ලන්දේසීන්ට හොරෙන් ලංකාවට ගොඩබැහැලා ප්‍රංශ හමුදාවක් කළ මෙහෙයුමක

  👤  4286 readers have read this article !
2018-07-01

එස්. රණසිංහ

ලංකාව යටත් කරගෙන සිටියේ පාතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් බව ප්‍රකට කරුණකි. එහෙත් මේ රටේ එම කාලයන් තුළ වෙනත් බටහිර යුරෝපා ජාතීන්ද වූ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. එය මෙසේය.

1672 හෝ 1673 අතර කාලයේදී පමණ ප්‍රංශයේ රජුට අයත් විශාල නැව් 17ක් ලක්දිව වෙළෙ¼දාම් ආරම්භ කිරීම සඳහා පැමිණියේය. ඒ කොට්ටියාරමටය. එම නෞකාවන්ගේ නායකයා වූයේ අද්මිරාල් ඩිලාහේ නමැත්තාය. ඔහු තමන්ගේ නියෝජිතයන් තුන් දෙනකු කන්දඋඩරටට පිටත් කර යවා ඇති අතර රජු ඔවුන් ඉමහත් හරසරින් පිළිගත් බවත් සඳහන් වෙයි. රජු ඔවුන්ට තෑගි වශයෙන් ලබා දී ඇත්තේ රන්දමක්, රිදියෙන් වැඩ දැමුණු කොපුවක් සහිත අසිපතක් හා තුවක්කුවක්ය. ප්‍රංශ අද්මිරාල්ට දිය යුතු වූ පිළිතුර රැගෙන එක් අයකු කොට්ටියාරම බලා පිටත්ව ගොස් ඇත.

පණිවුඩය ලද අද්මිරාල්වරයා නෞකාවල සිටි සෙස්සන්ද, ප්‍රංශ තානාපතිවරයකුද, තවත් හය දෙනකුද කන්දඋඩරට රජු වෙත එවීමට කටයුතු කළේය. මෙම සිදුවීමට අනුව කියැවෙන්නේ ආපසු සිය රටට යනතෙක් මෙකී ආගන්තුකයන්ට 'රජුගේ ආගන්තුකයන් වශයෙන්' කන්දඋඩරට විසීමට නියමිතව තිබුණු බවත්ය.

කොට්ටියාරමේ නවතා තිබුණු නෞකාවලට රජු විසින් අවශ්‍ය සියලු දේ ශක්ති ප්‍රමාණයෙන් සැපයිණි. එපමණක් නොව කොට්ටියාරම වරායක් පමණක් නොව බලකොටුවක් හදා ගන්නටත් අවසරය ලැබිණි.

එහෙත් ඒහා විශාල නෞකා සමූහයකට රජුගෙන් සැපයුණු දේ ප්‍රමාණවත් නොවන බැව් කල් යත්ම ප්‍රංශයන්ට තේරුම් ගොස් තිබිණි. බළකොටුව ඇතුළත ප්‍රංශයන්ගෙන් හා සිංහලයන්ගෙන්ද ජනාකීර්ණ වී ගිය බව නොක්ස්ගේ සටහන්වල පැහැදිලිව පෙන්නුම් කර ඇත. මෙම තත්ත්වය නිසා අද්මිරාල්වරයාගේ තීරණය වී ඇත්තේ ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ කරා යන්නටය.

එහෙත් අද්මිරාල්වරයා කොරමැන්ඩල් කරා ගොස් ඇත්තේ රජුගෙන් ලැබුණු දෙයින් යැපෙමින් කොටුව ඇතුළත කටයුතු බලා කියා ගැනීම සඳහා තමන්ගේම මිනිසුන් කිහිපදෙනකු රඳවා තබමිනි. ඔවුන්ද ඉක්මනින් ආපසු කැඳවා ගන්නා බවට ප්‍රංශ තානාපතිවරයාගෙන් රජුට ලැබුණේය. එහෙත් එම නෞකා සියල්ල යළි කිසිදා නොආවේය.

ඇතැමුන් ප්‍රකාශ කර ඇති ආකාරයට කුණාටුවකට හසුව එම නැව් සියල්ල විනාශ වී ගිය බවය. තවත් සමහරුන් කියා ඇත්තේ ලන්දේසින් බලවත්ව සිටි නිසා ඔවුන් ප්‍රංශ නෞකා විනාශ කර දමන්නට ඇති බවය.

අද්මිරාල්වරයාද පළමු ආගමනේදී මාහැඟි තෑගි බෝග එවා තිබුණු නමුත් රජු ඒවා භාර ගන්නටද කැමැත්තක් දක්වා තිබුණේ නැති බවක්ද කියැවේ. රජුට ඒ තෑගි බෝග කෙරෙහි ඇල්මක් තිබුණේ නැති බව පළවේ.

කල් ගතවී ගියත් පොරොන්දු වූ පරිදි ප්‍රංශයෙන් ආපසු පිරිසක් නොපැමිණීම නිසා රජුට ප්‍රංශයන් නොරුස්සන්නට වූයේය. ඉන්පසු ඔවුන් කිසිවකුවත් මුණගැසෙන්නටද රජු ප්‍රිය නොකළේය. දින කිහිපයකට පසු ලන්දේසීන් කොට්ටාරමෙන් ප්‍රංශ බළකොටුව අල්ලාගෙන ඇත.

එහෙත් මේ කතාව එතෙකින් නිමා වන්නේ නැත. ඒ වනවිටත් ප්‍රංශ තානාපතිවරයාත් ඔහුගේ පිරිසත් කන්දනුවර බලා පිටත්වී නුවර සමීපයටම පැමිණ සිටියහ. ප්‍රංශ පිරිස රජු පිළිගෙන ඇත්තේ නිලමේවරුන් ඔවුන් සිටි තැනට යැවීමෙන් පසුවය. නගරයට කැඳවා ගත් පසු රජු ඔවුන්ට සියලු සත්කාරයෙන් සිදු කොට තිබේ. තානාපතිවරයා මේ ගමනේදී අසුපිටින්ම නගරයට ඇතුළු වන්නට උත්සාහ කළ නිසා එය සම්ප්‍රදායට පටහැනි කාරියක් බැවින් ඊට එරෙහි වී ඇත. එය පිළිනොගත් තානාපතිවරයා රජ වාසල ප්‍රධාන ‍ෙදාරටුව අසලටම අසුපිටින් ගියේය. මේ පුවත ඇසූ රජු බෙහෙවින් කෝපයට පත්වූ මුත් ඉන්පසු එය අමතක කළ බවත් සඳහන් වේ.

විදේශීය නියෝජිතයන් හමුවීමේදී එකල රජුගේ සිරිතක් පැවැතියේය. ඒ අනුව තානාපතිවරයාට දෙපැයක පමණ කාලයක් රජු හමුවීමට ‍ෙදාරටුවෙහි රැඳී සිටින්නට සිදුවී තිබිණි.

එය තමන්ට මදිපුංචිකමක් සේ සිතු තානාපති කෝපයෙන් ආපසු නවාතැනට යන්නට සැරසුණේය. රජුගේ සෙබළුන් ඇතුන් ලවා මඟ හරස් කළත් තානාපති තමන් අත රැඳි අසිපත රැගෙන පාරම් බෑවේය. රජු මින් කෝපයට පත්විය. රජුගේ අණ වූයේ තානාපති ඇතුළු පිරිසට පහර දී යදමින් බැඳ තැබීමටය. සෙබළු තානාපති ඇතුළු පිරිස නිරායුධ කළහ. තානාපති නිසා තමන්ට මේ ගැහැට විඳින්නට වූ බව සෙසු නියෝජිතයෝ කී නිසා රජු ඔවුන් යදමින් බැඳ තැබීම ඉවත් කළේය. එහෙත් අහංකාර තානාපති පමණක් මාස 6ක් පුරා යදමින් බැඳ තබනු ලැබීය. තානාපතිගේ පිරිසම උසස් නිලමේවරුන්ට කළ ආයාචනය නිසා පසුව තානාපතිවද යදමින් ඉවත් කර ඇත.

තානාපතිගේ නොමනා වැඩ නිසා තමන්ටද ගැහැට විඳින්නට වූ බව කියූ සෙසු නිලධාරීහු ඔහුගෙන් වෙන්ව සිටින්නට පියවර ගත්හ. රජුගේ වියදමින් රජුගේ අවසරයෙන් නගරයෙහි වාසය කරන්නට පටන් ගත්හ.

ඉන් තුන් දෙනකු රජ වාසලෙහි සිටි හොඳම අශ්වයා බලා ගන්නට පත් කෙරිණි. ඉන් එක් අයකු 'ප්ලේසි' නම් විය. හෙතෙම ප්‍රංශයේ එවකට සුප්‍රකට තැනැත්තකුගේ පුත්‍රයෙක් බව රජු නොදත්තේය. දෙවැන්නා ජිම් බ්ලුම් නම් විය. අශ්වයා මහලු වූ නිසා මිය ගියේය. එහෙත් රජු සිතුවේ රැකබලා ගන්නන්ගේ වරදින් එසේ වූ බවකි. ඒ නිසා ප්ලෙසි හා ජිම් බ්ලුම්ට දඬුවම් විඳින්නට සිදුවූ අතර රොබට් නොක්ස් කියන ආකාරයට ඔහු කන්දඋඩරටින් පලා එන විටත් ඒ දෙදෙනා කන්දක් උඩට ගෙන ගොස් යදමින් බැඳ තබා තිබී ඇත.

තානාපති පිරිසේ සෙසු අය නගරයේ නොයෙක් රැකියාවල නිරතව සිටි බවට රොබට් නොක්ස් සාක්‍ෂි දරයි. එක් අයෙක් නගරයේ ලොකුම තැබෑරුම්වලින් එකක් පවත්වාගෙන ගොස් තිබුණේය. තානාපතිත් ඔහුගේ සගයෝත් නිතර නිතර ගැටුම් ඇති කර ගත්තේ තානාපතිගේ උඩඟු බව නිසා බව නොක්ස් කියයි. රජු ඊට මැදිහත්ව සමඟි කරවීමට යත්න දැරුවත් ඒවා අසාර්ථක වී ඇත. දරදඬු තානාපති සමඟ සිටිනවාට වඩා රජුගෙන් දඬුවම් විඳ සිටීම හොඳ යැයි සිතන පසුබිමක් තිබියදී රොබට් නොක්ස් කන්ද උඩරටින් පිටමං වී තිබේ.

නොක්ස් තමන්ගේ ජාතියට අයත් වූවත් නොවූවත් ප්‍රංශයන් ලංකාවේ අත්විඳින ඉරණම ගැන කම්පා වූ බවක් ඔහුගේ ලේඛන පරීක්‍ෂා කිරීමේදී පෙනී යයි. හොර රහසේ ලන්ඩනයට ළඟා වූ නොක්ස් ලන්ඩනයේ සිටි ප්‍රංශ තානාපතිට ලිපියක් ලියමින් ප්‍රංශයන් මුදා ගන්නැයි දන්වා තිබීම එක් හේතුවකි. එම ලිපියේ මෙසේද සඳහන් වේ.

ඒ ප්‍රංශ මහත්වරුන් එහිදී මට දැක්වූ කරුණාවත්, මාද ඔවුන් කෙරෙහි පෑ දයාවත් නිසා මෙවැනි ලියුමකින් ඔබට මෙසේ කරදරයක් කරන්නට මම පෙලැඹුණෙමි. ඒ ප්‍රංශ මහත්වරුන් වෙනුවෙන් සේවයක් ඉටු කරනු පිණිස ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්ට ඔවුන් පිළිබඳ තොරතුරු දැන්විය හැකි අන් මඟක් මා නොදුටු හෙයින් මේ ලියුම ඔබ වෙත එවන්නට මම තීරණය කළෙමි. ඩිලාහේ අද්මිරාල් විසින් ලංකා දිවයිනේ රජු වෙත යැවුණු තානාපතිවරයාගේ නම දැනගන්නට මට නුපුළුවන් විය. ලී සර්ලේ, ඩු ප්ලෙසි හා ලරෝෂ් යන තරුණ මහත්වරු තුන් දෙනෙක් තානාපතිවරයා සමඟ සිටියහ. සෙස්සන්ගේ නම් මම නොදනිමි. මා මෙන්ම සිරගතව සිටි ප්‍රංශ මිතුරන් කෙරෙහි මා තුළ හටගත් දයාව නිසාම ඔබ වෙත එවන මේ ලියුම ඔබතුමාටම කරදරයක් වී නම් මම ඒ ගැන ඔබතුමාගෙන් සමාව අයැද සිටිමි.

එබැවින් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන් පමණක් නොව ප්‍රංශ ජාතිකයන්ද මේ රට ආක්‍රමණය කරන්නට පැමිණි කතාවේ ප්‍රංශ ජාතිකයන්ට අත්වූ ඉරණම එයයි. එහෙත් මෙහි ලැගුම් ගන්නට සිදුවූ යළි ප්‍රංශයට නොගිය පිරිස මෙහි ඉතිරි කර ගිය මතකය අමතක කළ නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon