අලි ජරමරය

  👤  3298 readers have read this article !
2018-06-19

සිංහරාජ වනයේම උපන්, එම වනයේම ජීවත් වූ අලි දෙදෙනාට තවදුරටත් එහිම වාසය කරන්නට හැකිවන අසුරින් අලි කලබලය අවසන් වීම පිළිබඳව අපිදු සතුටට පත්වෙමු. අලි අල්ලන මෙහෙයුම නතර කරන ලෙස ජනපති නියෝග කිරීම නිසා තමන්ට මදිපුංචිකමක් වී යැයි වනජීවී විෂය භාර ඇමැති හා නියෝජ්‍ය ඇමැති කලකිරීමට පත්විය යුතු නැත. ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම ඊට විසඳුම්ද තිබේ.

කඩිමුඩියේ වටින් ගොඩින් ගන්නා තීන්දු තීරණ බොහෝ විට යථාර්ථවාදී වන්නේ නැත. ප්‍රශ්නවලට අත ගැසිය යුත්තේ හැඟීම්වලට ඉඩ දී නොව බුද්ධියට අවකාශය ලබාදීමෙනි. විශේෂයෙන් පාරිසරික ප්‍රශ්න අරබයා විද්‍යාත්මක විසඳුම් සැපයිය හැකි ප්‍රමාණික බුද්ධිමත්හු මෙරට ඕනෑ තරම් සිටිති. ඔවුහු යුද්ධ කරන්නට නොදනිති. එසේම වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා යුද්ධ කරන්නට දත් පමණින් සත්ත්වයන්ගේ ජීවන රටා පිළිබඳව සහ පාරිසරික පද්ධතිවලට අනුගත සංචරණයන් පිළිබඳව නොදන්නා බව පිළිගත යුතුය. අවශ්‍යවන්නේ කලබල නොවී ප්‍රමාණවත් කාලයක් වැය කොට උපදෙස් ලබා ගනිමින් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමය. ඇමැතිවරයා ලෙස ඊට නායකත්වය දීමය. සිංහරාජයේ වන අලි උවදුරු ඇති ගම්මාන වන කජුගස්වත්ත, කෝපිකෑල්ල සහ රඹුකයන ගම්මානවලට වන අලි බලපෑමක් ඇති නොවන පරිදි ආරක්‍ෂක විධිවිධාන යෙදීමටත් අලි දෙදෙනාට එහිම විසීමට හැකිවන පරිදි ආරක්‍ෂාව සලසන්නටත් අමාත්‍යාංශය ගත් තීරණය ඉතාමත් කාලෝචිතය.

අලින් සහ මිනිසුන් යන කොටස් දෙකේම ජීවිතවල ඇති වටිනාකම වගකිවයුත්තන් හඳුනාගත යුතුය. ප්‍රශ්නය මෙතරම් දුරදිග ගියේ, අලි-මිනිස් ගැටුම වර්ධනය වූයේ යම් දේශපාලන කරුණු අරමුණු කොට යොදන පැලැස්තර විසඳුම් නිසාය. පරිසරවේදීන් පෙන්වා දෙන ඉතාම සරල කාරණය වන්නේ හිතුවක්කාර ලෙස සිදුකරන වනාන්තර එළිපෙහෙළි කිරීම නතර කිරීමෙන් තොරව අලි-මිනිස් ගැටුම නතර කළ නොහැකි බවය.

සිංහරාජයේ අලි-මිනිස් ගැටුම උග්‍ර වූයේ වනාන්තරය අත්පත් කරගත් ජාවාරම්කරුවන් නිසා බව ඉතා පැහැදිලිය. දැව ජාවාරම්කරුවන්, අනවසර මැණික් ගරන්නන්, හොර මත්පැන් නිෂ්පාදකයන් හා දඩයක්කාරයන් වැනි සමාජ අසම්මත ක්‍රියාවන්හි යෙදෙන්නන් කැලෑව අරක් ගත් විට අලින් ගම් වැදීම පුදුමයක් නොවේ.

වන රක්‍ෂිත ආක්‍රමණය කරමින් තේ වගාව පැතිරෙන අන්දමත්, නව ගම්මාන බිහිවන අන්දමත්, සිංහරාජ ලෝක උරුම වනාන්තරය මායිමේ සෑම දිස්ත්‍රික්කයකම සිදුවන බව රහසක් නොවේ. වනය රැකගන්නට බලධාරීන් අවංකව පියවර ගත යුතුය.

සිංහරාජයේ අලි දෙදෙනා ගැන කඹ ඇදීම මෙතෙකින් නතර කළ යුතුය. ගැටලුව නිම කිරීමට ප්‍රජා සහභාගිත්වය ඇති විද්‍යාත්මක වැඩපිළිවෙළක් සම්පාදනය කරන්නට වහාම පියවර ගත යුතුය. අලි වැට යොදන අතරම කැලෑ මායිමේ අලින් ආහාරයට ගන්නා තෘණ හා වෘක්‍ෂලතා සිටුවීමේ ක්‍රමයක් සාර්ථකව අත්හදා බැලිය හැකිය.

හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය දුරදිග බලා විද්‍යාත්මක පදනමකින් ස්ථාපිත කළ වන අලි සංරක්‍ෂණ මධ්‍යස්ථානයක් නොවේ. එය කෝටි ගණනක මුදල් වැය කළ අපේක්‍ෂිත ප්‍රතිඵල අත්කර ගත නොහැකි වූ අසාර්ථක ව්‍යාපෘතියකි. එහි ගාල් කළ අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මතු නොව උන් ඉන්නවාද මළාද කියාවක් වනජීවී දෙපාර්තමේන්තුව නොදනී. එම දණ්ඞන කඳවුරට සිංහරාජයේ අලි දෙදෙනා ගෙන යෑම වැළැක්වීමට පෙරට පැමිණි පරිසරයට ළැදි සියලු සත්පුරුෂයන්ට ගෞරවය හිමිවිය යුතුය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම් ලබාදීම ගැන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි්‍ර ධර්ම මහ සංඝ සභාව නිවේදනයක් නිකුත් කර ඇත. උන්වහන්සේ අයත් නිකායෙන් නිවේදනයක් නිකුත් කර නැතැයි ඊයේ (18දා) පළවු කතුවැකියේ සඳහන්වීම පිළිබඳ කනගාටුව පළකරමු
කර්තෘ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon