමැරී ඉන්නට ඕනෑ. අපට නොමැරී සිටින්නට පුළුවන්ද? නොහැකියි. එහෙත් කිතු සිරුරින් නම් නොමැරී සිටිය හැකියි. එසේ නම් කුමාරතුංග මේ කියන්නේ මරු මැරීම හෙවත් අමරණීය වීම ගැනයි. අදත් ගම්වල දහස් ගණන් මිනිසුන් ජීවත් වෙලා මිය යනවා. අවුරුදු දහයක් පහළොවක් ගියාට පස්සේ ඒ අය සිටිය ද මළාද කියලවත් කවුරුවත් දන්නේ නෑ. ඒ ඔවුන්ගේ නමද, ගමද මියගොස් ඇති නිසා. එහෙත් ශිෂ්‍යයන්ට වඩා, හොඳින් ඉගැන්වූ ගුරුවරු එහෙම නිකන් මැරිලා යන්නේ නෑ. ඒ අයගේ නම් ගම් මේ ඉරහඳ පවතිනා තෙක් පවතිනවා. බලන්න එදා පේරාදෙණිය සරසවිය පොබ කළ මහාචාර්ය සරච්චන්ද්‍ර නාමය මැරිලා ගියාද කියලා. නැ. ජීවත්ව සිටින මිනිසුන්ට වඩා සරච්චන්ද්‍ර නාමය අදත් පවතිනවා. ඒ ඔහු අමරණීය නිසා. එකල කැලණිය සරසවියේ නාමය ප්‍රකට කළ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්න වගේ උත්තම ගුරුවරු අමරණීය වෙනවා. ඒ ඔවුන් කළ මෙහෙවර නිසා. එවැනි මෙහෙවරක් කළ මහචාර්ය මිණිවන් පී. තිලකරත්නයන්ගේ ශිෂ්‍ය රත්නයකගේ ආලෝකය අපට ලැබුණා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන සාහිත්‍ය උත්කර්ෂයට පත් කළ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතාය. ඔහු කළ මෙහෙවර අතිවිශිෂ්ටය. ඒ උදාර මෙහෙවර නිසා ඔහු අමරණීය මිනිසෙක් වෙනවා. ඒකයි මම මේ පොතට අමරණීය ගුරුවරයා ලෙස නම් තැබුවේ.

මෙවැනි ග්‍රන්ථයක් ලියන්නට ඔබට සිතුණේ?

ඒකට හේතු කිහිපයක්ම තිබුණා. මම ශාස්ත්‍රවේදී උපාධිය අවසන් කරලා ගුරු වෘත්තියට ආවා. ඔය කාලයේදී කැලණිය විශ්වවිද්‍යාලයේදී මානව ශාස්ත්‍ර පීඨාධිපතිව සිටියේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතායි. එතුමා මට කතා කරලා ශාස්ත්‍රපති උපාධිය කරන්න කියලා දැඩි බලපෑමක් කළා. මට පුදුමත් හිතුණා මේ තරම් දැඩි ළෙන්ගතුකමකින් තව තවත් ඉහළට ඉගෙන ගන්න අපව පොලඹවන විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් අපේ විශ්වවිද්‍යාලයේ සිටින එක ගැන. ඔය කාලයේ කුමාරසිංහ සර් ජපානයට ගියා. ඔහු ලංකාවට ආවම මට කතා කරලා කිව්වා දැන් දර්ශනපති උපාධියත් කරන්න කියලා. ඒ අනුව තමයි මම ඒ උපාධියත් කරන්න ලියාපදිංචි වෙලා සිටියේ.

ජීවිතයේ සොඳුරුම කාලයේදී තාත්තා අහිමි වූ මට ඔහු තාත්තා කෙනෙක් වගේම ළඟින් ඉඳගෙන මාව දිරිමත් කළා. ඒ වගේ සොඳුරු ගුරුවරුන් කිහිප දෙනෙක්ම එකල කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සිටියා. මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන, මහාචාර්ය සුසන්ත මහඋල්පත, මහාචාර්ය හර්ෂන් ඩයස්, මහාචාර්ය දර්ශන රත්නායක, මහාචාර්ය ජිනදාස දනන්සූරිය, මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර, මහාචාර්ය ගුණවර්ධන නානායක්කාර, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, ආචාර්ය කුසුම් හේරත් මට තදින් බලපෑ උත්තම ගුරුවරුයි.

සැබෑ ගුරුවරයා හඳුනා ගන්නේ කොහොමද?

"ගුරු" යනු ගරු කටයුතු යන්නයි. අඳුර පලවා හරින්නා, ආලෝකය ලබා දෙන්නා යන අර්ථය දෙන බැවින් ශිෂ්‍යා තුළ නැණ පහන් දල්වා ඔහු තුළ ඇති අන්ධකාරය දුරු කරන්නා තමයි හොඳ ගුරුවරයා කියන්නේ. මේ කටයුත්ත අප වෙනුවෙන් නොඅඩුව ඉටු කිරීමේ පින මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතාට ලැබෙනවා. ගුරුවරයා කියන්නේ සමාජයේ සෙසු අයට වඩා දැනුමෙන්, ආචරණයෙන්, උපදේශනයෙන්, පැවැත්මෙන්, හැකියාවෙන් ඉහළ මට්ටමක වැජඹෙන කෙනෙක්ට. ගුරුදේව, ආචාර්ය, ගුරුන්නාන්සේ කියලා එකල ගුරුවරයා හැඳින්වූයේ ඒ නිසාමයි. මට මුණගැසුණු මාහාචාර්ය කුලතිලක කුමාරසිංහ ගුරුතුමා ළඟ මේ ගුණ මම නොඅඩුව දැක්කා. ඒකයි මෙවැනි ග්‍රන්ථයක් මම ඔහු වෙනුවෙන් ලියන්නට පෙලඹෙන්නේ.

ඔබ මේ පොතෙන් කියන්නට උත්සාහ කරන්නේ මොනවාද?

පොදුවේ ගුරුවරුන්ගේ වැදගත්කම කතා කරනවා. ඒ වගේම ගුරුවරයා හා ශිෂ්‍යයා අතර තිබිය යුතු සබැඳියාව කතා කරනවා. මේ පොත ගුරුවරුන්ට වගේම ළමයින්ටත් කියවීමට සුදුසුයි කියලා මම හිතනවා. අද දවසේ විශ්වවිද්‍යාලවල ඉන්න ගුරුවරු හා ශිෂ්‍යයන් අතර මෙවැනි සම්බන්ධතා ගොඩනැඟෙන්නේ නැතිනම් එතැනින් ශාස්ත්‍ර හුවමාරුව නැතිවෙනවා. මම මේ පොතෙන් වැඩිපුරම උත්සාහ කළේ කැලණිය විශ්වවිද්‍යාලයටත් සාහිත්‍ය කලා භාෂා ක්ෂේත්‍රවටලත් මහචාර්ය කුලතිලක කුමාරසිංහ මහතාගේ සේවය අළලා කතා කරන්නටයි. එහිදී ඔහු ගැන විතරක් නොවේ, කැලණිය විශ්වවිද්‍යාලයේ මට උගන්වපු හැම ගුරුවරයෙක්ම ගැනම මම කතා කළා. වැඩිපුරම කළේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ සාහිත්‍ය න්‍යාය පිළිබඳ මා දන්නා තරමින් කරනු ලබන ඉදිරිපත් කිරීමයි. ජීවිතයේ වැඩිම කාලයක් සාහිත්‍ය විචාරයට හා රසාස්වාදය විෂයයෙහි යොමු කළ හා දැනටමත් යොමු කරමින් සිටින මාහාචාර්ය කුලතිලක කුමාරසිංහ ගුරුතුමා රටට කළ සේවය මෙයින් මා පුළුල්ව කතා කරලා තියෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදියට කුමාරසිංහ මහතා ගැන මොකද හිතෙන්නේ?

ඒක ගෞරවනීය සේවාවක්. මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා මම දකින්නේ තමන්ගේම සේවාව මැනවින් ඉටු කළ ආචාර්යවරයෙක් හැටියටයි. ඔහුගේ නිකැලැල් සේවය ගැන සිතන කල මගේ මතකයට නැඟෙන්නේ ඇමෙරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විශේෂඥයකු කළ ආචාර්ය මණ්ඩල වර්ගීකරණයක්.

1. පර්යේෂණයෙහි පමණක් නිරතවන ආචාර්යවරු
2. ඉගැන්වීමෙහි පමණක් නිරතවන ආචාර්යවරු
3. පර්යේෂණ හා ඉගැන්වීම යන දෙකම කරන ආචාර්යවරු
4. පර්යේෂණ හා ඉගැන්වීම යන දෙකම නොකරන ආචාර්යවරු යනුවෙනි.

කැලණිය විශ්වවිද්‍යාලීය සිංහල අධ්‍යයන අංශයට මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතාගේ සේවය අලළා සාකච්ඡා කරන විට ඔහු අයත් වන්නේ පර්යේෂණ කාර්ය හා ඉගැන්වීම මැනවින් කළ ආචාර්යවරයකු ලෙසය. කලක් විශ්වවිද්‍යාලයේ පරිපාලන සේවයට නිබඳව බැඳී සිටියදී ද ඔහු ඉගැන්වීම මැනවින් කළ බව අප දන්නවා. පර්යේෂණ කාර්යයෙහි යෙදී ගැඹුරු පොත පත එළිදැක්වූ බව අප දන්නවා.

ඔබ දැනට හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසලේ සිංහල විෂය උගන්වන ගුරුවරයෙක්. අද පාසල්වල සාහිත්‍ය ගැන මොකද හිතන්නේ?

අද නම් පාසල්වල සාහිත්‍ය හොඳටම පිරිහිලා. නිර්දේශිත පොත්පත් කියවපු ළමයෙක් හොයා ගන්න නැහැ. අලුතින් විෂය නිර්දේශය ආවත් තවමත් උනන්දුවෙන්නේ පරණ දේවල්මයි. ගොඩක්ම ළමයි නිර්දේශිත පොත පත කියවන්නට තරම්වත් උගන්වන්නේ් නැහැ. මේකට වගකියන්න ඕනෑ මේ විෂය නිර්දේශිත සකසන අයයි. ඒ නීරස සාහිත්‍ය කෘති අධ්‍යයනයකින් තොරව පාසල් දරුවන්ට උගන්වන අයයි. අලුත් විෂය නිර්දේශය ඔය තරමේ හරි වෙනස් කරන්න මා දායක වුණා. මම පත්තරවලට ලිපි ගොඩක් ලිව්වා. ඒත් අදත් පාසල්වල ඉන්නවා ඔය නිර්දේශිත පොත් කියවලා නැති ගුරුවරුන්. ඒ අය අතරින් කොහොම ද හොඳ වින්දනාත්මක පරපුරක් බිහි වෙන්නේ.

සංලාපය - රසිඳු සහස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon