බුදු දහම දඹදිවෙන් නැති කරන්න බමුණන් ගහපු දහන් ගැට මෙන්න

  👤  4247 readers have read this article !
2018-06-10

සුලක්ඛන ජයවර්ධන

බුදුන් උපන් දේශය දඹදිව බව ප්‍රකට මතයකි. එය පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේද තහවුරුව ඇති දෙයකි. බුදුන් ඉපැදුණේ දඹදිව වුවත් අද වන විට එහි බුදුදහම පැතිර ගොස් නැත. හරි නම් බුදු දහම අදහන බහුතරය විය යුත්තේ ඉන්දියානුවන්ය. ඒ නිසා දඹදිවෙන් බුදු දහම ගිලිහී ගිය බව පිළිගත යුතුය.

මේ ගැන ඇතැමකු කතා කළද, විවාද කළද අප රටේ බොහෝ දෙනා බුදු දහම ඉන්දියාවෙන් ගිලිහී ගිය බවට වූ හේතු නොදනිති. සැබැවින්ම එය එසේ සිදුවූයේ ඇයි යන්න විමසීම මෙම ලිපියේ අරමුණයි.

ක්‍රි.පූ. හත්වැනි ශතවර්ෂයේදී දඹදිව විශාල සංස්කෘතික හා ආගමික කැලඹීමක් තිබුණු බවට සාක්ෂි බොහෝය. ඊටත් පෙර සිට ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ බ්‍රාහ්මණ ආගම පැවැතිණ. එහෙත් ඒ ආශ්‍රයෙන් බිහිවුණු 'උපනිෂද්' ග්‍රන්ථ පිළිබඳව විශ්වාසයක් තිබුණද ක්‍රමයෙන් මිනිසා ඒවා විශ්වාස කිරීමෙන් අෑතට ගිය බවටද සාක්ෂි ඇත.

එකල බමුණන් ඉහළින්ම වැජඹුණු යුගයක් විය. වාර්ගික භේද ද තිබිණි. වර්ණභේද වාදය ප්‍රධාන ලක්ෂණයක් විය. බ්‍රාහ්මණයා තරම් උසස් කෙනෙක් තවත් නැති බවට තහවුරු කර තිබිණ. ඔවුහු සමාජය තමන්ට අවශ්‍ය ලෙස කොටස් කර තිබුණේ බ්‍රාහ්මණයන් ඉහළට ඔසවමිනි. ඒ අනුව කුල වෙන්වූයේ ප්‍රමුඛතා මත මෙසේය. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන කොටස් හතරක් විය. 'බමුණා මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන් උපන් නිසා අන් අයට වඩා උසස්ය. ශේ‍ර්ෂ්ඨය. එම නිසාම සමාජයේ ඉහළ ගරු නම්බුනාම හා වරප්‍රසාද හිමි විය යුත්තේය යන්න වෙනස් කළ නොහැකි තැනක තිබුණේය.

මේ වෙනුවෙන් ඔවුහු විවිධ යාග හෝම සිදු කළහ. ඒ තමන් පූජනීය, වන්දනීය, ගෞරවනීය පිරිසක් වශයෙන් ඒත්තු ගැන්වීමටය. සතුන් මරා විවිධ යාග හෝම පැවැත්වූ අතර ඒ සියල්ල බමුණා මුල්වී සිදුකළ යුතු තැනට ආගමික උපදේශකත්වය ද ඩැහැගෙන තිබිණි.
සිද්ධාර්ථ ගෞතම නමින් ඉපිද පසුව බුදු බවට පත් බුදුන් වහන්සේට මේ බමුණන්ගේ මානයත්, ඉන් සැකසුණු සමාජ ක්‍රමයත් උඩුයටිකුරු කරන්නට සිදුව තිබීම එකල තිබූ තත්ත්වය අනුව කෙතරම් අසීරු වන්නට ඇත්දැයි සිතා ගත හැකිය.

නජච්ජා වසලෝ හෝතී - නජච්ජා හොති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝතී - කම්මනා හොති බ්‍රාහ්මණෝ

මේ කියැවීම, මේ පිබිදවීම පහළ ස්තර තුළ මිරිකුණු ජනතාවගේ හදවත් සුවපත් කරන්නට සමත් විය. බුදුන් වහන්සේ සමාජ විප්ලවයක් කළැයි සිතන්නට හැකිවන්නේ එවැනි ප්‍රතික්‍රියා නිසාවෙන්ය. ඊටම අනුගතව බුදුන් වහන්සේ අවිහිංසාවාදය ප්‍රචලිත කළේ මේ බ්‍රාහ්මණයන්ගේ මානය බිඳිනු උදෙසාය. අහිංසක සත්ත්වයන් මරා යාග හෝම ආදී පුද පූජා පැවැත්වීම හෙළා දුටු අතර, බුදුන් වහන්සේගේ මේ උත්සාහය බ්‍රාහ්මණ සමාජයට දරාගන්නට බැරි තරම් විය.

ක්‍රමයෙන් දඹදිව පුර බුදුන් වදාළ ධර්මය පැතිරෙන්නට වු නිසාම එකල බමුණන්ට පසු බාන්නට සිදුවිණ. එහෙත් බුදුන් වහන්සේගේ දේශනාවලට එරෙහිව ඔවුහු තැන තැන හුදකලා සටන් හි නිරත වූහ. එහෙත් එය අසාර්ථක විය. නොයෙකුත් කූට උපක්‍රම යොදමින් මේ දිනම දඹදිවින් තුරන් කරන්නට නිරන්තර අරගලයක නිරත වූ අතර එය බුදුන් වහන්සේ පිරිනිවන් පාන තුරාම පැවැතිණි. එය එළිපිටම දැවැන්ත ලෙස ක්‍රියාත්මක වූයේ බුදුන්ගේ පරිනිර්වාණයෙන් අනතුරුවය.

බමුණන් ඊට යොදාගත් උපායශීලී ක්‍රියාවලිය අපූරුය.

"බුදු දහමත් බ්‍රාහ්මණ ආගමත් අතර ලොකු වෙනසක් නෑ"
මෙම සංකල්පය මත දඹදිව පුරා බ්‍රාහ්මණයෝ මතවාදයක් පතුරුවමින් බුදුන් පිරිනිවී ගිය පසු ප්‍රබලව ක්‍රියාත්මක කළේය. එය හොඳින් ක්‍රියාත්මක විය. පසුකලෙක පෝෂණය වූ, වේගයෙන් පැතිරුණු හින්දු ආගමත් බ්‍රාහ්මණ ආගමත් අතර වෙනසක් නැති බවට හේතු එකතු වූ අතර එයද සාර්ථක විය. ඊට යොදාගත් එක් සංකල්පයක් විය. එය මෙසේය.
"බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාරවලින් එක්කෙනෙක්. නව වැනි අවතාරය බුදුන්ය. ඒ නිසා බෞද්ධයන් එය වටහාගත යුතුයි. මේ සංකල්පවල වෙනසක් නෑ. ඔක්කොම එකයි"
එයද නිසි පරිදි මෙහෙයවන්නට, පතුරුවන්නට, බෞද්ධයන්ගේ හදවත්වලට කි¼දාබස්සන්නට බමුණෝ යුහුසුලු වූහ. එහි තවත් දුර දක්නා පියවරක් වූයේ "ගීත ගෝවින්ද" නම් ග්‍රන්ථයේ ජයදේවයන්ගේ අස්ථපදී නම් ප්‍රකාශයේ අවතාර කිහිපයක් සඳහන් කර බුදුන් විෂ්ණු දෙවියන්ගේ අවතාරයකැයි කීමය. මේ මත වැපිරීම කාලාන්තරයක් මුළුල්ලේ එක දිගට නොනවත්වා සිදු කිරීමේ ප්‍රතිඵලය වූයේ පරම්පරා ගණනාවක් ඉක්ම ගිය පසු අලුත් පරම්පරාව අගක් මුලක් නොදැක විෂ්ණු දෙවියන් ඉහළින් පිළිගැනීමය. බුදුන් වහන්සේ එක් අවතාරයක් පමණක් වීමය.

බ්‍රාහ්මණ වාදයේත්, හින්දු දහමේත් "සදාකාලිකව වෙනස් නොවන ආත්මයක් ඇත." යන්න ප්‍රචලිත අදහසකි. එය මූලික සිද්ධාන්තයක්ද වෙයි. එහෙත් බුදුන් වහන්සේගේ දහමෙහි කියැවීමේදී පළවන්නේ "මිනිසා පංචස්කන්ධයක් බවත්, එම පංචස්කන්ධයේ කිසිදාක වෙනස් නොවන ආත්මයක් නැත" යන්නය. එය මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතින "නාම රූප සන්තතියක්" ය බවය.

එබැවින් එම කරුණේදී මේ මතවාදී ව්‍යාප්තියට ඇබ්බැහි වීම නිසාවෙන් "වෙනස් නොවන පරලොවට යන ආත්මයක් තියෙනවා" යන්න අදටත් බෞද්ධයන් පිළිගන්නට පෙලඹී ඇත. මේ තත්ත්වයම දඹදිව පුරාම ව්‍යාප්ත වී ගොස් කාලයක් ගතවූ පසු අවතාර කතාවද පිළිගෙන අවතාරය ආත්මයක් බවට පත් කර ගත් බව ස්ථාපිත විය.

මෙම කරුණුද සමඟ ඉතිරිව සිටි බෞද්ධයන්ට තවත් පරිවර්තන හා ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවිය. ක්‍රි.වර්ෂ 12 සහ 13 කාලයන්හිදී දඹදිව උතුරු ප්‍රදේශය නිතැතින්ම විදේශීය ආක්‍රමණවලට නතු වූ අතර එනිසාවෙන්ම බෞද්ධාගමේ හදවත වන් බුද්ධගයාව, ඉසිපතනය වැනි උතුම් පූජනීය ප්‍රදේශ විනාශ වන්නට විය. විදේශිකයන් අතින් විනාශ වූ මේ පුදබිම් නිසා ඒ අවට ජනතාවද පලා යන්නට වූහ. බෞද්ධ භික්ෂුන් වහන්සේලා, නේපාලය, ටිබෙටය ආදී රටවලට පැන ගත්හ. මේ ක්‍රියාවලියේ අවසානය වූයේ පරම්පරා ගණනාවක් ගිය පසු හින්දු වාදය මුල්බැසගත් දහම පෝෂණය වීමය. ඒ ඒ ප්‍රදේශවල සිටි බෞද්ධාගමේ සැබෑ හරය වටහාගත් බැතිමත්හු අනතුරුව නොදැනීම හින්දුන් බවට පත්වූහ. බ්‍රාහ්මණ සමාජය සැලසුම් සහගතව සැබෑ බුදු දහම දඹදිවින් පලවා හැරියේ එසේය. මෙය වටහාගන්නා බෞද්ධයන් කී දෙනෙක් නම් වෙත්ද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon