1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය අංක 1 සහ අංක 2 සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  4352 readers have read this article !
2018-06-22

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

මේ ආණ්ඩුව කරන්නෙ රා මැදීම නෙවෙයි බදු මැදීමයි

සුනිල් හඳුන්නෙත්ති

"මේ ආණ්ඩුව කරන්නේ රා මැදීම නොවේ බදු මැදීමයි. සුරාබදු ආඥා පනත සංශෝධනය කරන්නේ රජයට ආදායමක් උපයාගන්නයි" පත්කළ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති (ජ.වි.පෙ) පැවැසීය.

තැපෑලේ සිටින සේවකයෝ ආණ්ඩුව පෙරළන්න යන බව ඇමැතිතුමා කිව්වා. තැපැලේ 26,000කට මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් කියා මා හිතන්නෙ නැහැ. හැබැයි ඒ සේවකයෝ 26,000ට පෙරළන්න තරම් මේ ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක්ද කියා අප කල්පනා කළ යුතුයි. තැපැල් සේවක ප්‍රශ්න සාකච්ඡා කර ලිඛිත එකඟතාවක් ලබාදෙන්න ඕනෑ. එහෙම නොකරනවා නම් ඇමැතිතුමා මේ ආණ්ඩුව පෙරළන්න ක්‍රියා කරනවාද කියලා අපට හිතෙනවා.
සුව සැරිය හොඳ ව්‍යාපෘතියක්. රෝහලට රෝගියා ගෙනයන පූර්ව රෝහලක්. මේ සේවයේ කාර්ය මණ්ඩලයේ ගැටලුවලට පිළිතුර දෙන්න පුළුවන් නම් තවත් හොඳවෙයි. ඔවුන්ගේ වැටුප් වැඩි කළ හැකි නම් හොඳයි.

සුරාබදු ආඥා පනත 1952 එකක්. ආණ්ඩුව දැන් එය පාවිච්චි කරන්නෙ අද ඔබින විදියට වෙනස් කරන්න නොවේ. රජයට ආදායමක් උපයා ගන්නයි. ගස් මදින ඒවා, රා බෝතල් කරන ඒවා පස්සෙ තව දුරටත් යන්න ඕන. මේ ආණ්ඩුව කරන්නෙ රා මැදීම නොවේ බදු මැදීමයි. මේවා පස්සෙ නොගොස් වෙන ක්‍රම හොයාගන්න.
අද හාල්, පොල් රුපියල් සියයට එහා ගිහින්. එළවළු ග්‍රෑම් 250ක් රුපියල් හැට හැත්තෑවක් වෙනවා. ආණ්ඩුවට බදු ගහන්න ලේසියි. ඩොලරය 160 දක්වා ඉහළ ගිහිල්ලා. අද ජීවන බර දරාගන්න ආමරුයි. හොරකම්, මංකොල්ල වැඩි වෙලාලු, භාණ්ඩ මිල වැඩි වනවිට මිනිස්සු මංකොල්ල කනවා තමයි.

මේ හදන්නේ ආයෝජන කඩාකප්පල් කරන්නටයි

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

"නකල්ස් රක්ෂිතයෙන් එක බිම් අඟලක්වත් ඉඩම් දීලා නෑ"යි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

"රජයට අයත් පාඩු ලබන ඉඩම් සම්බන්ධයෙන් කබීර් හෂීම් ඇමැතිතුමා යෝජනා දෙසියපනහක් පිළියෙල කළා. ඒ එක යෝජනාවක්වත් ක්‍රියාත්මක වෙලා නෑ"
"චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඉඩම් අක්කර ලක්ෂ පහක් දුන්නා. ඔබතුමන්ලා කාගෙන්වත් ඇහුවද? පරිසරවේදීන්ගෙන් ඇහුවද? නැහැනේ?"
පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන,
"චන්ද්‍රිකා මැතිනිය ඉඩම් දුන්න එකට අපි සම්බන්ධ වෙලා නැහැ. අපි ඒ ආණ්ඩුවේ ඉඳලත් නැහැ."

සභානායක -
"අපි හම්බන්තොට දෙන්න හැදුවා. හම්බන්තොට දෙන්න හදන කොට විරුද්ධයි කියනවා."
"මේ හදන්නේ ආයෝජන කඩාකප්පල් කරන්නටයි."

 

මීගමුව රෝහලේ මෝචරිය කැඩිලා ප්‍රීසර් ට්‍රක් රථයකට තමයි මළමිනී දමන්නේ ඔන්න අපේ සෞඛ්‍ය සේවාව

ඉන්දික අනුරුද්ධ

"මීගමුව රෝහලේ මෝචරිය කැඩිලා, ප්‍රීසර් ට්‍රක් රථයක තමයි මළමිනී දමන්නේ. ඔන්න අපේ සෞඛ්‍ය සේවාව" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පැවැසීය.

"මේ සුවසැරිය සේවය ගැන මා පෞද්ගලිකව කිසිම චෝදනාවක් කරන්නේ නැහැ. මෙය රටට අවශ්‍ය සේවයක්. ඉන්දියාවෙත් මෙවැනි සේවයක් නැහැ. ජනතාව ගිලන් වී සිටින තරමටම ගිලන් රථ තිබෙනවා."

පළාත් සභා සංශෝධනය නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ කළේ. මේ පනතටත් එහෙම සංශෝධනයක් ගේනවද දන්නේ නැහැ. සුවසැරිය උපස්ථායිකාවන් ඇතුළු සේවකයන්ට ඉන්න සුදුසු තැනක් නැහැ. සමහර පොලිසිවල ස්ථාන සකස් කර දී තිබෙනවා.
සමහර රෝහල්වල ගිලන් රථයට ටයර් එකක් දමා ගන්න සල්ලි සෞඛ්‍ය අමාත්‍යාංශයට නැහැ. මීගමුව රෝහලේ එක්ස්රේ යන්ත්‍රය කැඩිලා අවුරුද්දයි. තවම හදලා නෑ. පෞද්ගලික අංශයට ලක්ෂ ගණනක් ගෙවා තිබෙනවා.

අද ඉන්දීය වෙළෙඳපොළ ශ්‍රී ලංකාව වෙලා ගෙන තිබෙන්නේ. පුළුවන් නම් අපි ඉන්දියාවේ වෙළෙඳපොළ අල්ලා ගන්න.
ගිලන් රථ පිරිසුදු කිරීමට කාර්ය මණ්ඩලයක් නැහැ. මේ පනත හැදුණාම ඒ අඩුපාඩු හදන්න හැකිවේවි යැයි හිතනවා. මීගමුව රෝහල අවුරුදු තුනක් තිස්සේ මිලියන 500කින් තවම අලුත්වැඩියා කරනවා. මීගමුව රෝහලේ මෝචරිය කැඩිලා. ප්‍රීසර් ට්‍රක් රථයක තමයි මළමිනී දාන්නේ. ඔන්න අපේ සෞඛ්‍ය සේවාව. බෙහෙත් වර්ග 48ක මිල අඩු කළාලු. සෞඛ්‍ය තත්ත්වය කඩා වැටිලා. රෝගියාට ගිලන් රථයෙම ඉන්න වෙයිද දන්නේ නැහැ.

පෞද්ගලික රෝහල්වල වැට් බදු අඩු කළා. එයින් බලාපොරොත්තු වෙන්නේ රජයේ රොහලට එන රෝගීන් සංඛ්‍යාව පෞද්ගලික රෝහල්වලට යොමු කිරීමයි.
මේ වන විට ළමයි 25ක් මියගොස් තිබෙනවා වයිරසයෙන්. ඇමැතිවරුන්ට මේ වයිරසය කොහෙන් ආවාද කියලා අවබෝධයක් නැහැ. සෞඛ්‍ය ඇමැතිතුමාගේ පුතා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නේ. මීගමුව රෝහලේ තත්ත්වය ගැන සොයා බැලීමක් නැහැ. සෞඛ්‍ය ඇමැතිතුමා මැදිහත් වෙලා තමයි මිලියන 500 වෙන්කර අලුත්වැඩියාව කරන්නේ. සෞඛ්‍ය ඇමැතිතුමා සෞඛ්‍යයට විශාල වැඩ කරපු කෙනෙක්. ඊයේ, පෙරේදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති තනතුරත් ලැබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අය ඇවිත් මීගමුව රෝහලේ මෝචරියේ තත්ත්වය බලන්න ඕනෑ."

 

මාස එකහමාරක් තුළ බදු ලිපි ගොනු 69,000ක් විවෘත කර තිබෙනවා

ඇමැති මංගල සමරවීර

අත්‍යවශ්‍ය ආහාර බොහෝමයක මිල අඩුකර ජනතාවට සහන ලබාදී ඇති නමුත් පොල් මිල පමණක් අඩු කර ගැනීමට නොහැකි වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පැවැසීය.

සෘජු බදු වශයෙන් අපි ලබාගත්තේ 18%ක් පමණයි. මේක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. සෘජු බදු ප්‍රමාණය ටිකක් වැට් බදු හරහා වැඩි කරගන්න බලන්න ඕනෑ.
නව ආදායම් බදු පනත සම්මත කිරීමත් සමඟ තමන්ට ගෙවන්න තිබෙන සුළු බදු ප්‍රමාණය හෝ ස්වේච්ඡාවෙන් ගෙවන්න ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ පනත ඉදිරිපත් කර මාස එකහමාරක කාලය තුළ බදු ලිපි ගොනු 69,000ක් විවෘත කර තිබෙනවා.

මේක රාජපක්ෂලාගේ ණය කියා නොකියා, අපි මේ සියලු ණය ගෙවන ගමන් ජනතාවට අවශ්‍ය සේවාවන්ද සපයනවා. අද පෙට්රල්, ඩීසල් වැඩි කළත් එදාට වඩා අඩු බව කියන්න ඕනෑ.

හර්ෂ ද සිල්වා ඇමැතිතුමා හඳුන්වා දුන් ඇම්බියුලන්ස් සේවය අද නීතිගත වෙනවා.
අද සියලුම පිළිකා රෝගීන්ට ජීවිතාන්තය දක්වා නොමිලයේ ප්‍රතිකාර ලබා දෙනවා. අක්ෂි කාච, ස්ටෙන්ට් අපි රෝගීන් සඳහා ලබාදීමට කටයුතු කර තිබෙනවා. බෙහෙත් වර්ග 48ක මිල පහළ දමා තිබෙනවා.
අවුරුදු 18ට අඩු ළමා ගිණුම් සඳහා අය කරන 5%ක බද්ද අපි ඉවත් කර තිබෙනවා.

 

කිසිම රජයකට අප යටත් වෙන්නේ නෑ

ඇමැති මහින්ද අමරවීර

කිසිම රජයකට අප යටත් වෙන්නේ නැහැ. කිසිම රජයකට ඕනෑ විදියට රට පාලනය කරන්නෙත් නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

ඉන්දියාවේ සම්පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ පාසලක් ඉදිවෙනවා. නිවාස ඉදිකිරීමටත් පරිත්‍යාග කර තිබෙනවා. පසුගිය රජය අපේ අසල්වැසි රට ඉන්දියාව තරහා කර ගත්තා. යුද්ධය පැවැති අවස්ථාවේ ඉන්දියාව අපට උදවු කළා. අන් අය නොදෙන විට ආයුධ දුන්නා. මානව හිමිකම් ගැන පළමු අවස්ථාවේ ගැටලු ඇති වූ විට අපට උදවු කළා. අප ඉන්දියාව තරහ කර ගැනීමේ වරද ඒ කාලෙ අප දැක්කා. අද ඒ තරහා නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ගිලන් රථ සේවය ලැබුණා. ඉන්දීය ඔත්තු සේවය හා මේ රටට හනුමා පාලමක් එනවා කියලා ප්‍රචාරය කළා. එට්කා ගිවිසුමත් අස්සන් කර ඉන්දියාවට රට යටත් කරනවා ආදී වශයෙන් මේ මන්ත්‍රිවරුන් පවා ප්‍රකාශ කළා.

පළාත් සභා රෝහල්වල ගැටලු අඩුපාඩු රාශියක් තිබෙනවා. සමහර විට ප්‍රතිපාදන අඩු නිසා විය හැකියි. ඒ ගැන සොයා බලා රේඛීය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනෑ. එදා බෙහෙත් ගැන රෝහල්වලින් මැසිවිලි ලැබුණා. අද ප්‍රශස්ත මට්ටමින් රෝහල් මඟින් ලෙඩුන්ට බෙහෙත් ලැබෙනවා.

කිසිම රජයකට අප යටත් වෙන්නෙ නැහැ. කිසිම රජයකට ඕනෑ විදියට රට පාලනය කරන්නෙත් නැහැ. ප්‍රශ්නයක් විසඳන්න වැඩ වර්ජනය කරන තුරු සිටිය යුතු නැහැ. රටේ දේශපාලන නිදහස නිසා වැඩ වර්ජන කරන්න අද පුළුවන්.

 

ප්‍රධාන ඉල්ලීම් දෙකට එකඟ නම් ලිඛිත සහතිකයක් දී වර්ජනය නිමා කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති

තැපැල් සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙක ලබාදීමට එකඟතාව පළ කරනවා නම් ඒ සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ලබාදී මෙම වර්ජනය අවසන් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

තැපෑලෙ ඉන්න 26,000ක්, ඉල්ලීම් ලබාදීමට එකඟතාවක් ලබාදී තිබියදීත් වර්ජනය තවදුරටත් පවත්වාගෙන යෑමෙන් පෙනී යන්නේ මේ පිටුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවාද යන සැකයක් පහළ වී ඇති බව තැපැල් ඇමැතිතුමා සඳහන් කළා. ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව විසඳුමක් ලබා දුන්නා නම් ප්‍රශ්නය අවසන් වෙනවා යැයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පාසල්වල පළමුවන ශේ්‍රණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත්‍ර තැපැල් කිරීමට නොහැකිව ඒ දරුවන්ගේ මවුපියන් බලාගෙන ඉන්නවා මේ වර්ජනය අවසන් කෙරෙන්නේ කවදාද කියලා. ඒ නිසා මේ වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡා කර එම ඉල්ලීම් සම්බන්ධයෙන් ලබාදෙන විසඳුම ලිඛිතව ලබාදී මේ ප්‍රශ්නය විසඳන්නැයි මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේ

 

ඉල්ලීම් දෙකට එකඟතාව පළ කර තිබෙනවාවර්ජනය අත්හිටුවා සේවයට වාර්තා කරන්න

තැපැල් හා තැපැල් සේවා ඇමැති අබ්දුල් හලීම්

තැපැල් සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙක වන, අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම හා 3 වැනි ශේ‍ර්ණිය ඉවත් කිරීමට එකඟතාව පළ කර ඇති බැවින් වර්ජනය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙස තැපැල් හා තැපැල් සේවා ඇමැති අබ්දුල් හලීම් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

තැපැල් සේවකයන් දැන් දින දහයක් තිස්සේ වර්ජනය පවත්වාගෙන යනවා. අපේ ආණ්ඩුවෙන් සිදුවූ වැරැද්දකට නෙවෙයි, ඔවුන් මේ වර්ජනය කර තිබෙන්නේ. පසුගිය රජයේ පව් සෝදන්නයි අපට සිදුවෙලා තිබෙන්නේ යැයි ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සඳහන් කළ ඇමැතිවරයා එම කැබිනට් පත්‍රිකාව නිර්දේශ ලබාගැනීමට ඇමැති සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවකට යොමුකර ඇති බවත්, 2006 චක්‍රලේඛයක් නිසා මේ ගැටලුකාරී තත්ත්වය ඇතිවී තිබෙන බවත් පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ප්‍රශ්නයක් නඟමින්, 'තැපැල් සේවකයන්ගේ වර්ජනයට අදට දින දහයක් සම්පූර්ණයි. සියයට 99ක් සේවයට වාර්තා කර නැහැ. ලියුම් ලක්ෂ දෙකහමාරක් මේ වනවිට ගොඩගැහිලා. මේ ගැටලුව සාකච්ඡා කර නිරාකරණය කරන්න' යැයි කරන ලද ඉල්ලිමට පිළිතුරු වශයෙන් ඇමැතිවරයා එසේ පැවැසීය.

 

මේ ආණ්ඩුව දෙමළ ජනතාව මුළා කරනවාද යන සැකය අප තුළඇතිවී තිබෙනවා

එස්. ශ්‍රී හරන්

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට කටයුතු නොකර, මේ ආණ්ඩුව දෙමළ ජනතාව මුළා කරනවාද යන සැකය අප තුළ ඇතිවී තිබෙනවා යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී තරන් පැවැසීය.

කිලිනොච්චියේ ක්‍රීඩාංගණයක් හැදුවා, තවම ඒ ක්‍රීඩාංගණය ඉදිකර අවසන් වී නැහැ. ඒ ක්‍රීඩාංගණය සඳහා වෙන්වූ මුදල් හරිහැටි වියදම් කර නැහැ. තවමත් ඒ ක්‍රීඩාංගණය තිබෙන්නේ හමුදාව අතේ.

මහින්දානන්ද අලුත්ගමගේ : කිලිනොච්චියේ ක්‍රීඩාංගණය ඉදිකර අවසන්.
එස්. ශ්‍රී හරන් : ඒ ක්‍රීඩාංගණය තවමත් ඉදිකර අවසන් නැහැ. ඒ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම හමුදාකරණයක් තමයි තිබෙන්නේ. පෙර පාසල් පවා හමුදාව විසින් තමයි පවත්වාගෙන යන්නේ.

තමන්ගේ ජනතාව අහිමිවූ ජනතාවට සිංහල ජනතාව සමඟ එකට ජීවත්විය යුතුද? නැද්ද? කියා ජනමතයක් විමසන්න කියා මම ආණ්ඩුවට කියනවා. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දීමට මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.

 

සුවසැරිය කියන්නේපූර්ව ප්‍රතිකාර රෝහල් සේවාවක්

රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා

අද 1990 සුවසැරිය වන්දනාමාන කරන තත්ත්වයට පත්ව තිබෙනවා යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.
හදිසි කාර්යක්ෂම ප්‍රතිකාර සඳහා මේ සුවසැරිය වැඩසටහන යටතේ සේවා පහසුකම් නොමිලයේ ලබා දෙනවා. මෙය පූර්ව ප්‍රතිකාර රෝහල් සේවාවක්.
දුරකථන ඇමතුමක් ලබාදුන් පමණින් විනාඩි 13ක කාලයක් තුළ හදිසි අවස්ථාවකදී තාක්ෂණික වෛද්‍යවරයකුද කැටිව මෙම ගිලන් රථ අදාළ ස්ථානයට පැමිණෙනවා.
අපි මේ සේවාව පටන් ගත්තේ නොයෙකුත් අපහසුකම් මැද්දේ. මෙම සුවසැරිය ගිලන් රථ රෝහල්වල නවත්වන්න අපි තීරණය කළ අවස්ථාවේ ඒ පැත්ත පළාතේ ගේන්න එපා කියලා කීවා.

අපි මේ ගිලන් රථ පොලිස් ස්ථානවල නවතා තබන්න තීරණය කළා. මොකද පොලිසියට තමයි හදිසි අනතුරක් සිදුවූ වහාම පණිවුඩය ලැබෙන්නේ.
මේ සුවසැරිය ගිලන් රථ සේවය මුළු ලංකාවටම නොමිලයේ ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. ඉන්දියානු රජයෙන් අදියර දෙකකදී ලබාදුන් ප්‍රදානයන් මඟින් තමයි මේ සුවසැරිය ගිලන් රථ ලබා ගත්තේ.

මෙම ගිලන් රථ සඳහා දුරකථන ඇමතුම් 5,084,520ක් මේ වන විට ලැබී තිබෙනවා. 79,744ක් රෝගීන් රෝහල්වලට රැගෙන ගොස් තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon