රුවන්ගිරි කන්දේදී ගුරු උපදේශ ලබමින් සතුටින්ම කල් ගෙවූ කාලය පිළිබඳ හද බැඳි සටහන්

  👤  3302 readers have read this article !
2018-07-08

ඒ 1964 ජූලි මස 24 වැනි දිනයි. කළපළුවාව ගෝතම තපෝනවයේ වැඩ සිටි පූජ්‍යපාද නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පූජනීය බුරුමයේ ඥානින්ද ස්වාමීන් වහන්සේ සමඟ ගෝතම තපෝවනයෙන් පිටත්ව කහගොල්ල ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයට වැඩම කළේ එදිනය. සවැනි වස් කාලය එම විවේකාශ්‍රමයේ ගත කළ උන්වහන්සේ 1965 ජූලි මස 12 වැනි දින කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයට වැඩම කළේ පූජ්‍යපාද ගැටමාන්නේ මාහිමිපාණන් වහන්සේට සහාය වෙමින් එහි වැඩ සිටි නවක ස්වාමීන්වහන්සේලාට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහාය. ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේ නමක ලෙස කටයුතු කිරීමට උන්වහන්සේ ලද ප්‍රථම අවස්ථාව එය විය.

අපි මඳකට වසර කිහිපයක් ආපසු හැරී බලමු. ඒ 1962 වසරයි. එම වසරේ මාර්තු 27 වැනි දින ගල්දූවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනයයි.

මේ නිමිතිකොට ගල්දූව නිමලව සහ මහියංගණය යන ආරණ්‍ය සේනාසනවලදී පින්කම් තුනක් සංවිධානය වී තිබිණි. ගල්දූව ආරණ්‍ය සේනාසනයේදී අප ස්වාමීන් වහන්සේ උතුම් වූ පැවිදි දිවියට පත්වූයේද මාර්තු 27 දිනකය.

මෙදින සිහිපත් කර යම් පින්කමක නිරත වීම උන්වහන්සේගේ සිරිතය. ගල්දූවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ ජන්ම දින සැමරුම යෙදී තිබුණු එදින අප හිමිපාණන්වහන්සේට පූජා කර තිබූ ඉතා වටිනා දැළි පිහියක් කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේට පූජා කළ උන්වහන්සේ මහෝපාධ්‍යායන් වහන්සේට අලුත් පත්කඩයක් පූජා කළෝය.

"අද මම පැවිදි වුණු දිනය" යනුවෙන් එම හිමිවරුන් දෙපළට මතක් කළේ තමන් වහන්සේ කළ පූජාවේ නිමිත්ත දැනුම් දෙමිනි. "එහෙමනම් අද ඉඳලා මේ පින්කම ඔය නමගේ" කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ එසේ වදාළහ. එතැන් සිට සෑම වසරකම මාර්තු 27 දිනය පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවිදි බව ලැබූ දිනය ස්මරණය කරන මහා පින්කම පැවැත්වෙන දිනය විය.

උන්වහන්සේ ප්‍රථම ප්‍රසිද්ධ ධර්ම දේශනාව පැවැත්වූ වසර 1963 වසරයි.

තෙසැත්තෑඥාන පූජාවේ ආනන්තරික සමාධි ඥානය තෙක් අනුපිළිවෙළින් ඥාන දේශනාව පැවැත්වූ පූජනීය මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ වන මහර ඥානාරාම ස්වාමීන් වහන්සේ එතැන් සිට තෙසැත්තෑ ඥාන අවසන් වන තෙක් වූ ධර්ම දේශනාව පවත්වන්නට අප ස්වාමීන් වහන්සේට භාර කළහ. එතැන් සිට අපවත් වී වදාරණ තෙක් දස දහස් ගණනින් ධර්ම දේශනා පැවැත්වූ උන්වහන්සේ දිනක් දළුග්ගල දී "රථ විනීත සූත්‍රය" මාතෘකා කොට පුරා පැය හතරකට අධික කාලයක් පැවැත්වූ ධර්ම දේශනාව උන්වහන්සේගේ හදවතේ සදාකල් තැම්පත්ව තිබිණි.

ධර්මාචාර්යවරයකු ලෙස සසුන් කෙත පෝෂණයට කැපවූ අප මාහිමිපාණෝ කොග්ගල ත්‍රිපිටක ධර්මායතනය, දියතලාවේ ඥානාරාම විවේකාශ්‍රමය, ගල්දූව ආරණ්‍ය සේනාසනය, ගන්තිරියාව ආරණ්‍ය සේනාසනය යන ස්ථානවලට වැඩම කරමින් පාලිභාෂාව සූත්‍ර, විනය, අභිධර්මය අවස්ථානුකූලව ඉගැන්වූ සේක. ගල්දූවේ ඉගැන්වීමේ කටයුතුවලදී පූජනීය මහකුඹුක්වැව උත්තරවංස ස්වාමීන් වහන්සේගෙන් ලැබුණේ නොමඳ සහායකි.

1969 වසරේදී වස්සානයේ දසවස සම්පූර්ණ කළ අප මාහිමිපාණන් වහන්සේ පූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමිපාණන් වහන්සේගෙන් වැඳ අවසර ගෙන රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනයට වැඩම කළේ ධුතාංග සමාදන්ව භාවනා කිරීමේ අරමුණෙනි.
පූජනීය මාතලේ සීලරක්ඛිත රුවන්ගිරිකන්දේ ලොකු ස්වාමීන් වහන්සේගේ ගුරූපදේශ ලබමින් රුවන්ගිරි කඳුමුදුනේ පිහිටි "කස්සපලෙනට" වැඩම කළ උන්වහන්සේ කන්දෙන් පහළට වැඩම කරන්නේ උදේ 9.00ටය. ඉන්පසු පිණ්ඩපාතයේ යෙදෙන අප ස්වාමීන් වහන්සේ පැන්පහසු වී දන් වළඳති.
ඉන්පසු ලොකු ස්වාමීන් වහන්සේගේ කුටියේදී බුද්ධ වන්දනාවේ නිරත වන උන්වහන්සේ පැන් භාජනය පාත්‍රය සහ ගොටුඅත්ත රැගෙන කඳුමුදුනේ "කස්සප ලෙනට" වැඩම කරති.
රුවන්ගිරිකන්දේ ලොකු ස්වාමීන් වෙතින් ලැබෙන ගුරූපදේශ සමඟ ගත කළ එම කාලය අප ස්වාමීන් වහන්සේ ඉතා සතුටින් වැඩ සිටි සැනසිලිදායක කාලයක් විය.
කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ විසිවන සංවත්සරය යෙදුණේ 1972 වසරටය. 1971ට යෙදුණු එම අවස්ථාව එම වසරේ සැමරීමට නොහැකි වූයේ ජවිපෙ කැරැල්ලත් සමඟ පැනනැඟුණු කලබලකාරී අයහපත් වාතාවරණය නිසාය.

මෙයට අදාළ මහා පින්කම පැවැත්වුණේ අනුරාධපුර ශුද්ධ පූජා භූමියේදීය. එම වසරේ ජුනි මස 16,17,18, යන තෙදින පැවැති මේ මහ පින්කමේ ජුනි 17 දින අනුරාධපුර ස්වර්ණමාලි මහ සෑරදුන් අබියස පැවැති නොසැත්තෑ ඥාන පූජාව සහ රාත්‍රි ධර්ම දේශනාව පැවැත්වූයේ අප මාහිමිපාණන් වහන්සේය.

මේ පින්කමින් පසු ගෙවුණු කාලය ගල්දූවේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිමින් භාවනා පන්ති පැවැත්වූ උන්වහන්සේ "සම සතළිස් කර්මස්ථානට තම ශිෂ්‍ය පිරිසට ප්‍රගුණ කරවමින් ද කසිණ භාවනා පවා ප්‍රගුණ කරවමින්ද කුසල් සිතින්ම කාලය ගත කළ සේක.
1977 මැයි මස එක්තරා දිනෙක අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නායක ස්වාමීන් වහන්සේ ගල්දූව ආරණ්‍ය සේනාසනයට වැඩම කළේ තවත් නියෝජිතයන් සිවුදෙනකුද සමඟය.
පූජනීය කඩවැද්දුවේ ජිනවංස අප පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ සම්මුඛ වූ මහ නායක ස්වාමීන් වහන්සේ "මීරිගම ගුරු විදුහල බෞද්ධ ගුරු විදුහලක් බවට පත් කරගත්තා. එහි භාවනා වැඩසටහනකට අරියධම්ම නම අවශ්‍යයි"

මේ ඉල්ලීම හමුවේ මොහොතක් මුනිවත රැකි අප පණ්ඩිත හිමිපාණෝ "තුන් මාසෙකට අරියධම්ම නමව දෙන්නම්. ඒ කාලය ඇතුළත කෙනෙක් පුහුණු කරගන්න වෙනවා අපේ මහ නායක ස්වාමීන් වහන්සේට"

පූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට එම ගමනට අවසර ලැබුණේ එසේය.

ඒ අනුව අප ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ තුන් නමක් එම වැඩසටහනට සම්බන්ධ විය.

පළමු තුන් මස ඉතා හොඳින් වැඩසටහන ක්‍රියාත්මක විය. ගුරුවරුන්ට භාවනාව ලබාදෙන්නේ සති දෙකෙන් දෙකටය. එහි සාර්ථක බව දුටු මඩිහේ මහ නායක ස්වාමීන් වහන්සේ තවත් තෙමසකට එම සේවය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. එයටද පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ අවසරය ලැබිණි. පුරා සතිදෙකක් ගුරු විදුහලේ වැඩ සිටින අප ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ ආපසු ගල්දූවට වැඩම කරති.

මේ අතර එළැඹුණු වස්සාන සමයේ භාවනා යෝගීව ගත කිරීමට ඇල්බට් එදිරිසිංහ මහාචාර්ය යූ.ඩී. ජයසේකර මුදලිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත පිරිසක් පැමිණි අතර එම පිරිසටද භාවනා හුරු පුරුදු කිරීමට සිදුවූයේ අප ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේටය.

මේ අතර ගත වූ කාලය පුරා වරින් වර මීරිගම ගුරු විදුහලට වැඩම කරමින් භාවනා පන්ති පවත්වමින් කටයුතු කරන අතර යෝගාශ්‍රම ඉතිහාසය පොත ලිවීමේ වගකීමද අප ස්වාමීන් වහන්සේට පැවැරිණි.

පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගිලන් වීම නිසා බොහෝ වගකීම් අප ස්වාමීන් වහන්සේට පැවරුණද බුද්ධත්වය ප්‍රාර්ථනා කළ උන්වහන්සේ ධර්මය දානය කිරීම අඛණ්ඩව කරගෙන ගියහ.

ඒ දිනය 1978 මැයි මස 11 වැනිදාය. එදින හිමිදිරි පානදුර පූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ අපූරු සිහිනයක් දුටුවෝය. දැවැන්ත සිරුරකින් සමන්විත දෙවිකෙනකු දේව ස්වරූපයෙන්ම තමන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් "ස්වාමීනි, මම ආවේ මීරිගම ඉඳලා. අද විදුහල්පතිවරු දෙදෙනා එනවා භාවනා වැඩ සටහනට ආරාධනා කරන්න. ආරාධනාව භාර ගන්න. භාර නොගත්තොත් වෙනකෙනකුට කරන්න දෙන්නෙ නෑ." එසේ පැවැසූ දේව රුව අතුරුදන් විය.

පුදුමයකි! එදින උදේ 9.30 වෙද්දි දේව රුව පැවැසූ විදුහල්පතිවරු දෙදෙනා ගල්දූවට පැමිණියහ. පැමිණ අප ස්වාමීන් වහන්සේට භාවනා වැඩසටහනට ආරාධනා කළහ.

ඊළඟ කොටස ලබන සතියේ

සටහන - සුනිල් පොරමඬල
ඡායාරූප - කටුගම්පළ කිත්සිරි කරුණාරත්න වැවගම

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon