නව කවි පරපුරට කෙනහිලිකම් කරද්දී මුනිවත රකින්න බැහැ - කිවියර නන්දන වීරසිංහ

  👤  4018 readers have read this article !
2018-07-01

සංලාපය - අජිත් නිශාන්ත
චිත්‍රය - ශාන්ත කේ. හේරත්

ඔබේ නවතම කාව්‍ය සංග්‍රහයට ඇතුළත්ව ඇති නිර්මාණ ගැන ඔබේ හැඳින්වීම කුමක්ද?

පසුගිය අවුරුදු එකහමාරක පමණ කාලයක් තුළ මේ වෙනුවෙන්ම රචනා කළ නිර්මාණ මේ පොතට ඇතුළත් වෙලා තියෙනවා. මෙයට පෙර පළවූ මගේ 'සහස් රැස් යට' කෘතියේ ඇතුළත් වූ ඇතැම් කවිවල වැඩීයෑම් මේ නිර්මාණවල දැකගන්න පුළුවන් කියලා මම හිතනවා. විවිධ අත්දැකීම් ඇසුරෙන් පැනනැගුණු සංවේදනා මේ නිර්මාණ සඳහා හසුකරගෙන තියෙනවා. මේ සියල්ල රචනා වී ඇත්තේ මේ වන විට කවිය සම්බන්ධයෙන් මා දරන ආස්ථානය ඔස්සේයි. අද මට දැනෙන හැටියට කවිය මහා සියුම් සාහිත්‍යාංගයක්.

අපි දරන ප්‍රයත්න කොතෙක් වුණත් ඒ සියල්ල අවසානයේ කවිය කියන මහා කාය අපිට හසු කරගත නොහැකි අෑතක උසින් පෙනෙන්න ගන්නවා. ඒ නිසා කවියාට අවසානයේ උරුම වෙන්නේ පරාජය වගේ හැඟීමක් විය හැකිය. කවිය වගේ මහා සාහිත්‍යාංගයකදී කිසිසේත්ම පරිපූර්ණත්වයක් කරා යන්න බැහැ. කවියේ ගුණ පමණ, නැත්නම් ඒ පිරිවිතර අපිට මතු කරගන්න හරි අමාරුයි. අපි දරන ප්‍රයත්නයන් ඇසුරෙහි සාර්ථක කරගත හැකි වෙන්නේ සියයට පනහක්, හැත්තෑ පහක් තරම් ප්‍රමාණයක් පමණයි. ඒ වගේම, කවියත් එක්ක කරන යම්කිසි ආශ්‍රයක් තියෙනවා නම් ඒක දිගින් දිගටම යනවා. කාව්‍ය නිර්මාණකරණය දිගින් දිගටම පවත්වාගත යුත්තක් හැටියටයි මම දකින්නෙ. එය කෙටි කලකට විවේක අරගෙන කරන දෙයක් නෙවෙයි. දශක ගණනකට කලින් අපිත් එක්කම කවියට පිවිසුණු බොහෝ දෙනෙක් එහෙම විවේක අරගෙන මේ වන විට හිටපු කවීන් බවට පත්වෙලා ඉන්නවා.

මේ බොහෝ නිර්මාණ ආධ්‍යාත්මික හෝ ආගමික සංකල්පනා පාදක කරගන්නා බවක් පෙනෙනවා

සමාජීය වශයෙන් ලෞකික ජීවිතයක් ගත කරමින්ම, අප වටා සිදුවන සංසිද්ධීන් සහ අප වටා වෙසෙන අපේ නෑසිය හිතවතුන් දිහා අපට කිසියම් සංසිඳුණු මනසකින් බලන්න පුළුවන්. බොහෝ අය අද වන විට ආධ්‍යාත්මික හෝ ආගමික කියන කාරණා තේරුම් අරගෙන ඉන්න ආකාරය වැරැදියි කියලයි මට හිතෙන්නේ. මම නම් ආගමිකත්වය කියන එක තේරුම් අරගන්නෙ මනුෂ්‍යත්වය සහ දයාව පෙරදැරි මනුෂ්‍ය ආත්මයක් පවත්වාගන්නා තත්ත්වයක් විදියටයි. ඒ තුළ අන් අයගේ දුක සහ සැප කියන දෙකේදීම ඔවුන් සමඟ දුක් වෙන්න සහ සතුටු වෙන්න අපට පුළුවන් වෙන්න ඕන. ඒ ඔස්සේ බරපතළ විදියට මේ ලෝකය අවලෝකනය කරන්න අපට හැකියාවක් ලැබෙනවා. භෞතික දියුණුව සඳහාම ගැටෙමින් යන මහා කාර්යබහුල ජීවිතයක බොහෝවිට මේ සැබෑ ආගමික චින්තාව පවතින්නෙ නැහැ. එහෙම ජීවිතයකින් මඳක් අෑත් වෙලා කිසියම් දැමුණු මනසකින් ලෝකය නිරීක්ෂණය කිරීමට මගේ කවිය උත්සාහ දරනවා කියලා මම විශ්වාස කරනවා. අෑත පෙරදිග ඇතැම් කාව්‍ය නිර්මාණ වගේම, විශේෂයෙන්ම චීන සහ ජපන් කවි ඇසුරෙන් ලබාගත් කිසියම් ආලෝකයක් මේ සඳහා මට කිසියම් බලපෑමක් කරනවා වෙන්නත් පුළුවන්. කාර්යයන්ටම කැප වෙලා, ඒවායෙන් හෙම්බත් වෙච්ච, ඒ කාර්යයන් උදෙසාම දිවිය වියළා දමන චරිත මේ කවිවල හමුවන්නේ නැහැ. එබඳු ස්වභාවයක් මගේ කවියට එන්න ඇත්තේ චීන කවිය සහ ඇතැම් ජපන් කවි ඇසුරෙන් විය හැකිය. විශේෂයෙන්ම රිතෝ සහ බෂෝ වැනි අයගෙ නිර්මාණ ඇසුරු කිරීමෙන් මගේ කවිය මේ මුහුණුවර ගන්නවා වෙන්නත් පුළුවන්. මේ තුළ තියෙන්නෙ දැමුණු, සංසිඳුණු මනසකින් කටයුතු කරන අතරම, අන්‍යයන් අභිභවා නොයමින් අන්‍යයන් සමඟ යන ගමනක්. අනුන්ගේ දුක දැනෙන එහෙම හෘදයාංගම හදවතක ආධ්‍යාත්මික හෝ ආගමික ස්වරූපයක් තිබීම අරුමයක් නෙවෙයි. පුද පූජා තබන, පාරෙ තියෙන මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා පන්සලේ පුදන පුද්ගලයා පමණක් නෙවෙයි ආගමික. අපිත් ආගමිකයි. පන්සල් නොගොස් වුණත් අපට ආගමික වෙන්න පුළුවන්. එයින් අදහස් වන්නේ ධර්මය අනුදැන ජීවත් වීමකුත් අප තුළ තියෙන බවයි. කවියකුට ඒක අවශ්‍යයි. එකක් කරමින් අනෙකක් ප්‍රකාශ කරන්න කවියකුට බැහැ. ඔහු ලියන දෙය ඔස්සේ මතු වෙන්නේ ඔහුගේ ආධ්‍යාත්මයයි.

අද දවසේ සිංහල කවිය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

සමහරවිට මේ දුවන වේගයට ඉල්ලන්නෙ බොහොම ජනප්‍රිය, එහෙම නැත්නම් ක්ෂණික දේ වෙන්න පුළුවන්. ඒ තුළ අද කවිය සඳහා බොහෝවිට යොදාගැනෙන භාෂාව වුණත් ඉතා සරල තැනක නැවතිලා තියෙන බවක් පෙනෙනවා. අද අපේ කවි බසේ සම්භාව්‍ය කවියේ ශික්ෂණය දකින්න ලැබෙන්නෙ නැහැ. ජනකවියෙන් ලබන ශික්ෂණයත් අද එතරම් සැලකෙන්නෙ නැහැ. අද සිංහල කවිය සඳහා බොහෝවිට යොදාගැනෙන්නෙ බොහොම ජනප්‍රිය සහ කටවහරේ එන, අමුතුවෙන් නිපදවාගත් බසක්. බහුතරය නිසි අවබෝධයක් නැතිව එහෙම බසකට යනවාදෝ කියන හැඟීමක් මුහුණුපොතේ ඇතැම් කවි දකිනකොට අපට හිතෙනවා. ඒ කවි ලියන්නේ අපේ තරුණ ප්‍රජාවනෙ. ඔවුන් තුළ අපේ අතීත බස කුමක්ද, පැරැණි බස කුමක්ද, එය කොහොමද අපේ නිර්මාණවලට ආශ්‍රය කරගන්නෙ කියන අවබෝධය තියෙන්න ඕන. එමඟින් කොහොමද අපේ බස බබළවන්නෙ කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන් වඩාත් උනන්දු වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. දැන් බොහෝ විට කවිය සඳහා යොදාගැනෙන්නේ බොහොම කෘත්‍රිම ව්‍යවහාරයක්. ඒවට කවි කියන නාමය පවරන්න බැහැ. මොකක් හෝ වෙන නමක් අපි ඒවා වෙනුවෙන් සකස් කරගත යුතුයි. එයින් අදහස් වෙන්නේ අපේ කවිය පැරැණි මඟ ඔස්සේ යා යුතුයි කියන එක නෙවෙයි. කවිය නමැති සාහිත්‍යාංගය කාලයත් සමඟ වෙනස් වෙනවා. ඕනෑම රටක එය සිදුවෙනවා. ඇතැම් විට ඇමෙරිකාව වැනි රටක වුණත් මේ මොහොතේ පළවන කවි කාලයකට පෙර අපි දැකපු කවියට වඩා වෙනස්. එදා ඇමෙරිකාවේ පැවැතුණු එස්රා පවුන්ඩ් සහ රොබට් ෆ්‍රොස්ට් වැනි කවීන්ගේ කවිය අද ඇමෙරිකාවේ නැහැ. ඒ වගේම එදා අපි දැකපු කවියේ මහා ආත්මයත් අද දකින්න නැහැ. කාලයත් සමඟ කවියේ පෙනී සිටින ආධ්‍යාත්මයත් සකස් වෙන්නෙ කවි ලියන නිර්මාපකයාගේම ආධ්‍යාත්මයට අනුරූපවයි. ඒ නිසා කවිය පිළිබඳ ප්‍රමාණවත් හැදෑරීමක් සහිතව සිය ආධ්‍යාත්මය කවිය ඔස්සේ මතු කළ හැකි නව කවි පරපුරක් අද සිංහල කවියට අවශ්‍යයි. අද වන විට එවැනි ශක්‍යතාවන් සහිත කිහිප දෙනෙක් හෝ නව පරපුර නියෝජනය කිරීම සතුටට කරුණක්.

ඔබ කවි ලියන්නේ ඇයි?

සොබාදහමෙනුත් ඔබ ඔය ප්‍රශ්නයම අහන්න ඕන. ඇයි මේ ගංවතුර ඇති කරන්නෙ. නියඟ ඇති කරන්නෙ, මේ සියල්ලම ඇති කරන්නෙ ඇයි? මේ මල් දෙන්නෙ ඇයි කියලා සොබාදහමෙන් අහන්න ඕන. මමත් සොබාදහමේ කොටසක්. කාව්‍යකරණය කියන්නේ සොබාදහමෙන් වෙන්වූ යම්කිසි ක්‍රියාදාමයක් නෙවෙයි. ඒක නිසා මම කිසියම් මල් පුබුදුවන ගසක් නම් ඒ වාරෙට මම මල් කිහිපයක් හරි දෙනවා. ඒ විෂය මහා විශාලයි. ඒ නිසා පුද්ගලත්වයෙන් එවැනි ප්‍රශ්නයක් ඇසිය නොහැකියි. ඒ කෙසේ වෙතත් මට මා සිටින තැන හොයාගන්න කවිය උදව්වක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අනේ‍යාන්‍ය සහසම්බන්ධයෙන් ජීවත් වීමටත් එය වැදගත් වෙනවා. කෝප සහගත, ද්වේෂ සහගත සිත සංසිඳුවා ගැනීමට හැකියාවක් වගේම මනුෂ්‍යත්වය සම්බන්ධ කිසියම් මෙනෙහි කිරීමක් මට ලැබෙන්නේ මේ නිර්මාණ ක්‍රියාවලියේ යෙදෙනකොටයි.

දීර්ඝ කාලයක් කවිය හා රැඳී සිටීම සඳහා සම්මාන ඔබට වැදගත් වුණා යැයි ඔබ සිතනවාද?

දශක තුනකට අධික කාලයක් පුරා කවියේම රැඳී සිටි මම වෘත්තියකට කළේ පුවත්පත් කලාවයි. කවියෙන් තොරව හිටියා නම් සමහර විට මමත් මේ සමාජයේ වෙන මොනව හරි වෘත්තියක නියැළෙන මනුස්සයෙක්නෙ. මම වැඩුණේ පවුලේ තිබුණු පරිසරයත් එක්ක ඇතිවුණු කිසියම් රසඥතා ලකුණක් සමඟයි. සංස්කෘතික වශයෙන් කිසියම් පොහොණාකමක් සහිත අපේ පවුල් පරිසරය තුළ මගේ අම්මා සහ සොහොයුරියන් නිසා මට කවිය ගැන උනන්දුවක් ඇති වුණා. ඒ උනන්දුව ඔස්සේ කවි ලියලා මුලින්ම කෘතියක් පළ කරනකොට කවදාවත් මේකෙන් ඉදිරියට යනවා කියලා මට හිතුණේ නැහැ. 'ගිංගඟේ විලාපය' කවි පොත පළ වුණාට පස්සේ ලැබුණු ඇගැයීම නිසා මේ ගමන්මඟ ඔස්සේ ඉදිරියට යෑමේ කිසියම් කැමැත්තක් මා තුළ ඇතිවුණා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු විශාල පිරිසක් මගේ කවි අගයමින් සහ මාව දිරිගන්වමින් අදහස් පළ කළා. තවත් බොහෝ දෙනා සිය කැමැත්තෙන්ම මගේ කවි ගැන ඉංගී්‍රසි සහ සිංහල පුවත්පත්වලට ලිව්වා. මම එතකොට සම්මාන ගැන දන්නෙවත් නැහැ. මගේ දෙවැනි කෘතියට සම්මාන ලැබුණාට පස්සෙ මට ඒ ගැන කිසියම් සතුටක් දැනුණා. ඒ නිසා තවදුරටත් කවියේ රැඳෙන්න ඕන කියලා මම හිතුවා. දිගටම කවියේ රැඳෙමින් නිර්මාණ කරගෙන යනකොට මට යම් යම් ජයග්‍රහණ ලැබුණා. ඒ ජයග්‍රහණ පැත්තකින් තියලා මගේ කවි මඟ වඩාත් දියුණු කරගැනීමට මම මහන්සි ගත්තා. සම්මාන නමින් මට ලැබුණු භෞතික දේවල් තඹ තහඩු කෑලි පමණයි කියලා හිතාගෙන මම කවිය පිළිබඳ කිසියම් නිරන්තර සෙවිල්ලක නිරත වුණා. එවැනි සෙවීම් බැලීම් නැති නිර්මාණකරුවෙක් වුණා නම් ඒ ලැබුණු සම්මානවල කිසිම වටිනාකමක් නැහැයි කියලයි මට හිතෙන්නෙ.

එයින් අදහස් වන්නේ ඔබේ කවි මඟ සකස් කරගැනීමේදී සම්මාන කිසිසේත්ම බලනොපෑ බවද?

ඒවාත් කිසියම් දුරකට බලපෑවා. එහෙත් එවැනි අවස්ථාවලදී ලබාදුන් සම්මානය වෙනුවෙන් මට පිරිනමන කිසියම් භෞතික දෙයක් තියෙනවනෙ. ඒක නෙවෙයි සම්මානය කියන්නෙ. ඒවා දිරාපත් වෙනවා. මම ඒවායෙන් කිසියම් උද්දාමයකට පත්වෙලා, ඒවා ඔප මැද මැද පැහැදිලිව පෙනෙන අල්මාරිවල තියාගෙන, මා සම්බන්ධව මොනවා හෝ ඇසූ පිරූ බවක් ඇති කරගන්න උත්සාහ නොදැරුවා නම් ඒ සම්මානවලින් ඇති වැඩේ මොකක්ද?. ඒවා ලැබුණයි කියලා විශේෂ ගෞරවයක් හිමි වෙනවාද? සම්මානලාභී, ප්‍රවීණ කවියෙක් කිව්වට සැබෑ විශිෂ්ට කවියෙක් එහෙම ගොඩනැඟෙන්නෙ නැහැ. කිසියම් කෙනෙක් නිර්මාණ කාරියෙහි යෙදෙමින් යන ගමන ඉතාම හොඳට නිරීක්ෂණය කරලයි ඔහු උසස් කවියෙක්ද කියලා බලන්න ඕන. ඒක මේ අවුරුදු තුන හතරකින් හෝ දහයකින් ‍ෙදාළහකින් කරන්න බැහැ. අඩු ගාණෙ අවුරුදු විස්සක්වත් වැඩ කරනකොටයි කවියා පෙනෙන්න ගන්නෙ. බොහෝ අය ඒ වෙනකම් වැඩ කරන්නෙ නැහැ. අපි එක්ක අසූව දශකය මුලදී අඩුම වශයෙන් පනහක් හැටක් තරම්වත් පිරිසක් කවියේ වැඩ කළානෙ. අද එයින් කී දෙනාද කවියේ රැඳිලා ඉන්නෙ?

එවැනි පසුබිමක් තුළ කවියට සැබැවින්ම
සාහිත්‍ය සම්මාන වැදගත්ද?

සම්මානයක් වැදගත් වෙන්නෙ නිසි කෘතියට නිසි ඇගැයීමක් ලැබෙනවා නම් පමණයි. කිසියම් කෘතියක් සම්මානයට භාජන කරන විද්වත් මණ්ඩලයක් ඉන්නවා නම් ඒ විද්වත් මණ්ඩලය සැදුම් ලබන්න ඕන එකී සාහිත්‍යාංගය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ හැකියාවක් තියෙන අයගෙන් පමණයි. ඔවුන් ජීවිත කාලය පුරාම ඒ සාහිත්‍යාංගයේ රැඳෙමින් කටයුතු කළ සහෘදභාවයක් සහිත අය විය යුතුයි. ලෝක කාව්‍ය සාහිත්‍යයේ හැසිරීම පිළිබඳ අවබෝධයකුත් ඔවුන්ට තියෙන්න ඕන. ඔවුන් නමට පමණක් විචාරකයන් වන පිරිසක් නම් වැඩක් වෙන්නෙ නැහැ. ඔවුන්ට සූක්ෂ්ම විචාර මනසක් තිබිය යුතුයි. සම්මාන සඳහා කවි පොත් සමීක්ෂණයට පත්තරකාරයො දැම්මාම ඔවුන් කොහොමද කවිය ගැන දන්නෙ. අප වැනි අයට අවුරුදු තිස් ගාණක් වැඩ කරලත් සමහර විට උසස් කවියේ අති සියුම් තැන අල්ලගන්න නොහැකි වන තත්ත්වයක් තියෙනවා. සාහිත්‍ය සම්මාන සඳහා කෘති සමීක්ෂණය කරනවා කියන එක විශාල වගකීමක්. කවිය ගැන කිසියම් ප්‍රාමාණික දැනුමක් සහ අවබෝධයක් වගේම දැක්මක් තියෙන අය අද ඉන්නේ දෙතුන් දෙනයි. මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ රත්න ශ්‍රී විජේසිංහ කවියා වැනි අය හැරුණු විට කවිය ගැන එවැනි අවබෝධයක් ඇති අය අද ඉන්නේ කීයෙන් කී දෙනාද? එහෙත් අද සාහිත්‍ය සමීක්ෂණ මණ්ඩලවල ඉන්නේ කවිය ගැන එවැනි අවබෝධයක් නැති අයයි. එහෙම අයගෙන් ලැබෙන සම්මාන මට නම් ඕන නැහැ. ඔවුන්ට ඒ මොහොතෙදි ඒ ඒ කෘති දැනෙන ආකාරයටනෙ ඔය සම්මාන දෙන්නෙ. පසුගියදා පැවැත්වුණු රජත පුස්තකයේ උත්තරීතර මණ්ඩලයේ හිටපු එක කාන්තාවක් ගැන අපි මෙයට කලින් අහලා තිබුණෙම නැහැ. ඇය අපි කිසිම දවසක දැනගෙන හිටපු නැති කෙනෙක්. මම නෙවෙයි ආරියවංශ රණවීර කවියාවත් ඇය ගැන දන්නෙ නැහැ. මේකට සුදුසු අය කවුද කියලා අපෙන් ඇහුවා නම් අපි කියනවා. ඔය වගේ සම්මාන හරහා ක්‍රියාත්මක වෙන්නෙ වෙනම අලෙවි ප්‍රචාරණ වැඩසටහනක්. තරුණ ජනයාට සම්මාන දිය යුතුයි. ඔවුන් උනන්දු කළ යුතුයි. හැබැයි ඒ සම්මාන හිමි විය යුත්තේ කවිය පිළිබඳ වගකීමට, කවියේ යහපත් අනාගතය පිළිබඳ වගකීමට අලගු තැබිය හැකි නිර්මාණයකටයි.

මෙවර රජත පුස්තකය තෝරාගත් ආකාරය ගැන ඔබට ඇත්තේ කුමන ආකාරයේ විචාරයක්ද?

මෙවර සම්මාන ඇගයුමට හසු නොවුණු විශිෂ්ට මට්ටමේ කවි පොත් කිහිපයක්ම තිබුණා. රජත පුස්තක උත්තරීතර මණ්ඩලයේ හිටපු සාමාජිකයන්ට නම් එවැනි කවි දැනෙන්න විදියක් නැහැ. ප්‍රවීණයන් පසෙක ලා තරුණයන්ගේ නිර්මාණවලට පමණක් රජත පුස්තක සම්මානය පිරිනමනවා නම් ඒ සඳහා තෝරාගත හැකිව තිබුණු කෘති නොසලකා හැර ඇති බවක් පෙනෙනවා. එතැනදී වෙලා තියෙන්නේ විශාල වරදක්. රජත පුස්තකය හිමිවූ ළහිරු කිතලගමගේ කවි පොත වගේම තවත් හොඳ කවි පොත් සැලකිය යුතු ප්‍රමාණයක් මෙවර තිබුණා. ඒවා අතරින් පැරැණි යැයි කියන, ප්‍රවීණ යැයි කියන අයගේ පවා හොඳ කවි පොත් පසෙකින් තබා නව පරපුරේ නැඟී එන කවි හඬට ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්න තිබුණා. ඒ සඳහා ඩබ්ලිව්.ඒ. අබේසිංහ සහ ගාමිණී සුමනසේකර වගේ අය දැන් යල් පැනලා වැඩියි කියලා මම හිතනවා. පොත් ගොඩක් ලිව්වයි කියලා හෝ මහ විශාල විචාරකයො වුණාය කියලා හෝ එහෙම නැත්නම් ද්විභාෂික උගතුන්ය කියලා කෙනකුට කවිය අහුවෙන්නේ නැහැ. කවියේ අනාගතය සකස් වෙන්න නම් මෙවැනි තීන්දු තීරණ ගැනීමේ කටයුතුවලට ඉතාම වගකිව යුතු නිර්මාපක විද්වතුන් යොදවා ගැනීම අවශ්‍යයි. පත්තරකාරයොත් මේකට හරියන්නෙ නැහැ. මම මේවා කියන්න බය නැහැ. ඔය වගේ සම්මාන නම් දුන්නත් මම ගන්න යන්නෙත් නැහැ. ප්‍රවීණයන්ට වගේම නව කවි පරපුරට කරන ඔය වගේ කෙනෙහිලිකම් හමුවේ මුනිවත රකින්න අපට බැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon