ආරක්ෂාව බිඳ වැටුණු සමාජයක්...

  👤  4087 readers have read this article !
2018-06-25

'මිනිසාමයි ලොව තිරිසන් වන්නේ් මිනිසාමයි ලොව දෙවියන් වන්නේ්...' යනුවෙන් කලකට ඉහත ජනප්‍රිය ගීතයක් තිබිණි. ඉන් කියැවුණේ එකම මිනිසාට දෙවියන් ලෙස ක්‍රියා කරන්නටත් තිරිසනකු ලෙස ක්‍රියා කරන්නටත් හැකියාව තිබෙන බවය. දැන් දැන් අසන දකින දේ අනුව පෙනෙන්නේ ලාංකේය සමාජය මුළුමනින්ම තිරිසනුන් සේ ක්‍රියාකරන්නට පටන්ගෙන ඇති සැටියකි.

තිරිසන් සතුන්ට ඒ ඒ සත්ත්ව වර්ගයාට ආවේණික නිශ්චිත ජීවන රටාවක් තිබේ. සිංහයා කොයි කවර රටේ ජීවත් වුවත් උෟ හැසිරෙන්නේ වර්ගයාට අයත් ගාම්භීරත්වය ආරක්ෂා කර ගෙනය. අනෙකුත් සතුන්ද එසේය. එහෙත් මිනිසා තිරිසනා වූ විට ඔහු හැසිරෙන්නේ අනෙකුත් තිරිසන් සතුන් අසලකින්වත් තැබිය නොහැකි තරමේ නින්දිත හා ජඩ ස්වරූපයකිනි. රටක් සමාජයක් ගුණධර්ම නොතකන පාපතරයන්ගෙන් පිරුණු තිරිසන් සමාජයක් බවට පරිවර්තනය වූ විට තත්ත්වය කෙබඳු වේදැයි සිතාගැනීමත් අසීරුය.

අප පිළිගත්තත් නැතත් අද ලංකාවේ සමාජය ඒ තත්ත්වයට වැටී තිබේ. අපචාර දුරාචාර ඉහ වසා ගොසිනි. මිනිසුන් සාධාරණව දුකසේ හරි හම්බ කරන මුදල් කප්පම් වශයෙන් ඉල්ලා පිස්තෝල දික්කරන, නොදෙනවා නම් මහ මඟ මරාදමන පාතාල කල්ලි සෑම පළාතකම බිහිවී තිබේ. ඉතිරි කරගත් ධනයක් ඇති මිනිසුන් උදෑසන අවදි වන්නේත් රාත්‍රියේ නින්දට යන්නේත් සැකයෙන් හා බියෙනි.

මාතර ස්වර්ණාභරණ වෙළෙඳසලකට කඩාවැදුණු පාතාල මැරයෝ නීතිය රකින්නට පෙරට පැමිණි තරුණ පොලිස් නිලධාරියා ඉතා සාහසික අයුරින් ඝාතනය කළහ. අවි අතට ගත් පාතාල මැරයෝ සෙසු අයගේ ජීවිතවල වටිනාකම නොදනිති. පාතාලයන් කොල්ලකන්නේ රොබින්හූඩ් මෙන් දුප්පතුන්ට බෙදාහදා දෙන්නට නොවේ. ඔවුන්ට දේශපාලන බලපුළුවන්කාරයන් සමඟ සහසම්බන්ධතා තිබේ. ඔවුහු දේශපාලනඥයන්ට අත දිගහැර වියදම් කරති. දේශපාලනඥයෝ පාතාලයට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය ලබාදෙමින් පෙරළා යුතුකම් ඉටුකරති. පාතාලය අතු ඉති දා වැඩෙන්නේ ඒ නිසාය. පොලිස් දෙපාර්තමේන්තුවට පාතාලය මැ¾ඩීමට නොහැකිව තිබෙන්නේත් ඒ නිසාය. එක්් පාතාල නායකයකු අත්අඩංගුවට ගතහොත් පොලිසියට දිගින් දිගට දේශපාලනඥයන්ගේ ඇමතුම් ගලා ඒම සාමාන්‍ය සිදුවීමකි.

මාතර කොල්ලයේ වෙඩිකෑ පාතාල මැරයන් තිදෙනකු ගාල්ලේ කරාපිටිය රෝහල අසල මහ මඟ දමාගොස් තිබූ අතර, එකකු මාතර නගරයේ සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් තැනැත්තා පොලිසියට ගමන් මල්ලක් සැඟවූ තැන පෙන්වීමට ගොස් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යෑමේදී එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මරණයට පත්වූ බව පොලිසිය කීය.

පොලිසිය කියන හැටියට එසේ නොවන්නට තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අනතුරට ලක්වන්නට ඉඩ තිබිණි. අත්අඩංගුවේ සිටින අපරාධකරුට එවැනි දෙයකට ඉඩ ලැබෙන ලෙසට විලංගු නොදමා රැගෙන ගියේ මන්ද යන්න ප්‍රශ්නයකි. සෑම පොලිස් නිලධාරියකුගේම ජීවිත ආරක්ෂා කර ගන්නා අයරින් ක්‍රියා කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමකි. "පොලිස් වීරයෙක් මට එපා. මගේ මහත්තයව මට දෙන්නැ"යි මියගිය නිලධාරියාගේ බිරිය නැඟූ හඬ රටටම ඇසුණි.

වසර දහස් ගණනක් පරිණාමය වී සකස් වූ ශිෂ්ට නීති පද්ධති අනුව හැඩගැසීමට සමාජය බොහෝ කැපවීම් කර තිබේ. එබැවින් නැවත ආපස්සට කැලෑ නීතිය කරා පසුබසින්නට කිසිවකුට හැකියාවක් නැත. අපරාධකරුවාගේ ජීවිතයද ආරක්ෂා කිරීමට රජය බැඳී සිටී. ඔහු නීතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීම අධිකරණයට භාර කටයුත්තකි. ආයුධ පෙන්නීමට ගොස් බෝම්බ ගසන්නට තැත් කළා යැයි හෝ පැනයන්නට හැදුවා යැයි පවසමින් පසුගිය වකවානුවේ බොහෝ පිරිසක් පරලොව යවනු ලැබීය. එය කිසිසේත් අනුමත කළ නොහැකිය. තම තමන්ට ඕනෑ අය කැලෑ මණ්ඩියකට ගෙන ගොස් ඝාතනය කරන්නට එයින් මංපෑදෙන නිසා අවසානයේ එය සමස්ත සමාජයටම බරපතළ තර්ජනයක් වන බව අමතක නොකළ යුතුය. 1989 නොවැම්බර් මාසයේ දේශපාලන පක්ෂ නායකයකු වූ උපතිස්ස ගමනායක කොහුවලදී වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසු 'පැනයන්න හැදුවා, වෙඩිතිබ්බා' යනුවෙන් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොලිසිය එතැන් සිට 2015 ජනවාරිය දක්වාම බොහෝ මරණ සඳහා මේ ක්‍රමය භාවිතාවට ගැණිනි. එය භයානකය. සියලුම පුරවැසියන්ගේ ජීවිතවලට එය තර්ජනයකි. සමාජයේ සියල්ලන්ම නීතිය ඉදිරියේ සමාන නොවන සමාජයක් යහපත් සමාජයක් වන්නේ නැත. ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුද්ගලයන්ට දඬුවම් දිය හැක්කේ අධිකරණයට පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon