අනුන්ට වින කටින්න ගිහින් පොට වරදගත් හැටි

  👤  4336 readers have read this article !
2018-07-01

නන්දන තෙන්නකෝන්

හලාවත මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිල තමන්ට පිළිසරණ වන ශුද්ධ භූමියක් ලෙස බැතිමත්හු සලකති. සෑම දිනකම කෝවිල් බිම බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන්නේ එබැවිනි.

ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන්නේ මෑණියන්ගේ ආනුභාවය මුළු කෝවිල් බිම පුරා ඇති බැවින් බැතිමතුන්ගේ දුක් ගැනවිලිවලට පිහිට ලැබෙන බවය.

"මේ කෝවිල මෑණියන්ගෙ පිහිට කරුණාව නිසයි ගොඩනැඟුණේ. අවුරුදු ගණනාවක් තිස්සේ මම මෑණියන් වෙනුවෙන් කැප වෙලයි ඉන්නේ. එදා ඉඳන්ම වෙනසක් නැතිව අදටත් මම කාලි මෑණියන් වෙනුවෙන් සේවය කරනවා. මම එහෙම කරන්නේ දැඩි භක්තියෙන්. පිරිසුදු චේතනාවෙන්.

මම දන්නවා මට හරිම විශ්වාසයි මෑණියන් හැමවෙලේම මට පිහිට වෙනවා. මට ගොඩක් බාධක ආවා. ඒ සියලුම බාධක ඉවත්වෙලා ගියේ මෑණියන්ගේ පිහිටෙන්. කෝවිලක් හදන්න ඉඩමක් නැතිව ඉන්න කොට මට ඉඩමක් ලැබුණා මුන්නේශ්වරමෙන්ම. ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා මෑණියන්ගේ විශාල ප්‍රතිමාවක් ලැබුණා කෝවිලේ තියන්න. දැන් අලුතෙන් කෝවිල ඉදිවෙමින් පවතිනවා. මෑණියන්ගේ පිහිට ලැබුණු නිසානේ මේ සියල්ල සිදුවන්නේ. ඒ විතරක් නෙවෙයි කෝවිලට එන බැතිමතුන්ටත් මෑණියන් පිහිට වෙනවා. මෑණියන්ගෙ කරුණාව මට ලැබෙන්නෙ නැත්නම් කොහොමද මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නේ..?

මෑණියන් විශ්වාස කරගෙන ඕනෑම පිහිටක් ඉල්ලුවොත් ඒක ලැබෙනවා. ඒක ස්ථිරයි. මේ ළඟකදි කළුතර පැත්තෙන් පවුලක් ආවා ප්‍රත්‍යාන්ගිරා කෝවිලට. අගහිඟයක් නැතිව හොඳින් ජීවත් වුණු මේ අයට හිටපු ගමන් ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි පවුලේ හැම කෙනකුම ලෙඩවෙන්න ගත්තා. බොහෙත් කළත් පලක් වුණේ නෑ. නෑයන් හිත මිතුරන් මේ අයව කොන් කළා. කලින් මේ අය බඩ බැඳගෙන ඇසුරු කළ අයත් අහක බැලුවා. රැකියාවල, ව්‍යාපාරවල ගැටලු මතුවුණා.

මේ පවුලට මෙහෙම වුණේ ඇයි කියලා සාස්තර, අංජනම්එළි බැලුවා. එතකොට කියැවුණේ මේ අයගෙ දියුණුව දැකල ඉවසගෙන ඉන්න බැරි අසල්වාසී පවුලක් කොඩිවිනයක් කරලා තියෙනවා කියලයි. ඒත් ඒ කරපු කට්ටිය ගැන විස්තර හරිහැටි එළිවෙලා නෑ. ඇදුරෙක් ගෙන්වල ඒ කොඩිවිනය කැපුවත් ඒක හරි ගිහින් නෑ. මෙහෙම ඉන්නකොට තමයි මේ අයට ආරංචිවෙලා තියෙන්නෙ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිල ගැන. ඒ පවුලෙ කට්ටියම ඇවිත් මට විස්තරය කිව්වා.

"මෑණියන් ගැන විශ්වාසය තබාගන්න. ඒ විශ්වාසය තබාගෙන තමන්ගෙ දුක්ගැනවිල්ල කියලා පූජා වට්ටියක් බාර දෙන්න" කියලා මම ඒ අයට කිව්වා. පූජා වට්ටිය මෑණියන්ට කැප කරලා දෙහි කපල කහනූල් බැඳලා පළියක් ගහන්න සූදානම් කළා. කොඩිවින කරපු කෙනාට සාපය වඳින්න කියලයි ඒ අය පළි ගැහැව්වේ. සති දෙකක් ගියේ නැහැ ගෙවල් අසල පදිංචි පවුලක කෙනෙක් හදිසි අනතුරකින් මරණයට පත්වෙලා තිබුණා. ඒ පවුලෙම තවත් කෙනෙක් හොඳටම රෝගී වෙලා කිසිදෙයක් කර කියා ගන්න බැරුව ඔත්පළ වෙලා. අර පවුලට වෙච්ච වින්නැහිය අහවර වුණා.

කට්ටිය ඇවිල්ලා මෑණියන්ට වෙච්ච බාරය ජයටම ඔප්පු කළා. කාලි මෑණියන්ගේ ප්‍රත්‍යාන්ගිරා වේශය හරිම දරුණුයි. සාධාරණ අයට වින කටින අයට කිසිම සමාවක් නෑ. උපරිම දඬුවම් ලබාදෙනවා. අර කට්ටිය බාරහාර ඔප්පු කරලා ආපහු ගියේ ඉඩ ලැබුණු හැම වෙලාවකම කෝවිලට එන බවට පොරොන්දු වෙලයි" මහේන්ද්‍රසාමි පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon