බල පොරය නවත්වන්නේ කවදාද?

  👤  4044 readers have read this article !
2018-06-10

ශ්‍රී ලංකාවේ දේශපාලන බල අරගලය ජන අප්‍රිය වසර තුනහමාර පසු කරමින් තිබේ. දේශපාලන පොරපිටියේ අලකලංචිවලට සවන් දෙමින් උදෑසන අවදි වන මිනිස්සු රෑ නින්දට යන්නේද දේශපාලනඥයන්ගේ මෙලෝ හරයක් නැති ජුගුප්සාජනක කතාවලට සවන් දෙමිනි.

දේශපාලනඥයන් රඟ දක්වන විසූක දස්සන බලන්නට රටේ මිනිස්සුද හුරු වී සිටිති. මොකක් හෝ කාරණයක් ඇද බාගෙන ඒ මාතෘකාව ඔස්සේ ඒ ඒ පක්ෂවල කෙරුම්කාරයෝ දෙන වොයිස් කට් ඇසුවේ නැතිනම් නින්ද නොයන ජනතාවක් බිහි වී ඇත.

රටේ සංවර්ධනයක් හෝ අනාගත අභිවෘද්ධියක් ගැන කතාවක් ඇත්තේම නැත. මාධ්‍යයට පළ කරන්නට සිදුව තිබෙන්නේද දේශපාලකයන්ගේ හුටපට හැරුණාම හදිසි අනතුරු, නඩු, මරණ ගැනය. ඒවාද දේශපාලනඥයන්ගේම පුත්‍රයන් රෑ දෙගොඩ යාමේ පැයට කිලෝමීටර් 100 පන්නා මොටෝරිය පදවා අහිංසක මිනිසුන් යට කරපු පුවත්ය. පළ කරන්නට රටට යහපතක් වන ඉදිරියට යන ගමනක් ගැන, සංවර්ධනය ගැන අසන්නට ලැබෙන්නේම නැත.

ලංකාව නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ මෙයට වසර 73කට පෙර 1945 දීය. එතෙක් මෙතෙක් ගුරු මාතාවන්ට ගර්භණී සමයේ අඳින සාරිය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැත. ගැබිනි ගුරුවරියන්ට ගවුමක් ඕනෑ යැයි ගුරු සංගම් කිසිදු දිනක ඉල්ලුවේත් නැත. අධ්‍යාපන ඇමැති අත ගසා තිබෙන්නේ ගුරුවරියන් සඳහා ගැබිනි අවධියේ ගවුම ඩිසයින් කරන්නටය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දහසකුත් එකක් ප්‍රශ්න තිබේ. සෑම වසරකම පාසල් සියයකට වැඩි ප්‍රමාණයක් වැසී යමින් පවතී. තවමත් දුෂ්කර පළාත්වල ඇතැම් පාසල්වලට ඩෙස්, පුටු, වැසිකිළි, කැසිකිළි නැත. ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා ගුරුවරු නැත. පානීය ජලය නැත. අමාත්‍යාංශය ගුරුවරියන්ගේ ගර්භණී ගවුම ගැන සාකච්ඡා පවත්වමින් සිටී.

උසස් අධ්‍යාපනයේද දහසකුත් එකක් ප්‍රශ්නය. පසුගිය ආණ්ඩුව ඇතිකළ 'සයිටම්' ප්‍රශ්නය නිසා සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනයට වැදුණේ මරු පහරකි. ඔවුන්ගේ වැඩිපුර කාලය ගතවුණේ මාවතේය. ඔවුහු නිමක් නැතිව බැටන් පොලු පහරට ගොදුරු වූහ. කඳුළු ගෑස් කෑහ. කැබිනට් ඇමැතිවරු ආණ්ඩුවේ වගකිවයුත්තෝ ඒවා දකින්නේ චිකාගෝ නුවර නැතිනම් ලෝකයේ වෙනත් රටක සිදුවන දේ හැටියටය.

විද්‍යාත්මක ක්‍රමයට පත්කළ උසස් අධ්‍යාපන ඇමැතිවරයා වැඩ ඇල්ලූ ගමන් පටන් ගත්තේ "නවක වධය" නැති කරන ක්‍රමයක් සඳහා කමිටුවක් පත් කරන්නටය. ඔහු හිතන්නේ උසස් අධ්‍යාපනයට ඇති එකම බාධාව "නවක වධය" බවය.

නිරිත දිග මෝසමත් සමඟ වැටුණු මහ වැසිවලින් ඇළ, ‍ෙදාළ, ගංගා දෙගොඩතළා ගියේය. දැන් ඩෙංගු, ජනතාව බිලි ගනිමින් සිටී. වකුගඩු රෝගය ගැන මහ ඉහළින් කතා කොට ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ ආණ්ඩුව ඩෙංගු මරණ ගැන සැලකිලිමත් නොවීම පිළිබඳ පුදුම විය යුතු නැත. ඒ මදිවාට දකුණෙන් මතුවූ ඉන්ෆ්ලුවන්සා උණ දැන් සබරගමුවත් ආක්‍රමණය කර හමාරය.

ජනතාව ඉහළ යන ජීවන වියදමින් සහ බදු බරින් මිරිකී සිටිති. ආණ්ඩුව කිසිම හිරිකිතයක් නැතිව මන්ත්‍රිවරුන්ගේ දීමනා ලක්ෂ 8 දක්වා වැඩි කරන්නට තීරණය කර තිබේ. මහත්වරුනි, නුඹලා බල පොරය නවතා රට ගැන හිතන්නේ කවදාදැයි ජනතාව අසන පැනයට පිළිතුරක් පෙනෙනා මානයක නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon