මහාචාර්ය සරච්චන්ද්‍රගේ දේශපාලන ආගමනය

  👤  3432 readers have read this article !
2018-07-08

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන නම ඇසූ පමණින්ම බොහෝ දෙනකුගේ මතකයට නැඟෙනු ඇත්තේ 'මනමේ' හෝ 'සිංහබාහු' නාට්‍යයි. එසේත් නැත්නම් 'මළගිය ඇත්තෝ', 'මළවුන්ගේ අවුරුදු දා" වැනි නවකතාය. කෘතහස්ත විශ්වවිද්‍යාල ඇදුරකු වුවද සරච්චන්ද්‍රයෝ මෙරට දේශපාලන කරළියේද චරිතයක් රඟපෑ බව බොහෝ දෙනා නොදනිති.
එය ඔහුගේම වචනවලින් කිවහොත් සරච්චන්ද්‍රයන් ලියූ 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියේ මෙසේ සඳහන් කරයි.

'1970 පවත්වන ලද මහ මැතිවරණයේදී මම සමඟි පෙරමුණට පක්ෂව පළමුවරට දේශපාලන වේදිකාවට නැංගෙමි. මේ පියවර ගැනීමට මා බොහෝ සෙයින් පෙලඹුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිසා විශ්වවිද්‍යාල නිදහසට බලවත් තර්ජනයක් පැමිණ තුබූ නිසාය. විශ්වවිද්‍යාල තුනේම ආචාර්යවරුන් විසින් පිහිටුවන ලද පෙරමුණක්, දේශපාලන භූමියට බැසීමට තීරණය කොට අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහතාගේ ආසනය වූ කුලියාපිටියට ගියේය. එදා සිට සති දෙකක් තුනක් මම රටේ නොයෙක් පළාත්වල දේශපාලන වේදිකාවල සමඟි පෙරමුණ විසින් පවත්වන්නට යෙදුණු රැස්වීම්වලට සහභාගි වීමි.'

1965 පැවැති එජාප ආණ්ඩුව සමයේදී අධ්‍යාපන ඇමැතිවරයා වූ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාත් විශ්වවිද්‍යාල සිසුන් අතරත් ගැටුමක් හටගෙන තිබිණි. එසේ ගැටුම් ඇතිවීමට මූලික වූයේ 1966දී විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර) උපාධි ප්‍රදානයට ආ ඇමැති ඊරියගොල්ලට ශිෂ්‍යයන් විසින් 'හූ' කීමේ සිද්ධියයි.

මේ හේතුව මත අධ්‍යාපන ඇමැතිවරයා කළේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පාලනය කිරීම සඳහා උසස් අධ්‍යාපන පනත නමින් නව පනතක් සම්මත කර ගැනීමයි. දේශපාලනඥයන් විසින් විශ්වවිද්‍යාල පාලනය කිරීමේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් පේරාදෙණිය, කොළඹ, විදේ‍යාදය හා විද්‍යාලංකාර (කැලණිය) යන විශ්වවිද්‍යාල හතරේම ආචාර්යවරුන් එකතු වී 'විශ්වවිද්‍යාල ආචාර්ය පෙරමුණ' නමින් නව සංවිධානයක් ගොඩනඟා ගත්හ.

1970 මාර්තු 25 වැනිදා ඩඩ්ලි සේනානායක ආණ්ඩුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එම මාර්තු 25 වැනිදාත් මහ මැතිවරණය පැවැති මැයි 27 වැනිදාත් අතර කාලය තුළ රට පුරා පැවැති දේශපාලන වේදිකාවලට විශ්වවිද්‍යාල ආචාර්ය පෙරමුණද ගොඩවැදෙමින් 1970 සමඟි පෙරමුණ ආණ්ඩුව බිහි කිරීමට විසල් මෙහෙවරක් ඉටු කළේය.
අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිවරයා වූ ඊරියගොල්ල මහතා නියෝජනය කළේ කුලියාපිටිය ආසනයයි. විශ්වවිද්‍යාල ආචාර්ය පෙරමුණ රැස්වීමක් තබන්නට කුලියාපිටියටත් එන බවට ආරංචි පැතිර ගියේය. ඒ ආරංචියත් සමඟම ආසනය පුරා විශ්වවිද්‍යාල ගුරුවරුන්ට විරෝධය පළ කරමින් පක්ෂ විපක්ෂ ජනතාව අතර 'කැලෑ පත්තර' බෙදා හැරිණි.
පැවැති එජාප රැස්වීමකදී ඊරියගොල්ල මහතා කියා සිටියේ කුලියාපිටියට ආවොත් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ හොම්බ බිම උලන කතාවකි. එක් පුවත්පත් වාර්තාවක පළවී තිබුණේ සරච්චන්ද්‍ර නොව සක්කරයා කුලියාපිටියට ආවත් තමන්ගේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව ඊරියගොල්ල මහතා ප්‍රකාශ කළ බවකි.

කුමන අභියෝග පැමිණියද මැයි 13 වැනිදා කුලියාපිටියේ පැවැති ජනරැලියට මහාචාර්ය සරච්චන්ද්‍රයෝ සහභාගි වූහ. විශාල ජනකායක් රැස්වීමට පැමිණ සිටි අතර රැස්වීම අවසන් වූයේ සිතූ පරිදිම කිසිදු කලබලයකින් තොරවය.

පැවැති මහ මැතිවරණයෙන් හිටපු ඇමැති ඊරියගොල්ල පරාජය වී ශ්‍රී ලනිප අපේක්ෂක ජී. ඩබ්ලිව්. සමරසිංහ මහතා කුලියාපිටියෙන් ජයගෙන තිබිණි. සමඟි පෙරමුණ ජයග්‍රහණයෙන් පසු ප්‍රධාන දේශපාලන භූමිකාවෙන් මඳක් අෑත්ව සිටි සරච්චද්‍රයන් 1974දී ප්‍රංශය බලා ගියේ මෙරට තානාපතිවරයා ලෙස සේවය කිරීමටය.

1977දී හවායි දූපත්හි පිහිටා තිබූ ඊස්ට් - වෙස්ට් සෙන්ටර් නම් සන්නිවේදන ආයතනයට සම්බන්ධ වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් පසු කලෙක ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟනවා යැයි කියමින් 1977දී බලයට පත් ජයවර්ධන ආණ්ඩුවේ ක්‍රියා කලාපය විග්‍රහ කරමින් 'ධර්මිෂ්ඨ සමාජය' මැයෙන් කෘතියක් ලියා පළ කළේය.
බලය ලබා ගැනීම සඳහා 1977 දී ජේ.ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ ප්‍රධාන පොරොන්දු දෙකක් වූයේ ධාන්‍ය රාත්තල් 8 බැගින් ජනතාවට ලබා දීමත් ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැඟීමත්ය.


ඒ පොරොන්දු දෙකම බලය ලැබීමෙන් පසු අමතක කළ ආණ්ඩුව විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සාරධර්ම පසෙකලා මුදල් පෙරටු කරගත් තරගකාරී වාණිජ සමාජයකට ශ්‍රී ලංකාව තල්ලු කර දැමුවේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් 'ධර්මිෂ්ඨ සමාජය' කෘතිය එළි දැක්වූයේ මේ දරුණු සමාජ කඩාවැටීමත්, විවෘත ආර්ථිකයේ දුර්විපාක හා මෙරට මුල් බැසගෙන තිබූ බෞද්ධ සංස්කෘතික සමාජය දෙදරා යමින් පවතින බවත් පෙන්වා දෙමිනි. මේ කෘතිය රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය.

බන්ධුල ගුණරත්න

(මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුතු සිංහල බල මණ්ඩලයේ රැස්වීමේදී සරච්චන්ද්‍රයන් දේශපාලන මැර ප්‍රහාරයට ලක්වූ අයුරු ලබන සතියේ.)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon