තෝරු මෝරු පොකිරිස්සෝ සහ හාල්මැස්සෝ

  👤  4613 readers have read this article !
2018-06-14

මේඝනාද

2015 පෙබරවාරි 26 වැනිදා ලංකාවට ඉර පෑයූවේ බටහිරින් ය. ඒ කවදාවත් නොවිය යුත්තක් වීමට යන බැවිනි. රවී, කබීර්, මලික් කුකුළත් අතින් අරගෙන මහ බැංකුවට ගෑටුවේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මුණගැසීමට ය.

2015 පෙබරවාරි 27 වැනිදා ලංකාවට ඉර නොපෑයූවා නම් වඩා හොඳ ය. ඒ පරම්පරා ගාණක් මුළු ජාතියම වන්දි ගෙවිය යුතු දකුණු ආසියාවේ මහ හොරකම, මහ බැංකු බැඳුම්කර මහ හොරකම සිදුවූ දවස නිසාවෙනි.

අවුරුදු 10ක් විපක්ෂයේ වේළි වේළී හිටිය රවීලාට, මලික්ලාට බලය අතට ආපු ගමන් ඉවසුම් නැතිව යන්නට ඇත. රත්තරං බිත්තර දාන කිකිළි මරා බිත්තර ටික එක සැරේම ගන්නට සිතුවේ ය. බළල් පැටව් එකා දෙන්නා මල්ලෙන් එළියට පනිද්දී රවීට, මලික්ට, කබීර්ට කට උත්තර නැති විය. කිතුල් ගහට නැග්ග මිනිහාටත් උත්තරයක් තිබුණේ ය. කිව්වේ තණකොළ ඩිංගක් කපන්න නැග්ගා කියලා ය. වැඩේ මාට්ටු වුණාම මලික්ලා කිව්වේ ගිය ආණ්ඩුවේ ණයක් පියවා ගන්නා හැටි කතා කරන්න මහ බැංකුවට ගොඩ වැදුණා කියා ය. ඒක මහ හතරබීරි කතාවක් ය. ඇමැතිවරුන්, පක්ෂ සභාපතිවරුන් (මලික් සමරවික්‍රම එවකට යූඑන්පී සභාපති පමණය. මන්ත්‍රි කමක්වත් තිබුණේ නැත) මෙහෙම මහ බැංකුවට රිංගූ ඉතිහාසයක් අප නම් අසා නැත.

ඒ තෝරු-මෝරු ය. දැන් කතාව වෙන පැත්තක ය. බැඳුම්කර නඩුව අහන අල්ල පනල්ලේ පොකිරිස්සෝ-හාල්මැස්සෝ ටිකක් එළියට පැන්නේ ය. කතාව ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු මන්ත්‍රි ලැයිස්තුවක් ගැන ය. ලැයිස්තුව හෙළි කරන්න කියා සල්ලි නොගත් මන්ත්‍රිවරු කෑ ගසති. කථානායක එක එක කතා කියන්නේ ය. සී-350 වාර්තාව පාර්ලිමේන්තු ගත කරන්න කියන්නේ ය. ගාණ 116ක් කියන්නේ ය. 118ක් කියන්නේ ය. එහෙම ලැයිස්තුවක් නෑ කියා ජනපති ලේකම් කියන්නේ ය. දයාසිරි ලක්ෂ 10ක් ගත්තා, සුජීව ලක්ෂ 30ක් ගත්තා කියන්නේ ය. රෝසි ගැනත් එහෙම කතාවක් යන්නේ ය. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු ය. ප්‍රසිද්ධ වේදිකාවල, පත්තරවල, ටීවීවල දැන් ප්‍රධාන මාතෘකා ව වී ඇත්තේ ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු මන්ත්‍රි ලැයිස්තුව ය. දැන් තෝරු-මෝරු යට ගිහින් ය. රවීලා, මලික්ලා ගැන කතාවක් නැත. නළියන කටවල්වලට හප හප ඉන්න පොකිරිස්සෝ-හාල්මැස්සෝ ලැයිස්තුවක් එළියට දමා තෝරු-මෝරු ටික දැන් ආතල් එකේ සිටින්නේ ය.

ලොකුම මෝරා දැන් ඉන්නේ සිංගප්පූරුවේ ය. අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කීවේ මහේන්ද්‍රන් සිංගප්පූරු ගියේ මඟුලකට කියා ය. ඕන වෙලාවක ගෙන්වන්නම් කියලා ය. දැන් කියන්නේ මහේන්ද්‍රන් ඉන්නා තැනක් මං දන්නේ නෑ. එයත් එක්ක මගේ දැන් සම්බන්ධයක් නෑ කියලා ය. මේක මහ හතරබීරි කතාවක් ය. නඩුත් හාමුදුරුවන්ගේ ය. බඩුත් හාමුදුරුවන්ගේ ය.

යූඑන්පියේ තෝරු-මෝරු බේරගන්න රනිල් තවත් මෙහෙයුමක් ආරම්භ කළේ ය. හදිසියේම පොලිස්පති පූජිත් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර අරලියගහ මන්දිරයට කැඳවා තරවටු කළේ 'බී' රිපෝර්ට් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර යූඑන්පී ප්‍රභලයන්ගේ නම් එයින් ඉවත් කරන ලෙස ය.

මේ අතර මෛත්‍රි-රනිල් ප්‍රධානත්වයෙන් මලික්, මංගල, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී රාජපක්ෂලාට එරෙහි නඩු ඉක්මන් කරන්න තීරණය කෙරුණේ ය.

බැඳුම්කර නඩුවට ඉදිරිපත් කරන අපරාධ පරීක්ෂණ වාර්තාවලින් නම් යටගසා යූඑන්පී ප්‍රබලයන් බේරගන්න හදන රනිල්, රාජපක්ෂලාට එරෙහිව සෘජුවම නඩු අහන්න තීරණය කරන්නේ ය. 2012 අභියාචනා නඩු තවමත් විභාග නොකර තිබියදී 2017 ලලිත්-අනූෂ නඩුව කඩිනමින් කැඳවා තිබේ. කොමිෂන් සභා නමට විතරය. රටේ සිවිල් නීතිය යටතේ නඩු පෝලිමේ එද්දි දේශපාලන නඩු පෝලිම පනින එක යහපාලනය නොවේ ය. සියල්ල කරන්නේ මෛත්‍රිට කොළේ වහලා ය. 2019 ජනාධිපතිවරණයත් 2020 මහ මැතිවරණයත් ඉලක්ක කරගෙන රනිල් දේශපාලන බයිලාවක් ගහන්නේ නීතියේ දෙවඟන අල්ලේ නටවන්නට දැයි කියන්නට දන්නේ නැත.

මොනවා කළත් ඩෑම් එක දැන් පුපුරලා ය. එක හිලක් වහන කොට තව හිලක් ඇරෙනවා ය. ඇරෙන ඇරෙන හිල් වහන්න අතපය හතරත් මදිවෙන බව වැඩිකල් නොගොස් රනිල්ට තේරෙනවා ඇත.

රනිල් මෛත්‍රිව ගේන්න කැමැති වුණේ රනිල්ට හීනෙකින්වත් ජනාධිපති වෙන්න බැරි නිසා ය. මිනිසුන් ඡන්දය දුන්නේ රනිල් විශ්වාස කරලා නොව මෛත්‍රි විශ්වාස කරලා ය. බැඳුම්කර වාර්තාව අතට ගත්තු වෙලාවේ මෛත්‍රි ජාතිය අමතා කීවේ බැඳුම්කර හොරුන්ට, වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ය. දැන් තත්ත්වය තීරණාත්මක ය. ජනතා විශ්වාසය රකිනවාද? රනිල්ලව නළවනවාද? දෙකෙන් එකක් මෛත්‍රි තීරණය කළ යුතුව ඇත.

සුනිල් ආරියරත්න රචනා කළ නන්දා මාලනිය ගායනා කළ ගීතයක මේ ගීත ඛණ්ඩයට අද රාත්‍රි 10ට නින්දට පෙර මෛත්‍රි හොඳින් සවන් දුන්නොත් හොඳ ය.

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු...
කසයෙන් තළා හිස පල¼දා කටු ඔටුනු...
ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු...

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon