සතොස රවි සහ බැඳුම්කර සුජී

  👤  4624 readers have read this article !
2018-06-21

මේඝනාද

හොඳ වැඩක් පටන් ගැනීම ලේසි නැත. හොඳ වැඩක් කරගෙන යෑමත් ලේසි නැත. හොඳ වැඩක් අල කිරීම නම් ලේසියෙන්ම කළ හැකි ය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හොඳ වැඩ ටික ය. අල වැඩ බොහෝ ය. 1948 සිට හැම ආණ්ඩුවකටම වුණේ ඒක ය. හොඳ අරමුණකින් පටන් ගත්තද වැඩි කල් නොගොස් වැඩේ අල කරන කෙනෙක් හැම ආණ්ඩුවකම සිටියේ ය.

2002 යූඑන්පී ආණ්ඩුවටත් වුණේ ඒකම ය. 2002 ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමැති වුණේ රවි කරුණානායක ය. ඇමැතිකම අරන් මාස දෙකක් ඇතුළත රවි සතොස කෑවේ ය. සතොස පැය 24 කරන්න ගිහින් නෑවේ ය. වැඩි කල් නොගොස් සතොස පාඩු ලබන සංස්ථා ගොඩට එකතු වූයේ ය. සතොස අලෙවි මධ්‍යස්ථාන සියල්ලම අද වන විට සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. සුපිරි වෙළෙඳ සල් විසින් වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇත. මේ සියල්ල රවිට පින් සිදු වන්නට ය. රවි නිකන් සිටියේ නැත. ඕනම අයෙක්ට සතොස ගැන විවාදයකට එන ලෙස අභියෝග කළේ ය. සතොස ගැන විවාද කරන්න 'රතු ඉරට' ආපු රවිට සුනිල් හඳුන්නෙත්ති කුඩු වෙන්න ගැහුවේ ය. අලි-කොටි ගිවිසුමටත් වඩා 'රවි සතොස කෑවා' යන්න රට පුරා පැතිරුණේ ය. විවාදෙන් කිච වුණු රවි විවාදෙ අවසන් කළේ "අපි ඇත්ත කිව්වා, නිර්දෝෂී බව ඔප්පු කළා" කියාය ය. 2001 ආණ්ඩුව ගේන්න සැරටම කෑ ගැහුවේ රවි ය. දූෂණයට එරෙහිව බෙරිහන් දුන්නේ රවි ය. ඇමැතිකම අරන් සොතොස කෑවෙත් රවි ය. 2002 ආණ්ඩුව ජනතාවට එපා වුණේ ය. 2004දී යූඑන්පී ආණ්ඩුව ඉවර වුණේ රවිගේ නමටය.

එහෙව් රවි 2015දී සම්මුතිවාදී යහපාලන ජාතික ආණ්ඩුවේ මුදල් ඇමැති පදවියෙන් පිදුම් ලබන්නේ ය. 2002 සතොසට වුණු වැඩේට හපන් වැඩක් මහ බැංකුවට සිදුවුණේ ය. වැඩි දවසක් යන්නට කලින් මහ බැංකු මහා බැඳුම්කර කොල්ලය සිදුවිය.

රවිගේ නමට ලියැවුණු බැඳුම්කර කොල්ලයට වැඩි කල් නොගොස් තව තව නම් එකතු වෙන්නට පටන් ගත්තේ ලාහට ගෙම්බෝ වහන්නාක් මෙනි. ඒ අතර ප්‍රකට ප්‍රචලිත නම සුජීව සේනසිංහ ය. ලොකු ඇමැතිකමක් නැති වුණාට, ලැබුණු පොඩ්ඩෙන් බොහෝ වැඩ ගත්තේ ය. 2002-2004 යූඑන්පී ආණ්ඩුවේ සතොස රවි ගාණටම 2015 යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර සුජී ප්‍රසිද්ධ වී ඇත.

සුජීව, මහේන්ද්‍රන්ට-ඇලෝසියස්ට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ආදරය කළේ ය. ඔවුන් බේරා ගැනීම උදෙසා සියල්ල පරදුවට තබා 2015දී පොතක් ලියුවේ ය. පර්පචුවල් ඉතා හොඳ සමාගමක් බව ලිව්වේ ය. අර්ජුන මහෙන්ද්‍රන්ගේ ඇඟිලි ගැසීම් සධාරණීකරණය කළේ ය. බැඳුම්කර ගනුදෙනුවෙන් මහ බැංකුව පාඩු ලැබූ කතාව අසත්‍යයක් බව ලිව්වේ ය.

සුජීව වැස්සෙන් බේරෙන්න ගහ යටට දිව්වේ ය. ගහ යට වැහි දෙක ය. දැන් නාන්නේ ඩබල් ය. කොමිසම දික් වුණේ ය. ඇලෝසියස්ගේ දුරකථන සංවාද එළියට ආවේ ය. 2015.07.04 සිට 2017.03.03 දක්වා ඇලෝසියස් හා සුජීව අතර දුරකථන සංවාද 227ක් ය. සුජීව කිව්වේ පොත ලියන්න තොරතුරු ගන්න කෝල්ස් ගත්තා කියා ය. පොත ලියා පළ කළේ 2015දී ජූලි මාසයේ දී ය.

බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ නැඟලා යනකොට සුජීවට ඉවසුම් නැති වුණේ ය. ජනපති මෛත්‍රි සමඟ හරි හරියට උරණ වුණේ ය. කලකිරුණේ ය. එක අතකට සුජීව පව් ය. යහපාලන ආණ්ඩුව බලයට ගේන්න මෙතරම් දර දිය ඇද්ද (ඔහුම කියන විදිහට) සුජීවට මෙහෙම කළ එකත් වැරදිය.

වතුර රත් වෙනකන් කකුළුවාට ආතල් ය. දෙලෝ රත් වෙන්නේ වතුර නටනකොට ය. 2017 නොවැම්බර් 21 වැනිදා සිරිකොතේදී සුජීව මෙසේ කීවේ ය.

"මම ඇත්තටම ජනාධිපතිතුමා ගැන ඉන්නේ විශාල කලකිරීමකින්. අපි එතුමන්ව පත්කළේ ජීවිතය කැප කරලා. එතුමන්ට දීලා තියෙනවා රාජපක්ෂලත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කරලා එතුමන්ට 2020 විශාල බලයක් එයි කියලා එක ආයතනයක්. මම එතුමන්ට කතා කරලා කිව්වා මාසයකට කලින්. මේ කොමිසම දික් කරලා මොකක්ද කළේ. දික් කරගෙන දික් කරගෙන අපිට මඩ ගහනවා.

මිග් ගනුදෙනුවට කෝ ජනාධිපති කොමිසම. කෝ නැව් ගනුදෙනුවලට ජනාධිපති කොමිසම්. කෝ ඇඩ්වර්ටයිසින් කොම්පැනිවලට කෝ ජනාධිපති කොමිසම්.

ජනාධිපතිතුමාට මම කියනවා එතුමාගේ දරුවෝ වයසේ තමයි අපිත්. එතුමා දරුවෝ ආරක්ෂා කරනවා නම් එතුමාට ඊ නිව්ස් එකෙන් ගහනව නම් අපිට ගහන එකත් හොඳ නැහැ.

පොදු අපේක්ෂකයා විදිහට එතුමා විසි දෙනෙක් අරන් එනවා කියලා 4ක් අරන් එනකොට කට්ටිය කිව්වා දෙන්න එපා කියලා. එතැනදී රෝසි සේනානායක මහත්මියත් මමත් කිව්වා එතුමා තීන්දුවක් අරන් ආවා කීයක් එක්ක ආවත් මේ සටන පටන් ගමු කියලා. වරදක් තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. එතුමා ජනාධිපතිතුමා. එතකොට අපිට ඇඟිලි දික්කරන්න බැහැ හොරු අල්ලන්නේ නැහැ කියලා. එතුමන්ට පුළුවන් නම් බැඳුම්කර කොමිසම දාලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඇයි අනෙක් ඒවට බැරි.

මම ජනාධිපතිතුමාට කියන්නේ ජනාධිපතිතුමා හිතා මතාම 2008 ඉඳන් හොයන්නේ නැතිව 2015 ඉඳන් පටන් ගත්තා. ගහක පැළවුණ තැන හොයන්න බැහැ මුල නැතිව. ඉතා ලේසියෙන් කරන්න තිබුණා 2008 ඉඳලා මේ බැඳුම්කර කොහොමද ඇතිවුණේ කියලා හොයලා බලන්න කියලා. ඇයි මේක කරන්න බැරි. අපි මේ ගැන එතුමන්ගෙන් ඉල්ලුව.

මෙතැන තිබුණේ දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහි කුමන්ත්‍රණයයි. මම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඒ පක්ෂය ආරක්ෂා කරන්න මම බැඳිලා ඉන්නවා."

මේ අල්ල පනල්ලේ කොරේ පිටට මරේ කියා සුජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30ක් ගත් කතාව එළියට ආවේ ය. සූජීව නම් කීවේ කතාව ඇහුවාම හාට් ඇටෑක් හැදුණා කියා ය. කලන්තේ හැදුණා කියලා ය. ඡන්දෙට ගත් සල්ලි කියලා ය. දුන්නේ කවුදැයි දන්නෑ කියලා ය. සුජීද රවි වගේම මාධ්‍යට අභියෝග කළේ ය. දෙරණ 360— වැඩසටහනේදී වටේ ගිහින් හිර වුණේ ය. එක තැන කැරකුණේ ය. අවසානයේ අපි නිර්දෝෂයි. මාධ්‍ය වැරදියි කියා යන්නට ගියේ ය.

2002 රනිල්ගේ ආණ්ඩුවට ගෙදර යන්න රවි හොඳ තල්ලුවක් දුන්නේ ය. 2015 රනිල්ගේ ආණ්ඩුවට ගෙදර යන්න සුජීවත් හොඳ තල්ලුවක් හොඳ හයියක් වෙනවාට නොඅනුමාන ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon