ලෝක සාමයට මල් මිටක්

  👤  3298 readers have read this article !
2018-06-14

ලෝක ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් උතුරු කොරියානු රාජ්‍ය නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී හමුවී න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමකට අස්සන් තැබූහ. රාජ්‍ය නායකයන් දෙදෙනා ගත් පියවර කලාපීය දේශපාලන උණුසුම සමනය කරන්නට හේතුවනු ඇතැයි ලෝක රාජ්‍ය නායකයන් විශ්වාසය පළ කොට තිබිණි.

සමාජවාදී කඳවුර සහ ධනවාදී කඳවුර අතර සීතල යුද්ධය පැවැති නිරවි යුද සමයේ 1968දී ඇමෙරිකන් ජනාධිපති රිචඩ් නික්සන් සහ චීනයේ සභාපති මාඕ සේතුං එවකට චීනයේ අගනුවර වූ පීකිං නුවරදී හමුවීමට නොදෙවැනි ලෝක අවධානයක් මේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ හමුවට ලැබී තිබිණි. ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් 1990දී රුසියන් ජනාධිපති මිහායිල් ගොර්බචොප් අයිස්ලන්තයේ රෙගාවික්හිදී හමුවීමත් මෙයට සමාන ඓතිහාසික සිදුවීමක් වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය පෘථිවියේ භූමි ප්‍රමාණය අනුව 4 වැනි ස්ථානයට වැටෙන අතර උතුරු කොරියාව භූමියේ ප්‍රමාණය අනුව වැටෙන්නේ 99 වැනි ස්ථානයටය. ජනගහනය අනුව ඇමෙරිකාව 3 වැනි ස්ථානයට වැටෙන අතර උතුරු කොරියාව අයත් වන්නේ 52 වැනි ස්ථානයටය. එහෙත් උතුරු කොරියාව න්‍යෂ්ටික බලය අතින් ලෝකයේ 8 වැනි ස්ථානයට පැමිණ සිටියේය. කිම් ජොන් අන් ගේ පාලනය යටතේ කොරියාව සැලකුණේ හසුරුවා ගත නොහැකි දඩබ්බර කොමියුනිස්ට් රාජ්‍යයක් වශයෙනි.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ වෙත්ම මහ බලවතුන් සම්බාධක පැනවූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමඟ උණුසුම් වාග් ප්‍රහාර හුවමාරු විය.

දඩබ්බරයා, උෟරා වැනි සාහසික වචනද අන් සම්බන්ධයෙන් ට්‍රම්ප් පාවිච්චි කළේය. එහෙත් අවසානයේ ට්‍රම්ප් කිලෝමීටර් 15,900ක් මඟ ගෙවා කිම් ජොන් අන්ට අත දෙන්නට සිංගප්පූරුවට පැමිණියේය. න්‍යෂ්ටික යුද්ධයක් ඇති වී නම් දිනන්නට හෝ පරදින්නට කිසිවකු ඉතිරි නොවන බව ඉඳුරාම දැන සිටි ලෝක ජනතාවට මෙම හමුව අසීමිත සැනසිල්ලට කරුණක් වූයේය.

"ලැබුණු ප්‍රතිඵලය ගැන දෙපාර්ශ්වයම විශාල ලෙස සතුටු වනු ඇතැයි මා සිතනවා" යැයි ට්‍රම්ප් පැවැසීය.

"අපි අතීතය පසෙකින් තබන්නට තීරණය කළා. ලෝකය විශාල වෙනසක් දකීවි" යනුවෙන් දෙරට අතර ගිවිසුම අස්සන් තැබීමෙන් අනතුරුව කිම් ජොන් අන් ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව සිදු කරන යුද ක්‍රීඩා මෙතෙකින් අත්හිටුවන අතර උතුරු කොරියාව තම ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය විනාශ කර දමනු ඇති බව ද ට්‍රම්ප් සෙන්තෝසාහි පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබිණි.

සාකච්ඡාව පැවැති තීරණාත්මක මිනිත්තු 40 උතුරු කොරියාව කෙරෙහි අඩ සියවසකට වැඩි කාලයක් මුළුල්ලේ පැවැති වපර ඇස ඉවත් වන්නට හේතු වූ බව ද බොහෝ විචාරකයන් පවසා තිබිණි. ජාත්‍යන්තරයෙන් නැඟුණු විරෝධය ද නොතකා උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම තුළින් ආසියාවේ සාමය පිළිබඳ චිත්‍රය දුර්වර්ණ වෙමින් පැවැතිණිය. න්‍යෂ්ටික අවි හරණ තීන්දුවකට එළැඹීම සාමය දෙසට තැබූ වැදගත් පියවරක් වන්නේ ඒ නිසාය. නොබැඳි පිළිවෙත ඉහළින්ම අගය කරන රාජ්‍යයක් ලෙස අපි ඔවුන්ට මල් මිටක් දිගු කරමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon