‘පොන්නා පුඩි’ ‘කෙල්ලව අල්ලාගනිං’ මා දුටු ඉන්දියන් සෙබළු කෑ ගසා කීවා

  👤  3945 readers have read this article !
2018-07-08

ශාන්තන් ගේ ඝාතනයෙන් පසුව සතියක් ගත වී තිබිණි. මා සිටියේ අපගේ කුස්සියෙන් පිටත තිබූ ලී කොටයක් මත වාඩිවීගෙනය. ගෙවී ගිය පැයේ මුර සේවයේ යෙදී සිටි බැවින් මම තනිව දිවා ආහාරය ගනිමින් සිටියෙමි. හදිසියේ ඇසුණේ වෙඩි හඬකි. ප්ලාස්ටික් පිඟාන පසෙක තැබූ මම රයිෆලය අතට ගතිමි. මා රැස්වීම් පවත්වන ස්ථානයට යනවිට අනෙක් හැම කෙනෙක්ම එහි රැස්ව සිටියහ.

ගැහැනු ළමයින් ආනන්දන් සමඟ නාන්නට ගඟට ගිය විට කෙසේ හෝ හමුදාවට ඇස ගැසී ඇත. ඔවුන් පසුපස පැමිණි හමුදා භටයන් කඳවුර තිබෙන ස්ථානය සොයා ගෙන ඇත.
කඳවුරට ඇතුළු වන ස්ථානය දෙසින් වෙඩි හඬ කිහිපයක් මතුවිණ. දිය නා පැමිණි ගැහැනු ළමුන්ගේ උකුණන් පිරුණු දිගුහිසකේ අගින් ඒ වනවිටත් දිය බේරෙමින් පැවතිණි.

ඒ මොහොත වනවිට ඉන්දීය හමුදා භටයෝ වන්නි වනාන්තරය පුරා විසිර සිටියහ. ඒ නවීන පන්නයේ අවි ආයුධද අතැතිවය. එපමණක් නොව යුද හෙලිකොප්ටරවල සහායද ඔවුන්ට නොඅඩුව ලැබිණි. කොටි හමුදා සොල්දාදුවන් සියල්ලන්ම වනය පුරා ඒකක වශයෙන් සැඟවී සිටින බව ඔවුහු දැන සිටියහ. ඔවුන් සිටියේ ඕනෑම මොහොතක අමතර හමුදා බළඇණි ගෙන්වීමට දැඩි සූදානමකින්ද යුතුවය.

එවැනි හමුදාවකට එරෙහිව යුද වදින්නට තරම් අපගේ සාමාජික සංඛ්‍යාව කොහෙත්ම ප්‍රමාණවත් නොවීය. එපමණකුදු නොවේ. අප අත වූයේ ඒම්, ර් 16 සහ ට්3 වැනි තුවක්කු පමණකි.

ගැහැනු ළමුන් අනෙක් පසින් කඳවුර අතහැර වනයට පසුබා යා යුතු ආකාරය ආනන්දන් වහා පහදා දුන්නේය. අනෙක් තරුණයා ද ඔවුන් සමඟ පිටත් කොට හැරුණි. අනතුරුව ආනන්දන්, අකිලා හා ජෙනී මා සමඟ ස්ථානගත වූවෝය. අප සෑම කෙනෙක්ම සිටියේ ගසකට මුවාවී කඳවුරට ඇතුළු වන ස්ථානය දෙසට මුහුණලාගෙනය. ප්‍රේම සම්බන්ධතාවට නියමිත දඬුවමට අනුව ඔහු නෝරා ඉදිරියෙන් තැබුවේය.

මිනිත්තු පහක් ගතවිය. සුවිශේෂී යමක් සිදු නොවිණි.

'ඉන්න තැනින් එළියට එන්ඩ' ආනන්දන් පහත් හ¾ඩින් කීවේය.

අපි නැඟී සිටියෙමු. අනතුරුව කඳවුරේ පිටුපස දෙසට ඇවිද ගියේ වටාපිටාව පිළිබඳ සුපරික්ෂාකාරී වෙමිනි. ඒ සෑම මොහොතකම අපගේ දෙපතුලට පෑගුණු වියළි කොළ හා අතු රිකිලි හඬක් මතු කළේ නිහඬතාව බිඳ දමමිනි. ආරක්ෂා සහිත යැයි සිතෙන දුරකට ගිය අපි ආපසු හැරුණෙමු. එතැන් සිට ගන වනය තුළ වේගයෙන් ඇවිදිමින් කඳවුරෙන් එපිටට ඇදුණෙමු.

'මං දැක්කා, හමුදාකාරයෙක් හිටියා. අපේ කඳවුරට ඇතුල්වෙන තැනම. ඒත් මට තේරුණා මේක සැලසුම් කරපු සටනක් නොවන බව. ඒ නිසා මමත් වෙඩි තිබ්බේ නෑ.'
ආනන්දන් පැවසුවේ වන වදුලු දෑතින් පීරමින් ඇවිද යන්නට මඟ පාදා ගනිමිනි.

'මං හිතන්නෙ හමුදාවෙ කීප දෙනෙක් නිකමට ඇවිදින්ඩ යනකොට නැත්නම් මුර සංචාරෙ යද්දි අපිව දැක්කා. එයාලා හිතන්ඩ ඇත්තේ ගෑනු ළමයි අල්ලගන්න එක ලේසියි කියලා'

මම ආනන්දන් හා එකඟ වූයෙමි. සොල්දාදුවන් කොටි සාමාජිකාවන්ට වෙඩි තබනවාට වඩා උනන්දු වූයේ ඔවුන් අල්ලා ගැනීමටය. ඒ බව මම අත්දැකීමෙන්ම දැන සිටියෙමි.
දිනක් මා යාපනයෙන් පිටත ගම්මානයක මුර සේවයෙහි යෙදී සිටියදී ඉන්දීය හමුදා සොල්දාදුවන් කිහිප දෙනෙක් මා දුටුවෝය. ඔවුන් මා අල්ලා ගැනීමට ආවේ 'පොන්නා පුඩි' (ර්ථීධදදච ර්ථීභඤඪ) යනුවෙන් කෑ ගසමිනි. ඉන්දීය ද්‍රවිඩ භාෂාවට අනුව එහි අර්ථය 'කෙල්ලව අල්ලාගනිං' යන්නය.

ඝන වනතුරු වියන හරහා ද සූර්ය රශ්මිය ගලා ආවේය. තෙත් පසින් හා වන ගහනය තුළින් හමා ආවේ අමිහිරි පුස් ගඳකි. අපේ ගමන නිමා වූයේ පිරිමි කොටි කඳවුරකිනි. අපට පෙර පැමිණි ගැහැනු ළමුන් කණ්ඩායමද එහිදී අපට මුණ ගැසුණි.

ඇඳිරිය වැටුණු පසු ගැහැනු, පිරිමි අපි සියලුම දෙනා එතැනින් පලා ආවෙමු. විවේකයක් සඳහා අප නතර වූයේ මැදියම් රැය ද පසුවීය.

'පැය දෙකක් නිදාගෙන ආපහු යමු'

පිරිමි කටහඬකින් අණ දෙනු ඇසුණි. දෝංකාර දෙන ඒ ගැඹුරු කටහඬ මට හඳුනාගත හැකි විය. ඒ සෙංගමාලම්ගේය. ගෙවී ගිය කාලය පුරා ඔහු වාසය කොට ඇත්තේ අපට බොහෝ දුර නොවූ කඳවුරකය. ඔහු එහි සිටීම මට කිසියම් සහනයක් ගෙන දුන්නේය. රාජන් හා සුදර්ශන් පිළිබඳව ඒ වනවිට මම කිසිත් දැන නොසිටියෙමි.
අතු පතරින් ගලා ආ සඳ එළියට බිමට පතිත වූයේ ඉතා පැහැදිලි සෙවණැලි නිර්මාණය කරමිනි. තම තමන්ගේ හණ ගෝනි බිම අතුරාගත් සැම අයෙක්ම නින්දට උත්සාහ කළහ. වෙහෙස, කුසගින්න සහ කලකිරීම මට හොඳට දැනෙන්නට පටන් ගත්තේ එවිටය. දවාලේ අතට ගත් බත් පත කා හමාර කරන්නටද මට ඉඩක් ලැබුණේ නැත.

මා වැතිර සිටියේ අකිලාට කිට්ටුවෙනි. කුමක් හෝ පොඩි පට්ටම් වී යන හඬක් ඇසුණෙන් මම ගැස්සී අවදි වූයෙමි. හැම කෙනෙක්ම මා වටකොට එක පොකුරට රැස්වූහ. තැළෙන පොඩිවෙන හඬ ක්‍රමයෙන් අපට ළංවෙමින් ඇසෙන්නට විය. ඒ අතර අපේ හිස්වලට ඉහළින් වඳුරන් රංචුවක් කලබල කරන්නට විය.

'ඒ මද කිපුණු අලියෙක්' කවුදෝ කීවේය.

'හැම කෙනෙක්ම ඉක්මනින් මේ පැත්තට එන්ඩ.'

අතු කඩා බිඳ දමමින් අලිය කුංචනාද කළේ අප තව තවත් බියට පත්කරමිනි. අලියා පැමිණියේ අපට තරමක් දුරින් විය යුතුය. වඳුරු රංචුව උස් තුරු මතින් පනිමින් අප අනුගමනය කළේ අපගේ වාසනාවටය. වඳුරු කලබලය නිසා අලියාට අප පිළිබඳ ඉවක් නොදැනෙන්නට ඇත. ඒ රාත්‍රියේ ඉතිරිය අප ගෙවා දැම්මේ දුව යමින් සහ සැඟවෙමිනි.
හිරු නැඟෙන්නට ආසන්නව තිබියදී අප දුටුවේ ගම්මානයක සලකුණුය. ඒ අෑත තැනිතලා බිමක වූ කුඩා මැටි නිවෙසකි.

සෙංගමාලම් සහ ආනන්දන් හැරුණු විට අනෙකුත් සියලුම පිරිමි සොල්දාදුවෝ ගම්මානය දෙසට ඇවිද ගියහ. ඉක්මන් කරන්නැයි අණ ලැබුණද අපි ඒ වනවිට බොහෝ දුරක් ඇවිද විත් සිටියෙමු. පුරා පැය විසි හතරක් තිස්සේ අප දුක් වින්දේ ආහාර හෝ දිය පොදක් හෝ නොමැතිවය.

වනාන්තරයෙන් පිටව එන්නට හැකි වීම මට මහත් සතුටක් විය. එහෙත් තවත් දිනකින් හෝ ඔවුන් නැවතත් අපිව වනයට කැඳවාගෙන යනු ඇත.
ආපසු වන වදිනවාද නැතහොත් සංවිධානයෙන් ඉල්ලා අස්වෙනවාද?

මා තීරණයක් ගත යුතු හොඳම අවස්ථාව එළැඹී තිබුණි.

අප විශාල වැවක් අසලට පැමිණෙන විට දිවා භාගය ඉක්මව ගොසිනි. වැව වටා වූ සුදු වැලි තලයේ පළින්පළ ඉඳිකටු වැනි පත්‍ර සහිත ජුනිපර් පඳුරු වැවී තිබිණි. තරමක් දුරින් කොළ පැහැයෙන් බැබැළෙන තල් ගස් යායක්ද, දිඹුල් ගස් ගොන්නක්ද පෙනෙන්නට විය. පසුබිමින් දක්නට ලැබුණේ ගාම්භීර වූ වනාන්තරයයි.

සන්ධ්‍යාව එළැඹෙමින් තිබුණද ඉර එළිය අප දවමින් සිටියේය. වැවට බැස දියෙහි ගිලී මඳ විවේකයක් ලබන්නට අපට අවසර ලබා දුන්නේ සෙංගමාලම්ය. සියලු අවි සෙංගමාලම් භාරයේ තැබූ අප වහා දියේ ගිලුණේ ඇඳ සිටි ඇඳුමෙන්මය. අඩපණව තිබූ අපේ සිරුරුවලට ඇල් දියෙන් ලැබුණේ ඉමහත් ප්‍රබෝධයකි.

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon