අන්නෝරු කුටියේ වැඩ සිටිද්දී ගිලන් වූ හැටි

  👤  4246 readers have read this article !
2018-07-01

සටහන - සුනිල් පොරමඬල
ඡායාරූප - කටුගම්පල කිත්සිරි කරුණාරත්න වැවගම

නාටිගනේ ආරණ්‍ය සේනාසනයේ බොහෝ දුරින් පිහිටි කුටිය "ඇන්නොරු" කුටියයි. ඉතා දුෂ්කර වාසයක් වූ "ඇන්නොරු" කුටියේ වාසය පූජ්‍ය නාඋයනේ අරියධම්ම සාමණේර ස්වාමීන් වහන්සේට නම් සුවදායක වාසයක් විය. බණ දහම් පරිශීලනයෙහිලා එම කුටිය උන්වහන්සේට කෙම්බිමක්ම විය.

සතරබණවර, සතිපට්ඨාන සූත්‍රය, සූත්‍රසංග්‍රහය, ධම්මපදය, කායවිරතී ගාථා පොත, අභිධර්මාර්ථ සංග්‍රහය, බාලාවතාරය යන ග්‍රන්ථ පරිශීලනය කරමින් ඒවාගේ අඩංගු ධර්ම කාරණා මනාව අවබෝධ කරගනිමින් පුරා මාස හයක් උන්වහන්සේ මේ "ඇන්නොරු" කුටියේ වැඩ වාසය කළහ.

මේ නාථගනේ වාසයේදී උන්වහන්සේ උදර වාතාබාධයකින් පීඩාවට පත්වන්නට විය. මේ බැව් සැලවූ කළුබණ්ඩා උපාසක මහතා වහාම නාථගනේ ආරණ්‍ය සේනාසනයට පැමිණියේය.

"ටික දවසකට නා උයනට වැඩම කළොත් හොඳයි වාගෙ. ඔබවහන්සේට මේ අසනීප තත්ත්වය ලොකු බාධාවක්. ඒක සුවපත් කරගෙන එපායැ සේරම කරන්න. ස්වාමීන් වහන්ස, අපි මාස දෙකතුනකට නාඋයනට වැඩම කරමු."

සිය පියාගේ ඉල්ලීම පිළිගත් උන්වහන්සේ නාඋයනට වැඩම කළහ.

"පූතිමුත්ත භෙසජ්ජය" නම් අගනා හෙළ ඔසුව උන්වහන්සේගේ උදර වාතාබාධ තත්ත්වය සමනයට බොහෝ උපකාරි විය. අර්ශස්, පණු (ක්‍රිමි රෝග), ග්‍රහණි, බඩ පිපුම්, උදර වාත, මළබද්ධ ගති ආදී සියලු රෝග "හිරු දුටු පිනිබිඳු" මෙන් සමනය කිරීමට හැකි ඔෟෂධීය ගුණයෙන් සපිරි මේ අනඟි ඔසුව හෙළ වෙද කමටද සුරුවිරුකම් දැක්වූ කළුබණ්ඩා උපාසක මහතා විසින් වරින්වර මනා ලෙස සකස් කරමින් වසර දහයක් පමණ තිස්සේ ස්වාමීන් වහන්සේට වළඳන්නට කටයුතු යෙදීය.

මෙම අගනා විශ්මිත ඔසුවෙහි වට්ටෝරුව සහ සාදාගන්නා පිළිවෙළ මෙසේය.

අවශ්‍ය ද්‍රව්‍ය
ඇට ඉවත් කළ අරළු රාත්තල් 01යි
ගෝ මුත්‍ර (ගව මූත්‍ර) නැලි 1යි
(බෝතල් 1 1/2කි)
සහිඳ ලුණු කළං 02
උක් සීනි රාත්තල් 1/2යි.
එළඟි තෙල් බෝතල් 3/4
මී පැණි බෝතල් 1/4

හිමිදිරි උදෑසනම ලබාගන්නා එළ ගව මුත්‍ර පෙරා බඳුනකට දමා ඇට ඉවත් කළ අරළු රාත්තල එම බඳුනටම දැමිය යුතුය. පැය 24කට පසු කුට්ටි බවට පත්වන අරළු කෑලි අව්වේ වියළා ගත යුතුය. නැවතත් එම කෑලි ගව මුත්‍ර බඳුනකට දමා පසුදිනද අව්වේ වේළාගත යුතුය. මේ ආකරයට කරමින් ගෝ මුත්‍ර සිඳී ගිය පසු නැවත අව්වේ වියළා එම අරළු වංගෙඩියක දමා කොටා තුනී රෙදි කැබැලකින් හලා එම කුඩු සහිඳ ලුණු, එළඟි තෙල්, මී පැණි හා උක් සීනි සමඟ කලවම් කර භාවිත කළ යුතුයි.

මෙම ඔෟෂධය දිනපතා උදේ සවස තේ හැන්දක් පමණ උණු පැන්වලින් වැළඳීමෙන් සියලු උදර රෝග සමනය වේ. ශරීරය පැහැපත් වේ. සමේ රෝග සුවවේ. ධාරණ හා ස්මරණ ශක්තිය වර්ධනය වේ.

මෙම ඔෟෂධය වළඳමින් රෝග තත්ත්වය සමනය කරගත් අපේ නාඋයනේ අරියධම්ම සාමණේර ස්වාමීන් වහන්සේට නා උයනේදී පූජ්‍ය සුමනසේන, පූජ්‍ය සරණතිස්ස, පූජ්‍ය උත්තරවංශ යන ස්වාමීන් වහන්සේගේ ඇසුරෙන් තම පැවිදි දිවියට බොහෝ ධර්ම කාරණා එක්කරගන්නට අවස්ථාව හිමිවිය.

"හැම කෙනකුම මැරෙනවා. ඉදිමෙනවා. නිල් වෙනවා. පණුවන් ගහනවා. ඕජා වැගිරෙනවා. සතුන් කා දමනවා. මස්, ලේ, නහර සියල්ල දුගඳ හමමින් දියවී යනවා. ඇටකටු තැන තැන විසිරෙනවා. දිරනවා. පොළොවට පස් වෙනවා. මේ තමයි ලෝක ස්වභාවය. මේ තමයි අනිත්‍ය වූ ජීවිතය. මේ තත්ත්වය නිතර මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් භාවනා කරන්න"

පූජ්‍ය බෝධි රක්ඛිත ස්වාමීන් වහන්සේගෙන් මේ ආකාරයෙන් ලද ධර්ම කාරණා ඔස්සේ බවුන් වැඩීම උන්වහන්සේට ගෙන ආවේ මහා සුවයකි. සැනසිලිදායක බවකි.

මේ අයුරින්ම සාමණේර කාලය ඉතා අර්ථවත්ව ගත කළ පූජ්‍ය නාඋයනේ අරියධම්ම සාමණේර හිමියන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූයේ 1959 ජූලි මස 15 වැනි බදාදා දිනයේදීය. එහිලා උපාධ්‍යයන් වහන්සේ වූයේ පූජ්‍ය මඩවල ධම්මතිලක නිමලව ලොකු ස්වාමීන් වහන්සේය.

මාතර ඤාණාරාම මහෝපාධ්‍යය හිමිපාණන් වහන්සේ, කඩවැද්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ, ගැටමාන්නේ ස්වාමීන් වහන්සේ මුනගම සිරිසුමන හා දේවගොඩ යන ස්වාමීන් වහන්සේ වරින්වර කර්ම වාක්‍ය දේශනා කළහ. රංවල ගම මැදින් ගලායන කුඩා ඔයේ ඉදිකළ උදකුක්ඛේප සීමා මාලකයේදී පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ සමඟ බුලත්සිංහල විමලධම්ම, කෝදාගොඩ ජිනානන්ද, අහංගම විනීත, දැරණියගල මේඝිය යන සාමණේර හිමිවරුද උපසම්පදාවට පත්වූහ.

රන්වල අශෝකාරාමය එම උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේ කේන්ද්‍රස්ථානය විය. උප සම්පදාවෙන් පසු එළැඹි වස්සාන සමය ගත කළේද අශෝකාරාමයේය.

විනය පිටකය අටුවා සහිතව ඉතා හොඳින් උගත්තේ මෙම වස්සාන සමයේදීය. පූජ්‍ය ගැටමාන්නේ ස්වාමීන් වහන්සේ එහිලා ගුරු තනතුරේ කටයුතු කළහ. ඒ අතර කියැවීමේ හුරුව වර්ධනය කරගත්තේ බුත්සරණ, දම් සරණ, සඟ සරණ යන දහම් පොත පත පරිශීලනයෙනි.

වස්සාන සමය නිමාවේ පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයට වැඩම කළ අපේ ස්වාමීන් වහන්සේ එසේ වැඩම කළේ පූජ්‍ය බද්දේගම පේසල ස්වාමීන් වහන්සේ සහ කැපකරු මහතකුද සමඟ 1960 ජනවාරි 09 වැනිදාය. පුරා වසර දෙකක් පුහුල්වැල්ලේ වැඩ සිටි අප හිමිපාණන් වහන්සේ එහිදී ධර්ම දේශනා පවත්වමින් බොහෝ දහම් කරුණු ප්‍රගුණ කරමින්, කට පාඩම් කරමින් බිඳෙන් බිඳ ධර්මාවබෝධය ලබන්නට විය.

දිනක් පූජ්‍ය මාතර ඤාණාරාම මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයට වැඩම කොට කඩවැද්දුවේ හිමියන් සමඟ සාකච්ඡාවක නිරත විය.

"අපේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට ත්‍රිපිටකය පාඩම් කරවලා සම්මාන දෙමු" මේ සාකච්ඡාවෙන් මතුවූ එම සම්මාන පිරිනැමීමේ වැඩසටහනට එක්වූ පුජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන් "පාරාජිකා පාලිය" කටපාඩම් කරන්නට විය. ඉතා කෙටි කලකින් එය නිමකළ අප හිමිපාණෝ "පාචිත්තිය පාලියද, විනය පිටකයෙහි "විභංග" කොටසද කට පාඩම් කර නිමකළේ මාස හතරක් වැනි කෙටි කාලයක් තුළය.

1961 ජූලි මස 16, 17 හා 18 යන දිනවල කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට දස වසක් සපිරීම පැවැතුනේ නිමලව ආරණ්‍ය සේනාසනයේදීය.

ජූලි 16 වැනි දින මහා සංඝ සම්මේලනය පැවැති අතර 17 වැනි දින "බද්ධ සීමා සම්මතය" ද 18 වැනි දින පැවිදි උපසම්පදා පින්කමද පවත්වන්නට යෙදුණි.

එහිදී විනය පිටකයේ විභංග කොටස කට පාඩම් කර තිබූ නිසා අප ස්වාමීන් වහන්සේට "විභංගාචරිය" නමින් සම්මාන පිරිනැමුණි.

"අරියධම්ම නමට පැයක් පාඩම් කළොත් පැයක් මදි පාඩම් දෙන්න" දේවගොඩ මංගලසිරි ස්වාමීන් වහන්සේ අප නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටපාඩම් කිරීමේ සුවිශේෂී හැකියාව මෙලෙස අගය කළේ වරක් දෙවරක් නොවේ.

දිනක් අප හිමිපාණන් වහන්සේට ලිපියක් ලැබිණි. එම ලිපිය එවා තිබුණේ තවත් නවක හිමිනමක් විසිනි. "ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කටපාඩම් කිරීමේදී භාවිත කරන බෙහෙත් මටත් එවන්න. ඒ ලිපියේ සඳහන් විය.

"පාඩම් කිරීමට වළඳන බෙහෙතක් මම නොදනිමි. මා උදේ පාන්දර 3.50ට අවදි වෙනවා. පාන්දර 4.00 සිට 5.00 දක්වා බද්ධ පර්යංකයෙන් ආනාපාන භාවනාවේ නිරත වෙනවා. ඉන් පසු බුද්ධ වන්දනා, වත පිරිත වාගේ වත් පිළිවෙත් කරනවා. උදේ 7.00ට හීල් දානෙ වළඳනවා. ඊට පස්සෙ පැයක් පාඩම් කරනවා. පාඩම් මතක සිටීමේ බෙහෙත තමයි මේ දින චරියාව නොකඩවා පවත්වාගෙන යමින් සතිය වැඩීම. සතිය පුරුදු කිරීමෙන් ධාරණ ශක්තිය, ස්මරණ ශක්තිය වර්ධනය වෙනවා"

එම නවක හිමිනමට ලියා යැවූ ලිපියේ එසේ සඳහන් විය.

මෙම සම්මාන ප්‍රදානයෙන් පසු 1961 ජූලි 24 දින උන්වහන්සේ දනව් කන්දේ සිරිමංගල යෝගාශ්‍රමයට වැඩම කළහ. එහිදී "රූප සිද්ධිය" ගැඹුරින් හැදෑරූ උන්වහන්සේ අභිධර්ම පිටකයේ කොටස්ද විනය පිටකයෙහි මහාවග්ග පාලි චූල වග්ග පාලි පරිවාර පාලි යන කොටස් කට පාඩම් කොට නිම කළහ. 1962 පෙබරවාරි 02දා වනවිට විනය පිටකයද කටපාඩම් කළ අප හිමිපාණෝ 1962 මාර්තු 04 දින කටපාඩම් කළ ධර්ම කොටස් තම ගුරුදේව ස්වාමීන් වහන්සේ ඉදිරියේ පාඩම් දීම ආරම්භ කළ අතර 1962 මාර්තු 25 තෙක් දින 19ක් තිස්සේ එම කටපාඩම් දීම සිදු කළහ.

"දැන් රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් තවදුරටත් අභිධර්මය ඉගෙන ගන්න."

මහෝපාධ්‍යායන් වහන්සේගේ එම දැනුම්දීමත් සමඟ 1963 වසරේ කලපළුවාව ගෝතම තපෝ වනයේ වස් විසූ අප හිමියන් එහි සිට පොකුණු විට විනයාලංකාරාරාමයට වැඩම කරන්නේ රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේගෙන් අභිධර්මය ප්‍රගුණ කරගන්නටය.

අභිධර්මය කියවා එහි ගැටලු තැන් සටහන් කරගන්නා අප හිමිපාණන් වහන්සේ නාහිමි දෙපා වැඳ එම ගැටලු ගැන විමසති. දිනපතා සවස 3.00 සිට 5.00 දක්වා මෙසේ අභිධර්ම කරුණු සාකච්ඡා කරන උන්වහන්සේ නැවත ගෝතම තපෝ වනයට වැඩම කරති. ගමන් පහසුව සලසා දෙන්නේ පින්වත් සුමන කරුණාරත්න හා දාබරේ යන පින්වත් සත්පුරුෂයන්ය. එකල තපෝ වනයේ සිට දෙමටගොඩට යෑමට ඒමට අය කළ බස් ගාස්තුව රුපියල් 12කි. මේ බරපැන දැරුවේ මෙම පින්වත් සත්පුරුෂයන්ය.

මේ වනවිට ගෙවී යමින් තිබුණේ පැවිදි උපසම්පදාවෙන් පසු පස්වන වස්සානයයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon