විදුලි සංදේශ කොමිසම වැටලූ හිමිනමගෙන් හෙළිවූ රහස

  👤  5656 readers have read this article !
2018-06-10

ජනපති කැඳවූ අතිවිශේෂ සාකච්ඡාව

පසුගිය ජුනි 5 අඟහරුවාදා ජනපති මෛත්‍රි විසින් ජනපති නිල නිවෙසේදී අතිවිශේෂ සා වක් පවත්වා ඇත. එම විශේෂ සාකච්ඡාව සඳහා කැඳවීම් ලැබ සිටියේ එජාපයේ අගමැති රනිල් සහ ඇමැතිවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර සහ අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරලය. ඊට ශ්‍රී ලනිපය නියෝජනය කරමින් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර ඇමැතිවරු ද එක්ව සිටියහ. දීර්ඝ වේලාවක් පැවැති මෙම විශේෂ සාකච්ඡාවේ ආරම්භයේ සිටම අවසානය දක්වාම රාජපක්ෂවරුන්ට දැනට පවරා ඇති නඩු සම්බන්ධව සහ ඉදිරියේ පැවරීමට නියමිත නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. සෑම නඩුවක්ම එකින් එක ගෙන සමාලෝචනය කෙරුණු බවද දැනගන්නට ඇත. දැනට මන්දගාමී ස්වභාවයෙන් විභාග වන නඩු සම්බන්ධව පවතින තත්ත්වයද අධිකරණ ඇමැතිනි තලතා විසින් කරුණු දක්වා තිබේ.

රාජපක්ෂවරුන්ගේ නඩු කඩිනම් කරන තීරණ

මෙහිදී සෘජුවම ප්‍රකාශ වී ඇත්තේ ගෝඨාභය, බැසිල්, නාමල් සහ හිටපු ජනපති මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත්ගේ නඩු කඩිනමින් අධිකරණයට ගෙන ඒම පිළිබඳවය. ශ්‍රී ලනිප දුමින්ද සහ මහින්ද අමරවීර ගෝඨාභය සම්බන්ධ නඩු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ. නව අධිකරණ ත්‍රිත්වය පිහිටුවීමට අදාළ පනත සම්මත වී ඇති බැවින් මේ වනවිටත් අධිකරණ පිහිටුවීමේ කටයුතු සිදු කෙරෙන බව තලතා විසින් පෙන්වාදී තිබේ.

බැඳුම්කර වංචාව පිළිබඳව දැනට පැවැත්වෙන නඩු විභාගයේ තවත් පරිච්ඡේදයක් පෙරළමින් පර්පචුවල් සමාගමට අනුබද්ධ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහට අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ 10 බැගින් වූ චෙක්පත් තුනක් ලබාදී ඇති බව ප්‍රථම වරට සුවිශේෂී හෙළිදරව්වක් සිදු කළේය. අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ඊට අදාළ සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවේ තැබීය. සුජීව සේනසිංහ බැඳුම්කර වංචාවේ ඇත්ත නැත්ත පොතේ කතුවරයාද වන්නේය. මෙම ලක්ෂ 30ක මුදල පිළිබඳව සිකුරාදා සියලුම මාධ්‍ය විසින් ප්‍රචාරය ලබාදී තිබිණි.

එජාප ප්‍රබලයන්ගේ චෝදනා අධිකරණයට ගෙන එනවාට පොලිසියට තරවටුවක්
එජාපයේ ප්‍රබලයන් තවත් බැඳුම්කර වංචාවට කොටුවීම වළක්වාගනු පිණිස අගමැති රනිල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අනාවරණය වී තිබේ. රනිල් උත්සාහ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උක්ත කරුණ සම්බන්ධ වැඩිදුර විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නට පෙර එය වැළැක්වීම බව පෙනේ. හදිසියේම පොලිස්පති පූජිත් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර අගමැති රනිල් විසින් අරලියගහ මැඳුරට කැඳවා තිබේ. දැනගන්නට ඇති අන්දමට එජාපයේ ඉදිරිපෙළ පුද්ගලයන් අධිකරණය හරහා වංචාකරුවන් ලෙස හෙළිදරව් කිරීම ගැන ඔවුන් දෙදෙනාට අගමැති රනිල් තදින් දෝෂාරෝපණය කර ඇත. සුජීව සහ රෝසි සේනානායක යන අයට අදාළ චෝදනා ඉදිරියේදී ඇතුළත් නොකරන ලෙසද තරවට්ටු කර ඇත.

සුදර්ශනී පරදවන මෙහෙයුම ප්‍රසන්නගේ වැඩක්ලු

නියෝජ්‍ය කථානායක ඡන්දයේදී තිරය පිටුපස අතුරු කතා රැසක් සිදුවී තිබේ. හරයාත්මකව සිදුවූ විශේෂ සිදුවීම නම් එජාපය සහ එජනිසය පැහැදිලිවම දෙකට බෙදීයෑමය. එජනිස රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කීපදෙනෙක් පමණක් සුදර්ශනීට ඡන්දය දුන්නේය. එජාපයේ ආනන්දට 97ක්ද සුදර්ශනීට ඡන්ද 53ක්ද ලැබීමෙන් ආනන්ද තේරී පත්විය.
ඒකාබද්ධයේ ප්‍රසන්න, වෙල්ගම, කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ මොහාන් ද සිල්වා ඡන්දයට පිටුපා පිටව ගියේය. ඒකාබද්ධයේ ප්‍රසන්න තදින් විරුද්ධවීම නිසා, "ඔයා සුදර්ශනීට අකැමැති නම් නොදී ඉන්න. අනෙක් අයට ඡන්දෙ දෙන්න කියන්න" යැය මහින්ද මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී කීවේය. එහෙත් ඒකාබද්ධ විපක්ෂ රැස්වීමේදී ගත් පොදු තීරණයට පිටුපා ප්‍රසන්නලා කටයුතු කළ බව පෙනෙන්නට තිබිණි.

ප්‍රසන්නගේ හැසිරීම ගැන අදහස් පළකරන ඇතමකු සඳහන් කළේ ඔහු කිසියම් බාහිර බලපෑමකට යටත්ව කටයුතු කළ බවට සැක මතුවන බවය. ඡන්ද විමසීම ආරම්භ වන විට පාර්ලිමේන්තු කැන්ටිමට ගිය ප්‍රසන්න එහි සිට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වමින් කැඳවාගන්නා බව පෙනිණි.
ප්‍රසන්න ආණ්ඩුවට කෘතවේදීත්වය පළ කළා දැයි සැක

එජාප විරෝධී තනි ආණ්ඩුවක් පිහිටුවීමට මහින්දගේ නායකත්වයෙන් ගෙන යන සටන අඩාල කරන වෑයමක් මෙම හැසිරීම තුළ ප්‍රදර්ශනය වූ බවත් එය සැබැවින්ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පක්ෂ නායකයන් චෝදනා කර තිබේ.

මහින්දගේ කනස්සල්ල

නියෝජ්‍ය කථානායක ඡන්දය පවැති දින පස්වරුවේ හිටපු ජනපති මහින්දගේ නිල නිවෙසේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබිණි. ඊට බොහෝ පක්ෂ නායකයන් සහභාගි වූයේ නැත. ප්‍රසන්න ගෙන ගිය ව්‍යාපාරයට විරෝධය පෑමක් ලෙස ඔවුන් මෙම සාකච්ඡාව වර්ජනය කළ බව දැනගන්නට ඇත. දිනේෂ්, විමල්, වාසු හා ගම්මන්පිල මෙසේ නොපැමිණි අය වෙති. ඇතිවූ තත්ත්වය පිළිබඳව මහින්ද දැඩි කනස්සල්ලෙන් යුතුව අදහස් පළකර තිබේ.

ජාත්‍යන්තර හමුදා දිනය

බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවීමට යුද හමුදාපති මහේෂ් සේනානායක අරලියගහ මැඳුරට පැමිණියේ අගෝස්තු මස පැවැත්වෙන ජාත්‍යන්තර හමුදා දිනයට අදාළ උත්සවයේ ප්‍රධාන දේශනයට අගමැතිවරයාට ආරාධනා කිරීමටය.

"මෙතෙක් මේ උත්සවයට ප්‍රධාන දේශනය කරල තියෙන්නෙ පිටරට කෙනෙක්. මෙවර උත්සවයට අපි ඔබතුමාට ආරාධනා කරන්නේ ජාතීන් අතර සංහිඳියාවටත් එය වටිනා නිසයි" හමුදාපති මහේෂ් සේනානායක කී විට අගමැතිවරයා අදාළ ආරාධනාව භාර ගත්තේය. අනතුරුව දෙදෙනා අතර උතුරු නැඟෙනහිර ඉඩම් යටිතල පහසුකම් ඇතුළු සංවර්ධනයට අදාළව අදහස් රැසක් හුවමාරු විය. අගමැති හමුවීමට පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟ ඔහු කතාබහ කළේ ඉන් අනතුරුවය.

පවුලේ ප්‍රශ්නවලට මම මැදිහත් වෙන්නේ නෑ. රනිල් කියයි.

"විදුලි සංංද්ශ නියාමන කොමිසම දැන් ආණ්ඩුවේ නිදහස් ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අභියෝග කිරීම විශාල කැළලක්. මුලින් ඊ නිවුස් වගේ වෙබ් අඩවි බ්ලොක් කළා. දැන් ඔබගේ සහෝදරයගේ ටී.එන්.එල්. එකට පොලිසිය බලෙන් ඇතුළු වෙලා පොල්ගහවෙල ටවර් එකේ බඩු ටික ගලවගෙන ගිහින්. ජනාධිපතිතුමාට මේ ගැන කතා කළේ නැද්ද" සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුලපිරුවේය.

"නෑ පවුලේ දේවල්වලට මම මැදිහත් වෙන්නේ නෑ" යයි කී අගමැතිවරයා ඉවත බලාගත්තේය. "ශාන් වික්‍රමසිංහ මෙකට මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කළෙත් නැද්ද?" දයා ගමගේ විමසීය.

"මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ශාන් මට කතා කරලා විස්තරේ කිව්වා. මැදිහත් වෙන්න කියලා කිව්වේ නෑ. මම මැදිහත් වෙන්නෙත් නෑ කියලා එයා දන්නවා. ප්‍රශ්නය අපිම විසඳගන්නම් කියලා එයා මට කිව්වා" අගමැතිවරයා කීය.

පොලිසිය ඇවිත් ටී.එන්.එල්. කුලුනේ බඩු ගලවන් ගිහින්

"පොල්ගහවෙල කුලුනේ සංඛ්‍යාත 03න් දෙකකට මුදල් ගෙවල තිබිල තියෙන්නේ. ඉතිරි එකේ ප්‍රශ්නය ටී.එන්.එල්. එකට කලින් දන්වලා කොමිසමට ප්‍රශ්නය විසඳගන්න තිබුණාලු. ඒත් එහෙම නොකර පොලිසියත් එක්ක ඇවිත් බඩු ගලවාගෙන ගිහින් තියෙන්නේ" නවීන් කීය. "ජනමාධ්‍ය ඇමැතිටත් නොදන්වා මේක කරලා තියෙන්නේ. පනත අනුව එහෙම කරන්නත් බෑ. ඇමැතිතුමාත් දැනගෙන තියෙන්නේ බඩු ගලවගෙන ගියාට පස්සෙයි" විජයදාස රාජපක්ෂ කීවේ එවැන්නකි.

"කරන්දෙණිය හා අනෙක් කුලුනුවලටත් ගේම දෙන්නලු හදලා තියෙන්නේ. නොහිතපු විදියට විපක්ෂය පවා පාර්ලිමේන්තුවේදී මේ වැඩේට විරුද්ධ වීම නිසා අකුලා ගත්තා කියලත් ආරංචියි" වජිර කීය. "විදුලි සංදේශ නියාමන කොමිසම කරන මේ වැඩෙන් ජනාධිපතිතුමාටත් හොඳ නැහැ. අපිටත් මේ වැඩේ කරාවි කියලා බයවෙලා අනෙක් ටී.වී. චැනලුත් කොමිසමට විතරක් නෙවෙයි ජනාධිපතිතමාට හා ආණ්ඩුවටත් එරෙහිව තවත් වැඩ කරන්න බැරි නෑ. ජනමාධ්‍ය ප්‍රහාර දෙන්න බැරි නෑ. නවීන් දිසානායක කීය.

අධීක්ෂණ මන්ත්‍රි දීමනාවක් දීම සාධාරණලු

"ආණ්ඩුවේ සංවර්ධන වැඩ වේගවත් කරන්න අධීක්ෂණ මන්ත්‍රිවරු පත් කිරීම ගැන ඒකාබද්ධය හා 16 කල්ලිය කැමැති නෑ. එතන තියෙන්නෙ පටු දේශපාලනයයි. ඒ වගේම ශ්‍රීල.නි.ප.ය තුළත් ඒ ගැන මත දෙකක් තිබෙන බව පේනවා. දුමින්ද කැමැතියි අමරවීරගේ ස්ථාවරය ඊට වෙනස්" විජයදාස රාජපක්ෂ කීය.

"සංවර්ධනය වේගවත් කරන්න මන්ත්‍රිවරු එකතු කර ගැනීමයි මෙතැනදි කරන්නෙ. අය වැයෙන් එවැනි කටයුතුවලට මුදල් වෙන් කරල තියෙනවා. ඔවුන්ට කාර්යාල පහසුකම් විතරයි දෙන්නේ. අමාත්‍යාංශ වැඩවලට යන විට ඒකෙ වාහනයක් පාවිච්චි කරන්න ඉඩ ලැබෙනවා. මුදල් දීමක් කරන්නෙ නෑ. ඒවා බොරු. ඒත් කරන වැඩවලට යම් දීමනාවක් දීම සාධාරණයි. ඒ ගැන සලකා බලන්න වෙනවා." අගමැතිවරයා පැහැදිලි කළේය. "රටේ සංවර්ධනය වේගවත් කරන මේ වගේ වැඩපිළිවෙළකට ජනාධිපතිතුමා විරුද්ධ වේය කියලා මම හිතන්නේනෑ. විරුද්ධ වුණොත් ඒ මන්ත්‍රිවරුන්ගේ කටවල් පරිස්සම් කරගන්න බැරි වේවි" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

"මහින්දගේ කාලේ මේ වගේ අධීක්ෂණ මන්ත්‍රිල දුසිම් කීයක් හිටියද? ඒ කාලේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රි වෙලා හිටියේ දුමින්ද සිල්වා" රන්ජන් රාමනායක මතක් කළේය.

"දයාසිරි ඇලෝසියස්ගෙන් ලක්ෂ 10ක් ගත්ත එක හංගගෙන ඉඳලා ඒක එළි වුණාට පස්සේ තවත් අය සල්ලි ගත්තා කියලා ඇඟ බේරගන්න හදලා තවත් නෝන්ඩි වුණා. සල්ලි ගත්ත ඇමැතිවරු හා මන්ත්‍රිලාගේ එහෙම ලැයිස්තුවක් නෑ කියලා නීතිපතිත් කියලා තියෙනවා" පී. හැරිසන් කීය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා පරණ වැඩ ආයෙ පටන් අරන්ලු

"ඒකාබද්ධයේ ඇතුළේ බෙදීම එයාලා කොච්චර වහන්න හැදුවත් නියෝජ්‍ය කථානායක තෝරන ඡන්දයට එයාලගෙන් කට්ටියක් මඟඇරීම තුළ ඒ රණ්ඩුව එළියට ආවා. 16 දෙනාගේ කල්ලියත් සම්පූර්ණයෙන්ම දෙකට බෙදිල ඉන්න බවත් එතැනදී පැහැදිලි වුණා" විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය සියලුදෙනා පිළිගත්හ.

"වසර 02ක් තුළ අපේ මිනිස්සු රාජපක්ෂ රෙජීමයේ පහත් වැඩ අමතක කරලා ඒ අයම පළාත් පාලනවලට පත් කරගත්තා. ඒ මන්ත්‍රිවරු දැන් පරණ වැඩ මේ ටික කාලෙටම හොඳට පටන් අරන්. ගොවීන්ගේ වතුර මෝටර් හොරකම් කරනවා, ළමයි විකුණනවා. ස්ත්‍රී දූෂණ කරනවා, කප්පම් ගන්නවා, ස්ටේෂන් මාස්ටර්ලට ගහනවා. තව හොඳ සෙල්ලම් ඉස්සරට බලාගන්න ලැබේවි" රන්ජන් රාමනායක කීය.

නියෝජ්‍ය කතානායක ඡන්දයේ අලකලංචිය

තිලංග ඉවත් වීමෙන් ඇති වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තනතුරේ පුරප්පාඩුවට නව මන්ත්‍රිවරයකු තෝරා පත්කර ගැනීම යෙදී තිබුණේ ජුනි 5 දිනටය. සම්මුතිවාදී ආණ්ඩුවේ කොන්දේසිවලට අනුව කථානායක හා නියෝජ්‍ය කථානායක තනතුරු දෙපාර්ශ්වය අතර බෙදී යෑමේ එකඟතාවක් තිබිණි. නමුත් සම්මුති ආණ්ඩුවේ බොහෝ එකඟතා මේ වන විට බිඳී යමින් තිබීම නිසා නියෝජ්‍ය කතානායක තනතුර ශ්‍රීල.නි.ප.යට නොලැබී යෑමේ අවදානමක්ද තිබිණි.

ශ්‍රීල.නි.ප.ය මුලින්ම යෝජනා කළේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි අංගජන් රාමනාදන්ය. එහෙත් දෙමළ ජාතික සන්ධානය අංගජන් පත් කරනවාට එකහෙළාම විරුද්ධත්වය පළ කළේය. ඉනික්බිති ජනපති මෛත්‍රි එකඟ වූයේ සුදර්ශනී පත් කරන්නටය. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කැමැත්ත දිනාගත යුතු බවද මෛත්‍රි අවධාරණය කළේය. එස්.බී. ඒකාබද්ධ විපක්ෂ සහයෝගය ගැනීමේ වගකීම තමා අතට ගත්තේය. අනතුරුව එස්.බී., මහින්ද සමඟ කතා කළේය. "මට තනි තීන්දුවක් ගන්න බෑ. මම කණ්ඩායමට දාල කැමැත්ත අරන් දෙන්නම්" මහින්ද කීවේය.

සුදර්ශනීට ඡන්දෙ දෙන්න බෑ කියති

මේ අතර සුදර්ශනී කටාන පැත්තේ කියා තිබුණේ

"මම කැමැතිත් නෑ, ඒත් මහින්ද මහත්තයා කියන නිසා ඉල්ලනවා" කියාය. ඒකාබද්ධ විපක්ෂය තුන් වැනිදා රැස්විය. මේ වෙලාවේ සුදර්ශනීට සහාය වෙන්න ඕන රනිල්-මෛත්‍රි හබය ඒකෙන් වැඩි වෙනවා. මහින්දානන්දගේ අදහස විය. මේ පාරත් විශ්වාසභංගයට වෙච්ච දේම වෙයිද කියන එකයි ප්‍රශ්නෙ" ප්‍රසන්න පැවැසීය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනා මේකට ඡන්දය දෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. 16 කණ්ඩායම වගේම ඇමැතිකම් දරන අයත් ඡන්දය දෙනවා" දිනේෂ් පැවැසීය.

"අපිට මේක දිනන්න පුළුවන් කියලා විශ්වාස නම් ඇයි අපි ඒකාබද්ධ විපක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් නොකරන්නේ? ඇයි අපි 16 දෙනාගේ කණ්ඩායමට මේක ගන්න උදවු කරන්නේ? එදා පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක තෝරන වෙලාවේ අපි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකිලා හිටියා. ඇයි මේ වතාවේ අපි පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්නේ?" ප්‍රසන්න විමසුවේය.

"ඒ අවස්ථාවේ සහ මේ අවස්ථාවේ තියෙන්නේ වෙනස් තත්ත්වයන් දෙකක්" මහින්දානන්ද පැවැසීය.

"මම සුදර්ශනී එක්ක තරහක් නැහැ. හැබැයි එතුමිය ඉන්න තැන ගැන මගේ පැහැදීමකුත් නැහැ. සුදර්ශනී මන්ත්‍රිතුමිය නියෝජනය කරන්නේ මෛත්‍රි පාර්ශ්වය. අන්න ඒ ප්‍රතිපත්තිමය විරුද්ධත්වය විතරයි මට තියෙන්නේ. ජෙයරාජ් මැතිතුමා ජීවතුන් අතර හිටියා නම් කිසිම සැකයක් නැතිව හිටගන්නේ මහින්ද මහත්තයා ගාව. එහෙම බලනකොට සුදර්ශනී නෝනා අඩු ගාණේ ජෙයරාජ් මහත්තයාගේ ප්‍රතිපත්තිවත් ආරක්ෂා කරලා නැහැ. සුදර්ශනී නෝනලා පිල් මාරු කරපු එක තමයි දිස්ත්‍රික්කයක් වශයෙන් අපට තියෙන ගැටලුව" ප්‍රසන්න පැහැදිලි කළේය.

අපි කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ගේම් ගැහුවේ නෑ

"ඒ කතාව ඇත්ත. මම වුණත් එදා හිටියේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා ළඟ. හැබැයි මම තීන්දුවක් ගත්තට පස්සේ කෙළින්ම ආවේ මහින්ද මහත්තයා ගාවට. මම හිටගත්තේ ඒකාබද්ධ විපක්ෂය තුළ. එහෙම නැතිව මේ පැත්තෙයි ඒ පැත්තෙයි කකුල් දෙක තියාගෙන ගේම් ගැහුවේ නැහැ. හැබැයි මේ අය එහෙම නැහැ. එයාලා කියන්නේ එකක්. කරන්නේ තව එකක්" ලන්සා පැවැසීය.

"මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙක් විදියට මේකට කැමැති නැහැ. මොකද අවුරුදු තුනක් තිස්සේ අපි ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් දරදිය ඇද්දා. අපේ පාක්ෂිකයෝ මේ වැඩවලින් කලකිරෙනවා. පාක්ෂිකයෝ නැතිව අපිට ගමනක් නැහැ. ඒ හින්දා මම මේකට විරුද්ධයි" රණවීර කීවේය.

කටාන ආසනයේ අපේ පාක්ෂිකයනුත් සුදර්ශනීට කැමැති නැහැ. එයාලගේ හිත්වල තියෙන්නෙම මහින්ද මහත්තයාව අමාරු අවස්ථාවේ අතහැරපු කාටවත් ආයේ චාන්ස් එකක් දෙන්න හොඳ නැහැ කියලයි" ඉන්දික පැවැසීය.

"මෙතන තියෙන්නේ සුදර්ශනී එක්ක පෞද්ගලික තරහක් නෙමෙයි. අපි ජෙයරාජ් ඇමැතිතුමාට ගරු කරනවා. හැබැයි සුදර්ශනී නෝනා ජෙයරාජ් මහත්තයාගේ පාරේ නෙමෙයි ගියේ. එයාට ලොකු වුණේ ඇමැතිකම මිසක් රටවත් පක්ෂයවත් නෙමෙයි. එහෙම කෙනෙක් දිනවන්න අපි මහන්සි වෙන්න ඕනේ නැහැ" ලන්සා යළි කීවේය.

"මට තේරෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන්ට මේක ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ප්‍රසන්නලා කියන කතාවත් එක පැත්තකින් හරි. ඒ නිසා මම ඔයාලට කැමැති තීන්දුවක් ගන්න ඉඩ දෙනවා" මහින්ද පැවැසීය.

"අපි ඒ ගැන සර්ට ස්තුතිවන්ත වෙනවා. අපිට පෞද්ගලික ආරෝවක් නැහැ. හැබැයි මේ වගේ අය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව දිනවන්න මහන්සි වෙච්ච කාට හරි අසාධාරණයක් වෙනවට මම කැමැති නැහැ. මොකද අපි අද කොන්ද කෙළින් තියාගෙන ඉන්නේ අපි වෙනුවෙන් මහන්සි වෙච්ච පාක්ෂිකයන් නිසයි. හැමෝම වරදාන, වරප්‍රසාද වෙනුවෙන් මහින්ද මහත්තයා අතහරිද්දී ඒ අය ආණ්ඩුවෙන් ගුටි කකා හරි මහින්ද මහත්තයා එක්ක හිටියා. ඒ අය ආරක්ෂා කරන එක අපේ යුතුකම" ප්‍රසන්න පැවැසීය.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් විය. සිසිර ජයකොඩි හැර ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම නෙළුම් මාවත බලා ගියේ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකට සහභාගි වීම සඳහාය. එය කැඳවා තිබුණේ පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

අපේ අය පාර්ලිමේන්තුවේ නෑ

රැස්වීම අවසන්ව පාර්ලිමේන්තුව බලා එන විට ප්‍රසන්නට මහින්දගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

"කොහෙද ප්‍රසන්න ඉන්නේ?" මහින්ද ඇසුවේය.

"මම සර් මේ නෙලුම් මාවතේ ඉඳන් පාර්ලිමේන්තුවට එන ගමන්" ප්‍රසන්න පිළිතුරු දුන්නේය.

"ඉක්මනට එන්නකෝ එහෙනම්. අද ඡන්දය දෙන එකේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපේ අය පාර්ලිමේන්තුවේ නැහැ" මහින්ද පැවැසීය.

"මම එන්නම් සර්. හැබැයි මට නම් ඕකට පක්ෂව ඡන්දය දෙන්න බැහැ" ප්‍රසන්න පැවැසීය.

"ඒකට කමක් නැහැ. මම ඔයාලට කැමැති තීන්දුවක් ගන්න දුන්නානේ. හැබැයි ඔයා ඇවිත් අනිත් අය කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න" මහින්ද කීවේය. ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණි ප්‍රසන්නට ද දැකගන්නට ලැබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු 15 දෙනකු පමණ පාර්ලිමේන්තුවේ නොමැති බවය. ඔවුන් තම තමන්ගේ කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව ප්‍රසන්නට දැනගත්තට ලැබුණේ දුරකථන ඇමතුම් මඟින් මන්ත්‍රිවරුන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයේදී. කෙසේ නමුත් නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඡන්ද 97ක් ලබමින් ජයග්‍රහණය කළ අතර සුදර්ශනීට හිමි වූයේ ඡන්ද 53ක් පමණි.

සිංහල වෙද්දු කැඩුණු කකුල් හොඳට කඩලයි බේත් කරන්නේ

ඡන්ද විමසීම අවසන්ව එළියට එද්දී අනුරට ඩිලාන් හමුවිය. යන යන තැන බෙදනවා නේද? අනුර ඇසීය.

"මම සිංහල වෙදෙක් වගේ. සිංහල වෙද්දුත් කැඩුණු කකුල් හොඳටම කඩලයි ආපසු හොඳ කරන්නේ. මමත් එහෙම තමයි" කියමින් ඩිලාන් යන්නට ගියේය. එදින සවස ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ වන විටත් මහින්දගේ නිවෙසට පැමිණ සිටි වෙල්ගම, ප්‍රසන්න, රෝහිත, ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කතාබහ කරමින් සිටියහ. "හරි නම් නියෝජ්‍ය කථානායක ධුරය අයිති වෙන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එහෙම තමයි දෙගාල්ලෝ ජාතික ආණ්ඩුව හදනකොට එකඟතාවකට ආවේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙනුත් අපේක්ෂකයෙක් දාලා නිදහස් පක්ෂයට අයි නියෝජ්‍ය කථානායක ධුරය මංකොල්ල කෑවා. එහෙම බලනකොට දැන් පක්ෂ දෙක අතර තිබුණු එකඟතාව ඉවරයි" වෙල්ගම කීය.

දඟලන්න එපා කියලා රනිල් පොඩි ටොක්කක් ඇන්නා

"මම හිතන්නේ රනිල් මෛත්‍රි ජනාධිපතිවරයාට ඔය පොඩි ටොක්කක් ඇනලා පෙන්නුවා කියලයි. රනිල් සද්ද නැතුව හිටියා නම් සුදර්ශනී නිකම්ම නියෝජ්‍ය කථානායක වෙනවා. හැබැයි ජනාධිපතිවරයා පසුගිය දවස්වල කරපුවා හින්දා රනිල් ටොක්කක් ඇනලා පෙන්නුවා වැඩිය දඟලන්න එපා කියලා" රෝහිත පැවැසීය.

"සුදර්ශනීව යෝජනා කළේ අපි නෙමේ ජනාධිපතිවරයාමයි. හැබැයි ජනාධිපතිවරයාගේම යටතේ ඇමැතිකම් දරන නිදහස් පක්ෂ ඇමැතිවරුනුත් සුදර්ශනීට සහයෝගය දෙන්නේ නැතුව කර ඇරියා. දැන් බලාගෙන යනකොට ජනාධිපතිවරයාගෙම පක්ෂයේ ඇමැතිවරුනුත් ජනාධිපති කියන දේ අහන්නේ නැහැ වගෙයි" ජොන්ස්ටන් පැවසීය.

"ජනාධිපතිවරයාගේම ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය වගේම නිදහස් පක්ෂයේ අයත් ජනාධිපතිවරයාගේම යෝජනාවට විරුද්ධව වැඩ කරනවා නම් ඒ ජනාධිපතිකමෙන් ඇති පලේ මොකක්ද?" ප්‍රසන්න ඇසුවේය.

"ඕකට තමයි පහුගිය විශ්වාසභංගයේදීත් වුණේ. විවාසභංගය ගේන්න මුල් වුණේ ජනාධිපතිවරයා. අන්තිමට දුමින්දලා සේරම ජනාධිපතිට කොකා පෙන්නලා කර ඇරියා" රෝහිත පැවැසුවේය.

මුල්ම රහස් ඡන්දය දැම්මේ රනිල්

පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක තනතුරට ආනන්ද කුමාරසිරිගේ නම එජාපයේ බුද්ධික යෝජනා කළ අතර සුදර්ශනීගේ නම ශ්‍රී ලනිප එස්.බී. යෝජනා කළේය. විපක්ෂ නායක ආර්. සම්පන්දන් සුදර්ශනීට ඡන්දය දෙන බව කල්ඇතිව ප්‍රකාශ කර තිබිණි. ඡන්ද පෙට්ටිය මැති සබය මැද තබා ඡන්ද විමසීම ආරම්භ කළ අතර රහසිගත ඡන්දය සඳහා ආවරණයක්ද සකසා තිබිණි. එක් එක් මන්ත්‍රිවරයාගේ නම ප්‍රකාශ වෙත්ම ඔහු සභා මැදට පිවිස ඡන්දය සලකුණු කොට අසුන් ගත්තේය. මුලින්ම නම කියැවුණේ රනිල්ගේය. රනිල්ට විසුළු කරමින් දයාසිරි, ඩිලාන් මහින්දානන්ද කෑගැසීය.

චන්ද්‍රානි ඡන්ද දීමට එද්දී කාන්තා අයිතිය රකින්නැයි කෑගැසූහ. විජයකලාගෙන්ද විමල් ඒ ඉල්ලීම කළේය. මංගල එන විට විමල් කෑගැසුවේ මධ්‍ය ආයතනවලට කාන්තාවෝ දැම්මා වගේ මෙහිදීත් සුදර්ශනීට ඡන්දය දෙන්න කියාය.

විපක්‍ෂ නායක සම්පන්දන් සුදර්ශනීට ඡන්දය දෙන බව පැවැසීමත් සමඟ ටී.එන්.ඒ. මන්ත්‍රිවරුන් මැති සබයෙන් පිටවී යන්නට විය. ටික වෙලාවක් යන විට සභා ගැබේ ඉතිරි වූයේ සම්පන්දන් පමණි. තම තනිවී ඇති බව තේරුම් ගත් ඔහුද ඇඟට පතට නොදැනී පිටව ගියේය.

සම්පන්දන් පිටව යනු දුටු ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම් නායක දිනේෂ් කලබල වූ බව පෙනුණි. ඉන්පසු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුද එකිනෙකා ලෙස්සා යන්නට පටන් ගත්තේය. වාසුදේව උස්හ¾ඩින් කිසිවක් ප්‍රකාශ කරමින් පිටව ගියේය. ඔහුගේ දෝෂාරෝපණය එල්ල වූයේ ඒකාබද්ධයට විය යුතුය.

ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායක කළ එජාප මෙහෙයුම

ඡන්දය ජය ගැනීමට මෙහෙයුමක් ගයන්ත කරුණාතිලක ක්‍රියාත්මක කර තිබූ බැවින් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් ඡන්දය ලබාදීමට සභාගැබට පැමිණ සිටියේය. ඡන්දය නොදීමට පැමිණියේ විදේශ ගතවී සිටින මන්ත්‍රිවරුන් සහ අසනීපව සිටි මන්ත්‍රිවරු කිහිපදෙනෙක් පමණි.

ඡන්ද විමසීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන්ගේ නම අඬගැසීමේ දී පැවතියේ නිහඬතාවකි. මේ තිදෙනාම එම අවස්ථාවේ සභාගැබේ නොසිටියහ. ඒ දුටු සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂය දෙසට අත දිගු කර, මොකද සුදර්ශනීට රාජපක්ෂවරුන් කැමැති නැතිදැයි විමසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කෑ ගසා කියා සිටියේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අගමැතිවරයා අනිවාර්යයෙන්ම කාන්තාවකට ඡන්දය පාවිච්චි කරන බවයි. ඊට ප්‍රතිචාර ලෙස අගමැතිවරයා සිනා සී ඡන්දය ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන විට විපක්ෂය දෙසින් "ලෙෆ්ට් රයිට් - ලෙෆ්ට් රයිට්" යනුවෙන් හඬනැඟීය. සරත් ෆොන්සේකා මහතා "දැන් ඒවා මතක නෑ" යැයි ඊට ප්‍රතිචාර දැක්වීය.

ජෝන් අමරතුංග මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙද්දී ජෝන් අයියා නම් කොහොමටත් කාන්තාවකට තමා දෙන්නේ යැයි, විපක්ෂයෙන් කෑ ගසන්නට වූහ.
අවසානයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97ක් ලබාගෙන නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරියට ලැබුණේ ඡන්ද 53ක් පමණි.

20 වැනි සංශෝධනයේ වැරැදි සොයාගන්න බැරුව තක්කු මුක්කු වෙලා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 6 වැනිදා පෙරවරුවේ පැලවත්ත පක්‍ෂ කාර්යාලයේදී පැවැත්විණි. එදින න්‍යාය පත්‍රයේ වැඩි ඉඩක් වෙන්ව තිබුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවය.

"20 බටහිර කුමන්ත්‍රණයක් කියලා අවලාද නඟපු උදවිය 20 එළියට දැම්මාට පස්සේ සද්දයක් නෑ. විස්ස ගේන්න කලින් සඟ සමුළු තියපු නායක ස්වාමින් වහන්සේලා විස්ස එළි දැක්වූවාට පස්සේ කිසිම අදහසක් ප්‍රකාශ කර නැහැ" විජිත හේරත් පැවැසීය.

ඒ අයගෙ තර්ක ඔප්පු කරන්න 20න් මොනවත් හොයාගන්න බැරිව තක්කු මුක්කු වෙලා ඉන්නේ අනුර තේරුම් කළේය. මුලින් කිව්වා රට බෙදන්න තමයි මේ සංශෝධනය ගෙනෙන්නේ කියලා. නමුත් අපි 13 වැනි සංශෝධනයට අදාළ ජනපති බලතල කිසිවකට අත තියා නැහැ. 20 කියන කරුණුවලින් රට බෙදෙන්නේ කොහොමද කියලා ඔප්පු කරන්න කියා අපි අභියෝග කළා. දැන් කියනවා මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා. දේශපාලනය නොදන්නකම එයින්ම තේරෙනවා. තනි පුද්ගලයකු අත බලය තියෙනවටයි අධිරාජ්‍යවාදීන් සතුටු වෙන්නෙ. මොකද ඔවුනට නම්මා ගන්න පහසු නිසා මේ කණ්ඩායම් හැම දෙයක්ම පටලවාගෙන. ටිල්වින් සිල්වා කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතුළේ කචල් එළියට ආවා

ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළේ කචල් කොටසක් ගෝඨාභය පස්සේ යනවා. තව කණ්ඩායමක් බැසිල් පස්සේ. ගෝඨා පස්සේ යන අය තමයි 20ට විරුද්ධව කෑගහන්නේ. බිමල් රත්නායක පැවැසීය.

කොටසක් බැසිල් කියන දේ කරනවා තව කොටසක් ගෝඨා කියන දේ කරනවා තවත් පිරිසක් මහින්ද කියනදේ කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මේ බෙදීම නියෝජ්‍ය කථානායක තෝරන ඡන්දෙදි එළියට පැන්නා. සුනිල් හඳුන් නෙත්ති කීවේය.

ඇමැතිට ලැබෙන පංගුව බලා ගිවිසුම් ගහන රටක්

අපේ රටේ ගිවිසුම් අස්සන් කරන්නේ ඇමැතිට ලැබෙන පංගුව දිහා බලලයි. සිංගප්පූරු ගිවිසුමත් එහෙම එකක්. රටට යහපතක් වෙන ගිවිසුමක් නම් ඇයි හොරෙන් අස්සන් කරන්නේ. පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ. කොළේ වහලා ගහනවා. අපි මේක හොයනවා. වසන්ත සමරසිංහ කීවේය. රටට අහිතකර ගිවිසුම් ගහන්න අපිට ඉඩදෙන්න බැහැ. විජිත හේරත් කීවේය.

20 වැනි සංශෝධනයේ වැරැද්දක් නෑලු

පස්වැනිදා නියෝජ්‍ය කථානායක තේරීමේ අලකලංචියෙන් පසු පාර්ලිමේන්තු කැන්ටිමට රොක්වූ මන්ත්‍රිවරු අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ. ජවිපෙ අනුර තේ බිබී සිටි මේසය අසලට ඒකාබද්ධ විපක්‍ෂයේ වෙල්ගම මහින්දානන්ද හා රංජිත් සොයිසා පැමිණියහ.
"විපක්‍ෂයේ සංවිධායකතුමා මොකක්ද මේ ඔයාලගෙ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය" වෙල්ගම කතාවට මුල පිරීය.

"මේ වෙලාවෙ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ එන්න කරන්න තියෙන සුදුසුම ව්‍යවස්ථා සංශෝධනය තමයි 20න් අපි ගේන්නේ.

මේකෙන් වාසි වෙන්නෙ ජවිපෙ අපටවත් වෙන කාටවත් නොවේ රටටයි. නැවත රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙලා ජනතාව විසින් බලයට පත් කරන ඕනම පක්‍ෂයකට රටට නායකත්වය දී සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයන්න අවස්ථාව පෑදෙනවා. ඊට අවශ්‍ය නෛතික පදනමයි 20න් ස්ථාපිත කෙරෙන්නේ. මේ ගැන කවුරුත් හුඹස් බියක් ඇති කරගත යුතු නැහැ." අනුර 20 ගැන තවදුරටත් විස්තර කළේය.

අනුරගේ කතාවට සවන් දෙමින් සිටි වෙල්ගම

"බලාගෙන ගියාම ඒකේ ඇති වරදක් නැහැනේ. අපේ කට්ටියට ඔයාම මේක පැහැදිලි කරල දෙන්න. අපි අවස්ථාවක් සංවිධානය කර දෙන්නම්" වෙල්ගමගේ කතාව අනෙක් දෙදෙනාද අනුමත කළේය.

ඊට නොදුරින් වූ මේසයක සිටි විමල් වීරවංශ ඉතා උනන්දුවෙන් මෙහි සිදුවූ දෙබසට ඇහුම්කන් දුන් බව පෙනිණි. මන්ත්‍රිවරු දෙදෙනා එතැනින් ඉවත් වනවාත් සමඟ විමල් කතා කළේය.

"අපේ කට්ටියට 20 ගැන පැහැදිලි කරන්න වෙනින් කවුරුවත් ඕන නැහැ. මට පුළුවනි ඒ පැහැදිලි කිරීම කරන්න."

"මොකෙක් පැහැදිලි කරත් කමක් නැහැ. මම අහන ප්‍රශ්නවලට උත්තර ඕනෑ" වෙල්ගම කීය.

සජිත්ගෙන් සෂෙන්කාට ගෙයක්

සාමාන්‍යයෙන් ලංකාවේ ලක්‍ෂ ගණනින් ගේ ‍ෙදාර යාන වාහන පුද පඬුරු ලැබෙන්නේ කිරුළු පලන් රූප සුන්දරියන්ට හා සුපර් ස්ටාර්ස්ලාටය. ස්ව ශක්තියෙන් නැඟී සිට රටට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩා කුසලතා ඇති දැයේ දූ පුතුන් ගැන සොයා බලන ඔවුන්ට අතහිත දෙන නිරිඳුන් සිටියේ පුරාණ රාජාණ්ඩු සමයේය. දුක්සැප කුමන්දා අසණ නිරිදෝ වෙන කෙයින්දා කියා ලීවේ මෙකල නොව එකලය.

විහඟි සෂෙන්කා 17 හැවිරිදි දැරියකි. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යාවකි. සෂෙන්කා කරාටේ ශූරියකි. ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ඇය ලංකාවට ලබා දුන්නාය. ඇගේ මවුපියන්ට ආර්ථික හයියක් තිබුණේ නැත. ඔවුන් සිටියේද කුලී නිවෙසකය. එහෙත් ඕතොමෝ සිතින්, ආත්ම ශක්තියේ පොහොසත් තැනැත්තියක වූවාය. පියා අසීරුවෙන් සොයා දුන් මුදලින් ජපානයේ පැවැති ජාත්‍යන්තර කරාටේ තරගාවලියට ගිය ඇය ලෝකඩ පදක්කම රැගෙන ආවාය.

සෂෙන්කා පසුගියදා ඇගේ මවත් ක්‍රීඩා ගුරුතුමිය වූ රෝස්මරී මහත්මියත් සමඟ පැමිණ නිවාස ඇමැති සජිත් හමුවූවාය.

"අපි ඉන්නේ කුලී ගෙයක. ජපන් ටූනමන්ට් එකට යන්න තාත්තා සල්ලි හොයා දුන්නේ පොලියට" ඇය ඇමැතිවරයා සමඟ පැවසුවේ බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙනය. සජිත්ගේ හිත උණු විය. ඔහු කම්පාවට පත්විය.

"පුතා අපි මුලින්ම ඔයාගේ නිවාස ප්‍රශ්නය විස¼දා ගනිමු. අනෙක් ප්‍රශ්න ගැන දෙවනුව හිතමු" සජිත් කීය. ඇය ආපසු ගියාය.

ගතවූයේ දින 7කි. ඇයට නිවාස ඇමැතිවරයාගෙන් කැඳවීමක් ලැබිණි. නිවාස අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයකදී විභූහි සෂෙන්කාට මොරටුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයේ ලක්‍ෂ 35ක් වටිනා නිවෙසක අයිතිය හිමිවිය.

මට ගොඩාක් සතුටුයි සර් දවස් හතක් තුළ මේ වගේ ගෙයක් ලැබෙයි කියල මම හීනෙකින්වත් හිතුවේ නෑ" සෂෙන්කා කියද්දී ඇගේ නෙතඟ සතුටු කඳුළු බිඳුවක් රැඳී තිබිණි.

ටී.එන්.එල්. නාළිකාවේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය තහනම් කිරීමට විදුලි සන්දේශ නියාමන කොමිසම ගත් තීරණයට විරෝධය පළ කරමින් 'බොදු උරුමය රැකගැනීමේ ව්‍යාපාරය' නමැති සංවිධානයක් සති අන්තයේ නියාමන කොමිසම වැටලීය. සේදවත්ත වැල්ලම්පිටියේ වෙහෙරගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති අඹන්වෙල පඤ්ඤාලෝක හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ පිරිසක් ඊට එක්ව සිටියහ. එම පිරිස ධාතු කරඬුවක්ද රැගෙන නියාමන කොමිසම වෙත ගොස් එය ආයතනයේ ඉදිරිපස කවුන්ටරය මත තබා පිරිත් දේශනාකොට අනතුරුව බෞද්ධ නාළිකාවක් තහනම් කළ බවට ජනාධිපතිවරයාට චෝදනා කළහ.

ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයට ගිය පිරිස එහිදීද ග්‍රාමසේවක බුද්ධාගම වනසන බව කියමින් බැනවැදුණහ. මෙම පිරිස ජනාධිපතිවරයා අතට පත්කරන ලෙස ඉල්ලා දායක සභා ලිපි ශීර්ෂයක ලිපියක්ද භාරදුන් අතර එම ලිපි ශීර්ෂයේ වෙහෙරගොඩ පුරාණ විහාරයේ අනුශාසක වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ නම සඳහන්ව තිබිණි. අවසානයේ එම භික්ෂුන් වහන්සේ අරලියගහ මන්දිරයට වැඩම කළහ.

9.05 කියූ සැණින් රටම දන්නා හේමනලින්

හදිසියේ අප අතරින් වියෝවූ ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නයන්ගේ දේහය සිකුරාදා ඔහු පදිංචිව සිටි මාලබේ නිවෙසේ තැන්පත් කර තිබිණි. කලාකරුවන් මෙන්ම සමාජයේ විවිධ තරාතිරම්වල ඇත්තෝ පැමිණ හේමනලින්ට ගෞරවය පුද කළහ.
හිටපු ජනාධිපති මහින්ද එහි පැමිණියේ සිකුරාදා දහවල්ය. සිය සහෘදයාට ගෞරව දැක්වීමෙන් පසු මහින්ද හේමනලින්ගේ සොහොයුරු ලක්ෂ්මන් කරුණාරත්න සමඟ කතා බහ කළේය.

"සර් මල්ලිගෙ උපන් දිනේට හැමදාම කතා කරනවානෙ. මල්ලී මට කියනවා ඔන්න අදත් උදේම මට උපන් දින සුබ පැතුම් ගෙනාවේ මහින්ද මහත්තයා කියලා" යැයි ලක්ෂ්මන් මහතා කීය.

හේමනලින් කියන්නෙ පුදුම වාසනා ගුණයක් තිබූ කෙනෙක්. වෙන මොනවත් ඕනෑ නෑ 9.05 කිව්වම රටම නලින්ව දන්නවා මහින්ද කීවේය.

නාගරික මන්ත්‍රින්ගේ විශ්‍රාම වැටුප් යෝජනාව කුණුකූඩයේ

කොළඹ මහ නගර සභාවේ සිටින එජාප මන්ත්‍රි කණ්ඩායමේ යූ. සඳමාලි මන්ත්‍රිවරිය පසුගිය සතියේ අපූරු යෝජනාවක් ගෙනාවාය. ඇගේ ඉල්ලීම නාගරික මන්ත්‍රිවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කළ යුතු බවය. නගර සභා සේවකයන්ගේ දහසක් ප්‍රශ්න තිබියදී ගෙනෙනු ලැබූ එම යෝජනාවට වැටුප් කාරක සභාවේදී දැඩි විරෝධයක් එල්ල කළේ ජවිපෙ නාගරික මන්ත්‍රි හේමන්ත වීරකෝන් විසිනි. එම විරෝධය සමඟ යෝජනාව ප්‍රතික්‍ෂේප වූයේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon